Sunday, August 26, 2012

පාළු පන්සලේ භීතිකාව




             සුදු පාට සමර ගාපු වළාකුළු බැම්මේ යට හරියට වෙන්න බැඳිලා තිබුණේ  කොළපාට  සෙවළ වගයක්. කාලෙකින් අතුගාපු නැති නිසාද කොහෙද වැලිතලාවේ හැම තැනම බෝ කොළ විසිරිලා තිබුණා. ඒ කහපාට වෙච්ච බෝ කොළ එහාට මෙහාට රෝල් වෙවී තිබුණෙ ඉඳ හිට හමන්න වුණු හුළඟක් නිසා. ආවාස ගෙයි ඇතුළෙන් ඇහුණු කෙඳිරි ගෑම මේධංකර පොඩි හාමුදුරුවන්ගෙ හිත කීරි ගස්සන්න වුණා. ඉස්සරහ පඩිය උඩ වාර්නිෂ් ගෑව ලී කණුවට හේත්තුවෙලා ඈත බලා ගෙන ඉන්න හාමුදුරුවන්ට පේන්න වුණේ ඇටඹ ගහයි  ගොඩපර ගහයි අතරේ ඇදලා තිබුණු ලණුවේ හුළඟට ඔහේ වැනි වැනී එල්ලි එල්ලි තිබුණු සිවුර. ඒක ආවාසගෙයි ඇතුළේ කෙඳිරි ගාමින් හිටි ලොකු හාමුදුරුවන්ගෙ. බුදු ගේ පැත්තෙ එකම දායකයෙක් වත් පේන්න හිටියෙ නැහැ. චීනට්තච්චි වලින් හැඩකරලා හදපු පහන් වැට තිබුණේ පාළු වෙලා. කාලෙකින් පහනක් දැල්වෙලා තියෙන්න නැතිව ඇති. මුළු පන්සලම පොඩි හාමුදුරුවන්ගේ හිතේ ඇති කළේ මූසල හැඟීමක්.හැන්දෑයාමේ තිබුණු නිහඬකම මැකුව ලොකු හාමුදුරුවන්ගේ කෙඳිරිය, ඒ මුස්පේන්තු ගතිය වැඩි කළා.
එන්න එන්නම වැඩිවෙන කෙඳිරිය අහගෙන ඉන්න බැරිම තැන තමයි පොඩි හාමුදුරුවෝ ආයෙත් ආවාසේ ගේ ඇතුළට වැඩියේ. ඒ වෙද්දිත් උපසම්පදාවට දින ගණන් කර කර හිටිය සුමේධ හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ගෙ පපුව අත ගාන හැටි මේධංකර හාමුදුරුවෝ දැක්කා. නහයට දැනුණේ සිද්ධාර්ථ තෙල් ගඳක්. පොඩි හාමුදුරුවෝ ලී උළුවස්සෙන් එපිට ආයෙත් බැලුවේ, වැලි මළුව දිගේ වෙද මහත්තයා කැඳවගෙන එන්න ගිය බණ්ඩා දැන් දැන් ඒවියි හිතමින්. ඒත්.............බණ්ඩගෙ ඡායාවක්වත් දකින්න බැරි වුණා.
ලොකු හාමුදුරුවෝ වේගෙන් හුස්ම ගන්න වුණා. කෙඳිරියත් එන්න එන්නම උත්සන්න වුණා. සුමේධ හාමුදුරුවෝ බෝතලෙන් අන්තිම තෙල් බින්දු දෙකත් අත්ලට හලාගෙන පිරිමදින්න වුණේ වේගයෙන් උස් පහත් වෙමින් තිබුණු ලොකු හාමුදුරුවන්ගෙ පපුව.
ඒත් මිනිත්තු දෙක තුනකට වඩා ගියේ නැහැ. දෙපාරක් විතර ඉහළට එසවුණු පපුව නිසල වුණා. සුමේධ හාමුදුරුවන්ගේ මූණේ හැඟීම් වෙනස් වෙනහැටි පොඩි හාමුදුරුවන්ට පෙනුණා. ඒ මූණෙන් කියවුණු දේවල් වටහා ගන්න මේධංකර හාමුදුරුවන්ට අපහසු වුණේ නැහැ.
ඒ වෙද්දි ලොකු හාමුදුරුවන්ගෙ අන්තිම හුස්ම පොදත් වාතලයට එකතු වෙලා ඉවරයි. වචනයක්වත් කතා නොකර උන් තැනින් නැගිටුණු සුමේධ හාමුදුරුවෝ ඊළඟට ගියේ ආවාස ගෙයින් එළියට. වැලේ වනලා තිබුණු සිවුරත් අරන් ආපසු වැඩිය හාමුදුරුවෝ......අපවත් වුණු ලොකු හාමුදුරුවන්ගෙ දෙපතුළේ ඉඳන් පපුව දක්වාම සිවුරෙන් වහන හැටි පොඩි හාමුදුරුවෝ බලාගෙන. ඊළඟට ඇඳ දෙපැත්තෙන් පත්තු වුණේ පොල්තෙල් පහන් දෙකක්.පන්සල කළුවරේ ගිලෙමින් තිබුණා. ඇබිත්තිය වුණු බණ්ඩා ආයෙත් එද්දි වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. දුර ගමනක් ගිහින් තිබුණු නිසා වෙද මහත්තයව අල්ල ගන්න බණ්ඩට බැරි වෙලා තිබුණා.

"මමයි,බණ්ඩයි ග්‍රාම සේවක රාළ හාමිට මේ දේ කියලා වැඩ ටික එකලාසයක් කරගෙන එන්නං. පොඩි හාමුදුරුවන්ට පුළුවන් නේද............අපි එනකං ලොකු හාමුදුරුවො ගාව ඉන්න? හැබැයි කොහෙවත් යන්න එපා"

අඳනයට උඩින් සිවුරක් පටලව ගත්තු සුමේධ හාමුදුරුවන් කී දේට බෑ කියන්න තරම් හයියක් පොඩි හාමුදුරුවන්ට තිබුණේ නෑ. හුළු අත්තක් පත්තු කරගත්තු බණ්ඩත් එක්ක අඳුරේම ගම පැත්තට වඩින සුමේධ හාමුදුරුවන් දිහා දුකෙන් බලා ගෙන හිටියේ ඒ නිසයි.පාළු පන්සල් ආවාසගෙයි දොරට හේත්තුවුණු පොඩි හාමුදුරුවන් ලොකු හාමුදුරුවන්ගේ දේහය දිහා බලාගෙන ඉන්න වුණා. ඒ අස්සේ පොඩි හාමුදුරුවන්ට මතක් වෙන්න වුණේ අවුරුදු දෙක තුනක් ඇතුළත පන්සල වෙනස් වුණු හැටි.ඉස්සර හැමදාම හවසට පහන් වැට එළිය වුණේ ගමේ අය හැන්දෑවට පන්සල් ආ නිසයි.මල් සුවඳ ඉතිරුණා. හැම තැනින්ම පෙනුණේ පින්වන්ත මුහුණු. වෙසක් පෝය දවසට තිබුණු සල්පිල පොඩි හාමුදුරුවන්ගේ හිතේ ඇති කළේ ලොකු සතුටක්.ඒත් ......... ඒ හැම දේම වෙනස්වුණේ ලොකු හාමුදුරුවෝ එක හැන්දෑවක පිට පන්සලකින් අරගෙන වැඩිය පුස්කොළ පොත් නිසා.දිනපතා දායක දායිකාවන් මුණ ගැහිලා කතා බහ කළ ලොකු හාමුදුරුවෝ එදායින් පස්සේ දවස තිස්සෙම  ඉන්න වුණේ ආවාස ගෙයි තිබිච්ච අඳුරු කාමරේ. ඒ කාමරේ දොර අස්සෙන් නිරන්තරයෙන් එළියට ආවේ ලොකු හාමුදුරුවන්ගෙ මැතිරිල්ලත් එක්ක එක්කහු වුණු කට්ට කුමංජල් සුවඳක්.ටික ටික පන්සල වෙනස් වුණා. කල එළි ගතිය හේබා ගියා වගේ වුණා. දායක දායිකාවන්ගේ පැමිණීම අඩුවෙද්දි ගමේ තැන් තැන්වල පන්සල ගැන කසු කුසුවක් ඇතිවුණා. උදේ වැලි මළුව අමදිද්දි පොඩි හාමුදුරුවන්ට දෝත පුරා අහුළ ගන්න ලැබුණේ කණ සල්ලි. සමහර දවස්වල අප්‍රසන්න ගඳක් පන්සල පුරාම හමන හැටි පොඩි හාමුදුරුවන්ට දැනුණා. ඒත් ලොකු හාමුදුරුවන්ගේ මූණේ තිබුණේ කපටි හිනාවක්. ලොකු හාමුදුරුවෝ යක්කු බැඳ ගෙන වැඩ ගන්න බව මුලින්ම පොඩි හාමුදුරුවන්ට කීවේ බණ්ඩා. ඒ වෙලාවේ බණ්ඩගේ ඇස් බයෙන් ලොකු වෙලා තිබුණු හැටි මේධංකර හාමුදුරුවන්ට මතක් වුණා.

"පොඩි හාමුදුරුවනේ.........සමහර හැන්දෑවල පන්සලට  ඇතුල්වෙන තැන අමුතු මනුස්සයෙක් කැරකෙනවා මං දැකලා තියනවා.ඔළුවේ එක කෙස් ගහක්වත් නෑ.පෙරලිච්ච කැතම කැත තොල් දෙකක් තමයි තියෙන්නේ.....සෙවල බැඳිච්ච පඩිය උඩට වෙලා ආවාසගේ පැත්තම බලාගෙන ඉන්නවා. මම මළුව හරහා බෝ ගහට එහා පැත්තෙන් එතනට යද්දි ඒකා අතුරුදහන් වෙනවා. වෙලාවකට ඒ මනුස්සයෙක්ද කියලත් සැකයි......"

වතාවක් දෙකක් මේධංකර හාමුදුරුවන්ටත් ඒ අමනුස්සයා දකින්න නොලැබුණාම නෙමෙයි.සමහර රෑකදි පොඩි හාමුදුරුවන්ට අල්ලපු කාමරේ පැත්තෙන් ඇහුණේ අමුතුම සද්ද වගයක්.ඒ කාමරේ සැතපෙන ලොකු හාමුදුරුවන් ගණන් කරන හැටි පවා පොඩි හාමුදුරුවන්ට ඇහුණා.ඒත් ඒ තරම් ගණන් කරන්නේ මොනවද කියන එක දැන ගන්න තියන කුතුහලේටමයි දවසක් යතුරු හිලට ඇහැ තියලා පොඩි හාමුදුරුවෝ බැලුවේ.කාමරේ ඇතුළේ දකින්න පුළුවන් වුණේ ඇඳළඟින්ම පත්තු කරපු පහනේ එළියෙන් ලොකු හාමුදුරුවන්ගේ අතේ , රත්තරං පාටින් නලියන කාසි වගයක්.
තව ටිකක් හොඳින් බලපු මේධංකර හාමුදුරුවෝ දුටු දෙයින් ගල්ගැහුණා.ලොකු හාමුදුරුවන්ගේ කකුල් දෙක ළඟ වාඩි වෙලා කෙල බේරෙන දිවත් එළියට දාගෙන හිටියේ පන්සලේ පඩිය උඩ හැන්දෑවට වාඩිවෙලා ඉන්න එකා.කාසි ගණන් කරන එක නවතපු ලොකු හාමුදුරුවෝ යතුරු කට දිහා බැලුවේ අමුත්තක් දැනුණු නිසා වෙන්නැති. එදා පොඩි හාමුදුරුවෝ ඉක්මනට තමන්ගෙ කාමරේට පැනලා ඔළුවේ හිටන් පෙරවගෙන නිදා ගත්තේ බය වැඩි කමටමයි.

ඒත් ..................ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා.තවත් පැයක් විතර යද්දි සුමේධ හාමුදුරුවොත්, බණ්ඩාත්, ග්‍රාම සේවක රාළහාමිත්  පන්සලට එන හැටි පොඩි හාමුදුරුවෝ දැක්කා.
 
"පොඩි හාමුදුරුවෝ බය වුණේ නැහැ නේද...? දැන් ඉතිං තමන්ගෙ කාමරේට ගිහින් සැතපෙනවා හොඳයි. අපි මේ වැඩ කටයුතු බලා කියා ගන්නම්"

සුමේධ හාමුදුරුවන්ගේ බසින් පොඩි හාමුදුරුවෝ තමන්ගේ කාමරයට ගියේ සැතපෙන්න ඕන නිසාම නෙවෙයි. තව දුරටත් ලොකු හාමුදුරුවෝ දිහා බලා ඉන්න අප්පිරියා වුණු නිසයි.ආවාස ගෙයි ඇතුළු කෙළවරේ පැසේජය දිගේ වැඩිය පොඩි හාමුදුරුවෝ තමන්ගේ කාමරේ දොර ඇරිය - උදාසීන කමකින්.


ඒත්.......දකින්න ලැබුණු දෙයින් මේධංකර හාමුදුරුවෝ තූෂ්ණීම්භූත වුණා. කාමරේ තමන්ගේ ඇඳ උඩත් මළ මිනියක්! සිවුරක් පොරවපු ඒ මිනිය ලොකු හාමුදුරුවන්ගේ බව අඳුරගන්න අමාරු වුණේ නැහැ. ඔළුව දෙපැත්තෙන් පත්තු කළ පහන් වල එළිය වැටිලා භයානක විදිහට දිලිසුණේ බාගෙට ඇරුණු ඇස් දෙක. ඇඳ පහළ, ලොකු හාමුදුරුවන්ගෙ මිනියෙ කකුල් දෙක ගාවින් වාඩිවෙලා හිටි පෙරේතයා පොඩි හාමුදුරුවන් දිහා හැරිලා බැලුවා - කෙළ බේරෙමින් තිබිච්ච දිවත් එළියට දිග්කරගෙනම. පොඩි හාමුදුරුවන් එවේලේම සිහි නැතිව ඇදගෙන වැටුණේ හාමුදුරු කෙනෙක් වුණත් පුංචි හිතකට ඒ දේවල් දරන්න බැරිවුණු නිසා.
ලොකු හාමුදුරුවන්ගේ අදාහනය අහවර වෙලත් මේ දේවල් වල අවසානයක් දකින්න් බැරිවුණා.රෑ සැතපිලා ඉන්න මේධංකර හාමුදුරුවන්ට ඇහෙන්න වුණේ රහස් මැතිරීම්, කාසි ගණන්කරන හඬවල්.බණ්ඩා තමන් පිළියෙල කළ දානෙ වළඳන්න හාමුදුරුවන්ත ආරාධනා කරල එද්දි බොහෝ වෙලාවට දකින්න පුළුවන් වුණේ ඒ දානේ පිළුණු වෙලා තියන හැටි. සුමේධ හාමුදුරුවන්ට ගාථාවක්වත් පාඩම් කරන්න නොහැකිවුණේ තමන් වටේට  ඇහෙන්න වුණු අඩි සද්ද නිසා. දරුණුම දේ වුණේ ආදාහනයෙන් සති දෙකකට විතර පස්සේ. හැන්දෑවේ පන්සලට එන්න ආ වෙද මහත්තයා නහයෙන් කටින් ලේ දාගෙන මැරිලා වැටිලා උන්නේ පන්සලට ඇතුළු වෙන පඩිපෙළ ළඟ.

අමනුස්සයොත් එක්ක වාසය කරන්න බැරි නිසාම මේධංකර පොඩි බණ්ඩාත්,හාමිඋදුරුවොත්,සුමේධ හාමුදුරුවෝත් කාලෙකට පස්සෙ ගමෙන් ඈත පන්සලකට වැඩියා.

පන්සල පාළුවට ගියා. තවමත්.................ඔව් තවමත්....... ඒ කැලෑ පන්සලේ ගරා වැටුණු ආවාසගේ ඇතුළෙන් රෑ කාලෙට කාසි ගණින හඬ ඇසෙන්නේලු. පෝය දවසකට වුණත් වල් බිහිවුණු  පන්සල පැත්තෙන් හමන්නේ අප්පිරිය සහගත පෙරේත ගඳක්ලු... සෙවල බැඳුණු පඩිපෙළේ හැන්දෑවේ හයෙන් පස්සේ වාඩිවෙලා බලා ඉන්නෙ  පන්සලටම අරක් ගත්තු   ඉහේ කෙස්ගහක්වත්  නැති පෙරේතය ලු......





ප . ලි : කතාව මට කිව්වේ එස්. කේ. දිසානායක කියන ගුරු මහත්මයා. ඔහු පැවදිව සිට සිවුරු හැර දැමූ කෙනෙක්. විශේෂත්වය...... පැවදි සමයේ ඔහුගේ  මිතුරා - මේධංකර ස්වාමීන්වහන්සේ.

Tuesday, August 21, 2012

නිහඬ නොවූ ආත්මය





විශේෂයි : මට දැනෙන විදිහට අද කතාව ටිකක් සැරයි. අධි සංවේදී අය ඉන්නවනම්, දැන් රෑවෙලා නම් - කතාව කියවන අතර මැද්දෙ විදුලි විසන්ධි ඉවීමක් ඇති වෙන්නෙ නෑ කියලා සහතිකනම් කියවන්න. නැත්තම් tab එක  close කරලා යන එකට මම ගොඩක් කැමතියි.
 ලැබුණු විස්තරවලට අනුව නම්  මේ කතාව හැත්තෑ ගණන්වල කුරුණෑගල පැත්තෙ සිද්ධවෙච්ච දෙයක්.


තනිකම - ඒක ආත්මීය දෙයක්.හදවතේ ගැඹුරුම තැනට දැනෙන හැඟීමක්.විශ්වාස කරන්න. මට අහන්න තියෙන්නෙ එක දෙයයි.ඒ ගැඹුරු හැඟීම දැනෙන්නේ හදවත් ඇති එවුන්ට විතරද?උන්ට...............උන්ට ඒ දේ අයිති නැද්ද? මම...........ආයෙත් අහන්නම්.......

දවසක මටත් ඔබටත් තනිකම දැනෙන්නෙ ඇති.ඒත්......... අපට කවදාවත් තනිවෙන්න නම්  බැහැ.ඕන වුණත් ඒක කරන්න බෑ.මේ මොහොතෙත් ඔබ වටාම  උන් ඇති.උරහිසට උඩින්, මේ පෝස්ට් එක දිහා උනුත් බලාගෙන ඇති ඇති.

එපා ..........කරුණාකරල පිටිපස්ස හැරෙන්නනම් එපා. පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න.......ඒ හීනි කෙඳිරිල්ල ඇහෙනවද? එහෙම නැත්තං හීනි සීතලක් බෙල්ල දෙපැත්තතෙන් පටන් අරන් කන්දෙක පැත්තට ඇදිල යන හැටි දැනෙනවද?

මතක් කරගන්න.අන්තිමට මළ ගෙදරකට ගියේ කවද්ද? මං දන්නවා....ඔබට මතකයි. මිනියෙ ඔළුව ළඟින් පත්තු කරපු පොල්තෙල් පහනේ දැල්ල හෙලවෙන හැටි ඔබට මතකයි. ගොඩක් දේවල් ඔබ දකින්න ඇති.ඒත්...............ඔබ නොදැකපු දේවල්!!!


මේ ...........ඒ ගැන.

මයුරි මළේ දියේ ගිලිලා. එහෙම කිව්වෙ මිනිය වැව් ඉවුරේ අතැරල දාපු මංකඩකට ගොඩ ගහල තිබිච්ච නිසා.මුනින් අතට හැරිලා ඔහේ බාගෙට වතුරේ පාවි පාවි තිබුණු මිනිය මුලින්ම දැක්කේ හවස් ජාමේ කබල් බයිසිකලෙත් තල්ලු කරගෙන වෑකන්ද දිගේ ආපු මීවන ගෙදර විජේ.කන්ද දිගේ ඇඳිච්ච පාර මැදම බයිසිකලේ අතෑරලා දාපු විජේ, පැටලි පැටලි සරමත් කැහැපට ගහගන්න ගමන් වැවට බැස්සේ හිතේ ඉපදිච්ච කලබලේටමයි.

"යකුනේ..........වරෙල්ලා ඉක්මනට මෙහාට"

වැවට බහින ගමන් ම කෑගැහුවේ ඈත මංකඩක ජබු ගහමින් හිටි කොල්ලො රෑනකට.මුනින් අතට හැරිල තිබුණු මිනිය උඩුබැලි අතට හරවද්දි විජේගෙ ඇස් උඩ ගියා. පැයගාණක් තිස්සෙ වතුරට තැම්බිලා ඉදිමිලා තිවුණ වුණත් ඒ තොල් දෙක අයිති මයුරිට බව අඳුර ගන්න  අමාරු වුණේ නෑ.
 

ගමෙ කොල්ලන්ගේ රහස් ආදරයට නිරන්තරයෙන් පාත්‍ර වෙච්ච මයුරිට විජේත් කාලයක් ආදරය කළා. පරණ ආදරවන්තියව දෑතින්ම ඔසව ගෙන අමාරුවෙන් වෑකන්ද උඩට ගොඩවුණේ ඵලක් නැති බව දැන දැනමයි.මයුරිගේ දිය බේරෙන මල් ගවුම ඇඟේ ඇලුණා.තෙත් වෙච්ච කොණ්ඩේ පහස පවා විජේට දැනුණා.ඒත් මයුරි ගිහින්..........මයුරි යන්නම ගිහින්- කාටවත්ම නොකියාම.

ගමේ රූප සුන්දරිය වෙච්ච මයුරිගෙ මරණය ගම්මානෙ පුරාම පැතිරිලා යන්න වැඩිවෙලාවක් ගත වුණේ නැහැ.
ගම්සබා පාරේ අඹගස්පිටිය හන්දිය දිහායින් මුළු හවස් ජාමේම ඇහෙන්න වුණේ මයුරිලෑ අම්මගෙ විලාපය.ගුණසීල අප්පු ගෝනි රෙද්දක ඔතාගත්තු ආම්පන්න ටිකත් කිහිලි ගන්නගෙන අඹගස්පිටිය දිහාට ඇදුණෙ මේ වෙලාවෙදිමයි. වෙනදා මේ ගමන තමන් එක්ක එන ඇළගාව ගෙදර  කොළුවා හදිස්සියේ අසනීප වීම නිසා ගුණසීල අප්පු උදව්වට අඬගහ ගත්තේ අක්කගෙ ලොකු පුතා - නන්දන.ඒත් මේ ගමනට නන්දනගෙ නම් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ.

මයුරිගෙ මළ මිනිය ගේ පිටිපස්සෙ පිළේ එළපු පැදුරක් උඩ දාලා තිබුණා. ගුණසීල අප්පු ආ බව දැක්ක, මිනිය වටේට කටවල් ඇරගෙන කම්මුලේ අත ගහගෙන බලා හිටි ගෑණු මිනිස්සු එකා දෙන්නා එතනින් හැලිලා ගියේ ගේ ඉස්සරහ පැත්තට.

"ඕං ඔය කෙල්ලව අල්ලලා අරෙහෙට ගනිල්ල බලන්ඩ"

ගුණසීල පහළ මඩුව දිහාට අත දිගුකරලා කීවේ උඩු තල්ලෙන් යටි තල්ලට හපේ මාරු කරන ගමන්මයි. ඉතිරිවෙලා හිටි තරුණ වයසේ ගැටව් කිහිපදෙනා පැදුර පිටින්ම මළ මිනිය කර තියාන අරං ගියේ පහළ වත්තේ පාළු මඩුවට.

රෑ කෑම කලින්ම ගත්තත් ගුණසීල අප්පු අලුතෙන් කොටපු විටකුත් හප හපා නන්දනත් එක්ක මඩුවට එද්දි  අටත් පහුවෙලා තියෙන්නැති.එතෙක් වෙලා මිනියට තනි රැක්ක කොල්ලො මඩුවෙන් පිටවෙලා ගියේ ගුණසීල වචනයක්වත් කතා  කරන්න කලින්. සමහරවිට ඊළඟ සිද්ධ වෙන දේ ඉවෙන්වගේ දැනිණු නිසා වෙන්නැති. පාළු මුස්පේන්තු මඩුවේ යටලීයක කෙළවරේ එල්ලලා තිබුණේ මලානික එළියක් විහිදුවපු ලන්තෑරුමක්.ඇඟ සලිත කරගෙන හමපු හීනි හුළඟකින් පැද්දුනු ලන්තෑරුමේ එළිය නන්දනගෙ ඇස්වලට ගෙනාවේ නම් හිරිහැරයක් .
ටිකක් වෙලා කරුවලට වැඳගෙන මොන මොනවදෝ කොඳුරපු ගුණසීල අප්පු නන්දන දිහාවට හැරුණා.

"පුතේ.............ඔය කහ වතුර පනිට්ටුව මෙහාට ගනිංකෝ"

ඔතලා තිබුණු මළමිනිය නිරාවරණය කරන ගමන් ගුණසීල නන්දනට කීවා.මිනිය පුරා කහවතුර ඉහපු මාමා පනිට්ටුව පැත්තකින් තියද්දි යකඩ අණ්ඩ තහඩුවේ වැදිලා නගපු හඬත් උත්සාහ කළේ නන්දනගේ හිතේ තිබුණු බය - චකිතය වැඩි කරන්න. ඊළඟට හිමින් සැරේ ගෝනි රෙද්ද දිගහැරපු ගුණසීල අප්පු තමන්ගේ ආම්පන්න එකින් එක එළියට ගත්තා.මිනියේ විලි වහලා තිබිච්ච දේවල් අහවර කළාට පස්සේ 'වී අකුරේ' හැඩේට පපුව හරහා පළවෙනි කැපුම කළේ එක හමාරේ තලයෙන්.ඔහේ බේරිච්ච ලේ ටික මයුරි මැරෙද්දි ඇඳන් හිටිගවුමෙන්ම පිහදාපු ගුණසීල අතට ගත්තේ තුන්කාලේ පිහිතලේ. ඒකෙන් පපුව ළඟ ඉඳන් පහළට වෙනකන් කැපුමක් කරන හැටි නන්දන බලා හිටියා. කැපුම් පාරවල් ළඟින් හම දෙපැත්තට ඇදපු ගුණසීල අතුණුබහන් කොටස් එක එක ළඟින් තිබුණු පනිට්ටුවට දාන්න වුණා.මස් කැලති වලින් පිරිච්ච පනිට්ටුව දිහා නන්දන බැලුවේ අප්පිරියාවෙන්.

"තලේ හොඳටම ගෙවිලනේ.මං මේක විගහට ගාගෙන එන්නං.උඹ කොහෙවත් නොයා මෙතනම හිටපන්.හොඳද?"

තවත් කැපුමක් කරන්න පිහි තලයක් අතට ගත් ගුණසීල නන්දනට කෙඳිරුවා.නන්දන කළේ ඔළුව වනන එක විතරයි. තමන්ගේ මාමා අඳුරේම නොපෙනී යන හැටි නන්දන බලා හිටියා.ඒත් හවස ගෙනා හැලි අරක්කු බෝතලේ යන්න කලින් ගුණසීල අප්පුගේ අතට තුරුළුවුනු හැටි දැක්ක නන්දනට මාමාගේ සැබෑ වුවමනාව වටහා ගන්න අමාරු වුණේ නැහැ.නන්දන තනි වුණා- බාගෙට කපලා දාපු මළ මිනියක් එක්කම - පාළු මූසල මඩුවක.ඈතින් බල්ලෙක්ගේ උඩු බිරීම ඇහුණු නන්දනගේ කොඳු ඇට පෙළදිගේ සීතලක් ඇදීගියා.

කාලකණ්ණි හෝරාවක නන්දන පාළු කපමින් හිටියා - මිනියකට.






ගුණසීල පිටවෙලා ගිහින් සෑහෙන වෙලාවක් ගතවෙලා තිබුණා.නන්දන අඳුර දිහා බලාන හිටියේ නොඉවසිල්ලෙන්.හිතේ උපන් බ්ය ඔළුවේ මවන්න වුණේ නොයෙක් විකාර රූප.නන්දන මඩුවෙන් පිටතට ඇවිත් හෙමින් හෙමින් තමන්ගේ මාමා ගිය දිහාවට අඩිය තියන්න වුණා.වත්ත පහළ කැළෑව මැද පස් කණ්ඩියක් උඩට වෙලා බෝතලේ හිස්කරමින් හිටි ගුණසීල අප්පුව හොයාගන්න නන්දනට අමාරු වුණේ නැහැ.

"මාමේ"

නන්දනත් පස්කණ්ඩිය උඩින් ඉඳගත්තේ එහෙම කියන ගමන්මයි.

"ආ........උඹද? මං මේ............හෙහෙ"

ගුණසීල මත්වෙච්ච නෙත්වලින් නන්දන දිහා බලන ගමන් හිනාවක් පෑවා.මේ වෙද්දි නන්දනගේ බයත් නැතිවෙලා තිබුණේ.තමන්ගේ මාමා ළඟ ඉන්න එක නන්දනගේ හිතට ගෙන ආවේ ලොකු හයියක් - විශේෂයෙන්ම ඒ වගේ මුස්පේන්තු ජාමයක.


"පුතේ............කවුද මඩුවට ආවේ?"


ගුණසීල එහෙම ඇහුවේ බෝතලෙන් තවත් ටිකක් උගුරට හලාගන්න ගමන්.

"කවුරුවත් ආවේ නෑ මාමා.කම්මැලි හිතුණා....ඒකයි මං මේ පැත්තට ආවේ"

"ඈ..............එතකොට දැන් මඩුවේ කවුරුවත් නැද්ද? උඹ මිනිය තනිකරලද ආවේ?"

ගුණසීල ඇස් ලොකු කරමින් පුදුමයෙන් අහද්දි නන්දනගේ බය ආයෙත්  වැඩිවුණේ නිමේෂයෙන්.

"ඔ....ඔව්.ඇයි මාමා?"

නන්දන ගොතගැහුවා.උන් තැනින් නැගිටගත් ගුණසීල අප්පු අමු තිත්ත කුණු හරුපයෙන් බනිමින් දුවන්න වුණේ මඩුව දිහාට.ඒ මුහුණේ මතුවුණු හැඟීම් නන්දනව තවදුරටත් කණ්ඩිය උඩ වාඩි කරවල තියන්න සමත් වුණේ නැහැ.දෙපයට වෙර දුන්නු නන්දනත් තමන්ගේ මාමා පස්සෙ වැටුණා.
ඒත්................ඒ වෙද්දිත් හොඳටම පරක්කුයි.වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.නන්දනට දකින්න පුළුවන් වුණේ තමන් මඩුවෙන් පිටවෙලා යද්දි මිනිය තියලා තිවුණු මැස්ස සම්පූර්ණයෙන්ම හිස්වෙලා තියන හැටි.ගුණසීලගේ මුළු ඇඟම ගැහෙන හැටි නන්දන දැක්කා.ඒ මූණේ වෙරි මතට උඩින් තැවරිලා තිබුණේ මරණීය භීතිකාවක්. බලාන ඉද්දිම තමන්ගෙ උරහිසට උඩින් කරුවල දිහා බලාන හිටි ගුණසීලගේ මූණේ හැඟීම් වෙනස්වෙන හැටි නන්දනට පෙනුණා.ඇස් ලොකු වෙන හැටි; බාගෙට ඇරුණු කට තමන්ගෙ පිටිපස්සෙ සිද්ධ වෙමින් තිබුණ නොකී දේවල් ගොඩක් නන්දනට ඇඟවූවා.

 නන්දනට ශක්තියක් තිබුණේ නැහැ - තමන්ගෙ පිටිපස්සෙ වෙන දේවල් දිහා බලන්න.වෙව්ලුම් කන කකුල්වලට තව දුරටත් බර දරාගෙන ඉන්න බැරි බව දැනුණා.ඊළඟට සීතල හුළඟක් මූණ දෙපැත්තෙන් ඇදිලා ගියා. මිනිත්තුවක් විතර ගතවෙන්නැති.ගුණසීල මාමා ලොකු හුස්මක් හෙළලා නන්දනගේ ඇඟට වාරු වුණා.නන්දන පිටිපස්ස හැරිලා බැලූවේ ඊටත් පස්සෙයි.අන්ධකාරෙම මඩුවෙන් පිටවෙලා නිර්වස්තරේම ගොඩපර ගහ යටින් ගේ දිහාට ඇවිදගෙන යන මයුරි දැක්ක නන්දනගෙ මුළු ඇඟම සලිත වෙලා ගියා.

"මං උඹට කිව්ව............"

ඔළුවෙ අත්දෙක ගහගත්තු ගුණසීල අප්පු මැස්ස ළඟින් ඇණ තියාගත්තෙ නන්දනට රවමින්.ඒත් කතාකරගන්න තරම් හයියක් නන්දනට තිබුණේ නැහැ.

"යකෝ............මිනියක් තනි කරන්න එආ කියන්නේ අහවල් රෙද්දකට නෙමෙයි.ඒ මළ මිනිය වටේට භූතයො,පෙරේතයෝ,වෙන මළගිය ආත්ම සැරිසරන හින්දා.අලුත් සරීරයක් උන්ගෙ කරගන්න එවුන් හරි කැමති.මැරිච්ච එකා වුණත් තමන්ගෙ සරීරෙ දාලා එක පාරටම යන්ඩ කැමති නෑ බං. තමන් මැරෙනකන් බලාන හිටිය ප්‍රාණකාරයොත් එක්ක එකතුවෙලා ඒකිත් බලන් ඉන්නැති - මිනිය තනිවෙලා අවස්ථාවක් හම්බෙනකං. උඹ මාව කෑවා"

"ඉතිං....අ..අපි දැං මොකද කරන්නෙ මාමේ?"

නන්දන ඇහුවේ ගොතගහමින්.

"මොනව කරන්නද කියල මට නං තේරෙන්නෙ නෑ බං.මට බය ඕකි මොන දීපංකරේක යයිද කියලා.සමහරවිට..................ඒකිට ජීවත්වෙලා ඉද්දි වැඩියෙන්ම ආදරේ කරපු කෙනා හොයාගෙන යයි .ඒ වගේ දේවල් මං අහල තියනවා"

මාමාගේ කට හඬෙහි වූ පසුතැවීම වටහා ගන්නට නන්දනට අපහසු වුණේ නැත.ගුණසීල සැක සහිතව වුණත් කියපු දේ ඇත්ත වෙන්න හෝරා දෙක තුනකට වඩා ගත ගියේ නැහැ.



*    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *  



සවස් වරුවේ වූ සිද්ධිය ගැන හිතමින් සිටි විජේට නින්ද ආවේ රෑ මැද ඇද හැලුණු වැස්සත් එක්කමයි. සීතලට ,ගෙදර පිලේ තිබුණු ඇඳේ හොඳ හැටි ගුලිවෙමින් නිසා ගත්තු විජේ, පාන්දර ජාමේ ඇහැරුණේ තෙත් වෙච්ච දෙයක් තමන්ගෙ මූණෙ ගෑවෙනවා දැනිලා. හෙමින් සැරේ අනික් ඇලයට හැරුණු ගමන්.......... දැක්ක දෙයින් බය වෙච්ච විජේ ඇඳෙන් පැන්නෙ මුළු ගමටම ඇහෙන්න කෑ ගහගෙන. ගෙදර පැලැලි දොර ඇරගෙන ඇතුළේ නිදාවුන් අය මිදුලට එන්න වැඩිවෙලාවක් ගියේ නැහැ.ඒ වෙද්දි විජේ මිදුල මැද්දේ වැටිලා හිටියේ සිහි විකලෙන් වගේ.

ගමේ හැම පැත්තෙන්ම ඇදිලා ආපු හුළු අතුවලින් මිදුල ආලෝකමත් වෙද්දි විජේගේ අත හෙමින් සැරේ යොමුවුණේ පිළේ තියලා තිබිච්ච ඇඳ දිහාවට...........


බාගෙට අයින්කළ අතුණුබහන් එක්කම විජේගේ ඇඳේ වැතිරිලා තිබුණේ මයුරිගේ  මළ මිනිය - තෙත කොණ්ඩේ කෙළවරයි එක අතකුයි තිබුණේ ඇඳෙන් පහළට එල්ලි එල්ලි. ඒත් ඒ ඇස් ...........ඒ ඇස් ඇරිලා තිබුණා - කාටව්ත් හිතා ගන්න අමාරු විදිහේ ගුප්ත ආදරයක් දක්වමින්............






ප . ලි : 1).අවුරුදු හතළිහක විතර පරණ ඉතිහාසය දිගේ එද්දි මේ සිදුවීමට යම් යම් රසකාරක එකතුවෙලා තියෙන බව මගේ හැඟීම.ඒත්.........කතාවේ අරටුවේ ලොකු වෙනසක් සිද්ධවෙලා නැති වෙන්න ඕන.

2).මහනුවර බාලිකා පාසලේ සිදුවීම නොකරන්න තීරණය කළෙමි.පරස්පර විරෝධී සිදුවීම් මහගොඩක් ඇත.

Saturday, August 11, 2012

බළල් අවතාරය

මර්කොෆ් චිත්‍රශිල්පියෙක්. ජීවත් වුණේ ශාන්ත ලෝරන්ස්වල දෙවැනි පටුමගේ කෙලවර පිහිටි මන්දිරයක.අවිවාහකයෙකු වුණත් ටියුඩර් රාජ සමයේ ගොඩනැගුණු අලංකාර මන්දිරයේ, මර්කොෆ් ගතකළේ හුදකලා ජීවිතයක් නම් නෙමෙයි. තනි නොතනියට හිටියේ ' බොස්කෝ' - හුරතල් බළල් පැටියා.කැන්වස් රෙද්ද මත පින්සල් පහරවල් දඟකරද්දි මර්කොෆ් ළඟට වෙලා  හිටියෙ බොස්කෝ.

එදා ලාවට වැස්ස වැටෙද්දි , හුළඟත් එක්ක පියාඹලා ආව හිරිකඩෙන් බේරෙන්න පහන් කණුව යට ගුලිවෙලා හිටිය බළල් පැටවා දැක්කහම මර්කොෆ්ගේ හිත උණු වුණා.ලොකු ලස්සනක් නොතිබුණත් තනිකරම කළු පාට බළල් පැටියගෙ අමුතු අහිංසකකම මර්කොෆ්ට නොදැනුණා නෙමෙයි.ආදරයෙන් දිගු කළ අත්ලට ගොඩවුණු බළල් පැටියා මර්කොෆ්ගේ පපුවේ උණුහුම පැතුවා.කාත් කවුරුවත් තමන් සමග නොසිටි පාළු මන්දිරයේ දී මර්කොෆ්ට බොස්කෝ හොඳම මිතුරා වෙන්න වැඩිකාලයක් ගියේ නැහැ.ඒ හිතවත්කම නිසාම වෙන්නැති මර්කොෆ්ගේ අතින් ඇඳුණු බොස්කෝගේ සිතුවමට ගිල්වික්වල ප්‍රදර්ශනයෙදි වටිනා සම්මානයක් හිමිවුණේ. මර්කොෆ් කවදාවත් මුදල් බලාගෙන චිත්‍ර ඇන්දේ නැහැ.ඔහුට ඕන තරම් පරම්පරාවෙන් ලැබුණු දේපළ තිබුණා.මාස දෙක තුනකට කලින් මර්කොෆ්ගේ එකම නැගණිය - ඇලීසියා  මොරොක්කෝවෙදි දියේ ගිලිලා මියගිය නිසා මන්දිරයෙ වගේම වතුපිටිවලත් තනි අයිතිය හිමිවුණේ මර්කොෆ්ට.

ඒත් හැමදේම වෙනස්වෙන්න එච්චර කාලයක් ගියේ නැහැ.


දෙවැනි පටුමග දිගේ වේගයෙන් ආපු කැබ් රථයක් ගේට්ටුව ගාව නැවතුණා. දොර ඇරගෙන එළියට බැස්සෙ අලීෆ්. ඒ ඇලීසියා මැදපෙරදිග දි හිතුවක්කාරෙට බැඳගත්තු මුස්ලිම් ඉලන්දාරියා. දොර ඇරගෙන මන්දිරයට ඇතුල්වුණු අලීෆ් ,පුටුවක් උඩ නිදාගෙන හිටි බොස්කෝ විසික්කළේ බෙල්ලෙන් අල්ලලා දෙතුන් වරක්ම හොලවලා.චිත්‍රය කෙරේ මුළු අවධානය යොදාගෙන හිටි මර්කොෆ් ආපසු හැරුණේ බොස්කෝගේ වේදනාත්මක කෑගැසීම ඇහිලා.අලීෆ් පුටුවේ ඉඳගෙන හිටියා.ඒ මූණේ තිබුණේ රෞද්‍ර බවක්.

_
_
_
_
_

අලීෆ් ගියාට පස්සේ මර්කොෆ්ගේ අතැඟිලි වෙව්ලන්න පටන්ගෙන තිබුණා. ඒ බව පෙන්නුවේ කැන්වස් රෙද්ද මත ඇඳුණු ඉරි ඒ කෑලි.පින්සල වතුර භාජනේට ඔබපු මර්කොෆ් පුටුවක් උඩට වැටුණේ ලොකු පශ්චාත්තාපයකින්.තමන් අලීෆ්ට කතා කළා වැරදියැයි මර්කොෆ්ට දැනුණා.අලීෆ් තමන් හිතනවට වඩා දරුණු මනුෂ්‍යයෙක් බව මර්කොෆ් වටහාගත්තා.

" මේ දෙපොළ මට ලියලා නුදුන්නොත් උඹටත් වෙන්නෙ උඹේ නංගිට වෙච්ච දේම තමයි"

මර්කොෆ්ට අයෙ අයෙත් ඇහෙන්න වුණේ අලීෆ් තමන්ගෙ කමිස කොලරයෙන් අල්ලගෙන මහ හඬින් ගුගුරපු දේ.අස්වාභාවික වුණත් තමන්ගේ නැගණියගේ මරණය අලීෆ්ගේ වැඩක් බව මර්කොෆ් කවදාවත් හිතුවේ නැහැ. මන්දිරය - දේපොළ නිසා නැගණියගේ වගේම තමන්ගේ ජීවිතයත් නැතිවෙන්න යන බව මර්කොෆ්ට නොදැනුණා නෙමෙයි.

බොස්කෝ මර්කොෆ්ගේ පාදයේ ඇවිත් දැවතුණේ මේ වෙලාවෙදි.අලීෆ් විසින් විසිකර අසල වූ උල් දාරයක වැදීමෙන් බොස්කෝගේ හිස තුවාල වී තිබුණා. මර්කොෆ්ගේ බය තවත් වැඩි කලේ ඒ තුවාලයෙන් එළියට ආ රතු රුධිරය.
බොස්කෝව තුරුළු කරගෙන අවන්හලට ගිය මර්කොෆ් , අවන්හල් හිමිකරු 'මහත ජිම්'ට සිද්ධවුණු හැමදේම කිව්වේ උදව්වක් බලාපොරොත්තුවෙන්.ඒත් මර්කොෆ් සනසවන එක හැරෙන්න ජිම්ට කළ හැකි වෙන උදව්වක් තිබුණේ නැහැ.සැහෙන්න වෙලාවක් ජිම් උත්සාහකළේ මර්කොෆ්ගේ හිත හදන්න.මර්කොෆ් අවන්හලෙන් පිටවුණේ රෑ එකොළහත් පහුවුණාට පස්සේ. බොස්කෝව පපුවට තුරුළුකරගත් මර්කොෆ් අන්ධකාරෙම හිරිපොද වැස්සෙ තෙමි තෙමි දෙවැනි පටුමග දිහාට ඇවිද යන හැටි ජිම් බලාහිටියෙ දුකෙන්.


ඒත් ඒ දුක දෙගුණ තෙගුණ වුණේ පහුවදා උදේම අවන්හලට පියාඹගෙන ආව ආරංචියකින්.ඇඳගෙන හිටි ඒප්‍රනය පිටින්ම ජිම් දෙවැනි හරස්වීදියට දුවගෙන ගියා. ඒත් ඒ වෙද්දි වෙන්න ඕන හැම දේම වෙලා.මර්කොෆ්ගේ සිරුර පාර මැද වැටිල තිබුණා.මහත ටයර් එකකට යට වුණු නිසාදෝ කොහෙද බොස්කෝගේ ඇඹරුණු ශරීරය තිබුණේ ආදරණීය ස්වාමියාගේ පපුවටම ඇලිලා.




එක කාලකන්ණි හැන්දෑවක මළහිරු බැහැගෙන යද්දි මර්කොෆ්  ළඟින්ම බොස්කෝත් සුසානයේ පස්කන්දකට යටවුණා.

කැබ් රථයක ටයර් සලකුණු නිසා බොහෝ දෙනෙක්ගේ ඇඟිලි දිගුවුණේ අලීෆ් දිහාවට.ඒත් සිද්ධිය දුටු කවුරුවත්ම නොසිටි නිසා අලීෆ් චෝදනාවලින් නිදහස් වුණා විතරක් නෙමෙයි දෙවැනි හරස් වීදියේ පදිංචියටත් ආවා.මන්දිරයට ආව අලුත් අමුත්තගෙ හැසිරීම අන්තිම නරක වුණත් පදිංචිකාරයන් කවුරුවත්ම අලීෆ්ට විරුද්ධව කිස්ත් නොකළේ, ඔහුගේ දරුණු බව දැන සිටි නිසා.මුහුණ පුරා රැවුලක් වවාගත් අලීෆ් සාම්ප්‍රදායික මුස්ලිම් හිස්වැස්මත් ලාගෙන කැබ් රථයෙන් වීදිය දිගේ එහාට මෙහාට වේගයෙන් යන හැටි දෙවැනි හරස් වීදියේ පදිංචිකාරයෝ බලාන හිටියා.

ඒත් කැබ් රථයට වැඩිදවසක් වීදියේ දිගේ දුහුලි විසුරුවන්න අවකාශය ලැබුණේ නැහැ. එක රාත්‍රියක ..........වීදිය කෙළවරට ආසන්න හරියකින් ඇහුණේ මහා හඬක්.ඒ වනවිටත් ඉදිරිපස පහන් දැල්වෙමින් තිබුණු අලීෆ්ගේ කැබ් රථය පාරෙන් පිටතට පැන මාර්ගයේ පැත්තක තිබුණු විශාල ගසක වැදී තිබුණා.අලී අනතුරට පත්වෙලා සිටියේ මර්කොෆ් හා බොස්කෝ ජීවිතවලින් සමුගත් තැනමයි.ඉදිරිපස වීදුරුව කඩාගෙන ආ අලීෆ්ගේ තරබාරු සිරුර වැටී තිබුණේ කැබ් රථයේ ඇඹරී ගිය බොනට්ටුව මත.ඇස් ඇරී තිබුණු මුහුණේ තිබුණේ මහත් බියකට පත්වෙච්ච ලකුණු .අනතුර වූ තැනට ආ කවුරුව්ත් අලීෆ්ගේ නිසල සිරුර ඉවතට ගන්න උත්සුක වුණේ නැහැ. ඒ ඔවුන් විශ්මයට පත්කර තිබුණු නිසා - ලේ තැවරුණු අඩි සටහන් රැසක් බොනට්ටුව මත විසිරිලා තිබුණා - බළල් අඩි !!!

අලීෆ්ගේ මළ සිරුරේ මුහුණ පුරා විසිරුණු සිහින් නිය පහරවල් හිත්වල ඉතුරු කළේ තවත් අභිරහසක්.ඒත් අලීෆ්ගේ සාම්ප්‍රදායික හිස්වැස්ම ලේ තැවරී ,මර්කොෆ් වළලා දැමූ තැන වූ පස් කන්ද මත තිබී හමුවීමෙන් ඒ හිත්වලට ලැබුණේ ප්‍රත්‍යක්ෂ නොවූ ගුප්ත විසඳුමක්.

මර්කොෆ්ගේ මිනීවළට නුදුරින් වූ  කුඩා වළෙහි තවදුරටත් බළල් කුණක් නොමැති වීම ශාන්ත ලොරන්හි හිත්වල වූ ගුප්ත විසඳුම තීව්‍ර කළේ අසාධාරණයට ජීවයක් නැතිබව කොඳුරමින්.


" තවමන් දෙවැනි හරස් වීදියේ පහන් කණුවක් යට , මද වැසි වැටෙන දිනවල කාල වර්ණ බළල් රුවක් අඳොනා නගන්නේලු"


ප.ලි :
1). මේ කතාව දුන්නේ ලංකාවේ හොල්මන් අප්පිරියා වුණු අයට. කතාව මට කිව්වේ නැ.යු ඉන්න 'අජා'.

2). මේක මම කාලෙකට කලින් ලියලා තිබුණු එකක්.මම ඇත්තටම පබ්ලිෂ් කරන්න හිටියේ මේ දවස්වල නැගලා යන 'මහනුවර බාලිකා පාසලේ හොල්මන් ' කේස් එක. ඒ ගැන විස්තර හොයලා පෝස්ට් එකක් ලිව්වත් ......සමහර සිද්ධි පරස්පර ස්භාවයක් ගන්න නිසා ආයෙත් හොයලා බලන්න හිතුවා. ඒ වගේම කාටවත් හිත් රිදවීම් නොවෙන විදිහට ඒ සිද්ධිය ගලප ගන්නත් අමාරුයි.ඔයාලා කැමතිනම් විතරක් ඒ කතාව පස්සේ පබ්ලිෂ් කරන්නම්.