Wednesday, September 19, 2012

කළු පාලම






ඉස්සර හැන්දෑවට
කළු පාලමේ ඇන්ද උඩ
එක ළඟින් ඉඳගෙන
පහළින් ලෙලෙන
ජල තලයේ මැවෙන
බල බලා අපේ රූ දෙස
ඉඟි කළා මතකද..............?

'ඒකි බොරුකාරියක්'
කියල කිව්වහම
රවල මා දෙස බලා - උඹ
විසිකළා කළු ගලක් ගං දියට
බොඳකළා මිතුරු රූ
එක ළඟින් හිඳ කෝලම් කෙරූ...............

අපල කාලය ළංවී
චපල ආදරය අහිමිව
සිහින බොඳවී අඳුරු වූ විට
ඇයි සිතුවෙ හාදු දෙන්නට
වියළි සිල්පරයකට - නුඹ...........

මගේ රුව විතරක් අද
මැව්වත් පහළ ගං දිය
මියැදුණු මිතුරු මතක සිහි කර
තවමත් මම මෙතන
කළු පාලමේ ඇන්ද උඩ
ඉස්සර වගේම...........




ඡායා රූපය : නිලූෂාන් රුසිරු (අන්තර්ජාලයෙන්)

Sunday, September 9, 2012

High heels - සංඝමිත්තාවේ සැරිසරන්නිය


ආදරවන්තයන්ගේ පටුමග දිගේ පිපුණු ක්‍රිසැන්තිමම් මල්වල සුවඳ තවමත්.....මහවැලියේ නිසල ජල තලය මතින්, හඳ පෑයූ දවසට හමනවා ඇති - අකාලයේ මළ ආදරවන්තයන්ගේ, නොමළ ආදරය කොඳුරමින්.


මේ.........පේරාදෙණියේ තවත් එක් කතාවක්......

නෑ............මම ලැහැස්තිවෙන්නේ 'හිල්ඩා ඔබේසේකර' නේවාසිකාගාරයේ සැරිසරන සුප්‍රසිද්ධ හිල්ඩා කුමාරි ගැන කියන්නවත්, 'අක්බාර්' එකේ ජනෙල් පඩි උඩ නැගලා ඉන්න මිටි මනුස්සයා ගැන කියන්නවත්, 'මාර්කස් ප්‍රනාන්දු' එකට යනපාරේ රෑ යාමයට පෙනෙන විකාර ගැන කියන්නවත් නෙමෙයි.මේක වෙනස් කතාවක්.


පවුලෙ එකම දරුවා විදිහට රත්නපුර දිස්ත්‍රික්කයේ සුන්දර පළාතක හැදුණු වැඩුණු නිසාම බීටා ගොඩක් වෙලාවට කැමති වුණේ තනියම ඉන්න.සමහර දවස්වල හැන්දෑවට නේවාසිකව හිටිය 'සංඝමිත්තා' එකේ පළවෙනි තට්ටුවට වෙලා ඈතින් පෙනෙන හන්තාන දිහා බලා ඉන්නත් ඇය පුරුදු වෙලා හිටියා.ඒ වෙලාවට තනිකම කියන දේ  ආත්මය වසාගත්තත්, ඒ හැඟීමට බීටා ආදරය කළා.සමහර විට මේ සිදුවීමට මුහුණ දෙන්න හේතුව වෙන්න ඇත්තෙත් 'තනිකමට' ඇය කළ ආදරය.

එදා යාන්තමට පොද වැටුණු දවසක්.හන්තාන කඳු වැටියේ මීදුමෙන් වැසුණු බෑවුමේ ඉඳන් ගලාගෙන ආපු දිය කදුරු වලින් පාර තෙත්වෙලා තිබුණා. මල් කුඩෙත් ඉහළගෙන පුංචි පුංචි දිය කඩිති උඩින් පැන පැන  ආ බීටා ඇතුළු වුණේ සංඝමිත්තා නේවාසිකාගාරයට. ඒ වෙද්දිත් දේශනයට සහභාගිවෙලා තමන්ට කලින් පැමිණි අය හැන්දෑවේ 'කලා මණ්ඩපයේ' පෙන්නන්න නියමිත චිත්‍රපටය බලන්න සූදානම් වෙන හැටි ඈ දැක්කා.දිය බේරෙන්න කුඩේ දිග හැරලා  පැත්තකින් තියලා අතේ තිබුණු යතුරෙන් හෙමින් සැරේ විවෘත කළේ තමන්ගේ කාමරයේ ද්වාරය. උඩු කොටස එහා මෙහා යාන්තමින් පෙනෙන මල් වීදුරුවකින් හැඩවුණු ලී දොර 'කීස්' ගාමින් ඇරෙද්දි බීටගේ හිතේ ඇති වුණේ චකිතයක්. ඒත් තමන් වගේම ,වම් පැත්තේ කාමරයේ හිටි මංගලිකා හා නලිනි කියන මිතුරියනුත් චිත්‍රපටය බලන්න නොගිහින් නතර වෙන බව දැනගත් බීටගේ සිතේ සහනයක් ඇති වුණා. තවත් ටික වෙලාවකින් මුළු නේවාසිකාගාරයම ගිලිලා තිබුණේ හිත කළඹන නිහඬතාවයකින්.තුන් දෙනෙක් ඇරෙන්න නේවාසිකාගාරයේ අනෙක් හැමෝම හිටියේ කලා මණ්ඩප  ශාලාවේ සුන්දර වෘතාන්තයක් රසවිඳිමින් . 

ඇඳ උඩ වාඩි වෙලා පොතක් බලමින් හිටි බීටාට ඇහුණේ එළියේ  ඇද හැලෙන පොද වැස්සේ හඬ විතරයි.කොරිඩෝවේ දල්වලා තිබුණු විදුලි පහනක එළිය ඝනකම් ලී දොරේ මල් වීදුරුව අස්සෙන් කාමරය ඇතුළට යාන්තමින් පෙරිලා ඇවිත් ඇතුළේ තිබුණු අඩ අඳුර නැති කළා.මිතුරියන්ගෙ කාමරය දිහාවෙන් සද්දයක් නොනැගුණේ ඒ අය නිදාගෙන හිටිය නිසා වෙන්නැති. වටෙන්ම අඳුර ගලමින් තිබුණා. බීටා පිට පැත්තෙ ජනේලය වහලා දැම්මෙත් හිරිකඩ හුළඟක් කාමරේ ඇතුළට එන්න දඟලපු නිසා.
 තවත් පැයක් විතර ගත වෙන්න ඇති. බීටාට ඇහුණේ අඩි සද්දයක්. ඒක.............ඔව් ඒක අමුතුයි. චිත්‍රපටය බලලා ආපහු නේවාසිකාගාරයට එන ළමයෙක්ගෙ වෙන්නැති කියලා මුලින් හිතුණත් චිත්‍රපටය ඉවර වෙන්න තව ගොඩක් වෙලා වෙලා ගතවෙන්න ඕන බව බීටාට මතක් වුණා.ඒ උස් අඩි පාවහන් වලින් නැගුණු ආවේණික හඬ අවිඥානකව බීටගේ ආත්මයට කැන්දගෙන ආවේ භීතියක්. හෙමින් සැරේ තමන්ගේ කාමරය ඉස්සරහින්  කොරිඩෝව දිගේ දෙපාරක්ම ඇදුණු අඩි ශබ්දයට බීටා කන්දීගෙන හිටියා.තුන් වෙනි වතාවටත්  අඩි ශබ්දය ඇහෙද්දි බීටාට ඉබේම  බැලුණේ ද්වාරයේ උඩු කොටසේ සවි කරපු මල් වීදුරුව දිහා.දකුණේ ඉඳන් වමට ඇදුණු ඡායාවක් එකපාරටම වැඩිකළේ බීටාගේ හිතේ පැසවමින් තිබුණු  චකිතය.ඒ හඬේ තිබුණු අද්භූත බව පොද වැස්සක වුණත්  නළලේ මතු කළේ සිහින් දාඩිය බින්දු කිහිපයක්.ආයෙමත් සැරයක් වමේ ඉඳන් දකුණට ඇදෙන අඩි ශබ්දයේ හඬ ඇහුණු බීටා, තමන්ගේ කකුල් දෙකත් ඇඳ උඩට අරගෙන ගුලිවුණේ මුළු ඇඟම ගැහෙද්දි.ඒත්.................ඊළඟ මොහොතේ අඩි ශබ්දය නතර වුණා.හරියටම දොරට ඉස්සරහින්!

මල් වීදුරුව හරහා අපැහැදිලි විදිහට පෙනුණේ තමන්ගේ කාමරය දිහා බලාන ඉන්න රූපයක්.ඊළඟට ඇහුණේ වේගයෙන් හති හලන හඬක්. තත්පරයක්වත් ගත නොවෙන්න ඇති. දොරේ උඩු කොටසේ කැටයම් කළ මල් වීදුරුව මතට ක්ෂණිකව පතිත වුණේ අතක්.ඒ අත්ලේ තිබුණු රේඛාවන් පවා යාන්තමින් හෝ නොපෙනුණා නොවේ.ඒ එක්කම හෙමින් සැරේ කරකැවුණු දොරේ අගුල තව දුරටත් බීටාව නිහඬව තබන්න සමත් වුණේ නැහැ. ඇඳෙන් බිමට පැන්න ඇය කාමරයෙන් පිටවීමේ එකම මග වුණු ඒ දොරෙන්ම කොරිඩෝවට පැන්නේ මුළු 'සංඝමිත්තා' ශාලාවටම ඇහෙන්න කෑ ගසමින්.ඒත් ...........තමන්ගේ කාමරයේ දොර ඉදිරියේ සිටගෙන හිටි රූපය දුටු බීටා මදකට ගොළුවුණා. ඇය දුටුවේ සුදු මංගල ඇඳුමක් ඇඳි යුවතියක් කොරිඩෝවේ සිට ගෙන වුන් හැටි.ඒත් යුවතිය කෙරෙන් පළවුණේ අසාමාන්‍ය අස්වාභාවික ගතියක්.සුදු මැලි පාට මුහුණේ ලියැවිලා තිබුණේ මුළුමනින්ම දැවෙන අසරණ කමක්.හරියට .........තමන්ගේ දුක්බර කතාව කියන්න, තමන් වගේම තනිවුණු කෙනෙක් හොයනවා වැනි හැඟීමක්.සුදුමැලි මුහුණේ ඇස් යට කළු වෙලා තිබුණා - මළමිනියක වාගේ.ඒත් ඇහි පිල්ලම් එක මොහොතකටවත් සැලුණේ නැහැ.කොරිඩෝව දිගේ කොච්චර විදුලි පහන් දැල්විලා තිබුණත් බීටා දැක්කේ තමන්ගේ සෙවණල්ල විතරයි.හිරිකඩ මුහු වෙච්ච සුළඟට සෙළවුණේ තමන්ගෙ කෙහෙරැල්ල විතරයි.යුවතියගෙ හෙවණැල්ල අතුරුදහන් වෙලා තිබුණා.ඈ එක මොහොතකටවත් සැලුණේ නැහැ - තමන් දිහා බලාගෙන හිටියා මිසක්. ඇගේ සුදුපාට ගවුමේ යට කොටසින් එළියට ආපු උස් අඩි පාවහන් යුවල බීටා දැක්කා.ඒ පාද වැහිලා තිබුණේ සුදුපාට මේස් වලින්-හරියට මිනියක කකුල් දෙකක් වගේ.එක අතක දිගු ඇඟිලි ද්වාරයේ රවුම් අගුල වටේට එතිලා තිබුණා.තමන් ඉදිරියේ ඇහිපිය නොසොල්වා බලා හිඳින යුවතිය ප්‍රාණකාරියක් නොවන බව සිතා ගන්න බීටාට අමාරුවුණේ නැහැ.ඇය කෑ ගහගෙන දිව්වේ යාබද කාමරය දිහාවට. 

 කෑ ගැහීම ඇහිලා දොර ඇරගෙන කොරිඩෝවට ආ මංගලිකාගේ ඇඟේ බීටා එල්ලෙද්දිත් ආගන්තුක යුවතිය ඔවුන් දිහා බලා හිටියා.ඇය දිහා වරක් බැලූ මංගලිකා ඊළඟට බැලුවේ තමන්ගේ ඇඟට තුරුළුවුණු  මිතුරිය දිහා.ඒ එක්කම කාමරයෙන් එළියට ආ නලිනිට දකින්න ලැබුණේ නම් සම්පූර්ණයෙන්ම හිස් වෙච්ච කොරිඩෝව විතරයි.අද්භූත යුවතිය යන්න ගිහින්................ඇහිපිය හෙලන ක්ෂණයෙන් යන්නම ගිහින් තිබුණා.

ඉක්මනටම කාමරයට වැදිලා දොර වහගත්තු මිතුරියන් ආයෙමත් දොර විවෘත කළේ චිත්‍රපටය බලන්න ගිහින් හිටි අනෙක් මිතුරියන් ඇවිත් කතාකළාටත් පසුවයි.බීටා තමන්ගේ අත්දැකීම විස්තර කරද්දි හැමෝම කලබල වුණා. අඩි ශබ්දය යාබද කාමරයේ වුන් දෙදෙනාටත් ඇසී තිබුණු නිසා බීටාගේ අත්දැකීම හිතලුවක් නොවෙන බව තේරුම් ගන්න අපහසු වුණේ නැහැ.මංගලිකා කොරිඩෝවේදී දුටු සිදුවීම නිසා එය තවත් සනාථ වුණා.

ඒත් ප්‍රාරම්භය දැනගෙන හිටියේ එකම එක ජේෂ්ඨ ශිෂ්‍යාවක් විතරයි.

".............මම මෙහාට එන්න කලින් අවුරුද්දෙදි මොකද්දෝ ආදර පළහිලව්වක් නිසා ඔය ළමයා සිය දිවි නසාගත්තේ  බීටා හිටිය කාමරේ එල්ලිලාලු......"

ඇය එහෙම කියද්දි නේවාසිකාගාර ශිෂ්‍යාවන්ගේ ඇඟේ හිරිගඩු පිපුණේ හන්තාන පැත්තේ ඉඳන් හමාගෙන ආපු හිරිකඩ තැවරුණු වැහි හුළඟ වැදිලා නම් නෙමෙයි.........මළගිය ශිෂ්‍යාවක විසින් නේවාසිකාගාරය පුරා විසිර වූ අද්භූත මරණීය හැඟීමක් නිසා.





ප . ලි : 1).මේ කතාව මට කිව්වේ Hani's life බ්ලොග් එක ලියන මගේ ආදරණීය මිතුරිය යොහානි.  ඒ ගැන යොහානිටත් එයාගේ අම්මටත් බොහොම ස්තූතිවන්ත වෙනවා.

2).මම කාලෙකට කලින් ලියපු එක ලිපියක් එක්ක මේ කතාව ටිකක් ගැළපෙනවා වගේ. හොස්ටල්.දන්න කෙනෙක් ඉන්නවනම් සම්බන්ධතාවය සනාථ කරන්න.

3).මගේ සහෝදරයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් නිසා කාලයක් මටත් ඒ සරසවියට ඇතුළු වීමේ ආශාවක් තිබුණා.results වැඩිවුණහමත් බෑනේ.මම අද මෙහේ.නැත්තම් ආතල් එකේ හොල්මනක් එක්ක රටකජු ගොට්ටක් හප හපා ඉන්න තිබුණා :P


Friday, September 7, 2012

දියාරු සිහින - මග හැරුණු ආත්මයක් වෙනුවෙන්




       මේ හරිය ගොඩක් පාළුයි. සැතපුම් ගණනාවකට ඉන්න එකම මනුස්ස පරාණය මම වෙන්නැති. හිම කැටිති ආයෙත් 'සට සට' ගාලා ජනෙල් වීදුරුවේ වැදෙන හඬ ඇහෙනවා. දියාරු හිම පියලි ඒ මත රටා මවාවි - ආදරණීය තුහින ඡායාවන්. මම ජනේලය ළඟින් අයින් වුණේ කෙලවරේ ෆයින් ගහේ අන්තිම කොළයත් හිම පොළොව සිප ගන්න හැටි දැක්කටත් පස්සෙයි. ඇය තවදුරටත් මා ළඟ නැහැ තමයි.ඒත්...............මට සීතලක් දැනෙන එකක් නැහැ.ශරත් කාලෙ අපි දෙන්න එකතුවෙලා මිටි බැඳපු දර තියන මඩුවේ දොර ඇරල තියන හැටි මට පෙනෙනවා.ඔව්..........ගිනි උදුනට ඇති තරම් දර තියෙනවා.ලොකු හුස්මකින් මගේ පෙනහළු පිරෙනවා.ඒ හුස්ම පිටවෙලා යද්දි සුන්දර මතකයන් මගේ ඉස්සරහ ජීවමාන කරනවා - ආයෙමත් ආදරෙන්...........

ඒ අවුරුදු දෙකකට කලින් දෙසැම්බරයේ දවසක්.මට හොඳට මතකයි.මම මෙහෙට පදිංචියට ඇවිත් ගතවෙලා තිබුණේ හරියටම සතියයි.එදත් මේ වගේම හිම වැටෙන්න වුණා.මම ජනේලය ළඟ හිටගෙන ඈත ෆයින් ගහ දිහා බැලුවා.මගේ උණුසුම් හුස්ම වැදිලා ජනෙල් වීදුරුවේ මීදුම බැඳෙද්දි  ආයෙ ආයෙමත් අතින් පිහ දම දමා මම බැලුවේ ෆයින් ගහේ ඉහළ  අතු දිහා.

ඇය මගේ පුංචි ගේ දිහාට එන හැටි මම දැක්කෙ නැහැ.මට ඇහුණේ එක පාරටම ඉස්සරහ දොරේ වසන්ත සීනුව නාද වෙන හැටි විතරයි.බර්ලින් වලින් සෑහෙන්න ඈත පළාතක තනියම ජීවත් වුණු නිසා හදිස්සියේ සීනුව නාද වීම් මගේ හිතේ ඇති කළේ චකිතයක්.ඒත් මම දෙපාරක් නොහිතාම දොර විවෘත කළා.ඈ පුදුමාකාර රූමත් යුවතියක්.සුදු රෝස මලක් සවි කරපු කළු පාට ලොකු හිස් වැස්ම දෙපැත්තෙන් එළියට විහිදුණු ඇගේ තඹ පාට කෙස් කළඹ තිබුණේ සුළඟින් සෙලවෙමින් . ඇය කතාව පටන් ගත්තේ පිට කබායේ උරහිස් මත රැඳුණු හිම පියලි පිහදාන ගමන්.

" මහත්මයා........ මම ගොඩක් දුර ඉඳලා එන්නේ.කරුණාකරලා ඇතුළට එන්න අවසරද? "

ඇගේ රෝසපාට තොල් පෙති මිමිණුවා.මම දොර ළඟින් මෑත් වුණේ ඇතුළට එන්න හිසෙන් සන් කරන ගමන්. ගැලවුණු කබාය දොර මුල්ලෙ තිබුණු කබා එල්ලනයෙ එල්ලිද්දි ඇගේ සුන්දර සිරුර තවත් හොඳින් මට පෙනුණා.පරණ මෝස්තරයේ ඇඳුමක් වුණත් ඒක ගොඩක් පිළිවෙලයි.ඇගේ දෑතේ දිගු ඇඟිලි එකට වෙළුණා.සද්දයක් නොනැගෙන විදිහට ඕක් ලී පොළොව මතින් ඔබ දැමුණු කළු සපත්තුවලින් වැසුණු සිඟිති පාද තැබූ ඈ, ළංවුණේ විසිත්ත කාමරයේ කළවර පිහිටි ගිනි උදුන දිහාවට.දණහිස තරම් දිගු වුණත් ඇඟටම හිරවුණු සාය ඇගේ ගමනට අනුව සුන්දර සිරුරෙ හැඩය මතු කරන හැටි මම බලාගෙන හිටියේ වික්ෂිප්ත වෙලා.ඈ ඒ තරම්ම සුන්දරයි.

"මහත්මයා මගේ නම ඊවා........"

ගිනි උදුනට පිටුපලා මා දිහාවට හැරුණු ඈ කීවා. ඒ ඇස් කෙලින්ම යොමුවුණේ මගේ ඇස් දිහාවට.ඒ බැල්මේ දහසක් දේ ලියැවිලා තිබුණත් කිසිම දෙයක් වෙන්කර හඳුනාගන්න මට හැකිවුණේ නැහැ.මම කෝපි පෝච්චිය ලිප උඩ තිබ්බේ ඊවා එක අතකින් ඇගේ අනෙක් අතේ වෙදැඟිල්ලෙ තිබුණු මුදුව පිරිමදින අතරේ.ඊළඟට අපි ජනේලය ගාව තිබුණු කුෂන් පුටු දෙකේ වාඩි වුණේ මුහුණට මුහුණ පෙනෙන විදිහට.හිම අතරින් පෙරිලා ආපු මුදු එළිය ඊවාගේ මුණට වැටිලා තිබුණා. ඒ මුහුණේ තිබුණේ අස්වාභාවික ගතියක්.පළවෙනි වතාවට පුදුමය පහතට දමලා චකිතය කියන හැඟීම මගේ හිත ඇතුළෙන් නැගීගෙන ආවා. ඊවා කතාව පටන් ගත්තා.කතාවෙ ගැඹුරට යද්දි මගේ හිතත් චංචල වුණේ පැහෙමින් තිබිච්ච කෝපි පෝච්චියේ වතුර වගේ.

".......................අපේ අවාසනාව ළං වුණේ ශීත සෘතුවෙ ආරම්භයත් එක්කමයි. උතුරු මුහුදේ හිම මිදෙන්න පටන් ගත්තහම අපේ නැව් වලට ඉලක්ක කරා යන්න අමාරු වුණා.ඒ වෙලාවෙදි තමයි උන්  පහර දුන්නේ.අන්තිමට එඩී තීරණය කළා මියුනිච් වල ඉඳන් බර්ලින් වලට එන්න.කාටවත් නොපෙන්නුවත් එඩීගේ මුහුණේ ලියවෙලා තිබුණු දේවල් මට අඳුර ගන්න අමාරු වුණේ නැහැ. ඒක ඇත්ත , මම එයාගෙ බිරිඳ වෙලා හිටියෙ පැය හතළිහයි.ඒත් මම  අවුරුදු දාසයක් තිස්සේ එයාව දැනගෙන හිටියා.ඒ මූණේ තිබුණේ පරාජය විතරමයි.........අන්තිමට අපි බර්ලින්වල, පාළුවට ගිය පැත්තක ගොඩ නැගිල්ලකට කොටුවුණා. ළඟින්ම හිටිය කිහිප දෙනා ගැන වුණත් ලොකු විශ්වාසයක් අපට තිබුණේ නැහැ.ෂෙල් වෙඩි පුපුරරන හඬ මැද්දේ එඩී විවාහ යෝජනාවක් ගෙනෙනකොට මට සතුටක් දැනුණේ නැහැ.දෙවියන් ඒක දන්නවා ඇති.ඒත් මට වෙන විසඳුමක් තිබුණේ නැහැ. අපි පොළොව යට රහසෙම විවාහ වුණා.එඩී මුළු ජීවිත කාලෙටම තමන්ගෙ අතින් මරා දැම්මේ එයාවම විතරයි.ඒත් වධකාගාරවල හුස්ම හිරකරලා මරා දැමුණු මිනිස්සුන්ගේ, අමු අමුවෙම මරා දැමුණු යුදෙව්වන්ගේ, හේතුවක් නැතුවම මරා දැමුණු මිලියන හැත්තෑවකගෙ ශාපය වැදුණේ එඩීට විතරක් නෙමෙයි.ඇඩ්ලොෆ් හිට්ලර්ගෙ බිරිඳ විදිහට මමත් ඒ ශාපයෙන් තවමත් දුක් විඳිනවා.....මේ මුද්ද....එදා රෑ සිය දිවි නසාගන්න පැය ගාණකට කලින් එඩී මට දාපු මේ මංගල මුද්ද ගලව ගන්න බැරුව තවමත් මම දුක් විඳිනවා....ඒ ශාපයෙන් මම පිච්චෙනවා.....මහත්මයා........මාව මේ ශාපයෙන් ගලව ගන්න......කරුණාකරලා.... "

ඇය මගේ දණහිස ළඟ වැටිලා අයදිද්දි  මගේ ඉස්සරහ ඉන්නේ මළගිය ප්‍රාණ කාරියක් බව එක මොහොතකටවත් හිතුණේ නැහැ.ඒ ඇඟිලි තුඩුවල මරණීය සීතල මට දැනුණා තමයි - ඒත් - ඒ මුහුණේ තිබුණු අනුකම්පාව යදින බැල්ම නොසලකා ඉන්න මට බැරිවුණා.

"ඒත් ඇයි ඔබ මගෙන්ම මේ විදිහට උදව් ඉල්ලන්නේ.පහුගිය කාලෙටම ඔබට කවුරුවත් උදව් කළේ නැද්ද?"

ඒ වචන මගේ මුවින් ඉබේ පිටවෙන්නැති.

"මහත්මයා............මම මිනිස්සු දහස් ගණනක් ඉස්සරහ දණ ගහල තියනවා,කුණාටු හමන සොහොන් ළඟ වැටිලා අඳෝනා නගලා තියනවා. පල්ලිවල ස්වාමි වරුන් ළඟ වැඳ වැටිලා තියනවා.ඒත් කවුරුවත් මා වෙනුවෙන් යාඥා කළේ නැහැ.හැමෝම මට ශාප කළා විතරයි.ඒත් මට දැනෙනවා ඔබ වෙනස් කියලා.මම පතනවා ඔබ වෙනස් වේවි කියලා.......කරුණාකරලා.."

".........හොඳයි......මම ඔබ වෙනුවෙන් යාඥා කරන්නම්.මට කරන්න පුළුවන් එච්චර තමයි"

සෑහෙන්න වෙලාවක් කල්පනා කළ මම, ඇයට කියන කොට ඒ මූණ එළිය වුණු හැටි මට තවමත් මතකයි.එදා ඉඳන් හැම හැන්දෑවකම මම ඇය වෙනුවෙන් දෙවියන් ඉදිරියේ දණ ගැහුවා.දෙවියෝ මට සමාව දේවි.

ඊවා මාත් එක්කම නැවතුණා.මේ ගෙදරම ජීවත් වුණා. මම දන්නෙ නැහැ ඒක ජීවත් වීමක්ද නැද්ද කියලා.ඊවා කවදාවත් කෑමට වාඩි වුණේ නැහැ.ඒත් මම කෑමට වාඩිවෙද්දි මේසේ උඩ ඉටි පන්දම පත්තු කරල තියන්න අමතක කළේ නැහැ.ඇයට තිබුණේ එක ඇඳුමයි. කවදාවත් කිළුටු නොවුණු, බොහොම පිළිවෙලට තිබුණු  ඇගේ අන්තිම ඇඳුම.හතළිස් ගණන්වල මැද හරියෙදි සියදිවි නසා ගන්න කොටත් ඒ ඇඳුම ම ඇඳන් ඉන්න ඇති. ජීවත් වුණත් නැතත් ඇය මා වෙත අරගෙන ආවෙ නම් 'ජීවිතයම' තමයි.පාළුවේ කාන්සියේ ඔහේ ජීවත් වුණු මට ඊවාගේ මිත්‍රත්වය මහ මෙරක් වුණා.නෑ...............ඒක ආදරය නෙවෙයි.ඊටත් වඩා පාරිශුද්ධ මිත්‍රත්වය. මිලියන ගාණක් මරන්න අණ දුන් මිනීමරුවෙකු වුණත් ඔහුගේ හිතත් ඇය ඉදිරියෙ නැමෙන්න ඇත්තෙ ඒ හදවතේ තිබුණු තෙතමනය නිසාම වෙන්නැති.

ෆයින් ගහේ කොළ අවුරුදු දෙකක් ඇතුළත දෙපාරක්ම තඹ පාට වෙලා පාමුල හැලෙද්දිත්, ආයෙත් කොළ පාටින් බැබළෙද්දිත් ඊවා මා ළඟ හිටියා.උදේ නැගිටිද්දි ගේ දොර අස්පස් කරලා කෝපි පෝච්චියේ වතුර උණු වෙන හඬ ඇහෙනවා.ඒත් ඇය කවදාවත් කෝපි උගුරක්වත් නොබිව් බව මම දැනන් හිටියා - මළවුන්.


මම පහළ වත්තෙ එළවළු හිටවන කොට ඈ මාත් එක්කම සැරිසැරුවා.මගෙ ළඟින්ම හිටියා.මුල් දවස්වල චකිතයක් තිබුණත් පස්සෙ පස්සෙ ඇය නොදැක ඉන්න මට බැරි වුණා.හැන්දෑවේ බයිබලය අතට අරන් සුරුවම ඉස්සරහ දණ ගහන කොට ඊවාගෙ මූණ එළිය වෙන හැටි මට මතකයි.මම දෙවියන් යැද්දා.ඇය වෙනුවෙන් - දෑ අවුරුද්දක්ම.


ශිශිරයේ සමහර හැන්දෑවල මිදුලෙ පැත්තක ගොඩගහල තියන මහත දේවදාර කඳන් උඩට වෙලා අපි ඔහේ කතා කර කර ඉන්න පුරුදු වුණා.ඉතිහාසේ වැලලිච්ච සමහර සිදුවීම් මම දැනගත්තෙ ඊවාගෙන්.ඒ වෙලාවට මට දැනුණේ ඇය තාමත් ජීවත් වෙනවා වගේ.ඒත් තවත් ටික වෙලාවකින් නැගුණු හඳේ එළියෙන් ඇගේ ඡායාවක් නොපෙනෙනකොට මගේ හිත බිඳුණෙ නැතුවමත් නෙමෙයි.  දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් ගතවුණා.මම යාඥාකරලා අවසන් වුණු හැම දවසකම ඊවා කළේ එයාගේ ඇඟිල්ලක රැඳිලා තිබුණු රිදී පාට මගුල් මුද්ද ගලවන්න හදපු එක. ඒත් ඒක අන්තිමේදි ගැලවුණේ.............ඊයේ හැන්දෑවේ. මම බයිබලය වහලා බැලුවේ ඇගේ මුහුණ දිහා.නිදහස! ආත්මයකට ලැබිය හැකි පූර්ණ නිදහස ඒ මුහුණේ ලියැවිලා තියෙන හැටි මම දැක්කා.ඊළඟට ගැලවුණු මුදුව ඇය දිගු කළේ මගේ දිහාවට.මගේ අත්ල මතට ආ මුදුව මම තැන්පත් කළේ ගිනි උදුන් පඩිය උඩ.ඒක තවමත් එතනමයි.........


හිම වැටෙන අඳුරේ නොපෙනී යන්න කලින් දොර ළඟ නැවතුණු ඊවා මගේ කම්මුලට දුන්නේ හාද්දක්.හිම වලටත් වඩා සීතල දෙතොල් කොපුල් තලයේ ස්පර්ශවෙලා මගේ මුළු ආත්මයම දුකින් පුරවන්න ඇති.ආදණීය 'මළ මිතුරිය' නොපෙනී යන හැටි මම බලාගෙන හිටියා.ඇගේ ආත්මීය ශරීරය හිම හුළඟ එක්ක ඔහේ පාවෙලා ගියා.තවදුරටත් පාළු සොහොන් පිට්ටනිවලට ඉහළින් හමන කුණාටුවලට ඇගේ අඳෝනාවන් මුසු නොවෙනු ඇති.තමා වෙනුවෙන් යාඥාකරන තුරු බලා සිටීමට ඇයට අවැසි නොවෙනු ඇති.
ඉතිහාසයේ ශාපයෙන් වේදනා විඳි ඈ, මගේ යැදීමෙන් සුවපත් වී තවත් සුන්දර ලෝකයකට ගොඩවදින්න ඇති.ආයෙමත් තනිවුණත් ඇය මට දුන් මතකයන් හැමදාමත් දිදුළාවි - හරියට උදුනේ ගිනිදළු එළිය වැදිලා දිලිසෙන ඇගේ මුද්ද වගේ.



ප . ලි : මේක මම ගොතපු කතාවක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.පහුගිය දවස්වල  මට අලුත් කතාවක් ලැබුණේ නැහැ.ඒකයි මේක publish කළේ.කතාවක් ලැබුණු ගමන් දාන්නම්.