Friday, October 19, 2012

එක දවසක්.............මම....


"අම්මේ මම තාමත් ඔයාගේ චූටි පුතා ද?" 
ඉස්සර හැන්දෑවට
කළුවරට බයේ මම අඬනකොට
'උඩ ගිය බබා ' කතන්දර පොත අරං
ඇඳ විට්ටමට හේත්තු වෙලා
මට නින්ද එනකං
කියවපු හැටි මතකයි තවම මට..............
දැන් නම් හැමතැනම කළුවරයි තමයි
ඒත් මම අඬන්නේ නෑ.....

"ඇඬුවට අම්මට ඇහෙන්නෙ නෑනේ අම්මේ"

සීතල වැඩි දවසක
කෑ ගහලා මම අඬනකොට
අර මල් තියන රතු පාට චීත්තෙ
වැලෙන් අරගෙන
මට පෙරවලා - දෑතින්ම බදා
ඔයා සීතලෙන් වෙව්ල වෙව්ලා
හිටිය හැටි මතකයි තවම මට........
මේ වැලිතලාවම සීතලයි තමයි
ඒත් මට දැනෙන්නෑ..........

"මගේ අත් දෙකටයි කකුල් දෙකටයි මේස් දාලනේ එයාලා "

අප්පච්චිට කියන්න
මට ආයෙ සීනි බෝල එපා කියලා
කාලයක් ගතවුණත්
තාම මට බඩගිනි වුණේ නෑනේ
අම්මගෙන් අන්තිමට බිව්ව
කුක්කු වල රස
තාමත් දිව අග තියනවා වාගෙයි
හොඳ බබාලා මැරුණාම
දෙයියෝ ඇවිත් එක්ක යනවා කිව්වත්
තාමත් මම සුදු වැලියටනේ අම්මේ - හරිම පාළුයි

"මට තනියම කෝම්පිට්ටුවක් වත් හදන්න බෑ මේ වැලිවල - අම්මත් එනවද?
 
 
 ප.ලි : 'උඩ ගිය බබා' කියන්නේ මම ජීවිතේ කියෙව්ව පළවෙනි කතන්දර පොත:D:D

Friday, October 12, 2012

තුඩැල්ලේ අවතාරය


"නොගියොත් යළිත් ආ නොහැකිය. යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්ට බැරි ය. නොගොස් එන්ට බැරි ය"

- එනිසා අයෙත් ඇවිත් යන්ට වරෙන් -

ප්‍රාරම්භයට කලින් එළඹුණු අවසානයන් නිසා දුක් විඳින මිනිසුන් ඕන තරම්. ඒත් උන්ට තාමත් සන්තෝස වෙන්න පුළුවන්.ඒ තවමත් උන්ගේ පිටිපස්සෙන් ආත්මීය සාධකයක් විදිහට ඇදෙන සෙවණල්ල නිසා.ඒත්.............සෙවණල්ලක්වත් නැති උන්? උන් මේ අවකාශය තුළ අතරමං වෙලාද? අඩුම තරමේ ...........අඩුම තරමේ තමන්ට අයිතිව තිබුණු මනුෂ්‍යත්වයව පවා අහිමිව!!!



ඒ අසූ ගණන්වල මුල් හරියේ දවසක්. ජා ඇළ කණුවන හන්දියටත් වෙනද වගේම කරුවල වැටුණා. කාලෙකට කලින් හන්දියේ හිටවපු සුදුපාට පිළිමේ හැන්දෑවේ අඳුරින් නැහැවුණේ අහළ පහළ බල්ලන්ගේ උඩු බිරුම් හඬ වැඩිවෙනවාත් එක්කමයි. කඩපිල්වල ලෑලි දොරපළුවලට අගුල් වැටෙද්දි හන්දියෙන් ඒ පැත්තට මේ පැත්තට හරවපු වාහන ගණනත් අඩු වුණා.ඉඳ හිට හරි හන්දිය පහු කරලා යන වාහනයක් වුණත් පිළිමේ ළඟදි ඉගිළුණේ පුළුවන් තරම් වේගය වැඩි කරලා.

විතාරණ කටුනායක ගුවන් තොටුපොළේ නතර කළ ගුවන් යානයෙන් බහිද්දිම වෙලාව රෑ දොළහට විතර ඇති. අවුරුදු ගාණක් පිටරටක රැකියාව කරලා  ලංකාවට ආ විතාරණට ඕන වුණේ කාටවත්ම නොකියා ගෙදරට ගිහින් හැමෝම ම පුදුම කරන්න. රෝල දිගේ ආපු ගමන් මළු දෙකත් අරගෙන ගුවන් තොටුපොළෙන් එළියට ඇවිත් ඊළඟට බැලුවේ කුලීරියක් හොයාගන්න. විතාරණ කතා කරන්නත් කලින් ළඟට ආ රියදුරෙක් අතේ තිබුණු බර ගමන් මළු තමන්ගේ දෑතට ගත්තේ සුහදශීලි විදිහට ඔහු  දිහා බලලා හිනාවෙන ගමන්. ටිකක් ඔබ්බෙන් නවතලා තිබුණු රථය දිහාට ගිය රියදුරා ගමන් මළු බිම තියලා තමන් ළඟ තිබුණු යතුරකින් කාරෙක පිටි පස්සේ ඩිකිය විවෘත කළා.

"පොඩ්ඩක් ඉන්න. ඕකේ බිඳෙන දෙයක් තියනවා.මම ඒක අතේ තියා ගන්නං"

රියදුරා දෙවැනි ගමන් මල්ල ඩිකියට පටව්න්න යද්දි විතාරණ කියන්න වුණා. ඊළඟට ගමන් මල්ල විවෘත කරලා  එළියට ගත්තේ උඩින්ම තිබුණු පාර්සලයක්. රියදුරා දොර හැර දුන් පසු ඉදිරි පස ආසනයේ වාඩිවුණු විතාරණ උකුලේ තබා ගත්තේ තමන්ගේ පෙම්වතියට මිලදී ගත් සුකුරුත්තම් භාණ්ඩ වගයක් සහිත ඒ  පාර්සලය .

රියදුරා රථය පණ ගන්වද්දිම ඉදිරි පස ලාම්පු එළිය වැදිලා හාත්පසම එළිය වුණා.ඊළඟට රථය පිවිසුණේ ගුවන් තොටුපොළ පර්යන්තයෙන් මහපාරට.බොහෝ මගීන් කරනවා වගේම විතාරණත් තමන්ගේ වයසෙම වගේ හිටිය රියදුරත් එක්ක කතාවට වැටුණා. රියදුරා - අනිල් කතාවට දක්ෂයෙක් බව තේරුම් ගන්න විතාරණට වැඩි වෙලා ගියේ නෑ. අනිල් වැඩි පුරම කතා කළේ ලංකාවේ දේශපාලනය ගැන. විතාරණ දේශපාලනයට ඒ තරම් කැමැත්තක් නොතිබුණත් මුඛරි රියදුරාගේ කතාවට ඇහුම් කන් දීගෙන හිටියේ ආසාවකින්. වැඩිමනක්ම කතා බහෙන් ඔහුගේ නිදිමත නැතිවෙන නිසා. රාත්‍රී කාලේ වුණු නිසා පාරේ වාහන ඒ තරම් දකින්න ලැබුණේ නැහැ.ඒ නිසාම රියදුරා රථය ධාවනය කළෙත් බොහොම වේගයෙන්.

ඇතින් ගුවන් තොටුපොළේ විදුලි පහන් වල එළිය පෙනෙන්නේ නැතිව යද්දි විතාරණ්ගේ හිත කාංසියකින් පිරෙන්න වුණා.ඒත් නිවස මතක් වෙද්දි ඇස් පවා එළිය වුණේ ආදරණීය හැඟීම් ගොන්නකින්.

"......ඔව්.......දැන් හැමදේම වෙනස් මහත්තයා.කලබල නං අඩුයි. ඒත් ඒක කොච්චර කාලයක් තියෙයිද දන්නේ නෑ.රජයත් ඉස්සරට වඩා හදිස්සියෙන් තැන් තැන්වලින් මතුවෙන එක එක කල්ලි හැමදේම හොයලා බලනවා.අපට නං සෙතක් නෑ..."

රියදුරු අනිල් ඔහේ කියවගෙන යද්දි විතාරණගේ නෙත් යොමුවුණේ ඩෑෂ් බෝඩ් එක උඩ තිබුණු කැසට් පටි කීපයක් දිහාවට.ඉංග්‍රීසි සින්දු සහිත කැසට් පටි අතරේ තිබුණු එකම එක සිංහල කැසට් පටයක් විතාරණ අතට ගත්තා.

 "රුක්මණී දේවි මැරෙනකොට මහත්තයා ලංකාවේ හිටියද?"

දේශපාලන කතාව ටිකකට නතර කළ අනිල් ඇහුවේ අනෙක් පස ආසනේ ඉඳගෙන කැසට්පටිය දිහා ඇස් දල්වගෙන බලා හිටි විතාරණගෙන්.

"නෑ........එතකොට මම මෙහේ නෑ.ඒත් මට ඒ ගැන  ආරංචි වුණා.....ඉස්සර මම අහන්නෙම රුක්මණී දේවිගෙ සින්දු. ඒත් කාලෙත් එක්කම ඒක අත් ඇරුණා"

".... ඔය පටියත්  රට ඉඳන් ආපු මහත්තයෙක් දාලා ගිය එකක්.මට වැඩිපුරම ඇහෙන්නේ ඉංග්‍රීසි සින්දු තමයි.ගොඩක් වෙලාවට මේකට නගින්නෙත් ලංකාවට එන සුද්දොනේ.අනිත් එක මහත්තයා දන්නවද?  රුක්මණී දේවි ඇක්සිඩන්ට් වුණෙත් තව ටිකක් ඉස්සරහ.මම යනකොට මහත්තයට පෙන්නන්නම්කො"

රියදුරා තවත් ගියරයක් මාරු කරන ගමන් කියන්න වුණා.

"මම දැනන් හිටියේ ඇක්සිඩන්ට් වෙලා මැරුණා කියලා විතරයි.මේ හරියේ කියලා දැනගෙන හිටියෙ නෑ"

විතාරණ එහෙම කිව්වේ අතේ තිබුණු කැසට් පටිය ඩාෂ්බෝඩ් එක උඩට විසි කරන ගමන්.ඒත් ඉලක්කෙ වැරදුණු නිසාදෝ කැසට් පටිය ප්ලාස්ටික් ආවරණයේ වැදී වැටුණේ විතාරණගේ දෙපතුළ ළඟට. අතේ තිබුණු පාර්සලය නිසා බිම වැටුණු කැසට් පටිය ගන්න විතාරණට අමාරු වුණා.

"කමක් නෑ මහත්තයා. ඕක බැස්සට පස්සේ අහුලලා තියන්න පුළුවන්නේ.මහත්තයා පාර්සලය පොඩි කරගන්නෙ නැතුව ඉන්න"

කළුවරේ බිම අතපත ගාන විතාරණට රියදුරා කිව්වා. අනිල්ගේ හඬින් විතාරණ ආයෙමත් බාගෙට ඇරලා තිබුණු ජනෙල් වීදුරුව තුළින් ඈත් කරුවල දිහා බලාගෙන ඉන්න වුණා. අත් ඔරලෝසුව දෙස බැලූ රියදුරාට පෙනුණේ පාන්දර දෙකට මිනිත්තු කිහිපයකට වඩා නැති බව.

පාර දිගට පිහිටලා තිබුණු උස් පහන් කණුවලින් නිකුත්වුණේ මලානික එළියක්.ඒ ආලෝකය පවා උත්සාහ කළේ හිතේ කාලකන්ණිකමක් ඇති කරන්න.සමහර වෙලාවට අයිනේ තිබුණු රූස්ස ගහක අඳුරු සෙවණැල්ල තාර පාරේ පදාසයක්ම වසාගෙන තිබුණා. රථයේ විදුලි පහන්වලින් වත් අඳුර මකාදමන්න ඒ තරම් සෙතක් ලැබුණේ නෑ.පසු බිමෙන් ඇහුණු මෝටර් රථයේ ශබ්දයත් විතාරණගේ හිතට ගෙන ආවේ කරදරකාරී හැඟීමක්. ඒ නිසාමදෝ හිස ඇල කරලා ජනෙල් වීදුරුවට හිස තියා ගත් විතාරණ නිදා ගන්න උත්සාහ කළා. තමන්ගේ දේශ්පාලන කතා නතර කළ රියදුරා තවත් වේගයෙන් රිය පදවමින් හිටියා.

ජනේලයට හිස තියාගත්තත් බාගෙට ඇරපු වීදුරුව තුළින් පෙරිලා ආ හීතල හුළඟ විතාරණට නිදා ගන්න ඉඩ දුන්නේ නැහැ. පපුව පුරාම හිරිගඩු නැංවුවත් මොකද්දෝ හේතුවකට වීදුරුව වහන්න විතාරණ අකමැති වුණා.ඒ වෙනුවට තමන්ව පහුකරලා වේගයෙන් පසු පසට ඇදිලා යන අඳුරු සෙවණලි දිගා බලාගෙන විතාරණ සුසුම්ලන්න වුණා.තවත් මිනිත්තු කිහිපයක් ගතවෙන්න ඇති.රථය ළංවෙලා තිබුණේ තුඩැල්ල හන්දියට.

"මෙතන තමයි මහත්තයා තැන. අර හරියෙදි තමයි රුක්මණී දේවි ගිය වාහනේ හැප්පිලා තියෙන්නේ"

අනිල් එහෙම කියද්දි විතාරණ බාගෙට පියවෙලා තිබුණු ඇස් ඇරලා බැලුවා.මුලින්ම පෙනුණේ සුදු පාට ගාපු පිළිමයක්.සාරියකින් සැරසිලා තිබුණු පිළිමේ අඩ අඳුරේ දී වුණත් රුක්මණී දේවිගේ බව අඳුර ගන්න විතාරණට අමාරු වුණේ නැහැ.කැරලි කැරලි කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් වැටෙන විදිහට ස්කස් කරලා තිබුණේ.සෘජු විදිහට ඈත බලා ඉන්න පිළිමේ විතාරණගේ හිතේ ඇති කළේ ගුප්ත හැඟීමක්.තමන්ගේ පාමුල වැටිලා තියන කැසට් පටය ආයෙමත් සැරයක් විතාරණගේ සිහියට නැගුණා. ඒ කැසට් පටයේ කටහඬ හිමි කාරියගේ පිළිමය තමන් ඉස්සරහින්!!! එක මොහොතකට විතාරණගේ ඇස් ගිණිකන වැටුණේ පිළිමේ සිටවපු දිලිසෙන කළුපාට ආධාරකයේ වැදිලා පරාවර්තනය වුණු වාහනේ ම පහන් එළිය ඇස් දෙකට වැටීමෙන්.

ඒත් එක්කම ජා ඇළ ගම්පහ පාරට හරවපු මෝටර් රථය ඉගිලෙන්න වුණා.අනිල් මුකුත්ම කතා නොකට තදින් සුක්කානම අල්ලගන්න හැටි විතාරණ දැක්කා. ඒ හිතේ තමන්ට නොකියවුණු දෙයක් ඇති බව විතාරණට නොදැනුණා නෙමෙයි.

තව වතාවක්  හැරී වාහනයේ පිටුපස කවුළුව තුළින් බැලූ විතාරණට පෙනුණේ පසුවී යන නිසොල්මන් පිළිමය .

ලොකු හුස්මක් හෙලා පපුව සැහැල්ලු කරගත් විතාරණ හෙමින් සැරේ ආපසු හැරුණා. ඒත් ...............ඒත් ....එක මොහොතකට දකින්න ලැබුණු දෙයකින් විතාරණ ගල් ගැහුණා.දකුණු පැත්තේ රියදුරු ආසනය මත හිඳ සිටි අනිල්ගේ මුව බාගෙට විවර වී තියෙබ බව  දැක්කෙ ඇස් කොණෙන්.දුබල වුණත් වාහනයේ ඉදිරි පස පහන් එළිය වැදී ඇගේ සුදු සාරිය දිලිසුණා.තමන් තත්පර කිහිපයකට කලින් දුටු ප්‍රතිමාවේ රූපයම වාහනයට ඉදිරියෙන් පාර හරහා මාරු වෙන හැටි ඔහුට දකින්න ලැබුණේ එක නිමේෂයකට විතරයි.

ඒත් කැරලි වැටුණු කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් බේරෙන හැටි, හිස ඔසවා බැලූ සෘජු බැල්ම එකට තදවූ දෙතොල් යුග විතාරණගේ ඇස් වලින් වහන් වුණේ නැහැ.තවත් මොහොතකින් වාහනයට යටවන්නට යන කාන්තා රූපය බේර ගන්න  රියදුරු - අනිල් තද කළ තිරිංගවල ප්‍රබලත්වය විතාරණට දැනෙන්න වුණේ මෝටර් රථය පාර පුරා කැරකෙමින් යන්නට වූ නිසා.පාර පුරා ඇතිල්ලුණු ටයර් වල ශබ්දය හිතට ඉඟි කළේ  අවිනිශ්චිත මරණය.වාහනයේ හිඳ සිටි ආසනය තදින් අල්ලාගෙන සිටි ඔහුට පෙනුණේ ඒ මේ අත වැටෙන රථයේ ලාම්පුවල එළිය. තවත් තත්පරකිහිපයක් ඇතුළත  විතාරණට ඇහුණේ රථය මහ හඬක් නගමින් ගහක වැදුණු ශබ්දය.ඒ එක්කම ඉදිරි වීදුරුවත් බිඳගෙන විසිවුණු ඔහු නතර වුණේ මහ පාර මැද. නළලෙන් ගලා ගිය ලෙයින් තාර තෙත්වෙන බව විතාරණට දැනුණා.ගසේ වැදී නතරවුණු මෝටර් රථයේ පහන් එළිය විතාරණ හිටි තැනට වැටිලා තිබුණු අතර ඒ එළියෙන් දිලිසුණේ පාර පුරා විහිදුණු වීදුරු කැබලි.
විතාරණ උත්සාහ කළේ හෙමින් සැරේ ඔළුව උස්සලා බලන්න.ඒත් ඒක සෑහෙන්න අමාරු බව ඔහුට වැටහුණා. නොනවත්වා ගලා යන රුධිරය නතර කරගන්න අතින් නළල තදකරගත් ඔහුට පිටුපසින් ඇහුණේ කෙනෙක් හෙමින් සැරේ පියවර තියමින් එන හඬ. ඔව්........ඒ පාවහන් වලට බිඳුණු වීදුරු කටු තදවෙලා.......තව තවත් බිඳෙන හැටි ඇහුණා.හිත  භීතියට පත් කරමින් පාවහන් හඬ විතාරණගේ පිටුපසින් නැවතුණා.ඒත්..........ඒ කෙනාගේ සෙවණල්ලක් තමන්ගේ ඉස්සරහට වැටිලා තියෙන හැටි නම් විතාරණ දැක්කේ නැහැ.


තාරපාරට තද වෙලා තියන පපුව ඇතුළේ ගැහෙන හදවතේ රිද්මය එන්න එන්නම වැඩිවෙන අතරේ ආයෙත් පියවර හඬ විතාරණ පහු කරමින් ඉදිරියට ඇදෙන්න වුණා _ බොහොම හෙමින්. සිහි විසඥ වෙන්න මොහොතකට කලින් ඒ ඇස්වලට බොඳ වෙවී පෙනුණේ හෙමින් සැරේ ඇදිලා යන කාන්තාවකගේ ඔප දැමූ කළු පැහැ උස් අඩි පාවහන්. හෙමින් හෙමින් ඇදුණු පියවර, පාරේ ඉස්සරහට වෙන්න වැටිලා බිඳිලා ගිහින් තිබුණු තමන්ගේ පෙම්වතියට ගෙනාව පාර්සලය උඩින් යන හැටිත් විතාරණ බලාගෙන හිටියා. ඒ පාවහන් පසුපස බිම දිගේ ඇතිල්ලෙමින් යන සුදු සාරි පොට බොඳවෙමින් පෙනෙන විට විතාරණගේ දෑස් පියවුණේ මුළු ලෝකයම අඳුරු කරමින්.

දවස් කිහිපයකට පස්සේ විතාරණට සිහිය එනවිට රියදුරු අනිල් ජීවතුන් අතර හිටියේ නැහැ.ඔහු අනතුරු සිදුවුණු වෙලාවෙම මිය ගිහින් තිබුණා.අනතුරට හේතුව දැන සිටියේ විතාරණ විතරයි. ඒත් .......... ඊට සමාන මරණීය අනතුරු කිහිපයක් ඒ ඉසව්ව පුරා සිදුවෙනතුරු විතාරණගේ ප්‍රකාශය විශ්වාසකරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. අනතුරුවලින් ජීවිත බේරාගත් බොහෝ දෙනක්ට දකින්න ලැබිලා තිබුණේ සුදු සාරියකින් සැරසුණු කාන්තාවක්. කාලයක් යනතුරුම සාරියකින් සැරසුණු ඈ රෑ යාමයේ සක්මන් කළා - ප්‍රතිමාව ඉවත් කරන තුරුම.






ප . ලි :
1)කණුවන හන්දියේ පැවති ප්‍රතිමාව තුඩැල්ල වෙත ගෙන යන තෙක්ම රාත්‍රී කාලයේදී නොයෙකුත් අනතුරු ඒ ප්‍රදේශයේ සිදුවූ බව නොරහසක්. අදාල තොරතුරු සපයා දුන් මා මිත්‍ර ජා-ඇළ ගිම්හාන් ගුණසේකරට  ස්තූතිය!

2).මෙය කිසිවෙකුගේත් චරිතයට හානියක් කිරීමේ අරමුණකින් නොලියවුණු බව සලකනු මැනවි.රසවින්දනය උදෙසා මූලික තොරතුරුවලට ලුණු ගම්මිරිස් එකතු කොට ඇති බව සලකනු මැනවි.

3).මම ලිව්වා වුණත් මේ පෝස්ට් එකට තමයි මම වැඩියෙන්ම අකමැති.ඊයා.

Monday, October 1, 2012

වෙඩි නොවැදුණු සිහින



විශේෂයි - අද කතාව චුට්ටක්වත් බය හිතෙන්නේ නැහැ.දවසේ ඕනෑම වෙලාවක කියවන්න පුළුවන් :P


කොච්චර සුන්දර වුණත් හීනයක මුල් හරියෙදිම ඇහැරෙන එක හොඳයි. හේතුව ඒ....... හීනයක්ම විතරක් වෙන නිසා. වටෙන්ම අන්ධකාරය ගලාගෙන එන ඉසව්වක ආලෝකයේ හිටගෙන ඉද්දි තව ටිකකින් තමනුත් අඳුරේ වෙලෙන බව දැනෙද්දි යථාර්ථයත් - මායාවත් අතරේ දෝලනය වෙන සිහිනයක අයිතිකාරියක් වුණොත්.....?

මේ.................... ඇගේ කතාව.

අනෙක් හැම අම්ම කෙනෙක්ම වගේ මැණිකෙත් තමන්ගෙ පුතාට ගොඩක් ආදරය කරන්න ඇති. ඉපදෙන්න කලින්ම අප්පච්චි මියැදුණු හින්දා මැණිකෙ සුරන්ජිත්ව උස් මහත් කළේ දහදුක් විඳලා. පුංචි කාලේ සුරන්ජිත්ව නැළෙව්වේ එනසාල් හේනේ පැත්තකින් ගලපු දොළ පාරේ මුණු මුණු තාලෙ හිතෙන් අල්ලගෙන. පුංචි කාලේ ඉණ වටේට පබළු දෙකක් අල්ලපු දියලණුවක් ගැට ගැහුවත් මැණිකෙගෙ හිතේ තිබුණේ තමන්ගේ පුතා ගොවියෙක් වෙනවා දකින්න නෙමෙයි - ලොකු මහත්තයෙක් වෙනවා දකින්න.පුතා ලොකු වෙද්දි මැණිකෙගෙ ලෝකේ එළිය වුණේ හරියට දුම්බර බෑවුමේ, මීදුම මැදින් ඉර එළිය වැටෙනවා වගේ.

අම්මගෙ ආදරේ සුරන්ජිත් නොදැන හිටියා නෙමෙයි.පුංචි ඉස්කෝලයක වුණත් මහන්සියෙන් වැඩ කළ සුරන්ජිත් හැමදාම පන්තියේ පළවෙනියා වුණේ ඒ නිසා වෙන්න ඇති.තරුණ වැන්දඹුවක් වුණත් කාගෙන්වත් කතාවක් අහන්නෙ නැතුව තමන්ගෙ පුතාව උස්මහත් කරන මැණිකා ගැන දුම්බර මිනිස්සුන්ගෙ අහිංසක හිත්වල තිබුණේ ලොකු පැහැදීමක්.එනසල් හේනත් එක්කම ඔට්ටුවෙලා අම්මා හොයලා දෙන සල්ලිවල වටිනාකම සුරන්ජිත් දැනගෙන හිටියා.ඒත් ......හැමදාමත් අම්මට බරක් වෙන්න සුරන්ජිත්ගෙ හිතේ කැමැත්තක් තිබුණේ නැහැ.සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණත් වැඩිදුර ඉගෙනීමක් ගැන හිතන්න තරම් ඒ හිත පෙළඹුණේ නැත්තෙ ඒ සිතුවිල්ල නිසාමයි.සුරන්ජිත් අම්මත් එක්කම හේනේ වැඩට එකතු වුණා. කන්න දෙක තුනක්ම හොඳ එනසාල් අස්වැන්නක් ලැබිච්ච නිසා මැණිකෙගෙ අතමිටත් සරුවෙලා තිබුණේ.

එදා සෑහෙන්න සීතල දවසක්. මුළු දුම්බර යායම වැහිල තිබුණෙ ඝන මීදුමකින්. උදේම හේනෙ ඉඳන් ආපහු එන අතරතුරේ දී සුරන්ජිත්ට දකින්න ලැබුණේ මංජුලාව. ඉස්කෝලෙ යන දවස්වල තමන්ට වඩා පහළ පන්තියක ඉගෙන ගත් මංජුලා ගැන සුරන්ජිත්ගේ හිතේ තිබුණේ අනිත් ගැහැණු ළමයි ගැන තියන හැඟීමමයි.ඒත්............එදා මීදුම මැදින් පල්ලම බැහැගෙන ආ මංජුලාව දැක්ක සුරන්ජිත් ටිකක් චංචල වුණා. තමන්ව පහු කරලා යන මොහොතේ හීනියට කළ ඉඟි කිරීම සුරන්ජිත්ගෙ හිත කළඹන්න ඇති. ආපහු හැරිලා මංජුලා දිහා ආයෙත් වතාවක් සුරන්ජිත් බැලුවා. සුදු ගවුමත් ඇඳන්, ගොතපු කොණ්ඩ කරල් දෙක පද්ද පද්දා ආස හිතෙන විදිහට අඩිය තිය තියා ගිය මංජුලා, සුරන්ජිත්ගේ හිතේ පැළපදියම් වුණේ ඒ මොහොතෙදිමයි .දවස් කිහිපයක්ම මංජුලා පාසල් යන වෙලාවට හේනේ ඉඳන් එන්න සුරන්ජිත්ට හැකිවුණා. උදේ පාන්දරම පීල්ලෙන් නාගෙන  කොට්ටය යට තියලා තිවුණු අලුත් සරමයි කමිසයයි ඇඳගෙන එන සුරන්ජිත්ගේ හිනාව තමන්ගේ කරගන්න මංජුලා පවා සිහින මවන්න ඇති. කාලය ගෙවිලා යද්දි මංජුලා සුරන්ජිත් එක්ක පාන්දර බොල් පින්නේ තෙමි තෙමී කතා කර කර ඉන්න එක ගමේ අයට අමුත්තක් වුණේ නැහැ. මංජුලා සුරන්ජිත්ගෙන් හැමදාම සමුගත්තෙ පාසල පටන් ගන්න ඔන්න මෙන්න කියා තියෙද්දි.සමහර දවස්වල හැන්දෑවට කටු මැටි බිත්තියේ එල්ලලා තිබිච්ච කණ්නාඩිය දිහා බලාගෙන උරුවම් බාන ගමන් කොණ්ඩේ පීරන සුරන්ජිත්ව දැක්ක මැණිකෙට ඒ තරුණ හිතේ හැඟීම තේරුම් ගන්න අමාරු වුණේ නැහැ.ඒත් මංජුලාගේ සංකර ගති ගැන මැණිකෙගේ හිතේ තිබුණේ අප්‍රසාදයක්. වතාවක් දෙකක් පැහැදිලි කර දෙන්න උත්සාහ කළත් සුරන්ජිත් හිටියේ ආදරයෙන් අන්ධවෙලා. තමන්ගේ අම්මට මුළු හිතින්ම ආදරය කළ සුරන්ජිත්ගේ හිත මංජුලා වෙනස් කරලා තිබුණා. ඒත් මැණිකෙට කරන්න දෙයක් තිබුණේ නැහැ - තමන්ගෙ දරුවා උස්මහත් කරන්න වෙහෙසුණු දවස් ගැන හිත හිතා පිල් කඩ උඩට වෙලා කඳුළු හලනවා හැර.

" මං හෙට යනවා. මට කෑම්ප් එකට එන්න කියලා තියනවා"

එදා රෑ හදිස්සියෙම තමන්ගෙ රෙදි පෙරෙදි අසුරන ගමන් සුරන්ජිත් කිව්ව කතාවෙන් මැණිකෙ ගැස්සිලා ගියා. මංජුලාගෙ කීමට තමන්ගෙ පුතා හමුදාවට අයදුම් කළ බව මැණිකෙ දැනගත්තෙ ඒ වෙලාවෙදි. කොච්චර ඈත වුණත් උතුරේ යුධ රස්නෙ දුම්බරටත් දැනිලා තිබුණා. රට රකින්න වුණත් තමන්ගේ එකම පුතා හමුදාවට යන එකට මැණිකෙ තදින්ම විරුද්ධ වුණා. ඇස්වලින් කඳුළු කඩා හැලෙද්දි මැණිකෙ බැණ වැදුණේ මංජුලාට.

"ඔය සක්කර වට්ටම තමයි මගෙ කොල්ලගෙ හිත වෙනස් කරලා තියෙන්නේ.අනේ පුතේ උඹ මට කොච්චර ආදරෙන් හිටියද........?"

මැණිකෙගෙ ඉකි ගැහීම පැල්කොටයෙන් පිටවෙලා රහසේම දුම්බර අඳුරට වැදුණා.ඒත් සුරන්ජිත්ගෙ හිත වෙනස් කරන්න ඒ දේවල් සෑහුණේ නැහැ.

'අම්ම කිව්වට හැමදාම හේන් කොට කොටා ඉඳලා බැහැනේ.අපටත් යන කල දසාවක් තියෙන්න එපායෑ.ඔයා හමුදාවට ගිහින් ජීප් එකෙන් ආපහු ගමට එද්දි මටනේ ආඩම්බර'

මංජුලාගේ ආදරණීය වදන්වල දෝංකාරය සුරන්ජිත්ට ආයෙ ආයෙත් ඇහෙන්න වුණා.ඒත් ඒ වචනවල හැබෑ ආදරයක් නැති බව ඔහුට තේරුණේ නැහැ.

" මම ආයෙත් ගමට ආවහම මංජුලාව මෙහෙට කැන්දගෙන එනවා"

සුරන්ජිත් ස්ථිර හඬකින් එහෙම කියද්දි මැණිකේගෙ පපුව තව තවත් ඇවිලෙන්න වුණා. ඇගේ ඉකිය මහ හැඬුමකට පෙරළුණේ ඒ වෙලාවෙදි.

"අනෙ මයෙ පුතේ.උඹට අමතකද උඹෙ අප්පච්චිත් නැති කොට මම උඹව උස් මහත් කළ හැටි. හේන පාළුවෙලා දෙන්න කිරි පොදක් තනේ නැති වෙද්දි උඹට කිරි හෙව්වෙ උඩව්වෙ වැස්සියන්ගෙ ගොම ඇදලා.එහෙව් උඹ කොහෙවත් ඉන්න මායාකාරියකගෙ දැපනෙ වැටිලා ඔය යන්න හදන්නෙ මරු කටට.පොඩ්ඩක් අහපන්.උඹ නැති වුණොත් මං මේ ලෝකේ තනිවෙනවා.කොහොමත් ඔය සක්කර වට්ටම මේ ගෙදරට ගේන්න මම උඹට ඉඩ දෙන්නෙ නෑ......නෑමයි"

මැණිකෙ පොළොවේ හැපි හැපී කිව්වත් සුරන්ජිත්ගේ හිත වෙනස් වුණේ නැහැ.

"හහ්"

සුරන්ජිත් මැණිකෙ දිහා බැලුවෙ ඔලොක්කොවට වගේ. පහුවදා උදේ පාන්දරම ගෙදරින් පිටවෙලා යන තමන්ගෙ ආදරණීය පුතා දිහා මැණිකෙ බලාගෙන හිටියා.හැමදාම තමන්ට වැඳලා ආශීර්වාද අරගෙන ඉස්කෝලේ ගිය සුරන්ජිත් තමන් දිහා නොබලාම යන හැටි දුටු මැණිකෙගෙ හිතේ ඇති වුණේ ලොකු කැක්කුමක්.

කාලය ඔහේ ගෙවිලා ගියා. වෙනදා වගේම එනසාල් හේනට හඳ පායන හැටි මැණිකෙ බලා හිටියා.ඒත් සුරන්ජිත් නැති අඩුව මුළු පපුව පුරාම කරක් ගහද්දි ඇස්වලින් බේරෙන ආදරණීය කඳුළු කැට නවත්ත ගන්න නම් පුළුවන් වුණේ නැහැ.එදා හැන්දෑවේ පහළ බෑවුමේ මීදුම අස්සෙන් බස්සෙක් හඬද්දි මැණිකෙගෙ හිත වෙලුණේ ලොකු බයකින්. මොකක් නමුත් අසුබ දෙයක් වෙලා තියන බව ඒ හිතට දැනුණා. පාන්දරජාමේ පණිවුඩය අරන් ආවේ හමුදාවේ මහත්තුරු දෙන්නෙක්. තවත් ටික වෙලාවකින් මැණිකෙගෙ විලාපය මුළු දුම්බර බෑවුමම වෙලා ගනිද්දි අහල පහල හැමෝමවගේ පුංචි පැල්කොටයට රැස් වුණා.මැණිකෙ ඇඬුවේ මංජුලාට සාප කර කර.දවල් වෙද්දි සුරන්ජිත් ආවා - වාර්නිෂ් ගාපු ලී පෙට්ටියක හැංගිලා. සීල් කළ මිනීපෙට්ටියේ මොනවා තියෙනවාද කියලවත් නොදැන ,මැණිකේ පෙට්ටිය උඩින් වනලා තිබුණු සිංහ කොඩිය කඳුළුවලින්ම තෙත් කරන්න වුණා.මෙහෙයුමෙන් පස්සෙ සුරන්ජිත්ගේ ශරීරයේ ගත යුත්තක් ඉතිරිවෙලා නොතිබුණ නිසා ඔහේ අමුණපු කෑලි වලින් හමපු කුවිලයක් පැල්පත පුරා සැරි සැරුවා. දවසකට පස්සේ දුඹුරු පාට වාර්නිෂ් මිනී පෙට්ටිය කඳු මුදුනට වෙන්න කපපු වළක සැඟවුණත් මංජුලා ඒ පැත්තටවත් ආවේ නැහැ.

සුරන්ජිත් ගමේ නොහිටි කාල වකවානුවේදී මංජුලාගේ අලුත් මිත්‍රයා වුණේ සුරන්ජිත්ගෙම යාළුවෙක්. මාස දෙක තුනක් තිස්සේ සුරන්ජිත් එවපු සල්ලිවලින් මංජුලා විනෝද වුණේ තමන්ගෙ අලුත් මිත්‍රයත් එක්ක.


තමන්ගේ එකම පුතා පස් යට තනිකරලා ඇවිත් දවස් තුනකට පස්සේ රෑ යාමයක මැණිකේ දැක්කේ අමුතුම හීනයක්.හමුදා ඇඳුමෙන් සැරසුණු සුරන්ජිත් හිටියේ කඳු මුදුණේ තමන් වළ දාපු  වළ ගාව.මැණිකෙ තනිකරම සුදු සරියකින් සැරසිලා තමන්ගේ පුතා දිහා බලා ගෙන හිටියා. වටෙන්ම මීදුම ගලා ගෙන එද්දි හෙමින් හෙමින් අඩිය තියලා ළං වුණු සුරන්ජිත් මැණිකෙ ඉස්සරහා වැඳ වැටුණා. ඒ බැල්මේ තිබුණේ සමාව ඉල්ලන ස්වරූපයක්.

" මට සමාවෙන්න අම්මේ"

දණ ගහගෙන හිටිය තැනින් නැගිටුණු සුරන්ජිත් මැණිකෙට කිව්වා.

"මයෙ පුතේ........"

මැණිකෙ එහෙම කියන ගමන් තමන්ගේ පුතා වැළඳ ගන්න උත්සාහ කළත් අතට අසුවුණේ හිස් අවකාශය විතරයි.

" එදා අකීකරු කමට අම්මගේ හිත රිදවලා ගෙදරින් ගිය නිසා මට තවමත් මේ ආත්මයෙන් නිදහස් වෙන්න බෑ අම්මේ. අම්මා හැමදාම මා වෙනුවෙන් පින් දෙන්න. හාමුදුරු කෙනෙක්ට දානයක් දීලා මට පින් අනුමෝදනා කරන්න කියන්න. ඒ එක්කම පුංචි කාලෙදි අම්මා මගේ ඉණේ බැන්ද මේ දිය ලණුව පන්සලේ බොධියේ අත්තක ගැට ගහන්න.එතකොට මට මේ ආත්මයෙන් නිදහස් වෙලා සුගතියට යන්න පුළුවන් "

මැණිකෙ බලාන ඉද්දිම තමන්ගේ ඉණේ රැඳිලා තිබූ නූල ගලවපු සුරන්ජිත් පැත්තකින් තිබුණු මිනීවළේ පස් කන්ද මත තැන්පත් කළා. මැණිකේ ඇහැරුණේ ඒ වෙලාවෙදි. හීනයකින් වුණත් සුරන්ජිත් කියපු ඒ දේ මැණිකෙගේ හිතේ සටහන් වුණා. දවස් දෙක තුනක්ම එකම විදිහට ඒ හීනය පෙනෙන්න වුණාම මැණිකේ තීරණය කළේ තමන්ගේ පුතා වළ දැමූ තැනට යන්න. උදේම සුදු සාරියකින් සැරසුණු මැණිකේ හෙමින් හෙමින් කඳු මුදුනට ගියා.මීදුම මැද්දෙන් වුණත් මිනී වළේ පස් කන්ද දැකපු මැණිකෙට හැඬුම් එන්න වුණා.

පස් මත හිටවපු පොල් මල තිබුණේ පරණ පාටකට පත්වෙමින්. මැණිකේ දණ ගහගෙන පස් කණ්ඩියට ඔළුව තියා ගත්තා.තවත් ටික වෙලාවකින් ඔළුව උස්සද්දි දැක්කේ ඉණ නූලක්. කළු සුදු පබළු දෙකක් රැඳුණු ඉණ නුල සුරන්ජිත්ගේ බව මැණිකෙ අඳුර ගත්තේ සැකයක් නැතුවමයි.ඒත්..........ඒත්.........සුරන්ජිත්ගේ ඉණ වටේ තිබුණු දිය ලණුව එතෙන්ට ආවේ කොහොමද? මැණිකෙ වික්ෂිප්ත වුණා.ඇය හිටියේ මායාකාරී හීනයකුත් යථාර්ථයත් අතරේ අතරමං වෙලා.

කොහොම නමුත් හීනයෙන් සුරන්ජිත් කී විදිහටම දාන මාන දී පින් අනුමෝදනා කරන්න මැණිකේ අමතක කළේ නෑ. එක හැන්දෑවක පන්සලට ගිය මැණිකේ සොහොනේ පස් කන්ද මතින් අහුල ගත් දිය ලණුව බෝ අත්තක ගැට ගැහුවේ ලොකු වේදනාවක් හිතෙන් අයින් කරගන්න ගමන්. ඒත් ඊට පස්සේ කිසි දවසක සුරන්ජිත් මැණිකෙට හීනෙන් පෙනෙන්න වුණේ නෑ.


ඔහු සුගතියට යන්න ඇති - අනුමෝදනා කළ පිනෙන් - අම්මගෙ ආදරයෙන්.

ප.ලි : ප.ලි : නාමයන් පමණක් මනඃකල්පිතය.