මේ හරිය ගොඩක් පාළුයි. සැතපුම් ගණනාවකට ඉන්න එකම මනුස්ස පරාණය මම වෙන්නැති. හිම කැටිති ආයෙත් 'සට සට' ගාලා ජනෙල් වීදුරුවේ වැදෙන හඬ ඇහෙනවා. දියාරු හිම පියලි ඒ මත රටා මවාවි - ආදරණීය තුහින ඡායාවන්. මම ජනේලය ළඟින් අයින් වුණේ කෙලවරේ ෆයින් ගහේ අන්තිම කොළයත් හිම පොළොව සිප ගන්න හැටි දැක්කටත් පස්සෙයි. ඇය තවදුරටත් මා ළඟ නැහැ තමයි.ඒත්...............මට සීතලක් දැනෙන එකක් නැහැ.ශරත් කාලෙ අපි දෙන්න එකතුවෙලා මිටි බැඳපු දර තියන මඩුවේ දොර ඇරල තියන හැටි මට පෙනෙනවා.ඔව්..........ගිනි උදුනට ඇති තරම් දර තියෙනවා.ලොකු හුස්මකින් මගේ පෙනහළු පිරෙනවා.ඒ හුස්ම පිටවෙලා යද්දි සුන්දර මතකයන් මගේ ඉස්සරහ ජීවමාන කරනවා - ආයෙමත් ආදරෙන්...........
ඒ අවුරුදු දෙකකට කලින් දෙසැම්බරයේ දවසක්.මට හොඳට මතකයි.මම මෙහෙට පදිංචියට ඇවිත් ගතවෙලා තිබුණේ හරියටම සතියයි.එදත් මේ වගේම හිම වැටෙන්න වුණා.මම ජනේලය ළඟ හිටගෙන ඈත ෆයින් ගහ දිහා බැලුවා.මගේ උණුසුම් හුස්ම වැදිලා ජනෙල් වීදුරුවේ මීදුම බැඳෙද්දි ආයෙ ආයෙමත් අතින් පිහ දම දමා මම බැලුවේ ෆයින් ගහේ ඉහළ අතු දිහා.
ඇය මගේ පුංචි ගේ දිහාට එන හැටි මම දැක්කෙ නැහැ.මට ඇහුණේ එක පාරටම ඉස්සරහ දොරේ වසන්ත සීනුව නාද වෙන හැටි විතරයි.බර්ලින් වලින් සෑහෙන්න ඈත පළාතක තනියම ජීවත් වුණු නිසා හදිස්සියේ සීනුව නාද වීම් මගේ හිතේ ඇති කළේ චකිතයක්.ඒත් මම දෙපාරක් නොහිතාම දොර විවෘත කළා.ඈ පුදුමාකාර රූමත් යුවතියක්.සුදු රෝස මලක් සවි කරපු කළු පාට ලොකු හිස් වැස්ම දෙපැත්තෙන් එළියට විහිදුණු ඇගේ තඹ පාට කෙස් කළඹ තිබුණේ සුළඟින් සෙලවෙමින් . ඇය කතාව පටන් ගත්තේ පිට කබායේ උරහිස් මත රැඳුණු හිම පියලි පිහදාන ගමන්.
" මහත්මයා........ මම ගොඩක් දුර ඉඳලා එන්නේ.කරුණාකරලා ඇතුළට එන්න අවසරද? "
ඇගේ රෝසපාට තොල් පෙති මිමිණුවා.මම දොර ළඟින් මෑත් වුණේ ඇතුළට එන්න හිසෙන් සන් කරන ගමන්. ගැලවුණු කබාය දොර මුල්ලෙ තිබුණු කබා එල්ලනයෙ එල්ලිද්දි ඇගේ සුන්දර සිරුර තවත් හොඳින් මට පෙනුණා.පරණ මෝස්තරයේ ඇඳුමක් වුණත් ඒක ගොඩක් පිළිවෙලයි.ඇගේ දෑතේ දිගු ඇඟිලි එකට වෙළුණා.සද්දයක් නොනැගෙන විදිහට ඕක් ලී පොළොව මතින් ඔබ දැමුණු කළු සපත්තුවලින් වැසුණු සිඟිති පාද තැබූ ඈ, ළංවුණේ විසිත්ත කාමරයේ කළවර පිහිටි ගිනි උදුන දිහාවට.දණහිස තරම් දිගු වුණත් ඇඟටම හිරවුණු සාය ඇගේ ගමනට අනුව සුන්දර සිරුරෙ හැඩය මතු කරන හැටි මම බලාගෙන හිටියේ වික්ෂිප්ත වෙලා.ඈ ඒ තරම්ම සුන්දරයි.
"මහත්මයා මගේ නම ඊවා........"
ගිනි උදුනට පිටුපලා මා දිහාවට හැරුණු ඈ කීවා. ඒ ඇස් කෙලින්ම යොමුවුණේ මගේ ඇස් දිහාවට.ඒ බැල්මේ දහසක් දේ ලියැවිලා තිබුණත් කිසිම දෙයක් වෙන්කර හඳුනාගන්න මට හැකිවුණේ නැහැ.මම කෝපි පෝච්චිය ලිප උඩ තිබ්බේ ඊවා එක අතකින් ඇගේ අනෙක් අතේ වෙදැඟිල්ලෙ තිබුණු මුදුව පිරිමදින අතරේ.ඊළඟට අපි ජනේලය ගාව තිබුණු කුෂන් පුටු දෙකේ වාඩි වුණේ මුහුණට මුහුණ පෙනෙන විදිහට.හිම අතරින් පෙරිලා ආපු මුදු එළිය ඊවාගේ මුණට වැටිලා තිබුණා. ඒ මුහුණේ තිබුණේ අස්වාභාවික ගතියක්.පළවෙනි වතාවට පුදුමය පහතට දමලා චකිතය කියන හැඟීම මගේ හිත ඇතුළෙන් නැගීගෙන ආවා. ඊවා කතාව පටන් ගත්තා.කතාවෙ ගැඹුරට යද්දි මගේ හිතත් චංචල වුණේ පැහෙමින් තිබිච්ච කෝපි පෝච්චියේ වතුර වගේ.
".......................අපේ අවාසනාව ළං වුණේ ශීත සෘතුවෙ ආරම්භයත් එක්කමයි. උතුරු මුහුදේ හිම මිදෙන්න පටන් ගත්තහම අපේ නැව් වලට ඉලක්ක කරා යන්න අමාරු වුණා.ඒ වෙලාවෙදි තමයි උන් පහර දුන්නේ.අන්තිමට එඩී තීරණය කළා මියුනිච් වල ඉඳන් බර්ලින් වලට එන්න.කාටවත් නොපෙන්නුවත් එඩීගේ මුහුණේ ලියවෙලා තිබුණු දේවල් මට අඳුර ගන්න අමාරු වුණේ නැහැ. ඒක ඇත්ත , මම එයාගෙ බිරිඳ වෙලා හිටියෙ පැය හතළිහයි.ඒත් මම අවුරුදු දාසයක් තිස්සේ එයාව දැනගෙන හිටියා.ඒ මූණේ තිබුණේ පරාජය විතරමයි.........අන්තිමට අපි බර්ලින්වල, පාළුවට ගිය පැත්තක ගොඩ නැගිල්ලකට කොටුවුණා. ළඟින්ම හිටිය කිහිප දෙනා ගැන වුණත් ලොකු විශ්වාසයක් අපට තිබුණේ නැහැ.ෂෙල් වෙඩි පුපුරරන හඬ මැද්දේ එඩී විවාහ යෝජනාවක් ගෙනෙනකොට මට සතුටක් දැනුණේ නැහැ.දෙවියන් ඒක දන්නවා ඇති.ඒත් මට වෙන විසඳුමක් තිබුණේ නැහැ. අපි පොළොව යට රහසෙම විවාහ වුණා.එඩී මුළු ජීවිත කාලෙටම තමන්ගෙ අතින් මරා දැම්මේ එයාවම විතරයි.ඒත් වධකාගාරවල හුස්ම හිරකරලා මරා දැමුණු මිනිස්සුන්ගේ, අමු අමුවෙම මරා දැමුණු යුදෙව්වන්ගේ, හේතුවක් නැතුවම මරා දැමුණු මිලියන හැත්තෑවකගෙ ශාපය වැදුණේ එඩීට විතරක් නෙමෙයි.ඇඩ්ලොෆ් හිට්ලර්ගෙ බිරිඳ විදිහට මමත් ඒ ශාපයෙන් තවමත් දුක් විඳිනවා.....මේ මුද්ද....එදා රෑ සිය දිවි නසාගන්න පැය ගාණකට කලින් එඩී මට දාපු මේ මංගල මුද්ද ගලව ගන්න බැරුව තවමත් මම දුක් විඳිනවා....ඒ ශාපයෙන් මම පිච්චෙනවා.....මහත්මයා........මාව මේ ශාපයෙන් ගලව ගන්න......කරුණාකරලා.... "
ඇය මගේ දණහිස ළඟ වැටිලා අයදිද්දි මගේ ඉස්සරහ ඉන්නේ මළගිය ප්රාණ කාරියක් බව එක මොහොතකටවත් හිතුණේ නැහැ.ඒ ඇඟිලි තුඩුවල මරණීය සීතල මට දැනුණා තමයි - ඒත් - ඒ මුහුණේ තිබුණු අනුකම්පාව යදින බැල්ම නොසලකා ඉන්න මට බැරිවුණා.
"ඒත් ඇයි ඔබ මගෙන්ම මේ විදිහට උදව් ඉල්ලන්නේ.පහුගිය කාලෙටම ඔබට කවුරුවත් උදව් කළේ නැද්ද?"
ඒ වචන මගේ මුවින් ඉබේ පිටවෙන්නැති.
"මහත්මයා............මම මිනිස්සු දහස් ගණනක් ඉස්සරහ දණ ගහල තියනවා,කුණාටු හමන සොහොන් ළඟ වැටිලා අඳෝනා නගලා තියනවා. පල්ලිවල ස්වාමි වරුන් ළඟ වැඳ වැටිලා තියනවා.ඒත් කවුරුවත් මා වෙනුවෙන් යාඥා කළේ නැහැ.හැමෝම මට ශාප කළා විතරයි.ඒත් මට දැනෙනවා ඔබ වෙනස් කියලා.මම පතනවා ඔබ වෙනස් වේවි කියලා.......කරුණාකරලා.."
".........හොඳයි......මම ඔබ වෙනුවෙන් යාඥා කරන්නම්.මට කරන්න පුළුවන් එච්චර තමයි"
සෑහෙන්න වෙලාවක් කල්පනා කළ මම, ඇයට කියන කොට ඒ මූණ එළිය වුණු හැටි මට තවමත් මතකයි.එදා ඉඳන් හැම හැන්දෑවකම මම ඇය වෙනුවෙන් දෙවියන් ඉදිරියේ දණ ගැහුවා.දෙවියෝ මට සමාව දේවි.
ඊවා මාත් එක්කම නැවතුණා.මේ ගෙදරම ජීවත් වුණා. මම දන්නෙ නැහැ ඒක ජීවත් වීමක්ද නැද්ද කියලා.ඊවා කවදාවත් කෑමට වාඩි වුණේ නැහැ.ඒත් මම කෑමට වාඩිවෙද්දි මේසේ උඩ ඉටි පන්දම පත්තු කරල තියන්න අමතක කළේ නැහැ.ඇයට තිබුණේ එක ඇඳුමයි. කවදාවත් කිළුටු නොවුණු, බොහොම පිළිවෙලට තිබුණු ඇගේ අන්තිම ඇඳුම.හතළිස් ගණන්වල මැද හරියෙදි සියදිවි නසා ගන්න කොටත් ඒ ඇඳුම ම ඇඳන් ඉන්න ඇති. ජීවත් වුණත් නැතත් ඇය මා වෙත අරගෙන ආවෙ නම් 'ජීවිතයම' තමයි.පාළුවේ කාන්සියේ ඔහේ ජීවත් වුණු මට ඊවාගේ මිත්රත්වය මහ මෙරක් වුණා.නෑ...............ඒක ආදරය නෙවෙයි.ඊටත් වඩා පාරිශුද්ධ මිත්රත්වය. මිලියන ගාණක් මරන්න අණ දුන් මිනීමරුවෙකු වුණත් ඔහුගේ හිතත් ඇය ඉදිරියෙ නැමෙන්න ඇත්තෙ ඒ හදවතේ තිබුණු තෙතමනය නිසාම වෙන්නැති.
ෆයින් ගහේ කොළ අවුරුදු දෙකක් ඇතුළත දෙපාරක්ම තඹ පාට වෙලා පාමුල හැලෙද්දිත්, ආයෙත් කොළ පාටින් බැබළෙද්දිත් ඊවා මා ළඟ හිටියා.උදේ නැගිටිද්දි ගේ දොර අස්පස් කරලා කෝපි පෝච්චියේ වතුර උණු වෙන හඬ ඇහෙනවා.ඒත් ඇය කවදාවත් කෝපි උගුරක්වත් නොබිව් බව මම දැනන් හිටියා - මළවුන්.
මම පහළ වත්තෙ එළවළු හිටවන කොට ඈ මාත් එක්කම සැරිසැරුවා.මගෙ ළඟින්ම හිටියා.මුල් දවස්වල චකිතයක් තිබුණත් පස්සෙ පස්සෙ ඇය නොදැක ඉන්න මට බැරි වුණා.හැන්දෑවේ බයිබලය අතට අරන් සුරුවම ඉස්සරහ දණ ගහන කොට ඊවාගෙ මූණ එළිය වෙන හැටි මට මතකයි.මම දෙවියන් යැද්දා.ඇය වෙනුවෙන් - දෑ අවුරුද්දක්ම.
ශිශිරයේ සමහර හැන්දෑවල මිදුලෙ පැත්තක ගොඩගහල තියන මහත දේවදාර කඳන් උඩට වෙලා අපි ඔහේ කතා කර කර ඉන්න පුරුදු වුණා.ඉතිහාසේ වැලලිච්ච සමහර සිදුවීම් මම දැනගත්තෙ ඊවාගෙන්.ඒ වෙලාවට මට දැනුණේ ඇය තාමත් ජීවත් වෙනවා වගේ.ඒත් තවත් ටික වෙලාවකින් නැගුණු හඳේ එළියෙන් ඇගේ ඡායාවක් නොපෙනෙනකොට මගේ හිත බිඳුණෙ නැතුවමත් නෙමෙයි. දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් ගතවුණා.මම යාඥාකරලා අවසන් වුණු හැම දවසකම ඊවා කළේ එයාගේ ඇඟිල්ලක රැඳිලා තිබුණු රිදී පාට මගුල් මුද්ද ගලවන්න හදපු එක. ඒත් ඒක අන්තිමේදි ගැලවුණේ.............ඊයේ හැන්දෑවේ. මම බයිබලය වහලා බැලුවේ ඇගේ මුහුණ දිහා.නිදහස! ආත්මයකට ලැබිය හැකි පූර්ණ නිදහස ඒ මුහුණේ ලියැවිලා තියෙන හැටි මම දැක්කා.ඊළඟට ගැලවුණු මුදුව ඇය දිගු කළේ මගේ දිහාවට.මගේ අත්ල මතට ආ මුදුව මම තැන්පත් කළේ ගිනි උදුන් පඩිය උඩ.ඒක තවමත් එතනමයි.........
හිම වැටෙන අඳුරේ නොපෙනී යන්න කලින් දොර ළඟ නැවතුණු ඊවා මගේ කම්මුලට දුන්නේ හාද්දක්.හිම වලටත් වඩා සීතල දෙතොල් කොපුල් තලයේ ස්පර්ශවෙලා මගේ මුළු ආත්මයම දුකින් පුරවන්න ඇති.ආදණීය 'මළ මිතුරිය' නොපෙනී යන හැටි මම බලාගෙන හිටියා.ඇගේ ආත්මීය ශරීරය හිම හුළඟ එක්ක ඔහේ පාවෙලා ගියා.තවදුරටත් පාළු සොහොන් පිට්ටනිවලට ඉහළින් හමන කුණාටුවලට ඇගේ අඳෝනාවන් මුසු නොවෙනු ඇති.තමා වෙනුවෙන් යාඥාකරන තුරු බලා සිටීමට ඇයට අවැසි නොවෙනු ඇති.
ඉතිහාසයේ ශාපයෙන් වේදනා විඳි ඈ, මගේ යැදීමෙන් සුවපත් වී තවත් සුන්දර ලෝකයකට ගොඩවදින්න ඇති.ආයෙමත් තනිවුණත් ඇය මට දුන් මතකයන් හැමදාමත් දිදුළාවි - හරියට උදුනේ ගිනිදළු එළිය වැදිලා දිලිසෙන ඇගේ මුද්ද වගේ.
ප . ලි : මේක මම ගොතපු කතාවක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.පහුගිය දවස්වල මට අලුත් කතාවක් ලැබුණේ නැහැ.ඒකයි මේක publish කළේ.කතාවක් ලැබුණු ගමන් දාන්නම්.


ගෙතුවා උනත් ලස්සනට ලියැවිලා තියෙනවා...
ReplyDeleteමරු...
මේ රසයට කියන නම හිතා ගන්න බෑ..
බොහොම ස්තූතියි තරී.කොහොම හරි නව රසය ඇතුළෙ තියන රසයක් තමයි.
Deletelassanai kathawa a wagema amuthu kathawak. :)
ReplyDeleteබොහොම ස්තූතියි අරලියා.
Deleteගෙතුවා උනත් වෙනද වගේම කුතුහලයනම් හොදට තියෙනවා..
ReplyDeletethankz දිනේෂ් අයියේ..
Deleteනියමයි.. මරුවට ලියල තියෙනව... ආසායෙන් කියවගෙන ගියා... :)
ReplyDeleteබොහොම ස්තූතියි සාතන් අයියේ..
Deleteනියමයි! කොහොමත් ඔබ ලියන ඒවා නියමයි!
ReplyDeleteජය!
බොහොම ස්තූතියි හිරු හිමාවී..
Deleteගෙතුව කතාවක් වුනාට හැමදාමත් වගේ රසබර කතාවක්.හැබැයි වෙනද කතාවල වගේ අද කතාවනම් ඒ තරම් බයක් දැනුනේ නෑ.
ReplyDeleteබොහොම ස්තූතියි හිමා.හැමදාම ඔයාලව බය කරන්න හොඳ නැහැනේ,..
Deleteයකෝ මෙහෙම කතාවක් ගොතන්ඩ හොඳ පරිකල්පන ශක්තියක් තියෙන්ඩ ඕනා.. නියමයි..
ReplyDeleteමට දැන් වෙලාවකට හිතෙනවා උඹ ඇත්තටම මළවුන් එක්ක ගණු දෙණු කරනවද කියලා.. :-)
පරිකල්පන මෙව්ව එක...lol..මළවුන්?අම්මෝ මම ඕවට නැහැ.
Deleteඅමිල හැමදාම වගේ අප්පිරියාවක් නැතිව කියවන්න පුළුවන් කතාවක්.
ReplyDeleteඔයාගේ ලිවීමේ හැකියාව මෙන්ම සෙන්නා කිව්වා වගේ පරිකල්පන ශක්තියත් ගොඩක් ඉහලයි.
දිගටම ලියන්න අපි ඉන්නවා කියවන්න... ජය
බොහොම ස්තූතියි ශානක.ඔය වචන තමයි මගේ ශක්තිය.
Deleteඇත්තටම ගොඩාක් ලස්සනයි....කතාව ඉවර වුනා කියල දැනුනෙවත් නෑ....මාත් ඒ කතාවෙ ජීවත් වුනා වගේ දැණුනා....
ReplyDeleteබොහොම ස්තූතියි අග්නි.හැබැයි ඒ කතාවේ ජීවත් වුණා නම් මට ඔයත් එක්ක chat කරන්නත් බයයි...
Deleteලේසියෙන් කෙනෙක්ට නැති ටැලන්ට් එකක් උඹට තියෙන්නෙ මචෝ.....
ReplyDeleteඒක හොඳට පාවිච්චි කරලත් තියනවා.. හැමෝටම ඒ වැඩේ බැහැ.. කතාව සුපිරියි
බොහෝම ස්තූතියි ජිනේ...
Delete