Wednesday, July 4, 2012

රූමතියගේ අවතාරය.



රේල් පීලි - සමාන්තරයි.ඈතට ඈතට ඇදිලා යනවා.හරියට ඔයයි මමයි වගේ.කවදාවත් ළං නොවී - ඒත් වෙන්වීමකුත් නැතුව.අද පෝය.මං ඉන්නේ රේල් පාරක වැතිරිලා ඔහේ අහස දිහා බලාගෙන.කෝච්චියක් එයිද දන්නේ නෑ.ආවත් කමක් නෑ.මේක මහව - මඩකලපු දුම්රිය මාර්ගය.යාපහුව ඉස්ටේසමට එච්චර දුර නැහැ.ඒත් මේ හරිය හද්ද මූකලාන.මම සියවතාවකට වැඩිය මේ සිල්පර කොට උඩින් ඒ මේ අත ගිහින් ඇති.ඒත් පීල්ලකට ඔළුව තියාන හිත සන්සුන් කරන්න හදන පළවෙනි වතාව මේ.මම ටිකක් කැළඹිලා - ඊයේ රෑ ආපු මැසේජ් එකකින්.මම එයාව අවුරුදු දහ අටක් තිස්සේ දැනගෙන හිටියා.එක වසරෙ ඉඳන්ම.මම සමනලයෙක් තමයි.මලින් මලට පියාඹනවා තමයි.ඒත් රොන් ගන්නේවත් මල් තලන්නේවත් නැහැනේ.ඒ සුවඳ චුට්ටක් විතර විඳිනවා විතරයි.ඒත් සුවඳ දෙන්න බැහැ කියන මල් මත වහන්නවත් ඒවාට ගිලී මල් කියලා අපහස කරන්නවත් මම දන්නේ නෑ.මට හැම මලක්ම 'ලිලී'මලක් - ලස්සනම ලස්සන ලිලී මලක්.මට ඕන වුණේ ඒ මල මත නතර වෙන්න.එපා නම් මම යන්නම්.ඒත් මම මල් එපා කියන්නේ නැහැ.


මම කිව්වනේ........මේ හරිය හද්ද මූකලාන.රේල්පාරයි මමයි විතරයි.අද කතාවට පාදක වුණු සිද්ධිය හරියටම වෙලා තියෙන්නේ දැන් මම ඉන්න ඉසව්වේ.
කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කිව්වහම බොහොමයක් දෙනා අහල ඇති.මන්තර ගුරුකංවලට ප්‍රසිද්ධ ඒ හාමුදුරුවෝ ඉඳලා තියෙන්නෙත් මේ පැත්තෙම තමයි.ඉස්සර ඒ හාමුදුරුවෝ මන්තර වලින් කෝච්චි නතර කළාය කියන්නෙත් දැං මම ඉන්න හරියේ.
මේ කතාවට කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ සම්බන්ධයක්නම් මට පේන්නේ නැහැ.ඒත් ඒ කාලේ මළගිය ආත්ම ගුරුකංවලින් නිදහස්වුණු පැත්තක් විදිහට මේ පාළු ඉසව්ව ප්‍රචලිතයි.

_
_
_
_
_
_


ජයරත්න කියන්නේ හේරත් බණ්ඩගේ ලොකු පුතා.ගමේ හිටිය ගජ ඉලන්දාරියෙක්.ඒත් ජයරත්න හරිම අහිංසකයෙක්.තමන්ගෙ පාඩුවේ ජීවත් වුණේ.ඉගෙන ගන්නත් දක්ෂ නිසාම තමයි මහව ලොකු ඉස්කෝලෙට ඇතුල්වෙන්න අවස්ථාව ලැබුණේ.උදේ පාන්දරම ගුරුපාර දිගේ අප්පච්චිගේ බයිසිකලේ පැදගෙන ඉස්කෝලෙට යන කඩවසම් ජයරත්න දිහාවට ගමේ ගෑණුළමයින්ගෙ ඇස් යොමුවුණේ ඉබෙටම.ඒ සමහර ඇස් ජයරත්නට ඉඟි බිඟි නොපෑවමත් නෙමෙයි.ඒත් ජයරත්න තමන්ගේ පාඩුවේ ඉගෙනීම කළා මිසක් සුන්දර ඇස් ඇත්තන්ගේ හදවත්වල හැටි තේරුම් ගන්න උත්සාහ කළේ නැහැ.කට්ටඹුවාව වැවට ටිකක් දුරින් තිබිච්ච ජයරත්නලාගේ ගෙදරට යන්න නම් රේල්පාර හරහා යන්නත් වෙනවා.

ගමට යන ගුරුපාර රේල්පාර හරහා වැටෙන තැන මහ මූකලානක්.දවාලටත් කරුවලයි.ඒ කරුවලට ගුප්ත බව එකතු කරන්න වගේ මුල්ලට වෙන්න පිහිටලා තිබුණේ ගමේ අතැරලා දාපු පාළු පරණ සොහොන් පිට්ටනිය.උරහිසටත් වඩා උසට වැවිච්ච පඳුරු ගොන්නක් මැද සෙවල බැඳිච්ච සොහොන්කොත් එබිකන් කරන කොට බය කියන හැඟීම හිතට ඇතුළු වෙන්නේ නිරායාසයෙන්.රෑ කාලෙට සුසානයේ පස් කඳු හාරන හිවල්ලු, ඇඟ කිලිපොලායන විදිහට හූවක් කියන්නේ දිරච්ච මිනියක ඉළඇටයක් එහෙම හම්බුනාම වෙන්නැති.

එදා පෝය දවසක්නම් නෙමෙයි.ඒත් එදා අමාවකත් නෙමෙයි.හේරත් බණ්ඩගේ පපුවට හීනියට කැක්කුම අල්ලනකොට හඳ එළියෙන් ලාවට උස් ගස් මුදුන් නැහැවිලා තිබුණා.එන්න එන්නම වැඩිවුණු පපුවේ අමාරුව ,හේරත් බණ්ඩට සිහිකළේ ගමේ වෙද මහත්තයව.

"ජයරත්න...............ජයරත්න..........මෙහාට වරේ...................... න් "

කාමරේට වෙලා කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර කර හිටි ජයරත්න පුටුවත් පස්සට කරගෙන නැගිට්ටුණේ ඉබේටම.ඊළඟ තත්පරයේදි ජයරත්න හිටියේ අප්පච්චිගේ ඇඳ ළඟ.බුදු පහන ළඟ තියලා තිබුණු බෙහෙත් තෙල් කුප්පිය අතට ගත්තු ජයරත්න තෙල් ඩිංගක් හලා ගත්තේ අත බොකු ගහ ගත්තට පස්සෙයි.පපුව මත ඇතිරුණු තෙල් ඩිංගිත්ත ජයරත්නගේ අතින් පිරිමැදෙද්දි , අඩුවෙනවා වෙනුවට හේරත් බණ්ඩගේ මොර ගෑම වැඩි වෙන්න වුණා.



"අනේ පුතේ....ඉක්මනට ගිහින්....වෙද මහත්තයා එක්කගෙන වරෙන්.........."

හේරත් බණ්ඩගේ වචන ටික ඇහෙද්දි ජයරත්න බෝලකූඩුවේ එල්ලලා තිබුණු කමිසෙකුත් ඇඳගෙන ඉවරයි.ගේ පිටිපස්සට යන ගමන් අල්ලපු ගෙදර මාමාට කතා කළ ජයරත්න පිළිකන්නේ බිත්තියට හේත්තු කරලා තිබුණු බයිසිකලේ හරවලා මිදුල දිහාට ගත්තා.

"අනේ මාමා ...මම වෙද මහත්තයා ඇන්න එනකං අපේ අප්පච්චිව ඩිංගක් බලාගන්න හොඳේ"

ඊළඟ මොහොතේ ජයරත්න කඟවේනෙක් වගේ ගුරු පාර දිගේ කරුවලේම නොපෙනී ගියේ අල්ලපු ගෙදර උන්දෑ බලා ඉද්දිමයි.ජයරත්නගේ හිතේ දාහක් දේවල් හොල්මන් කළා.අප්පච්චිගේ කෙඳිරි ගෑම ජයරත්නට හිත ඇතුළෙනුත් ඇහුණා.තවත් ටික වෙලාවකින් ජයරත්න හිටියේ මංසන්ධියේ.පැත්තකින් හිවල්ලු හූ කියන සොහොන් පිට්ටනිය ජයරත්නගේ බය වැඩිකළා.ලා හඳ එළියේ හමපු හීන් හුළඟකට අහුවෙලා නටන වේලිච්ච ගොක්කොළ රෑනක් මිනීපිටිය දිහායින් ජයරත්නගේ ඇස් කොණට අහුවුණා.ඒත් අප්පච්චි....ඒ හැමකෙකටම වඩා ලොකුයි.ගුරුපාරෙන් නොගිහින් රේල්පාර දිගේම ගියහම වෙදරාළගේ නිවසේ පිටිපස්ස පැත්තට ඉක්මනටම ළං වෙන්න පුළුවන් බව ජයරත්නට මතක් වුණා.මූසල සොහොන් කොත්වල උඩ හරිය හඳ එළියෙන් දිලිසෙද්දි බයිසිකලයෙන් බැහැපු ජයරත්න ඒකත් තල්ලු කරගෙනම පියවර තැබුවේ සිල්පර කොට උඩින්.රේල් පාර දෙපැත්තේ තියන ගල්කුළු දෙකට ළංවෙද්දි ජයරත්නට දැනුනේ අමුතුම හැඟීමක්.වම් අත පැත්තේ කජු ගස්වල උස් අතු හුළඟට හෙලවෙමින් තිබුණා කියලා ජයරත්නට මතකයි.

රේල්පාර දිගටම පුදුම නිහඬ බවක් තිබුණේ.ඒ නිහඬ බව මදකට හරි නැති කළේ ගල්ගොඩවල් උඩින් වැටුණු බයිසිකලේ ගමන. පපුව වේගෙන් උස්පහත්වෙමින් තිබුණු මොහොතක ජයරත්නට දැනුණේ කවුරු හරි තමන් දිහා බලාන ඉන්න බවක්.වම් අත පැත්ත - ජයරත්නගේ ඇස් යොමුවුණේ වම් අත පැත්තට.ඒ දර්ශනය දැකපු ජයරත්නගේ හදවත නැවතුණාවගේ.සිල්පර මතින් තැබුණු පියවරත් ඒ එක්කම නතරවෙලා.ඒත් ජයරත්නට ඒ බව නොදැනෙන්න ඇති.
හඳ එළියෙන් නැහැවුණු කජු අත්තක් උඩට වෙලා ඈ බලාන හිටියේ ජයරත්න දිහාමයි.සුදුපාට සාරියේ පොට අත්තෙන් පහළට එල්ලි එල්ලි තිබුණා.හුළඟට හෙලවෙන කෙස් රොදවල් අතින් හද හදා හිටිය ඇගේ මුහුණ දුටු ජයරත්නට හැම දේම නතරවුණා වගේ දැනුණා.ඈ රූප සුන්දරියක් වගේ ලස්සනයි .ඒත් ඒ මූනේ තිබුණේ මරණීය සුදුමැලි බවක්.පිට දිගෙන් පටන්ගෙන බෙල්ල දිහට යැවුණු ක්ෂණික හිරි වැටීමක් ජයරත්නව අවදි කළා.

"අප්පච්චී..............."

තමන්ටම මුමුණගත් ජයරත්න බිම බලාගෙනම පියවර මනින්න වුණා.

තවත් සිල්පර කොට විස්සක් තිහක්  පහුවෙන්න ඇති - ආකර්ශනයකින් වගේ ජයරත්නගේ ඇස් ආයෙත් යොමුවුණේ වම් අත පැත්තට.ඒත්!!!!

මායාකාරියක් වගේ කලින් දුටු යුවතියම කඩවසම් ජයරත්න දිහා ප්‍රේමාන්විතව හිනාවෙමින්  බලාන හිටියා - ජයරත්නට ළඟින්ම තිබුණු කජුගහ උඩ ඉඳන් .ජයරත්නගේ කමිසය මේ වෙද්දිත් දහදියෙන් තෙමී ගිහින් . තවත් පියවර කිහිපයක් - හැරී බැලීමක් - අස්වාභාවික ලෙස තමා දෙස බලමින් සිනාවෙන යුවතියක් - වඩ වඩාත් ළංවෙමින් . තමන් රේල් පාරේ කොච්චර ඉස්සරහට ඇවිද්දත් ඒ යුවතිය තමන්ට  සමාන්තරව කැලෑව පැත්තෙන් තමන් එක්කම එන බව ජයරත්නට වැටහුණා.පාළු රෑ යාමෙක බයක් සැකක් නැතුව හිනාවෙන අස්වාභාවික පෙනුමක් තිබුණු තරුණිය මළගිය ප්‍රාණකාරියක්ය යන හැඟීම ජයරත්නගේ හිතට මේ වෙද්දිත් ඇතුළුවෙලයි තිබුණේ.ජයරත්න හිටියේ උමතු වීමට ආසන්නවෙලා වගේ.
රේල්පාර මැදම බයිසිකල අතහැරිය ජයරත්න ආ මග ඔස්සේම ආපහු දුවගෙන යන්න වුණා.ගුරුපාර ළඟදී සරම පැටලී වැටෙන්නට ගියත් ජයරත්න නතර වුණේ ගෙදර එළිපත්ත උඩ ඉඳගත්තට පස්සේ.


හිසේ අත්දෙක ගසාගත් ජයරත්න නොනවත්වා දොඩවන්නට වුණා.හේරත්බණ්ඩාගේ අසනීපය නිසා නිවසට රැස්වෙලා හිටි අහළ පහළ අයට සිදුවීම තේරුම් ගැනීමට එතරම් වෙලාවක් ගියේ නැහැ.මහ කඩේ වාහනේට පටවා හේරත් බණ්ඩා ඉස්පිරිතාලයට  පිටත් කළ පිරිස ඇඳක හාන්සි කරවූ ජයරත්න ගැන විමසිලිමත් වුණා.ඔහුට පියවි සිහිය ලැබුණේ ඉලපත් පාර දෙකක් දී ඔළුව අද්දරින් දෙහිගෙඩි කපාදැම්මටත් පස්සෙයි.

ජයරත්න තමන් මුහුණදුන්නු අත්දැකීම විස්තර කරද්දි අසල්වැසි ගැහැණු කම්මුලේ අතගසා ගන්න වුණා.


"ඔව්වා ඔහොම තමයි.ඔය සොහොන් පිටිය හරියේ මේ දවස්වල ඔහොම එකක් අහන්න ලැබෙයි කියලා තමයි මං හිතාන වුන්නේ "

පස්තෙල් උතුරන තෙල් තාච්චියට වැටුණු දෙහි බෑයක් ගිරේට  අහුකරගන්න ගමං බ්‍රෙම්පි ආතා කියපු දේ හැමෝගෙම හිත්වල අති කළේ කුකුසක්.කවුරුත් ඒ ගැන කටින් නෑසුවත් තමන්වටේ හිටිවුන්ගේ ඇස්වලින් ආතාට ඒ බව පෙනුණා.

"උඹලා දන්නේ නැතිවුණාට පහුගිය දවසක......... බැඳගෙන හිටිය එකියක් නිදහස් වුණාලු.ඒකිට දැං ....ඔය හරිය කැප කරල දුන්නේ හාමුදුරුවොමලු.ඒකි පිරිමින්ට ආසාවෙන් මැරිච්ච සුන්දරියක්ලුනේ.දැං ඉතින් උඹලත් රෑ ජාමේ අවේලාවේ ඔය පැත්තේ කරක් ගහනවා එහෙම නෙමෙයි ඕං "


බ්‍රෙම්පි ආතා පඩික්කමට ගහපු බුලත් කෙළ පැල්ලමටත් වඩා තදට වටේ හිටි තරුණ උන්ගේ හිත්වල ඒ කාරණය සටහන් වුණා.

අවුරු ගාණකට කලින් ඒ සිද්ධිය සිද්ධවුණත් තවමත් මේ පැත්ත පාළුයි - පට්ටම පට්ට පාළුයි.සමහරවිට ඒ මළගිය සුන්දරිය තවමත් මේ ඉසව්වේ රෑ කාලෙට මුදු හඳ එළියේ සක්මන් කරනවා ඇති- නොලැබුණු තරුණයෙක් වෙනුවෙන්..........





ප . ලි :
 1).කතාව මට කිව්වේ අපේ ලොකු අම්මා.එවැනි සිදුවීමක් මේ ප්‍රදේශයේ තවමත් ඇති බව සහතිකයි.ඒත් අඩු වැඩිය පෙරලා ගන්න.අපේ ලොකු අම්මට මේ දවස්වල ටිකක් සඳ මෝල්.

2).පෝස්ට් එක ලිව්වේ ඊයේ උදේ.ඇත්තටම රේල්පාරේ වැතිරිලා ඉද්දි.photo එක අරන් දුන්නු නන්නාදුනන මිත්‍රයට බොහොම ස්තූතියි.photo එකේ ඉන්නේ ඔයාලා අඳුරන කෙනෙක්.

3).(එක කොටස )පළවෙනි ඡේදය වැඩිය ගණන් ගන්න එපා.මේ දවස්වල මටත් සඳ මෝල්.

3).(දෙක කොටස )කවුරු ආදරණීය මිතුරෙක්/මිතුරියක් හරි ගෑල්ළමයෙක්ගෙන් කැමැත්ත විමසන නිවැරදිම ආකාරය දන්නවනම් කියන්න.....;)






39 comments:

  1. පළවෙනි ඡේදේ හැටියට සඳ මෝල් කෙසේ වෙතත් ලොක්කට හඳ පායගෙන එන බවක්නං පේනවා....??

    ජයවේවා කිව්වා එහෙනං..!

    ReplyDelete
    Replies
    1. අනේ බං ලසී........උඹ මං ගැන දන්නවනේ.අපි 1:9 අනුපාතෙට වේලෙන කට්ටියනේ.හඳක් පායන්න ගිහින් යන්තම් බැහැලා ගියා...මාව ආයෙත් අනුකලනය වුණා වගේ .....

      Delete
    2. හපොයි..! නිවාඩුවෙ ගොඩක් දේවල් වෙලා වගේ...????

      සැලෙන්ඩ එපා බොස්..!!
      :D

      Delete
    3. සැලකිය යුතු දේවල්වුණා.....තවත් ස්ට්‍රයික් එක දුරදිග ගියොත් වෙන මොනව හරිත් කරන්න බලන්න ඕන...........රන්වන් පාටයි සමනලයා නේ.

      Delete
  2. කමෙන්ට් කරන අපිටත් සඳ මෝල්ද?

    ReplyDelete
    Replies
    1. සඳනම් කෙසේවෙතත් ________ වෙන්නැති..තරහා නෑනේ?

      Delete
  3. ආ......යාමයටත් සඳක් පායනව වගේ එහෙනම්......:)
    සුභම සුභ පැතුම් අයියෝ......!!

    හිත හිත ඉන්න එපා....කෙලින්ම අහන්න....

    ReplyDelete
    Replies
    1. සඳ බැහැලා ගිහින් ඉවරයි......දැන් ඉතිං ලොවෙත් ෆ්‍රී...ඊළඟට කවුරු හරි ගැන හිතුණොත් (එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ) කෙලින්ම අහන්නං....මට බාටා,රන්පා,ආරුගම්ම්බේ මැවී පෙනේ.......

      Delete
    2. හික්ස්......:P
      හයියෝ මෙයානම්....

      Delete
  4. බයත් හිතුන අප්පා...!

    ReplyDelete
    Replies
    1. ආයෙත් බය වෙන්න එන්න....:D

      Delete
  5. යකෝ ඇඟේ මයිල් කෙලින් වුනා.. හම්මෝ නිකම් හිතපන්.. මහ රෑ තනියම ඉද්දි සමාන්තරව ගමන් කරන රූමතියක්.. බුදු අම්මෝ මටත් දෙහි ගෙඩියක් !! බුග් - හ් බ්ලග් හ්

    ReplyDelete
    Replies
    1. මොනව වුණත් රූමතියක්නේ.චුට්ටි හිනාවක් එහෙම දාන්න බලන්න.
      මම කුරුන්දේ හැම පෝස්ට් එකක්ම කියවලා ඉවරයි.අලුත් එකක් ඉක්මනටම ඕන.Loss - 33 එක වගේ මොරාල් අප් වෙන එකක්නම් වැඩියම හොඳයි...

      Delete
    2. ස්තූතියි ඔක්කොම කියෙව්වට. ඉක්මනටම එකක් දාන්ඩ බලන්නම්.. වැඩත් එක්ක ටිකක් අමාරුයි වැඩේ..

      අනේ මේකෙ බැක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරපන්කො.. මේකත් නිකන් හොල්මන් ගුහාවක් වගේ.. ඔක්කොවන්ටම වැඩිය ඇහැට අමාරුයි..

      Delete
    3. ඒක තමයි වෙනස් කරන්න ඕන..ඊළඟ එකේදි ඒ වෙනස එක්කම එන්නම්.

      Delete
  6. පපුව ඩින්..ඩින් ගානවා..

    මගෙත් නංගි කෙනෙක් ඉන්නවා මහව හරියේ..ගිය අවුරුද්දේ වගේ අපි එහේ ගියා..එහේ වැඩිහිටි නිවාසේකට දානයක් දෙන්න ..එ පැත්ත හරිම පාලුයි..පැත්තේ නමවත් මතක නැනේ ..එ කොහොම උනත් ඔය රේල් පාර මතක් උනා..එ පැත්තේ ලිද ගාව එහා පැත්තේ රේල් පාර...එහා පැත්තේ කැලාව...බය හිතෙනවා මහ දවල්ටත්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...ඒ පැත්තේ අමුතු ගුප්ත බවක් තියෙන්නේ.දවල්ටත් රෑසියෝ ( ඇත්තම නම දන්නේ නෑ )කියලා සත්ත්ව විශේෂයක් කෑ ගහනවා - බය වැඩිකරන්නමද කොහෙද...බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  7. ප.ලි 3 : කෙලින්ම අහලා දන්න.. ඕවා පඩම් කරලා අහන්න බෑ.. හිතට එන වචන සැට් එක අමුණන්න..

    යාමයට මීට පස්සේ රෑ වෙලා එන්නේ නෑ.. හොල්මන්මනේ තියෙන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොඳ අදහසක් වගේ.මොනව වුණත් සිසිලියට පැනගන්න තිබුණනම් ලොවෙත් සිරා .

      අවුලක් නෑ.බොසා නැති වෙලාවක් බලලා ෆාමසියේ දෝස්තෝරේ නෝනත් එක්ක අවිත් බලන්න.තනියම එන්න එපා.:D

      Delete
    2. මාත් ආව පලවෙනි දවසෙම හිතාගත්ත දෙයක් තමයි රෑවෙලානම් එන්නෙම නෑ කියල....බයවුන පාරට එදා ඉතිපිසෝ ගාතාව කිය කිය හුළඟෙ සද්දෙට අඹගහේ අතු හෙල්ලෙනකොට බය වෙවී සේරම පෝස්ට් ටික කියව කියව මුළු රෑම නිදි නෑ........^_^

      Delete
  8. උඹේ තුන් වෙනි පුරස්නෙට උදව් කොරන්න පුලුවන්. උවමනා නම් කියපන්. ජය...!

    වඩාම හොද නම් පුරස්නෙට කෙලින්ම මූන දෙන එක. ගැල්ලමයි කැමති කොල්ලෝ වගේ උන්ට නෙමේ කොල්ලන්ට. කොල්ලෙක් කියන්නේ ශක්තිය,ධෛර්ය,දක්ශකම,නිර්භීතකම හා සෘජු කියන ඒවට කියන තනි වචනයක්. ඔය කියන හැමදේම තියන කොල්ලෙකුට අකමැති කෙල්ලෝ කොහේවත් නෑ. මෙයා මොනවා කියයිද කියකියා හිත හිත නොයිද උඹේ හිතේ තියන දේ කියපන් මලේ. එයා කියන දේවල් එයා මිස උඹ හිතන්නෝන නෑ. වඩා වැදගත් වෙන්නේ කියන එක මුලින්. ඊට පස්සේ වෙන දේවල් ඊලගට නොවැ. හැම ගමනක්ම යන්න නම් මුලින් තියන්නෝන එක පියවරක්.....!

    ReplyDelete
  9. බොහොම ස්තූතියි අවවාදෙට.මම හිතන්නේ මේක අත්දැකීමෙන් 'අත්දුටුවක් ප්‍රත්‍යක්ෂයි ' කරගත් එකක් වගේ.මමත් කොල්ලෙක් වගේ නොවී කොල්ලෙක්ම වෙන්නම්.....මම දවසට දෙවරක් දත් මදින්නේ නැති නිසා ආයෙත් ඒ ගෑල්ළමයගෙන් අහන්නෙනම් නෑ.අලුත් කෙනෙක් හම්බවුණොත් ඔය විදිහට 'පළමු පියවර ' තියන්නම්.ආයෙත් ඇවිත් යන්න එන්න!

    ReplyDelete
  10. Replies
    1. අම්මියව හොයන්නේ එච්චරටම බය වෙලාද..වෙන්න බෑ.ලොකු ළමයිනෙ දැන්.

      Delete
  11. අපොයි...බැද ගත්ත අයව එහෙම නිදහස් කරනවද??

    ReplyDelete
    Replies
    1. නිදහස් කරනවා විතරක් නෙවෙයි .. යම් යම් අතපසුවීම් හින්දා ඒගොල්ලො නිදහස් වෙනවා.. එහෙම නිදහස් උනොත් හරිම දරුණුයි.. මහ විනාසයක් කරල තමයි නවතින්නේ

      Delete
    2. නිසූපා අක්කේ,මී අයියේ.. ..එහම නිකන්ම නිදහස් කරන්නේ නැහැලු.කාටවත් කරදර කරන්නේ නෑ කියලා පොරොන්දු කරවගෙන නිදහස් කරන්නේ.ඒත් පොරොන්දු කඩකරන අය ඉන්නේ මනුස්ස ලෝකේ විතරක් නෙමෙයිනේ..

      Delete
  12. අනේ කථාව කියවල මටත් සඳ කෙසෙවෙතත් ඉතුරුටික උනාද මන්දා..

    වෙලාවට අර රජා ඇවිත් නෑ මේ පැත්තට.. ඌ මේක දැක්කොත් බුදු සුවර් ඕක ඔය කෑල්ල හොයාගෙන යනවා.. හොල්මනකටවත් ඉන්න දෙන්නෙ නැති වල් රජෙක් ඕකා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි....මම ළඟදි දැක්කා වට අඩි ප්ලාස්කුවක් එක්ක ඔය රජා සෙල්ලම් කර කර ඉන්නවා.මගෙ හොල්මන් ගෑණු ළමයි කොහොම බේරෙයිද මන්දා..

      Delete
  13. මදැයි රෑ 12 ට විතර ඇවිත් කියවන්න ලැබුණ දේ.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් ඒ වෙලාවටම එන්න.එතකොට තමයි හොල්මන් කතාවල නියම රසය දැනෙන්නේ...

      Delete
  14. පහු වෙලා හරි බය වෙන්න ලැබුනු එකනං එල..
    ඔන්න මාත් බය උනා..

    ReplyDelete
  15. ආවෙත් අදමයි.අම්මෝ හිම කුමාරි භය වුන තරමක්.හික්ස්...නෑ..නෑ..ඇත්තටම භය වුනා.අනිත් පොස්ට් ටිකත් බලන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් බයවෙලා යන්න එන්න.:)

      Delete
  16. හපොයි....මැවිලා පෙනේවි රූපේ...

    ReplyDelete
    Replies
    1. මැවිලා පෙනුණොත් නියමයි ලකී....lol

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. though you removed it I still can read it.U knw ....I gv up it.lol.But if u knw a proper way i m waiting 2 knw abt it.:)

      Delete