Saturday, December 22, 2012

නොමළ පෙම්වතුන් ( Voice file එකත් සමගින් )









ජීවිතය කියන්නේ විරල හීනයක්. හුදු මනුෂ්‍ය කොට්ඨාසයක පුරුකක් ලෙස ඉපිද තමන් දකින ඒ විරල හීනයෙන් බලෙන් පිබිදෙන්න උත්සාහ කරනවා නම්..........ඒකට සමාවක් නැහැ. ජීවිතය ඔහේ සැඟවිලා යාවී. ....වේදනාවෙන් ඉකි ගසාවී......අහිමි වෙච්ච හීනය සිහිපත් කරමින්.......හැමදාමත්!


ඒ ගුප්ත තැන්න එදා වෙනදාටත් වඩා නිහඬව තියෙන්නැති. ලා හිරු එළිය පවා විටක, මීදුම් තීරය විසින් සඟවාගෙන, එක මොහොතකට මුළු තැන්න පුරා ජීවිත නිෂ්ක්‍රීය කරන්නැති. තැන්නට ඇතුල්වීමේ දොරටුව ළඟදි  එකට වෙලුණු ඔවුන්ගේ අතැඟිලි ලෝකාන්තයේ පීඨිකාව මත දී වුණත් ලිහී ගියේ නැහැ. ඒ වෙනුවට ඒ දෑත් තව තවත් තදින් වෙලුණේ ඊළඟ මොහොත ගැන හිත පුරා හමාගිය කුණාටු වලට ශක්තිමත්ව මුහුණ දෙන්න හිතා ගෙන වෙන්නැති. සත්තයි..........උන්ගේ ආත්ම ගැහෙමින් තියෙන්නැති.


දවසක ඔබ ගිහින් ඇත්නම් , ඔබට මතක ඇති හෝර්ටන් තැන්නේ එක සුන්දර ඉසව්වක පිහිටි ලෝකාන්තය අභියස ඒ පීඨිකාව. ඔබත් ඒ වේදිකාව මත සිටගෙන මීදුමෙන් වැහුණු ගැඹුරු ප්‍රපාතය දිහා බලාන ඉන්න ඇති. ඔව්.......ඔවුන් දෙදෙනාත් ඒ විදිහටම හිටියා - වෙලාව එනතුරු.

මහනුවර පැත්තේ පුංචි ගම්මානයක ආදරණීයයන් දෙදෙනෙක් විදිහට බැඳුණත් ඔවුන්ගේ සම්බන්ධතාවයට බාධා තිබුණා. තර්ජන, බලකිරීම්, නොයෙකුත් වේදනාත්මක සිදුවීම් මැද තමන්ට කිසිදාක එක් වෙන්න ඉඩ නොලැබෙන බව දැනුණු නිසාමදෝ ඔවුන් එළඹුණේ ඒ අවාසනාවන්ත තීරණයට. දුක හදවත් වල පුරවාගෙන, ආදරය මරණයේ සදාකාලික බැම්ම්මෙන් හිර කරගෙන ඔවුන් තීරණය කර තිබුණේ ඒ හීතල මීදුම අතරේ හැමදාටම අතුරුදහන් වෙන්න.


ආයෙමත් වතාවක් පීඨිකාව මත වුන් අයට ඇහුණේ හොර්ටන් තැන්න හරහා ඇදී ගිය මාරුතයේ අඳෝනාව. ඒත් බෑවුමේ පහළ මීදුම අත වනන්න වුණේ ඔවුන් දෙදෙනාට විතරයි.

හදවත්වල ගැස්ම එන්න එන්නම වැඩිවුණා. එකට බැඳුණු අතැඟිලි තව තවත් තදින් වෙලුණේ මරණයටවත් වෙන් කරන්න බැරි විදිහට. නෙත් පුරා තවරගත් ආදරයෙන් අවසන් වතාවටත් එකිනෙකා දිහා බලාගත් ඔවුන්, ඊළඟ මොහොතේ පීඨිකාව මතින් ප්‍රපාතයේ මීදුම අතරේ අතුරුදහන් වුණා. ප්‍රපාතය මුදුණේ වුන් අය නෙත් විවර කර මුව අයා සිටින විට ඔවුන් දෙදෙනා තත්පර ගණනකට ශරීරය පුරා තැවරුණු හීතල හුළඟින් පෙනහළු පුරවා ගන්න ඇති - අවසන් වතාවට.

භෞතික ලෝකය නිහඬ වුණා - ඒ ඔවුන්ගේ ආත්මයන්ට නිදහසේ සැරිසරන්න අවකාශ සලසමින්.


දින කිහිපයකට පස්සේ ඔවුන්ගේ සිරුරු ලෝකාන්තය පහළ වනාන්තරයෙන් සොයන්න දරන්න වුණේ අපමණ වෙහෙසක්. ඒ සඳහාම විශේෂයෙන් සැකසුණු කණ්ඩායමට විවිධ දුෂ්කර ඉසව් තරණය කරන්න සිදුවෙලා තිබුණා.



සියදිවි නසාගත්තවුන්ගේ සිරුරු සොයමින් ඇවිදින විට කණ්ඩායමට මුහුණ දීමට සිදුවුණේ කිසිදාක නොලද අත්දැකීමකට.

මුලින්ම වනාන්තරයේ අඩ අන්ධකාරය තුළින් ගලා ආවේ සිනා හඬක්. ඒ සිනහව නිසැකවම ඇගේ. ඒ හඬ ඔස්සේ ඇදුණු කණ්ඩායමට දකින්න ලැබුණේ රූස්ස ගසක් පාමුල හිඳ සිටින යුවළක්. යුවතිය හිටියේ ඔහුගේ උරහිසට හිස තබාගෙන. ඔවුන් සිටියේ........අතාත්වික ලෝකයක තාත්වික ආදරයක් ලබමින්.ඒ අස්වාභාවික මුහුණුවල ලියැවිලා තිබුණේ ආදරය විතරමයි. ඔවුන් දෙදෙනා මෙලොව නොලද පෙම් සුවයක් නිදහසේ විඳිමින් සිටියා - මළවුන්ගේ ලෝකය තුළදී.




අතීරණයෙන් වුවත් කණ්ඩායම ඔවුන්ට ආසන්න වන විට ඒ රූපකායන් අතුරුදහන් වී තිබුණා. ඒ වෙනුවට දකින්න ලැබුණේ ගස පාමුල තැන්පත් වෙලා තිබුණු ඔහුගේ බිඳුණු සිරුර. ඇගේ ශරීරය තිබුණේ රූස්ස ගසේ ඉහළ අතු අතරේ සිරවෙලා. ඔවුන් යන්න ගිහින් තිබුණා - හැමදාටම.


හෝර්ටන් තැන්න තවමත් මීදුමෙන් වැහෙනවා. අඳුරු අහුමුළුවල වුණත් ලස්සනට මල් පිපෙනවා. බේකස් ඇල්ල නිහඬවම ගලා බැස්සත් ඔවුන් දෙදෙනා යන්න ගිහින්.

ඒත් තවමත් සමහර දවසක හිරිකඩ වැහි හුළඟ එක්ක මුසුවෙලා ඇගේ කිකිණි සිනා හඬ පහළ ගම්මානයට ඇහෙනවලු - ඔවුන් දෙදෙදා තවමත් පෙම් කරන ඒ පාළු ඉසව්වේ සිට.......








Sunday, December 2, 2012

දහතුන් වෙනි සැතපුම් කණුව (මළවුන්ගේ අඳෝනා 2 - voice file එකත් එක්ක)


නිදාගෙන ඉන්න මළවුන් කූද්දන්න නම් යාමයට උවමනාවක් නැහැ. ඒත්.......... මුළු ලෝකයටම හොරෙන් ජීවිතය අඩි හතරක් පොළොව යට වළලා, මළවුන් බවට පත් කළවුන්ගේ වේදනාත්මක අඳෝනාවන් ඔබ ඉදිරියේ දිග හරින්නට නම් යාමයේ කිසිදු පැකිළීමක් නැහැ.
මේතාක් යාමයෙන් ඔබ වෙත ගෙන ආවේ ප්‍රාරම්භයක් වගේම විඥානගත නොවූ අවසානයන් සහිත සිදුවීම් පෙළක්. එක දෙයක් කියන්න ඕන - නිශ්චිත අවසානයක් නැති සිදුවීම් ..........මේ ලෝකයේ ඕන තරම්. මේ......එවැනි සිද්ධියක්.

දහතුන්වෙනි සැතපුම් කණුව ගැන කියද්දී කෝන්වැව, කට්ටඹුවාව, නෙත්තිපොළගම විතරක් නෙමෙයි.....මහව මංසන්ධියට යනකම් මිනිස්සුන්ගේ ශරීරවල හිරිගඩු පිපෙන්නේ බඩ ඉරිඟු හේනක් හරහා හමා එන සීතල සුළඟ වැදිල නම් නෙමෙයි. ඒ.....තවමත් නොවිසඳුණු මරණයක ඇතුළාන්තයේ ගොරහැඩි සත්‍ය පපුවලට තට්ටු කරලා යුක්තිය ඉල්ලන හින්දා.

මේ ..........ප්‍රදීප්ගේ කතාව.


හොඳ හිරිමල් වයස; එතකොට ප්‍රදීප්ට අවුරුදු විසි දෙකයි. රස්සාවට කළේ ත්‍රීවිලර් හයර් කළ එක. කෝන්වැව හන්දියේ බෝ ගහ යට තිබුණු ත්‍රීවිලර් තුනෙන් ප්‍රදීප්ගේ රථය බොහොම පහසුවෙන් වෙන්කරලා හඳුන ගන්න පුළුවන් කම තිබුණා.
' අප හමුවීම වෙන්වීම දෝ ආදරේ.......මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ....'
ඊට හේතුවුණේ ඒ ගී පද දෙපේළිය.

අනෙක් හැම කොල්ලෙක්ටම වගේ ප්‍රදීප්ටත් හීන තිබුණා. හැම හීනෙකම ඉන්නවා වගේ දෙව්ලියක් ප්‍රදීප්ගේ හීනේ හිටියා. ඒත්....එක දෙව්ලියකට ඉන්න පුළුවන් එක හීනයක විතරයි. ඇය - කුමාරි.ප්‍රදීප්ගේ සිහින සුන්දර කරන්න හොරෙන්ම ගොඩ වැදුණත් ඒ වෙද්දිත් ඇය හිටියේ වෙනකෙකුගේ හීනයක දිව්‍යාංගනාවක් වෙලා.

සම්මතයන් වැව් පතුළේ ගිලිලා යද්දි, කුමාරි ප්‍රදීප්ගේ ලෝකයේ හීන මාලිගා තැනුවේ හැමෝටම පෙනෙන වැ කණ්ඩිය මත ඉඳගෙන. හුළඟ ඒ ඕපාදූපය අජිත්ගේ කනට කොඳුරන්නැති. තමන්ගේ හීන කුමාරිය - කුමාරි, වෙනකෙක් එක්ක පවත්වපු හාදකම අජිත්ගේ කෝපය ඇවිස්සුවේ වැවේ වාන පිටාර ගලනවා වාගේ.වතාවක් දෙකක් අජිත් ප්‍රදීප්ට තර්ජනය කරලත් තිබුණා....

එදා මාසේ පෝය දවසක්. රේල් පාරත් මහ වැවත් අතර මැද අක්කර ගණනාවකම ඉරිඟු හේන් යාය වැහිලා තිබුණේ ඝන අන්ධකාරයකින්. වැව ඉස්මත්තේ කැලෑ රොදට වෙලා 'හූ' කියපු හිවලුන්ගේ මූසල ඇඬියාව ගම්මානයට කැන්දගෙන ආවේ මරණීය භීතිකාවක්ම විතරයි.ඒ උඩුබුරලීම් වලට සොහොන් පොළේ නිදිගත් මළවුන් පවා ඇහැරෙන්න ඇති.හන්දියෙන් තමන්ගේ රිය හරව ගත්තු ප්‍රදීප් ගම්මානේ දිහාවට තනියම ඇදුණේ මුළු ඇඟම කිලිපොළන මේ හඬවල් මැදින් - කට්ට කරුවලේම.

අපි දන්නේ නැහැ........ඊළඟට මොනවිදිහේ දෙයක් වුණාද කියලා.ඒත් පහුවදා පාන්දර කැබලි ගණනාවකට බිඳුණු ප්‍රදීප්ගේ මළ මිනිය හම්බුණා.ඒ තිරිකුණාමල දුම්රිය මාර්ගයේ දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ තිබිලා.දුම්රියට හසුවෙලා තිබුණු නිසා මළ සිරුරෙන් වැඩි දෙයක් කියැවුණේ නැහැ.රේල් පාරේ තැන් තැන් වල වැටිලා තිබුණු කළු තෙල් ඒ සිරුර පුරා තැවරිලා තිබුණා.ඊට මදක් ඔබ්බෙන් දුම් රිය හරස් මගේ පැත්තක නතර වෙලා තිබුණේ ප්‍රදීප්ගේ ත්‍රී රෝද රථය. ඉරිඟු යායට, රේල් පාරට, පාන්දර පින්නට කියන්න දේවල් ගොඩක් තියෙන්නැති - 'සිය දිවි නසා ගැනීමක්' ලෙස සටහන්වුණු මරණ පරීක්ෂණ වාර්තාවට හාත්පසින්ම වෙනස් දෙයක්......

ප්‍රදීප්ගේ තුන්සක රියේ පිටිපස්සේ තිබුණු කවිපද කාලයත් එක්ක වැස්සට මැකිලා යද්දි ඒ සිදුවීමේ මතකයන් ගම්මුන්ගේ හිත්වලින් ඈත් වෙන්න වුණා.....

මාස දෙක තුනකට පස්සේ දවසක රෑ ජාමේ රත්නායක මාමා රේල් පාරේ සිල්පර කොට උඩින්  පැන පැන ඇවිත් දහතුන්වෙනි සැතපුම් කණුව ළඟට කිට්ටු වුණේ තමන්ගේ ඉරිඟු හේනට යන්න හිතාගෙන. ඒත් .....රේල් පාරෙන් හේන පැත්තට හැරෙද්දි එක පාරටම පිටිපස්සෙන් ඇහුණේ පුරුදු කට හඬක්.

"මාමේ..."

රත්නායක හැරිලා බැලුවා.

"මාමේ.....අනේ මාමේ!! උං මාව මැරුවා. මම මැරුණා නෙමෙයි....මම කෝච්චියට පැන්නේ නෑ මාමේ..."

එක අතක් අහිමි ප්‍රදීප්ගේ රූපය එහම කියද්දි , හේනෙදී කන්න ගෙදරින් ඔතලා දුන්නු පාර්සලය රේල්පාර මතම අතහැරිය රත්නායක මාමා ඉරිඟු යාය දිගේ භීතියෙන් කෑ ගහගෙන දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ.දවස් ගාණක් උණ විකාරයෙන් දෙඩෙව්ව රත්නායක මාමා සනීප වුණේ තොවිලයකුත් නැටුවට පස්සෙයි.ඊට පස්සේ ප්‍රදීප්ව මුණ ගැහුණේ පාන්දර රේල් පාර දිගේ ඉස්කෝලේ ගිය යුවතියන් දෙන්නෙක්ට.ප්‍රදීප් ඔවුන්ට කියා තිබුණෙත් රත්නායකට කියූ දේවල්මයි.මේ විදිහට දෙතුන් දෙනෙක්ටම පෙනෙන්න වුණාට පස්සේ ගම්මු දහතුන් වෙනි සැතපුම් කණුව ළඟින් ගමන් කරන එක නැවැත්තුවා.

ඒත් සමහර රෑක දුම්රිය හරස් මාර්ගය ළඟින් ඇවිදගෙන යන කෙනෙක්ට ඇහෙන්නේ වේදනාවෙන් ඉකිගහන ප්‍රදීප්ගේ අඳෝනාවලු. කාලය ගෙවිලා ගියත් කට්ට කරුව්ලේ වුණත්..........ඈත රේල් පාරේ පීල්ලක වාඩිවෙලා නිහඬවුණු සාක්ෂි අවදි කරන්න හඬන ප්‍රදීප්, දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ - ඔබ එනකම්......................හැමදාමත් ඉඳීවී.......


සත්‍ය කතාවක් මත පදනම් වී ඇත.

ප.ලි: පහතින් තියන පින්තූර වලින් පෙනෙන්නේ අදාළ දුම්රිය හරස් මාර්ගය සහ ආසන්නයේ ඇති ඉරිඟු හේනක්.(මම පහුගිය ටිකේ ඔය පැත්තේ රවුමක් ගියානේ)


සචින්ද්‍ර වීරසූරිය සහ අනුජ විතානගේ සොහොයුරන් කට හඬ දායකත්වය සැපයූ කතාවක් මීළඟ සතියේ යාමය තුළින්.....