Friday, October 12, 2012

තුඩැල්ලේ අවතාරය


"නොගියොත් යළිත් ආ නොහැකිය. යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්ට බැරි ය. නොගොස් එන්ට බැරි ය"

- එනිසා අයෙත් ඇවිත් යන්ට වරෙන් -

ප්‍රාරම්භයට කලින් එළඹුණු අවසානයන් නිසා දුක් විඳින මිනිසුන් ඕන තරම්. ඒත් උන්ට තාමත් සන්තෝස වෙන්න පුළුවන්.ඒ තවමත් උන්ගේ පිටිපස්සෙන් ආත්මීය සාධකයක් විදිහට ඇදෙන සෙවණල්ල නිසා.ඒත්.............සෙවණල්ලක්වත් නැති උන්? උන් මේ අවකාශය තුළ අතරමං වෙලාද? අඩුම තරමේ ...........අඩුම තරමේ තමන්ට අයිතිව තිබුණු මනුෂ්‍යත්වයව පවා අහිමිව!!!



ඒ අසූ ගණන්වල මුල් හරියේ දවසක්. ජා ඇළ කණුවන හන්දියටත් වෙනද වගේම කරුවල වැටුණා. කාලෙකට කලින් හන්දියේ හිටවපු සුදුපාට පිළිමේ හැන්දෑවේ අඳුරින් නැහැවුණේ අහළ පහළ බල්ලන්ගේ උඩු බිරුම් හඬ වැඩිවෙනවාත් එක්කමයි. කඩපිල්වල ලෑලි දොරපළුවලට අගුල් වැටෙද්දි හන්දියෙන් ඒ පැත්තට මේ පැත්තට හරවපු වාහන ගණනත් අඩු වුණා.ඉඳ හිට හරි හන්දිය පහු කරලා යන වාහනයක් වුණත් පිළිමේ ළඟදි ඉගිළුණේ පුළුවන් තරම් වේගය වැඩි කරලා.

විතාරණ කටුනායක ගුවන් තොටුපොළේ නතර කළ ගුවන් යානයෙන් බහිද්දිම වෙලාව රෑ දොළහට විතර ඇති. අවුරුදු ගාණක් පිටරටක රැකියාව කරලා  ලංකාවට ආ විතාරණට ඕන වුණේ කාටවත්ම නොකියා ගෙදරට ගිහින් හැමෝම ම පුදුම කරන්න. රෝල දිගේ ආපු ගමන් මළු දෙකත් අරගෙන ගුවන් තොටුපොළෙන් එළියට ඇවිත් ඊළඟට බැලුවේ කුලීරියක් හොයාගන්න. විතාරණ කතා කරන්නත් කලින් ළඟට ආ රියදුරෙක් අතේ තිබුණු බර ගමන් මළු තමන්ගේ දෑතට ගත්තේ සුහදශීලි විදිහට ඔහු  දිහා බලලා හිනාවෙන ගමන්. ටිකක් ඔබ්බෙන් නවතලා තිබුණු රථය දිහාට ගිය රියදුරා ගමන් මළු බිම තියලා තමන් ළඟ තිබුණු යතුරකින් කාරෙක පිටි පස්සේ ඩිකිය විවෘත කළා.

"පොඩ්ඩක් ඉන්න. ඕකේ බිඳෙන දෙයක් තියනවා.මම ඒක අතේ තියා ගන්නං"

රියදුරා දෙවැනි ගමන් මල්ල ඩිකියට පටව්න්න යද්දි විතාරණ කියන්න වුණා. ඊළඟට ගමන් මල්ල විවෘත කරලා  එළියට ගත්තේ උඩින්ම තිබුණු පාර්සලයක්. රියදුරා දොර හැර දුන් පසු ඉදිරි පස ආසනයේ වාඩිවුණු විතාරණ උකුලේ තබා ගත්තේ තමන්ගේ පෙම්වතියට මිලදී ගත් සුකුරුත්තම් භාණ්ඩ වගයක් සහිත ඒ  පාර්සලය .

රියදුරා රථය පණ ගන්වද්දිම ඉදිරි පස ලාම්පු එළිය වැදිලා හාත්පසම එළිය වුණා.ඊළඟට රථය පිවිසුණේ ගුවන් තොටුපොළ පර්යන්තයෙන් මහපාරට.බොහෝ මගීන් කරනවා වගේම විතාරණත් තමන්ගේ වයසෙම වගේ හිටිය රියදුරත් එක්ක කතාවට වැටුණා. රියදුරා - අනිල් කතාවට දක්ෂයෙක් බව තේරුම් ගන්න විතාරණට වැඩි වෙලා ගියේ නෑ. අනිල් වැඩි පුරම කතා කළේ ලංකාවේ දේශපාලනය ගැන. විතාරණ දේශපාලනයට ඒ තරම් කැමැත්තක් නොතිබුණත් මුඛරි රියදුරාගේ කතාවට ඇහුම් කන් දීගෙන හිටියේ ආසාවකින්. වැඩිමනක්ම කතා බහෙන් ඔහුගේ නිදිමත නැතිවෙන නිසා. රාත්‍රී කාලේ වුණු නිසා පාරේ වාහන ඒ තරම් දකින්න ලැබුණේ නැහැ.ඒ නිසාම රියදුරා රථය ධාවනය කළෙත් බොහොම වේගයෙන්.

ඇතින් ගුවන් තොටුපොළේ විදුලි පහන් වල එළිය පෙනෙන්නේ නැතිව යද්දි විතාරණ්ගේ හිත කාංසියකින් පිරෙන්න වුණා.ඒත් නිවස මතක් වෙද්දි ඇස් පවා එළිය වුණේ ආදරණීය හැඟීම් ගොන්නකින්.

"......ඔව්.......දැන් හැමදේම වෙනස් මහත්තයා.කලබල නං අඩුයි. ඒත් ඒක කොච්චර කාලයක් තියෙයිද දන්නේ නෑ.රජයත් ඉස්සරට වඩා හදිස්සියෙන් තැන් තැන්වලින් මතුවෙන එක එක කල්ලි හැමදේම හොයලා බලනවා.අපට නං සෙතක් නෑ..."

රියදුරු අනිල් ඔහේ කියවගෙන යද්දි විතාරණගේ නෙත් යොමුවුණේ ඩෑෂ් බෝඩ් එක උඩ තිබුණු කැසට් පටි කීපයක් දිහාවට.ඉංග්‍රීසි සින්දු සහිත කැසට් පටි අතරේ තිබුණු එකම එක සිංහල කැසට් පටයක් විතාරණ අතට ගත්තා.

 "රුක්මණී දේවි මැරෙනකොට මහත්තයා ලංකාවේ හිටියද?"

දේශපාලන කතාව ටිකකට නතර කළ අනිල් ඇහුවේ අනෙක් පස ආසනේ ඉඳගෙන කැසට්පටිය දිහා ඇස් දල්වගෙන බලා හිටි විතාරණගෙන්.

"නෑ........එතකොට මම මෙහේ නෑ.ඒත් මට ඒ ගැන  ආරංචි වුණා.....ඉස්සර මම අහන්නෙම රුක්මණී දේවිගෙ සින්දු. ඒත් කාලෙත් එක්කම ඒක අත් ඇරුණා"

".... ඔය පටියත්  රට ඉඳන් ආපු මහත්තයෙක් දාලා ගිය එකක්.මට වැඩිපුරම ඇහෙන්නේ ඉංග්‍රීසි සින්දු තමයි.ගොඩක් වෙලාවට මේකට නගින්නෙත් ලංකාවට එන සුද්දොනේ.අනිත් එක මහත්තයා දන්නවද?  රුක්මණී දේවි ඇක්සිඩන්ට් වුණෙත් තව ටිකක් ඉස්සරහ.මම යනකොට මහත්තයට පෙන්නන්නම්කො"

රියදුරා තවත් ගියරයක් මාරු කරන ගමන් කියන්න වුණා.

"මම දැනන් හිටියේ ඇක්සිඩන්ට් වෙලා මැරුණා කියලා විතරයි.මේ හරියේ කියලා දැනගෙන හිටියෙ නෑ"

විතාරණ එහෙම කිව්වේ අතේ තිබුණු කැසට් පටිය ඩාෂ්බෝඩ් එක උඩට විසි කරන ගමන්.ඒත් ඉලක්කෙ වැරදුණු නිසාදෝ කැසට් පටිය ප්ලාස්ටික් ආවරණයේ වැදී වැටුණේ විතාරණගේ දෙපතුළ ළඟට. අතේ තිබුණු පාර්සලය නිසා බිම වැටුණු කැසට් පටිය ගන්න විතාරණට අමාරු වුණා.

"කමක් නෑ මහත්තයා. ඕක බැස්සට පස්සේ අහුලලා තියන්න පුළුවන්නේ.මහත්තයා පාර්සලය පොඩි කරගන්නෙ නැතුව ඉන්න"

කළුවරේ බිම අතපත ගාන විතාරණට රියදුරා කිව්වා. අනිල්ගේ හඬින් විතාරණ ආයෙමත් බාගෙට ඇරලා තිබුණු ජනෙල් වීදුරුව තුළින් ඈත් කරුවල දිහා බලාගෙන ඉන්න වුණා. අත් ඔරලෝසුව දෙස බැලූ රියදුරාට පෙනුණේ පාන්දර දෙකට මිනිත්තු කිහිපයකට වඩා නැති බව.

පාර දිගට පිහිටලා තිබුණු උස් පහන් කණුවලින් නිකුත්වුණේ මලානික එළියක්.ඒ ආලෝකය පවා උත්සාහ කළේ හිතේ කාලකන්ණිකමක් ඇති කරන්න.සමහර වෙලාවට අයිනේ තිබුණු රූස්ස ගහක අඳුරු සෙවණැල්ල තාර පාරේ පදාසයක්ම වසාගෙන තිබුණා. රථයේ විදුලි පහන්වලින් වත් අඳුර මකාදමන්න ඒ තරම් සෙතක් ලැබුණේ නෑ.පසු බිමෙන් ඇහුණු මෝටර් රථයේ ශබ්දයත් විතාරණගේ හිතට ගෙන ආවේ කරදරකාරී හැඟීමක්. ඒ නිසාමදෝ හිස ඇල කරලා ජනෙල් වීදුරුවට හිස තියා ගත් විතාරණ නිදා ගන්න උත්සාහ කළා. තමන්ගේ දේශ්පාලන කතා නතර කළ රියදුරා තවත් වේගයෙන් රිය පදවමින් හිටියා.

ජනේලයට හිස තියාගත්තත් බාගෙට ඇරපු වීදුරුව තුළින් පෙරිලා ආ හීතල හුළඟ විතාරණට නිදා ගන්න ඉඩ දුන්නේ නැහැ. පපුව පුරාම හිරිගඩු නැංවුවත් මොකද්දෝ හේතුවකට වීදුරුව වහන්න විතාරණ අකමැති වුණා.ඒ වෙනුවට තමන්ව පහුකරලා වේගයෙන් පසු පසට ඇදිලා යන අඳුරු සෙවණලි දිගා බලාගෙන විතාරණ සුසුම්ලන්න වුණා.තවත් මිනිත්තු කිහිපයක් ගතවෙන්න ඇති.රථය ළංවෙලා තිබුණේ තුඩැල්ල හන්දියට.

"මෙතන තමයි මහත්තයා තැන. අර හරියෙදි තමයි රුක්මණී දේවි ගිය වාහනේ හැප්පිලා තියෙන්නේ"

අනිල් එහෙම කියද්දි විතාරණ බාගෙට පියවෙලා තිබුණු ඇස් ඇරලා බැලුවා.මුලින්ම පෙනුණේ සුදු පාට ගාපු පිළිමයක්.සාරියකින් සැරසිලා තිබුණු පිළිමේ අඩ අඳුරේ දී වුණත් රුක්මණී දේවිගේ බව අඳුර ගන්න විතාරණට අමාරු වුණේ නැහැ.කැරලි කැරලි කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් වැටෙන විදිහට ස්කස් කරලා තිබුණේ.සෘජු විදිහට ඈත බලා ඉන්න පිළිමේ විතාරණගේ හිතේ ඇති කළේ ගුප්ත හැඟීමක්.තමන්ගේ පාමුල වැටිලා තියන කැසට් පටය ආයෙමත් සැරයක් විතාරණගේ සිහියට නැගුණා. ඒ කැසට් පටයේ කටහඬ හිමි කාරියගේ පිළිමය තමන් ඉස්සරහින්!!! එක මොහොතකට විතාරණගේ ඇස් ගිණිකන වැටුණේ පිළිමේ සිටවපු දිලිසෙන කළුපාට ආධාරකයේ වැදිලා පරාවර්තනය වුණු වාහනේ ම පහන් එළිය ඇස් දෙකට වැටීමෙන්.

ඒත් එක්කම ජා ඇළ ගම්පහ පාරට හරවපු මෝටර් රථය ඉගිලෙන්න වුණා.අනිල් මුකුත්ම කතා නොකට තදින් සුක්කානම අල්ලගන්න හැටි විතාරණ දැක්කා. ඒ හිතේ තමන්ට නොකියවුණු දෙයක් ඇති බව විතාරණට නොදැනුණා නෙමෙයි.

තව වතාවක්  හැරී වාහනයේ පිටුපස කවුළුව තුළින් බැලූ විතාරණට පෙනුණේ පසුවී යන නිසොල්මන් පිළිමය .

ලොකු හුස්මක් හෙලා පපුව සැහැල්ලු කරගත් විතාරණ හෙමින් සැරේ ආපසු හැරුණා. ඒත් ...............ඒත් ....එක මොහොතකට දකින්න ලැබුණු දෙයකින් විතාරණ ගල් ගැහුණා.දකුණු පැත්තේ රියදුරු ආසනය මත හිඳ සිටි අනිල්ගේ මුව බාගෙට විවර වී තියෙබ බව  දැක්කෙ ඇස් කොණෙන්.දුබල වුණත් වාහනයේ ඉදිරි පස පහන් එළිය වැදී ඇගේ සුදු සාරිය දිලිසුණා.තමන් තත්පර කිහිපයකට කලින් දුටු ප්‍රතිමාවේ රූපයම වාහනයට ඉදිරියෙන් පාර හරහා මාරු වෙන හැටි ඔහුට දකින්න ලැබුණේ එක නිමේෂයකට විතරයි.

ඒත් කැරලි වැටුණු කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් බේරෙන හැටි, හිස ඔසවා බැලූ සෘජු බැල්ම එකට තදවූ දෙතොල් යුග විතාරණගේ ඇස් වලින් වහන් වුණේ නැහැ.තවත් මොහොතකින් වාහනයට යටවන්නට යන කාන්තා රූපය බේර ගන්න  රියදුරු - අනිල් තද කළ තිරිංගවල ප්‍රබලත්වය විතාරණට දැනෙන්න වුණේ මෝටර් රථය පාර පුරා කැරකෙමින් යන්නට වූ නිසා.පාර පුරා ඇතිල්ලුණු ටයර් වල ශබ්දය හිතට ඉඟි කළේ  අවිනිශ්චිත මරණය.වාහනයේ හිඳ සිටි ආසනය තදින් අල්ලාගෙන සිටි ඔහුට පෙනුණේ ඒ මේ අත වැටෙන රථයේ ලාම්පුවල එළිය. තවත් තත්පරකිහිපයක් ඇතුළත  විතාරණට ඇහුණේ රථය මහ හඬක් නගමින් ගහක වැදුණු ශබ්දය.ඒ එක්කම ඉදිරි වීදුරුවත් බිඳගෙන විසිවුණු ඔහු නතර වුණේ මහ පාර මැද. නළලෙන් ගලා ගිය ලෙයින් තාර තෙත්වෙන බව විතාරණට දැනුණා.ගසේ වැදී නතරවුණු මෝටර් රථයේ පහන් එළිය විතාරණ හිටි තැනට වැටිලා තිබුණු අතර ඒ එළියෙන් දිලිසුණේ පාර පුරා විහිදුණු වීදුරු කැබලි.
විතාරණ උත්සාහ කළේ හෙමින් සැරේ ඔළුව උස්සලා බලන්න.ඒත් ඒක සෑහෙන්න අමාරු බව ඔහුට වැටහුණා. නොනවත්වා ගලා යන රුධිරය නතර කරගන්න අතින් නළල තදකරගත් ඔහුට පිටුපසින් ඇහුණේ කෙනෙක් හෙමින් සැරේ පියවර තියමින් එන හඬ. ඔව්........ඒ පාවහන් වලට බිඳුණු වීදුරු කටු තදවෙලා.......තව තවත් බිඳෙන හැටි ඇහුණා.හිත  භීතියට පත් කරමින් පාවහන් හඬ විතාරණගේ පිටුපසින් නැවතුණා.ඒත්..........ඒ කෙනාගේ සෙවණල්ලක් තමන්ගේ ඉස්සරහට වැටිලා තියෙන හැටි නම් විතාරණ දැක්කේ නැහැ.


තාරපාරට තද වෙලා තියන පපුව ඇතුළේ ගැහෙන හදවතේ රිද්මය එන්න එන්නම වැඩිවෙන අතරේ ආයෙත් පියවර හඬ විතාරණ පහු කරමින් ඉදිරියට ඇදෙන්න වුණා _ බොහොම හෙමින්. සිහි විසඥ වෙන්න මොහොතකට කලින් ඒ ඇස්වලට බොඳ වෙවී පෙනුණේ හෙමින් සැරේ ඇදිලා යන කාන්තාවකගේ ඔප දැමූ කළු පැහැ උස් අඩි පාවහන්. හෙමින් හෙමින් ඇදුණු පියවර, පාරේ ඉස්සරහට වෙන්න වැටිලා බිඳිලා ගිහින් තිබුණු තමන්ගේ පෙම්වතියට ගෙනාව පාර්සලය උඩින් යන හැටිත් විතාරණ බලාගෙන හිටියා. ඒ පාවහන් පසුපස බිම දිගේ ඇතිල්ලෙමින් යන සුදු සාරි පොට බොඳවෙමින් පෙනෙන විට විතාරණගේ දෑස් පියවුණේ මුළු ලෝකයම අඳුරු කරමින්.

දවස් කිහිපයකට පස්සේ විතාරණට සිහිය එනවිට රියදුරු අනිල් ජීවතුන් අතර හිටියේ නැහැ.ඔහු අනතුරු සිදුවුණු වෙලාවෙම මිය ගිහින් තිබුණා.අනතුරට හේතුව දැන සිටියේ විතාරණ විතරයි. ඒත් .......... ඊට සමාන මරණීය අනතුරු කිහිපයක් ඒ ඉසව්ව පුරා සිදුවෙනතුරු විතාරණගේ ප්‍රකාශය විශ්වාසකරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. අනතුරුවලින් ජීවිත බේරාගත් බොහෝ දෙනක්ට දකින්න ලැබිලා තිබුණේ සුදු සාරියකින් සැරසුණු කාන්තාවක්. කාලයක් යනතුරුම සාරියකින් සැරසුණු ඈ රෑ යාමයේ සක්මන් කළා - ප්‍රතිමාව ඉවත් කරන තුරුම.






ප . ලි :
1)කණුවන හන්දියේ පැවති ප්‍රතිමාව තුඩැල්ල වෙත ගෙන යන තෙක්ම රාත්‍රී කාලයේදී නොයෙකුත් අනතුරු ඒ ප්‍රදේශයේ සිදුවූ බව නොරහසක්. අදාල තොරතුරු සපයා දුන් මා මිත්‍ර ජා-ඇළ ගිම්හාන් ගුණසේකරට  ස්තූතිය!

2).මෙය කිසිවෙකුගේත් චරිතයට හානියක් කිරීමේ අරමුණකින් නොලියවුණු බව සලකනු මැනවි.රසවින්දනය උදෙසා මූලික තොරතුරුවලට ලුණු ගම්මිරිස් එකතු කොට ඇති බව සලකනු මැනවි.

3).මම ලිව්වා වුණත් මේ පෝස්ට් එකට තමයි මම වැඩියෙන්ම අකමැති.ඊයා.

34 comments:

  1. මමත් මේ පාර ලිව්වේ මේ ජාතියේ එකක් නොවැ ,මමත් මේ කතාව අහල තියෙනවා වැඩියෙන්ම කරදර උනේ තරුණ අයටලුනේද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තද? මම කියවලා බලන්නම්.ඔව්...මමත් අහලා තියෙන්නේ එහෙම.බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  2. මම කලින් අහල තියන කතාවක් වුනත් උඹේ ලිවිල්ල නිසා ආයෙ මවිල් කෙලින් වුනා.

    පොඩි දෝෂයක් තියනවා මචන්. රුක්මනී දේවි හැප්පුනේ එයාපෝට් එකේ ඉඳලා එනකොට, තුඩැල්ල පල්ලිය පහු කරලා ටිකක් ඉස්සරහට යනකොට තියනවා ගම මැද පාර. ඒ පාර ගාව තමා අනතුර සිදු වුනේ. ඊට පස්සෙ පිළිමෙ තිබ්බෙත් එතන. එතන පිළිමෙ තියෙද්දි තමයි ඔය හොල්මන් කතා ගැන නිතරම කියවුනේ. එතනදි හරියට ඇක්සිඩන්ට් වුනා .පස්සෙ පිළිමෙ දැන් තියන කණුවනට හැරෙන හන්දියට ගෙනාවා. දැන්නම් මේ ගැන අහන්ඩ නොලැබෙන තරම්. අනතුරුත් අඩුයි. හැබැයි අනතුරු අඩු වෙන්ඩ ප්‍රධානම හේතුව පිළිමෙ අයින් කරපු එකට වඩා ඔතන පාරෙ තිබුන වන්ගුවක් කෙලින් කළා . ඊට පස්සෙ තමා අනතුරු අඩු වුනේ. වංගුව අඩු කරන්ඩ ඕනා ගානට පාර ලොකු කරන්ඩ තමයි පිළිමෙ දැන් තියන තැනට ගෙනාවෙ. ඉස්සර හැමදාම අනතුරකට පස්සෙ රුක්මණී දේවිගෙ පිළිමෙ කළුතෙල් නෑවා.. හෙල සිනමාවෙ කලාකාරයො ටික ඇවිත් බැන බැන සුද්ද කරනවා.. :-)

    මම නම් දවසෙ පැය විසි හතරෙම ඔතනින් තනියම ගිහින් තියනවා.. මට නම් කරදරයක් වෙලා නෑ... මම දැකලත් නෑ..

    මම ලියපු හොල්මන් කතාවෙ කමෙන්ට්ස් බැලුවොත් ඔය ගැන සෑහෙන විස්තර දැන ගත්තෑකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙන්නා විස්තරයට.ඔයා එහෙනං ජා ඇළ පැත්තෙද ඉන්නේ? කළු තෙල් කතාව මමත් අහලා තියනවා. එත් මට ආරංචි වුණු විදිහට එයා හැප්පිලා තියෙන්නේ මාතර උයන්වත්තේ සංගීත ප්‍රසංගයක් ඉවරවෙලා ආයෙත් මීගමුවේ ගෙදරට එනකොට කියලා.කොහොම නමුත් ඔය අනතුරුවලට හේතුව ඔය පිළිමෙම නෙමෙයි කියලා කියන කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
    2. මම ජ-ඇල නෙමේ බන්.. තුඩැල්ලෙ.. පිළිමෙට හූවයි...

      Delete
  3. හොල්මන් කතා... හි හි...
    අපේ තාත්තත් ඔය රුක්මනී දේවි ගේ කතාව කියනවා ඉස්සර... හැපැයි සෙන්නා කියපු කෑලි ටිකත් අන්තිමට එකතු කරනවා..... හි හි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරු අක්කේ.ඒත් ඇයි හැම වෙලාවෙම ඔයා හොල්මන් ගැන කියද්දි හි හි ගාන්නේ? :P

      Delete
  4. නිදහස් වෙලාවක පරණ හොල්මන් කථා ටිකත් කියවන්න ඕනි ජය සහෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.ආයෙත් එන්නකෝ.

      Delete
  5. අම්බෝ...හොල්මන් කතා...

    ReplyDelete
    Replies
    1. හි හි ලිහිණි අක්කා බයවෙලා.

      Delete
  6. කලින් අහල තිබුනෙනම් නෑ..........ඒනිසාම වෙන්න ඇති....කකුල් දෙකත් ඇඳ උඩට අරන් ඔලුවෙ ඉඳලම රෙද්දත් පෙරවගෙන කියවන්න තරම් බය හිතුනේ....ඔයා ලියන විදිය හරි හයානකයි අප්පා.........මැවිල පේනවනේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අග්නි. මේ....මේක එච්චරටම බය නෑ හරිද? lol

      Delete
  7. ආයෙත් හොල්මන් කතාවක්
    මවිල් කෙලින් වෙනවා ලියන ලිවිල්ලට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අවතාර්.මේකේ ඉතිං හොල්මන් කතාම තමයි.

      Delete
  8. Kathava liyala thiyena vidiha patta machan.hithe siddhi tika lesatama mavenava kiyavan yaddi.yaamayata man kamathi ekayi :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මඩේ.ආයෙත් එන්නකෝ ඇවිත් යන්න.

      Delete
  9. හොල්මන් කරපු ඒක කෙසේ වෙතත් ඔතන අනතුරු සිද්ද උනා..රුක්මනී දෙවි නිසා හෝ රියදුරන්ගේ නොසැලකිල්ල නිසා..ඒත් ඒ අනතුරු වල වගකීම ගියේ මිය ගිය රුක්මනිදේවි වෙනුවෙන් හදපු පිළිමෙට..... ඒ අනතුරු වෙන වාරයක් වාරයක් පාසා මිනිස්සු ඔය පිළිමෙට කලු තෙල් තාර වැනි දෑ ආලේප කරලා විනාශ කරන්න හැදුවා .. එකේ ප්‍රථිපලයක් විදියට තමයි දැන් ඔය තියෙන ස්ථානයට පිළිමය ගෙනාවේ.. හොල්මන දැක්කයි කියලා කට කතා තිබ්බට දැක්ක කෙනෙක්නම් හරියටම නැහැලු..

    ඔන්න ඔහොමයි රුක්මනිදේවිත් හොල්මනක් උනේ..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත චමී.එකඟයි.

      Delete
  10. අම්මෝ අදත් භය වුනා.හැබැයි වෙනද තරම්නම් භය වුනේ නෑ..

    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි.ස්තූතියි!

      Delete
  11. හොල්මන් කතාවක් අදත්... ලියලා තියෙන විදිහට ඇත්තටම බය හිතෙනවා... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අලුත් මල්ලි! මේකේ ඉතිං හැමදාම හොල්මන් කතා තමයි.

      Delete
  12. Oh My God..... excellent as usual..... :)

    ReplyDelete
  13. ඔය කතාව පත්තරේකත් දැක්කා..!

    ReplyDelete
    Replies
    1. ඔව්...අනතුරක් වෙලා කළු තෙල් ගෑවහම පත්තරවලත් යනවනේ.ස්තූතියි මෙ පැත්තේ ආවට.

      Delete
  14. ලියලාතියෙන විදිහට කියෙව්ව වෙලාව අවුල්.. :D රෑ 12.45යි අපිට
    උපරිමේට ලියලා තියෙනවා..!

    ReplyDelete
    Replies
    1. නියම වෙලාව.බොහොම ස්තූතියි නන්දු

      Delete
  15. ye! බය නැතුව දවල් කියෙව්වා හි හි :) ම්ම්.... ඔය කතාව අහලතිබුනේ නැහැ.නියමා....යි! ජය!

    ReplyDelete
    Replies
    1. හි හි .බොහොම ස්තූතියි හිරු හිමාවී.

      Delete
  16. මමත් ආවා ඔබේ ගිමන් හලට.මිට කලින් නොදැකපු කථාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගයානි.ආයෙත් ඇවිත් යන්න එන්නකෝ..

      Delete
  17. aththatama hugak asa hithuna . . . :)

    ReplyDelete