Tuesday, August 21, 2012

නිහඬ නොවූ ආත්මය





විශේෂයි : මට දැනෙන විදිහට අද කතාව ටිකක් සැරයි. අධි සංවේදී අය ඉන්නවනම්, දැන් රෑවෙලා නම් - කතාව කියවන අතර මැද්දෙ විදුලි විසන්ධි ඉවීමක් ඇති වෙන්නෙ නෑ කියලා සහතිකනම් කියවන්න. නැත්තම් tab එක  close කරලා යන එකට මම ගොඩක් කැමතියි.
 ලැබුණු විස්තරවලට අනුව නම්  මේ කතාව හැත්තෑ ගණන්වල කුරුණෑගල පැත්තෙ සිද්ධවෙච්ච දෙයක්.


තනිකම - ඒක ආත්මීය දෙයක්.හදවතේ ගැඹුරුම තැනට දැනෙන හැඟීමක්.විශ්වාස කරන්න. මට අහන්න තියෙන්නෙ එක දෙයයි.ඒ ගැඹුරු හැඟීම දැනෙන්නේ හදවත් ඇති එවුන්ට විතරද?උන්ට...............උන්ට ඒ දේ අයිති නැද්ද? මම...........ආයෙත් අහන්නම්.......

දවසක මටත් ඔබටත් තනිකම දැනෙන්නෙ ඇති.ඒත්......... අපට කවදාවත් තනිවෙන්න නම්  බැහැ.ඕන වුණත් ඒක කරන්න බෑ.මේ මොහොතෙත් ඔබ වටාම  උන් ඇති.උරහිසට උඩින්, මේ පෝස්ට් එක දිහා උනුත් බලාගෙන ඇති ඇති.

එපා ..........කරුණාකරල පිටිපස්ස හැරෙන්නනම් එපා. පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න.......ඒ හීනි කෙඳිරිල්ල ඇහෙනවද? එහෙම නැත්තං හීනි සීතලක් බෙල්ල දෙපැත්තතෙන් පටන් අරන් කන්දෙක පැත්තට ඇදිල යන හැටි දැනෙනවද?

මතක් කරගන්න.අන්තිමට මළ ගෙදරකට ගියේ කවද්ද? මං දන්නවා....ඔබට මතකයි. මිනියෙ ඔළුව ළඟින් පත්තු කරපු පොල්තෙල් පහනේ දැල්ල හෙලවෙන හැටි ඔබට මතකයි. ගොඩක් දේවල් ඔබ දකින්න ඇති.ඒත්...............ඔබ නොදැකපු දේවල්!!!


මේ ...........ඒ ගැන.

මයුරි මළේ දියේ ගිලිලා. එහෙම කිව්වෙ මිනිය වැව් ඉවුරේ අතැරල දාපු මංකඩකට ගොඩ ගහල තිබිච්ච නිසා.මුනින් අතට හැරිලා ඔහේ බාගෙට වතුරේ පාවි පාවි තිබුණු මිනිය මුලින්ම දැක්කේ හවස් ජාමේ කබල් බයිසිකලෙත් තල්ලු කරගෙන වෑකන්ද දිගේ ආපු මීවන ගෙදර විජේ.කන්ද දිගේ ඇඳිච්ච පාර මැදම බයිසිකලේ අතෑරලා දාපු විජේ, පැටලි පැටලි සරමත් කැහැපට ගහගන්න ගමන් වැවට බැස්සේ හිතේ ඉපදිච්ච කලබලේටමයි.

"යකුනේ..........වරෙල්ලා ඉක්මනට මෙහාට"

වැවට බහින ගමන් ම කෑගැහුවේ ඈත මංකඩක ජබු ගහමින් හිටි කොල්ලො රෑනකට.මුනින් අතට හැරිල තිබුණු මිනිය උඩුබැලි අතට හරවද්දි විජේගෙ ඇස් උඩ ගියා. පැයගාණක් තිස්සෙ වතුරට තැම්බිලා ඉදිමිලා තිවුණ වුණත් ඒ තොල් දෙක අයිති මයුරිට බව අඳුර ගන්න  අමාරු වුණේ නෑ.
 

ගමෙ කොල්ලන්ගේ රහස් ආදරයට නිරන්තරයෙන් පාත්‍ර වෙච්ච මයුරිට විජේත් කාලයක් ආදරය කළා. පරණ ආදරවන්තියව දෑතින්ම ඔසව ගෙන අමාරුවෙන් වෑකන්ද උඩට ගොඩවුණේ ඵලක් නැති බව දැන දැනමයි.මයුරිගේ දිය බේරෙන මල් ගවුම ඇඟේ ඇලුණා.තෙත් වෙච්ච කොණ්ඩේ පහස පවා විජේට දැනුණා.ඒත් මයුරි ගිහින්..........මයුරි යන්නම ගිහින්- කාටවත්ම නොකියාම.

ගමේ රූප සුන්දරිය වෙච්ච මයුරිගෙ මරණය ගම්මානෙ පුරාම පැතිරිලා යන්න වැඩිවෙලාවක් ගත වුණේ නැහැ.
ගම්සබා පාරේ අඹගස්පිටිය හන්දිය දිහායින් මුළු හවස් ජාමේම ඇහෙන්න වුණේ මයුරිලෑ අම්මගෙ විලාපය.ගුණසීල අප්පු ගෝනි රෙද්දක ඔතාගත්තු ආම්පන්න ටිකත් කිහිලි ගන්නගෙන අඹගස්පිටිය දිහාට ඇදුණෙ මේ වෙලාවෙදිමයි. වෙනදා මේ ගමන තමන් එක්ක එන ඇළගාව ගෙදර  කොළුවා හදිස්සියේ අසනීප වීම නිසා ගුණසීල අප්පු උදව්වට අඬගහ ගත්තේ අක්කගෙ ලොකු පුතා - නන්දන.ඒත් මේ ගමනට නන්දනගෙ නම් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ.

මයුරිගෙ මළ මිනිය ගේ පිටිපස්සෙ පිළේ එළපු පැදුරක් උඩ දාලා තිබුණා. ගුණසීල අප්පු ආ බව දැක්ක, මිනිය වටේට කටවල් ඇරගෙන කම්මුලේ අත ගහගෙන බලා හිටි ගෑණු මිනිස්සු එකා දෙන්නා එතනින් හැලිලා ගියේ ගේ ඉස්සරහ පැත්තට.

"ඕං ඔය කෙල්ලව අල්ලලා අරෙහෙට ගනිල්ල බලන්ඩ"

ගුණසීල පහළ මඩුව දිහාට අත දිගුකරලා කීවේ උඩු තල්ලෙන් යටි තල්ලට හපේ මාරු කරන ගමන්මයි. ඉතිරිවෙලා හිටි තරුණ වයසේ ගැටව් කිහිපදෙනා පැදුර පිටින්ම මළ මිනිය කර තියාන අරං ගියේ පහළ වත්තේ පාළු මඩුවට.

රෑ කෑම කලින්ම ගත්තත් ගුණසීල අප්පු අලුතෙන් කොටපු විටකුත් හප හපා නන්දනත් එක්ක මඩුවට එද්දි  අටත් පහුවෙලා තියෙන්නැති.එතෙක් වෙලා මිනියට තනි රැක්ක කොල්ලො මඩුවෙන් පිටවෙලා ගියේ ගුණසීල වචනයක්වත් කතා  කරන්න කලින්. සමහරවිට ඊළඟ සිද්ධ වෙන දේ ඉවෙන්වගේ දැනිණු නිසා වෙන්නැති. පාළු මුස්පේන්තු මඩුවේ යටලීයක කෙළවරේ එල්ලලා තිබුණේ මලානික එළියක් විහිදුවපු ලන්තෑරුමක්.ඇඟ සලිත කරගෙන හමපු හීනි හුළඟකින් පැද්දුනු ලන්තෑරුමේ එළිය නන්දනගෙ ඇස්වලට ගෙනාවේ නම් හිරිහැරයක් .
ටිකක් වෙලා කරුවලට වැඳගෙන මොන මොනවදෝ කොඳුරපු ගුණසීල අප්පු නන්දන දිහාවට හැරුණා.

"පුතේ.............ඔය කහ වතුර පනිට්ටුව මෙහාට ගනිංකෝ"

ඔතලා තිබුණු මළමිනිය නිරාවරණය කරන ගමන් ගුණසීල නන්දනට කීවා.මිනිය පුරා කහවතුර ඉහපු මාමා පනිට්ටුව පැත්තකින් තියද්දි යකඩ අණ්ඩ තහඩුවේ වැදිලා නගපු හඬත් උත්සාහ කළේ නන්දනගේ හිතේ තිබුණු බය - චකිතය වැඩි කරන්න. ඊළඟට හිමින් සැරේ ගෝනි රෙද්ද දිගහැරපු ගුණසීල අප්පු තමන්ගේ ආම්පන්න එකින් එක එළියට ගත්තා.මිනියේ විලි වහලා තිබිච්ච දේවල් අහවර කළාට පස්සේ 'වී අකුරේ' හැඩේට පපුව හරහා පළවෙනි කැපුම කළේ එක හමාරේ තලයෙන්.ඔහේ බේරිච්ච ලේ ටික මයුරි මැරෙද්දි ඇඳන් හිටිගවුමෙන්ම පිහදාපු ගුණසීල අතට ගත්තේ තුන්කාලේ පිහිතලේ. ඒකෙන් පපුව ළඟ ඉඳන් පහළට වෙනකන් කැපුමක් කරන හැටි නන්දන බලා හිටියා. කැපුම් පාරවල් ළඟින් හම දෙපැත්තට ඇදපු ගුණසීල අතුණුබහන් කොටස් එක එක ළඟින් තිබුණු පනිට්ටුවට දාන්න වුණා.මස් කැලති වලින් පිරිච්ච පනිට්ටුව දිහා නන්දන බැලුවේ අප්පිරියාවෙන්.

"තලේ හොඳටම ගෙවිලනේ.මං මේක විගහට ගාගෙන එන්නං.උඹ කොහෙවත් නොයා මෙතනම හිටපන්.හොඳද?"

තවත් කැපුමක් කරන්න පිහි තලයක් අතට ගත් ගුණසීල නන්දනට කෙඳිරුවා.නන්දන කළේ ඔළුව වනන එක විතරයි. තමන්ගේ මාමා අඳුරේම නොපෙනී යන හැටි නන්දන බලා හිටියා.ඒත් හවස ගෙනා හැලි අරක්කු බෝතලේ යන්න කලින් ගුණසීල අප්පුගේ අතට තුරුළුවුනු හැටි දැක්ක නන්දනට මාමාගේ සැබෑ වුවමනාව වටහා ගන්න අමාරු වුණේ නැහැ.නන්දන තනි වුණා- බාගෙට කපලා දාපු මළ මිනියක් එක්කම - පාළු මූසල මඩුවක.ඈතින් බල්ලෙක්ගේ උඩු බිරීම ඇහුණු නන්දනගේ කොඳු ඇට පෙළදිගේ සීතලක් ඇදීගියා.

කාලකණ්ණි හෝරාවක නන්දන පාළු කපමින් හිටියා - මිනියකට.






ගුණසීල පිටවෙලා ගිහින් සෑහෙන වෙලාවක් ගතවෙලා තිබුණා.නන්දන අඳුර දිහා බලාන හිටියේ නොඉවසිල්ලෙන්.හිතේ උපන් බ්ය ඔළුවේ මවන්න වුණේ නොයෙක් විකාර රූප.නන්දන මඩුවෙන් පිටතට ඇවිත් හෙමින් හෙමින් තමන්ගේ මාමා ගිය දිහාවට අඩිය තියන්න වුණා.වත්ත පහළ කැළෑව මැද පස් කණ්ඩියක් උඩට වෙලා බෝතලේ හිස්කරමින් හිටි ගුණසීල අප්පුව හොයාගන්න නන්දනට අමාරු වුණේ නැහැ.

"මාමේ"

නන්දනත් පස්කණ්ඩිය උඩින් ඉඳගත්තේ එහෙම කියන ගමන්මයි.

"ආ........උඹද? මං මේ............හෙහෙ"

ගුණසීල මත්වෙච්ච නෙත්වලින් නන්දන දිහා බලන ගමන් හිනාවක් පෑවා.මේ වෙද්දි නන්දනගේ බයත් නැතිවෙලා තිබුණේ.තමන්ගේ මාමා ළඟ ඉන්න එක නන්දනගේ හිතට ගෙන ආවේ ලොකු හයියක් - විශේෂයෙන්ම ඒ වගේ මුස්පේන්තු ජාමයක.


"පුතේ............කවුද මඩුවට ආවේ?"


ගුණසීල එහෙම ඇහුවේ බෝතලෙන් තවත් ටිකක් උගුරට හලාගන්න ගමන්.

"කවුරුවත් ආවේ නෑ මාමා.කම්මැලි හිතුණා....ඒකයි මං මේ පැත්තට ආවේ"

"ඈ..............එතකොට දැන් මඩුවේ කවුරුවත් නැද්ද? උඹ මිනිය තනිකරලද ආවේ?"

ගුණසීල ඇස් ලොකු කරමින් පුදුමයෙන් අහද්දි නන්දනගේ බය ආයෙත්  වැඩිවුණේ නිමේෂයෙන්.

"ඔ....ඔව්.ඇයි මාමා?"

නන්දන ගොතගැහුවා.උන් තැනින් නැගිටගත් ගුණසීල අප්පු අමු තිත්ත කුණු හරුපයෙන් බනිමින් දුවන්න වුණේ මඩුව දිහාට.ඒ මුහුණේ මතුවුණු හැඟීම් නන්දනව තවදුරටත් කණ්ඩිය උඩ වාඩි කරවල තියන්න සමත් වුණේ නැහැ.දෙපයට වෙර දුන්නු නන්දනත් තමන්ගේ මාමා පස්සෙ වැටුණා.
ඒත්................ඒ වෙද්දිත් හොඳටම පරක්කුයි.වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.නන්දනට දකින්න පුළුවන් වුණේ තමන් මඩුවෙන් පිටවෙලා යද්දි මිනිය තියලා තිවුණු මැස්ස සම්පූර්ණයෙන්ම හිස්වෙලා තියන හැටි.ගුණසීලගේ මුළු ඇඟම ගැහෙන හැටි නන්දන දැක්කා.ඒ මූණේ වෙරි මතට උඩින් තැවරිලා තිබුණේ මරණීය භීතිකාවක්. බලාන ඉද්දිම තමන්ගෙ උරහිසට උඩින් කරුවල දිහා බලාන හිටි ගුණසීලගේ මූණේ හැඟීම් වෙනස්වෙන හැටි නන්දනට පෙනුණා.ඇස් ලොකු වෙන හැටි; බාගෙට ඇරුණු කට තමන්ගෙ පිටිපස්සෙ සිද්ධ වෙමින් තිබුණ නොකී දේවල් ගොඩක් නන්දනට ඇඟවූවා.

 නන්දනට ශක්තියක් තිබුණේ නැහැ - තමන්ගෙ පිටිපස්සෙ වෙන දේවල් දිහා බලන්න.වෙව්ලුම් කන කකුල්වලට තව දුරටත් බර දරාගෙන ඉන්න බැරි බව දැනුණා.ඊළඟට සීතල හුළඟක් මූණ දෙපැත්තෙන් ඇදිලා ගියා. මිනිත්තුවක් විතර ගතවෙන්නැති.ගුණසීල මාමා ලොකු හුස්මක් හෙළලා නන්දනගේ ඇඟට වාරු වුණා.නන්දන පිටිපස්ස හැරිලා බැලූවේ ඊටත් පස්සෙයි.අන්ධකාරෙම මඩුවෙන් පිටවෙලා නිර්වස්තරේම ගොඩපර ගහ යටින් ගේ දිහාට ඇවිදගෙන යන මයුරි දැක්ක නන්දනගෙ මුළු ඇඟම සලිත වෙලා ගියා.

"මං උඹට කිව්ව............"

ඔළුවෙ අත්දෙක ගහගත්තු ගුණසීල අප්පු මැස්ස ළඟින් ඇණ තියාගත්තෙ නන්දනට රවමින්.ඒත් කතාකරගන්න තරම් හයියක් නන්දනට තිබුණේ නැහැ.

"යකෝ............මිනියක් තනි කරන්න එආ කියන්නේ අහවල් රෙද්දකට නෙමෙයි.ඒ මළ මිනිය වටේට භූතයො,පෙරේතයෝ,වෙන මළගිය ආත්ම සැරිසරන හින්දා.අලුත් සරීරයක් උන්ගෙ කරගන්න එවුන් හරි කැමති.මැරිච්ච එකා වුණත් තමන්ගෙ සරීරෙ දාලා එක පාරටම යන්ඩ කැමති නෑ බං. තමන් මැරෙනකන් බලාන හිටිය ප්‍රාණකාරයොත් එක්ක එකතුවෙලා ඒකිත් බලන් ඉන්නැති - මිනිය තනිවෙලා අවස්ථාවක් හම්බෙනකං. උඹ මාව කෑවා"

"ඉතිං....අ..අපි දැං මොකද කරන්නෙ මාමේ?"

නන්දන ඇහුවේ ගොතගහමින්.

"මොනව කරන්නද කියල මට නං තේරෙන්නෙ නෑ බං.මට බය ඕකි මොන දීපංකරේක යයිද කියලා.සමහරවිට..................ඒකිට ජීවත්වෙලා ඉද්දි වැඩියෙන්ම ආදරේ කරපු කෙනා හොයාගෙන යයි .ඒ වගේ දේවල් මං අහල තියනවා"

මාමාගේ කට හඬෙහි වූ පසුතැවීම වටහා ගන්නට නන්දනට අපහසු වුණේ නැත.ගුණසීල සැක සහිතව වුණත් කියපු දේ ඇත්ත වෙන්න හෝරා දෙක තුනකට වඩා ගත ගියේ නැහැ.



*    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *  



සවස් වරුවේ වූ සිද්ධිය ගැන හිතමින් සිටි විජේට නින්ද ආවේ රෑ මැද ඇද හැලුණු වැස්සත් එක්කමයි. සීතලට ,ගෙදර පිලේ තිබුණු ඇඳේ හොඳ හැටි ගුලිවෙමින් නිසා ගත්තු විජේ, පාන්දර ජාමේ ඇහැරුණේ තෙත් වෙච්ච දෙයක් තමන්ගෙ මූණෙ ගෑවෙනවා දැනිලා. හෙමින් සැරේ අනික් ඇලයට හැරුණු ගමන්.......... දැක්ක දෙයින් බය වෙච්ච විජේ ඇඳෙන් පැන්නෙ මුළු ගමටම ඇහෙන්න කෑ ගහගෙන. ගෙදර පැලැලි දොර ඇරගෙන ඇතුළේ නිදාවුන් අය මිදුලට එන්න වැඩිවෙලාවක් ගියේ නැහැ.ඒ වෙද්දි විජේ මිදුල මැද්දේ වැටිලා හිටියේ සිහි විකලෙන් වගේ.

ගමේ හැම පැත්තෙන්ම ඇදිලා ආපු හුළු අතුවලින් මිදුල ආලෝකමත් වෙද්දි විජේගේ අත හෙමින් සැරේ යොමුවුණේ පිළේ තියලා තිබිච්ච ඇඳ දිහාවට...........


බාගෙට අයින්කළ අතුණුබහන් එක්කම විජේගේ ඇඳේ වැතිරිලා තිබුණේ මයුරිගේ  මළ මිනිය - තෙත කොණ්ඩේ කෙළවරයි එක අතකුයි තිබුණේ ඇඳෙන් පහළට එල්ලි එල්ලි. ඒත් ඒ ඇස් ...........ඒ ඇස් ඇරිලා තිබුණා - කාටව්ත් හිතා ගන්න අමාරු විදිහේ ගුප්ත ආදරයක් දක්වමින්............






ප . ලි : 1).අවුරුදු හතළිහක විතර පරණ ඉතිහාසය දිගේ එද්දි මේ සිදුවීමට යම් යම් රසකාරක එකතුවෙලා තියෙන බව මගේ හැඟීම.ඒත්.........කතාවේ අරටුවේ ලොකු වෙනසක් සිද්ධවෙලා නැති වෙන්න ඕන.

2).මහනුවර බාලිකා පාසලේ සිදුවීම නොකරන්න තීරණය කළෙමි.පරස්පර විරෝධී සිදුවීම් මහගොඩක් ඇත.

27 comments:

  1. Replies
    1. oopz....බයවෙන්න එපා.මේක පරණ කතාවක්නේ..

      Delete
  2. පට්ට පට පට ආ...
    පික්සු හැදෙනවා..

    ReplyDelete
    Replies
    1. thankz තරී....මම අහන්නමයි හිටියේ.කෝ ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක.අර හිරු හිමාවිගේ බ්ලොග් එකේ තිබිලා හරි අමාර්වෙන් හොයා ගත්තේ.ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  3. බය හිතෙන්නේ නෑනෙ බං.

    ReplyDelete
    Replies
    1. සන්තෝෂයි....යාමය කොහොමත් බිය නොහඳුනන්නන්ට පමණයිලු...

      Delete
  4. පිස්සු හැදෙනවා නේන්නම්..!
    (අනේ බං පොඩි අකුරු බෝල්ට් වෙලා කියවන්න අමාරුයි)

    ReplyDelete
    Replies
    1. thankz wee..ඒක තමයි.කුරුන්දෙ සෙන්නාත් මට එහෙම දෙයක් කිව්වා.මම කොහොමහරි ඒක හදලා දාන්නම්...

      Delete
  5. ammo.......mama wage ethana hitiyanam ethnama kalanthe dai........

    ReplyDelete
    Replies
    1. අරලිය එච්චරටම බය වෙලාද..මුලින්ම අහද්දි මටත් ටිකක් ඔහොම වුණා..

      Delete
  6. බොහොම සාර්ථක භාෂා විලාශයක්. ඇත්තටම බයක් නොහිතුනා නොවේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න...:):)

      Delete
  7. අම්ම්මෝ.... මෙහෙම දෙයක් උනොත් භයට එතනම පණ යනවා..

    ReplyDelete
    Replies
    1. මී......මම දන්නවා ඔයා ඔය කිව්වට බය නෑ කියලා.ඔයා අපේ " මී"නේ...:):)

      Delete
  8. හෙට වැඩ නිසා අදම ඕන එකක් කියලා කියවලා යන්න හිතුනා.. කියෙවුවා.. මට දැන් හිතෙන දේවල් අහන්න එපා.. :|

    ReplyDelete
    Replies
    1. අහන්නෙ නෑ...මම හිතන්නේ දිනේෂ් අයියා මේක කියවන්න ඇත්තේ රෑ වෙලාවක..:)

      Delete
  9. පට්ට කතාව එල මචන් ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Shanaka...අයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
    2. අනිවා මචන් මම මේකේ තියෙන පෝස්ට් ඔක්කොම කියවල ඉවරයි එක දවසින්... පුළුවන් නම් ඉක්මනට තව එකක් දාපන්.

      Delete
  10. පුෆ්.. මාර කතාවක්නේ..
    අදමයි මෙහි ආවේ.. ආයේ එන්නම්කෝ..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රතු හැට්ටකාරී...ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  11. කියෙව්වෙත් අන්දකාරෙක............හච්චෝ........................

    ReplyDelete
  12. බුදු අම්මෝ.......මේක එඩා රෑ කියෙව්වනම් මට කලන්ටෙ ඩානව.......:/

    ReplyDelete
    Replies
    1. කලන්තෙ දාන බබාලට වතුර ඉහින්න මම නම් නැහැ.

      Delete
  13. Replies
    1. lolz....have 2 say the same thing 'oh my god...........!'

      Delete