Sunday, July 29, 2012

හොස්ටල් - හොල්මන් භීතිකාව ( මගේම අත්දැකීම )



කතාව කියන්න කලින් මුලින්ම මේ ටික කියල ඉන්නම්කෝ.විද්‍යාත්මක පල් හෑලිවලට අකමැති අය මේ කෑල්ල ස්කිප් කරල කෙලින්ම කතාවට යන්න. මමත් විද්‍යාවට එච්චර කැමති නැහැ .ඒත් හිතේ එදා ඇතිවෙච්ච බය ඩිංගක් හරි නැතිකරගෙන ඉන්නෙ මෙන්න මේ විද්‍යාත්මක පසුබිම ගැන හිත හිතා.හැමදාම අනුන්ට වුණු දේවල් ගැන කියව කියව ඉන්නව මිසක් මට වුණු දේවල් ගැන කියලා නැහැනේ.විශ්වාස කරන්න......මේ සිද්ධිය දැන් වෙලා මාසයක් විතර ඇති.

අපි ජීවත්වන පරිසරෙයේ තියන යම් යම් පදාර්ථවල ඝනත්වය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා.උදාහරණයක් විදිහට ගත්තොත් වායු ගෝලයේ ඝනත්වයත් මේ හැසිරීමමයි දක්වන්නෙ.සමහරවිට ඔයාලා අහලත් ඇති......ආලෝකය, ධ්වනිය වගේ තරංග විශේෂ එක් එක් මාධ්‍යන් තුළ ගමන් ගන්න ප්‍රවේගයන් වෙනස්.ඒකට මාධ්‍යයේ තියන ඝනත්වය බලපානවා.ඒත් උෂ්ණත්වයේ විචලනයෙන් ඝනත්ව වෙනස් වීම් ඇතිවෙලා විශේෂිත කාල පරාසයන් තුළ කලින් කිව්ව තරංගවලට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා............හැමෝටම තේරෙන බාසාවෙන් කිව්වොත්
" දවල් කාලෙ ඔය ගොඩ නැගිලි බිත්තිවලට උරා ගන්න සද්දෙයි , එළියයි තරංග ආයාමවල වෙනස් වීම් නිසා එළියට එන්න බැරිවුණත් රෑ කාලෙට වටේ පිටේ තියන වාතයේ වෙනස් කම් නිසා එළියට එන්න පුළුවන්.....ඕ.කේ?"

ඔන්න දැන් තමයි කතාව................

අපි හැමෝම හිටියෙ මිනී මර මර.හැමෝම කිව්වට මුළු හොස්ටල් එකටම හිටියෙ අපි හතරදෙනා විතරයි.ඒ මගේ විශ්වවිද්‍යාලෙ නොවුණත් මමත් පේළියට තිබුණු ඇඳක මුනින් අතට සැතපිලා මිනී මැරුවා.මගේ වම් පැත්තේ ඇඳේ එක්කෙනයි.ඉස්සරහ ඇඳේ තව දෙන්නයි.ලැප් හතර නෙට්වර්ක් කරලා අපි කොඩ් ගහනවා.සිංහලෙන්ම කිව්වොත් අපි හොඳ හැටියට මරා ගන්නවා.
මම වෙන විශ්වවිද්‍යාලෙකට අයත් වෙච්ච නිසාදෝ  අනිත් උන් හැම වෙලාවෙම බැලුවේ මාව මරන්න.මමත් අතැරියේ නැහැ.අපි බරටම කොඩ් ගැහුවා.ඔහොම පැයක් විතර යද්දි මගේ පාට්නර් ගැමුණුට වොෂ් රූම් එකට යන්න වුණේ අර කාටත් රෑවෙද්දි හැදෙන ලෙඩේ හැදිලා.අපි පොඩි ඉන්ටවල් එකකටත් එක්ක ගේම් එක නවත්තලා ගැමුණු එනකං හිටියේ.විනාඩි දහයකටත් වඩා ගත වෙන්න ඇති.ඒත් ගැමුණු නැහැ.අපි තුන්දෙනා ගැමුණු ගැන ලෝකෙ නැති කුණුකතා කිය කියා ඉද්දි තමයි මගේ කටින් "හොල්මන්" කියන වචනේ එළියට පැන්නේ.

ඒ වචනේ ඇහුණු ගමන් ඉස්සරහ ඇඳවල්වල හිටි මගෙ යාළුවො දෙන්නගේ මූණුවල තිබුණු හැඟීම් වෙනස්වෙන හැටි මම බලාගෙන.මගෙ නළලත් රැළි ගැහෙන්න ඇති.
ප්‍රදා ඇඳෙන් එකපාර නැගිටලා හිට ගත් විදිහ දැක්කහම මමත් මගෙ ඇඳෙන් නැගිටුණේ ඉබේටම.

"අඩෝ මට අමතක වුණානේ....උඹල දෙන්නත් වරෙන්කො පොඩ්ඩක් යන්න"
ප්‍රදා අනික් ඇඳේ හිටි හසායටයි, මටයි කිව්ව.ඒ මූණෙ තිබුණු ඇඟ කිලිපොලන හැඟීම දැක්කහම ඇඳ විට්ටමේ වනල තිබිච්ච කමිසේ මගෙ ඇඟේ හිරවුණේ තත්පරයෙන් .

"අඩෝ ඇයි මචං.මොකෝ සීන් එක "
මම ප්‍රදාගෙන් ඇහුවෙ හිතේ තිබුණු කුතුහලේටමයි.

"නෑ නෑ මුකුත් සීන් එකක් නෑ.පොඩ්ඩක් වරෙන්කෝ.මට අරූට දෙයක් කියන්න බැරිවුණානේ"
ලෙවල් වන් ඉඳලා හොස්ටල් එකේ හිටිය නිසා ප්‍රදා අපි හැමෝට්ම වඩා ඒ ගැන දැනං හිටියා.හසයි මමයි හෙමින් සැරේ ප්‍රදා පිටිපස්සෙ ඇවිදගෙන ගියා.ඌ ගියේ වොෂ් රූම් එක පැත්තට.ස්ට්‍රයික් එක නිසා හොස්ටල් එකේ හිටි කොල්ලො ඔක්කොම ගෙවල් වලට ගිහින්.මගේ ඇහැ ගැටුණේ දෙපැත්තෙ තිබුණු පාළු වෙච්ච ඇඳන් විතරයි.වොෂ් රූම් එක තිබුණේ අපි හිටිය ශාලාවට යාබද ශාලාවේ.හැබැයි ඒ හෝල් එකෙත් කෙලවරේ තියන පටු කොරිඩෝවක් දිගේ ඇවිදගෙන ගිහින් තමයි වොෂ් රූම් එකට ඇතුල් වෙන්න තිබුණේ.අපි හිටි තැනට වොෂ් රූම් එක තියා, කොරිඩෝවවත් පේන්නෙ නම් නැහැ.
කොරිඩෝ එකට ළං වෙද්දි මම දැක්කේ ප්‍රදාගෙ ඇවිදින වේගෙ අඩුවෙන හැටි.මොකඛරි අමුතු දෙයක් වෙලා තියන බව මට නොදැනුණා නෙමෙයි.මමත් හෙමින් සැරේ අඩිය තිබ්බත් හදවත එළියට පනින තරම් වේගෙන් ගැහෙමින් තිබුණේ.අපි තුන්දෙනාම කොරිඩෝ එකට එබිලා බැලුවා.ඒකේ දෙපැත්තෙම දිගටම තිබුණේ රෙදි වැල් දෙකක් .කට්ට කළුවර කොරිඩෝ එකේ කෙලවර සිවිලිමේ විදුලි පහනක් දල්වලා තිබුණා.ඒ පහන යට හිටියේ ගැමුණු.ඒත්.................



ගැමුණු හිටි හැටි තාමත් මට මැවිල පේනවා.එක රෙදිවැලක් අතින් අල්ලගෙන..........දෙකට නැමිලා.......මූණ තිබුණේ පොළොව දිහාට යොමුවෙලා.........ඌ හිටියෙ හයියෙන් හති ඇර ඇර.කොරිඩෝ එකේ මේ කෙලවරේ හිටිය අපටත් ගැමුණු හති දාන සද්දේ ඇහුණා.අපි තුන්දෙනා ගැමුණු ළඟට දුවල ගියේ එක පිම්මට.ඒ මූණේ දාදිය බිඳු මතුවෙලා මහා බයකට පත්වෙච්ච ලකුණු .මගේ හිත ගැස්සුවා.මට දැනුණා .........ගැමුණුගෙ මුළු ඇඟම වෙව්ලන හැටි.
තවත් අඩි දහයක් විතර දුරුන් තිබුණේ වොෂ් රූම් එකේ දොර.ඇතුළ කළුවරම කළුවරයි.ඒත් මොකද්දෝ හිතාගන්න බැරි හේතුවකට මම වොෂ් රූම් එක පැත්තට හෙමින් සැරේ ඇවිදගෙන ගියේ ප්‍රදා එපා කියද්දිමයි.

මුලින්ම මට ඇහුණේ ඇරල දාපු කරාමෙකින් වතුර ගලා ගෙන යන සද්දයක්.ඒ සද්දෙත් ඒ වෙලාවේ හැටියට ඇඟ කිලිපොලා යන සයිස්.තව මොහොතක් අහගෙන ඉද්දි මට දැනුණා............ඒ නිකම්ම වතුර ගලා ගෙන යන සද්දයක් නොවෙන බව.කවුරු හරි .....ඔව්.....කවුරු හරි ඒ ටැප් එකෙන් අත හෝදනවා.මට ඇහුණේ ඒ විදිහේ හඬක්.මම මේ වෙද්දි දොර ළඟටම ඇවිත් ඉවරයි .වොෂ් රූම් එක ලොකු පන්ති කාමරයකට වඩා ලොකුයි.බිත්තිවල අල්ලලා තිබුණු සුදු පාට පිඟන් ගඩොල් හින්දමදෝ මට ඇතුළ යාන්තමට දකින්න පුළුවන් වුණා.ඒත් එහෙම බැරිවුණානම් කියලා හිතෙනවා...........සත්තයි! කෙලවරේ හතරවෙනි සිංක් එක ළඟ කෙනෙක් හිටගෙන හිටියා.ලා මීදුමක් වගේ සුදු පාටයි.ඒත් ඒ ගවුමක් බව මට මතකයි.මූණ නොදැක්කත් ගවුම පිටිපස්සෙ එල්ලුණු කොණ්ඩෙ මම දැක්කා...ඇත්තමයි.

මම තවත් එතන රැඳුණේ නෑ.මට මුකුත් කියා ගන්න බැරිවුණා.පට්ට පදිරි විදිහට මළගෙවල් වල නයිට් ඇදලා රෑවෙලා ගෙදර එද්දිවත්, සුකුරුත්තං වැඩවලා සොහොන් පොළවල් ගානේ රස්ති ගැහුවත් ඒ වගේ බයක් මට කවදාවත් දැනිලා නැහැ.

ගැමුණුට වතුර ටිකක් පොවලා පවන් ටිකක් ගැහුවහම හිටියට වඩා ගොඩක් හොඳ තත්වෙකට ගේන්න පුළුවන් වුණා.ඒත් ගැමුණු ඒ ටික කිව්වෙත් ගොත ගහන ගමන්.

".......නෑ මචං............මම වොෂ් රූම් එකේ ලයිට් එක දැම්ම.මුකුත් අවුලක් තිබුනේ නෑ.මම ඇතුළට ගිහින් * කර කර හිටියේ.....නෑ කෙලවරේම සෙට් එකට මෙහා එකේ.එකේ විතරයි කපුරු බොල තිබුණේ.කපුරු බෝල නැති ඒවාට මම යන්නෙ නෑනේ.කොහොම හරි ඔහොම ඉද්දි එකපාරටම ලයිට් එක නිමුණා.මම හිතුවේ ලයිට් ගියා කියලා.තත්පර තුනක්වත් ගියෙ නෑ.කවුරු හරි මගෙ බෙල්ල අතගානව වගේ දැනුණේ........නැත්තම් බෙල්ලට පිටිපස්සෙ ඉඳන් කටින් හුළං පිඹිනවා වගේ......මචං මම ඒකිව දැක්ක.මට බොක්ක ෂුවර්.මම අයෙ ඔය පැත්ත පළාතෙ යන්නෙ නෑ.....ඇයි බං...බලපංකො..."

ඊළඟට තමයි ප්‍රදීප් කතාව පටන් ගත්තෙ.ඒක ඇහුවහම අපි තවත් රත්වුණු බව කියන්න ඕන නැහැ.

"මචංලා....උඹල දන්නෙ නැතිවුණාට මේක තමයි කැම්පස් එකේ පරණම හොස්ටල් එක.පේනවනේ මේකේ පෙනුමෙන්ම.බිත්තිවල යට හරියෙ පාසිත් බැඳිලා.ඔය කැටයම්වල බැඳිච්ච සෙවල අයින් කරන්න අපි ගිය අවුරුද්දෙ කොච්චර මහන්සි වුණාද..අනිත් එක තමයි මේ හොස්ටල් එක මුලින්ම හදලා තියෙන්නෙ ගෑණු හොස්ටල් එකක් විදිහට.මුලින්ම ඉඳල තියෙන්නෙ කෙල්ලො.****** හොස්ටල් එක හැදුවට පස්සෙ කෙල්ලොන්ව ඒකට මාරු කරල තියෙන්නෙත් ඔය අද දැකපු කෙනා නිසා කියලයි කියන්නෙ.ඊට පස්සෙ කාලයක් වහළ තිබිලා අවුරුදු හය හතකට කලින් තමයි ආයෙත් කොල්ලන්ට මේක දීලා තියෙන්නේ. මේකේ ඉන්න උන් අඩු වෙච්ච දවස්වලට ඔය සීන් එක දෙතුන් පාරක්ම වෙලා තියනවා. මට උඹලට කියන්න ඕන කියල හිතේ තියාගෙන හිටියත් අමතක වුණැඇ..."

"නෑ මචං.....දැන්නං ඉතිං කියන්න ඕන නෑ.අපි හොඳටම දැක්ක...."
හසා ප්‍රදාට කිව්වේ තරහෙන් පුපුර පුපුර.
"එතකොට ඒ කෙල්ල කවුද බන්?"

මම අහපු ප්‍රශ්නෙට ප්‍රදා උත්තර දුන්නේ ඔළුව කහ කහමයි.
"මමත් ඒක හරියටම දන්නේ නැ මචං.ඉස්සර හිටිය අයියලානම් කිවේ ඔය එක්සෑම් එකක් ඇනගෙන ඔය වොෂ් රූම් එකේදි බෙල්ලෙ වැලදාගෙන මැරුණු කෙල්ලෙක් කියලා.ඒත් ඉස්සර හිටිය මුරකාරයා මට කිව්වේ මේ හරිය ඉස්සර සොහොනක්ලු.ඔය වගේ අය එක්කෙනෙක් දෙන්නෙක් කියල නෑලු"

"මරු.උඹ අපට කොඩ් ගහන්න එන්න කිව්වෙ මරු තැනකට"

මමත් හෙමින් සැරේ ලැප අකුළලා දාලා ඇඳේ හාන්සිවුණා.හැබැයි අපි හතර දෙනාටම එදා රෑ නින්දක් තිබුණේ නම් නැහැ. තවමත් මතක් වෙද්දි ඇඟ වෙවලන්නේ එදා මමත් ඇත්තටම බයවුණු නිසා වෙන්න ඇති.




ප . ලි :
1).එදා රෑ අපි දත් මැදලා මූණ හේදුවේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ."

2).ටැප් එකෙන් ආපු සද්දේ ධ්වනි තරංග කෙහෙම්මල ලෙසත් සිහින් ලෙසින් පෙනුණු මිනිස් රූපයක හැඩය ආලෝකයේ කෙහෙම්මලක් නිසා සිදුවූ දෙයක් ලෙස සිතා සැනසෙමි.


Saturday, July 28, 2012

ඇහැළේපොළ කුමාරිහාමිගේ අවතාරය


මට කියන්න තියෙන්නෙ............ මෙච්චරයි.

" ඒක ආයෙමත් සිද්ධවෙන්න ළඟයි "

සමහර වින්‍යාස තියනවා - පුනරාවර්තනය වෙන සිද්ධි ඈඳිච්ච.කාලය කියන්නෙත් එහෙම වින්‍යාසයක්ලු.සිද්ධියක් තියනවා - කාලයත් එක්ක තවමත් පුනරාවර්තනයවෙන.අටසිය ගණන්වල මැද හරියෙදි මහ රෑ අශ්වකරත්තවලින් වැවරවුම වටේ ගිය අයටත් ඈව මුණගැහුණා.නවසිය ගණන්වල මුලදී පරණ වැගන් කාර් ඈව දැක්කේ ක්වීන්ස් හෝටලය ඉස්සරහ දුකෙන් බලාගෙන ඉද්දි.අවුරුදු විස්සකට තිහකට උඩදි ඈ හිටියෙ ගුඩ්ෂෙඩ් පැත්තෙ.මං දන්නෑ.ඊළඟට ඈ කොහේ ඉඳීද කියලා.                            සමහර වෙලාවට  ............   ඔබ ඉදිරියෙත් වෙන්න පුළුවන්.




ඒ අතීතයේ අඳෝනාව ආයෙත් මතක් කරන්න ඕන නැහැ.තාමත් ඉතුරුවෙලා තියන ඇහැළෙපොළ වලව්ව සාක්කි දේවි ; බෝගම්බර වැවේ වතුර පවා සාක්කි දේවි.ලොකු බණ්ඩාර වෙව්ලද්දි මද්දුම බණ්ඩාරගේ ආත්මයට වීරත්වය එකතුවුණු හැටි,කිරි දරුවා වංගෙඩියෙ කෙටෙද්දි ,අම්ම වෙච්චි ඇගේ ගෙලේ බර ගලක් ගැටගැහුණු හැටි, ඒ ගල්ගෙඩිය පිටින්ම ඈ බෝගම්බර වැවේ ගිලුණු හැටි ....................ඇති!


-
-
-
-
-
-


එදා හරිම කාලකණ්නි දවසක්.මුළු හවස්වරුවම බලාගෙන උන්නත් වීරෙ අයියගේ වීල් එකට කවුරුවත් ගොඩවුණේ නෑ.පහුවදාට තෙල් ගහගන්නෙ නැතුව දුවන්නෙ කොහොමද කිය කියා හිත හිතා ඉද්දි ,රැවෙලා ආවා වුණත් පේරාදෙණියට යන්න ආපු හයර් එක අතාරින්නෙ කොහොමද! වෙර යොදලා 'ස්ටාටරේ' ඇද්ද වීරෙ අයියා ඊළඟ මිනිත්තුවෙදි පේරාදෙණිය පැත්තට ඉගිළුණා.

යද්දි තනිකමක් නොදැනුනේ වීල් එකේ පිටිපස්සේ තව දෙන්නෙක් හිටපු නිසා.ඒත් ආපහු එද්දි............මොකද්දෝ අමුතු හිතුවිලි ගොඩක් වීරෙ අයියගෙ හිත ඇතුළෙ කැරකෙන්න වුණා.දවල් කාලෙට කොච්චර සද්ද බද්ද තිබුණත් රෑ දහය වෙනකොට 'ගුඩ් ෂෙඩ්' පැත්තෙ එක බලු බල්ලෙක් නැහැ.පාර අයිනේ තිබුණු කඩවල්වල ලෑලි දොරවල් පවා ඔක්කොම වහලා.වීරෙ අයියට ඇහුණේ විටෙන් විටේ රේස් වෙන වීල් එකේ සද්දෙ විතරමයි.බාගෙට පායපු හඳේ මලානික එළිය පාර දෙපැත්තෙ ගස්කොළන් උඩට වැටිල දිලිසුණා.ඉඳල හිටල තිබුණු පහන් කණුවකට පුළුවන් වුණේ පාර මැද්ද යාන්තමට එළිය කරන්න විතරයි.දොළහටත් කිට්ටු වෙලා තිබුණු නිසා මුළු නගරෙම කිසිම හැල හොල්මනක් නැහැ. ඒත් වීරෙ අයියගෙ හදවත වේගෙන් ගැහෙමින් තිබුණේ ඔහුවත් නොදන්නා හේතුවකට.


වෙනදා කොහෙ නොහිටියත් ස්ටේසම ළඟදි කෝච්චියෙන් ආපු කවුරු හරි වීල් එකට අතදාන බව වීරෙ අයියා දැනගෙන හිටියා.ඒත් එදා........ඒ පැත්තේ මිනිස් පුළුටක්වත් නැහැ.ඉස්ටේසම ළඟින් ඉස්සරහට ඇදුණු වීරෙට ඈතින් පේන්න වුණේ පරණ ඔරලෝසුකණුව.සමරපාට ගාපු කණුවේ පහළ හරිය සම්පූර්ණයෙන්ම අඳුරුයි.පාරෙ තියන වළවල් නිසා වීල් එකේ වේගෙත් පයින් යන ගානටම අඩුවෙලා තිබුණේ.හදිස්සියෙම වීරෙ අයියගෙ ඇහැ යොමුවුණේ තමනුත් ඔරලෝසුකණුවත් අතර ඇවිදගෙන යන ලස්සන නෝන කෙනෙක් දිහාවට.සුදුපාට ඔසරියට ඇඳල තිබුණේ පරණ තාලෙ බෝරිච්චි හැට්ටයක්.ඉණවටෙයි, අත්වටෙයි හැට්ටෙට අල්ලලා තිබුණු රේන්ද පටිපවා වීරෙ අයිය දැක්කා.කොණ්ඩෙ බැඳලා හිස කෙලින් තියාන ඉස්සරහට ඇවිදගෙන ගිය ඒ නෝනගෙ තිබුණේ රදළ තේජසක්.
වීල් එක ඒ හරියෙන් යන කොට වීරෙ අයියා හැරිලා ඒ දිහා බැලුවේ හිතේ හටගත්තු කුතුහලය නිසාමයි.බෙල්ලෙ බැඳල තිබුණු අගස්ති මාලෙට එළිය වැටෙද්දි එක මොහොතකට වීරෙ අයියට පෙනුණේ ඇගෙ මුහුණ.ඒ මූණ පුදුම විදිහට සිරි‍යාවන්තයි.ඒත් හැඟීම් වෙන් කරලා අඳුරගන්න අමාරු විදිහට දුකකුත් පිළිබිඹු නොවුණාම නොවෙයි.ඊළඟ මොහොතේ පයේ මිරිවැඩියක්වත් නොතිබ්බ ඈ තමන් දිහා බලලා අහසට අත දික්කරනවා වීරෙ දැක්කා.සිරියාවන්ත මූණ දුකෙන් පිරුණා.මොන මොනවදෝ කියමින් ඈ වැලපෙන හැටි වීරෙ අයියට පෙනුණා.

ආයෙත් අහසට අත්දෙක දික්කරගෙන දෙවියන්ට යදින හැටි ඇසුණා.මේ වෙද්දි ඈ කව්ද කියන එක වීරෙ අයියට දැනිලා ඉවරයි.
"ඇහැළෙපොළ කුමාරිහාමි"
වීරෙගෙ තොල් මිමිණුවා.
තමන්ටත් නොදැනි දකුණු අත්ල කැරකෙද්දි 'රේස් ' වුණු වීල් එක දුමාරය නංවමින් ඔරලෝසුකණුව පහුකරන හැටි වීරෙ බලාගෙන.මොකද්දෝ හේතුවකට වීල් එකේ පැති කණ්නාඩියෙන් පිටුපස බලපු වීරෙ අයියට ඔරලෝසුකණුව ළඟින් බෝගම්බර වැව පැත්තට හැරෙන ඈව පෙනුණා.

ඈව නොපෙනී ගිය එක සතුටක් වුණත් ඒ මූණේ තිබුණු හැඟීම් සමත් වුණේ වීරෙ අයියගෙ හිත දුකෙන් පුරවන්න.හිතේ ගැඹුරුම තැනකින් ඇතිවෙච්ච ඒ දුක්බර හැඟීම කඳුළක් නංවලා ඇස් බොඳ කළා..........


ඈ තවමත් ඇගේ දුක කියනවලු. සමහර දවසක ජෝජ් සිල්වා උයනේ ඉඳගෙන ඉන්නවලු.රිමාන්ඩ් හිරෙ ගේ පැත්තට පයින්ම යනවලු- අසාධාරණයට ලක්වෙච්ච තමන්ගෙ දුක කිය කියා.කාලාන්තරේකට සැරයක් ඈ එනවලු.මෑතකදි දකින්න නොලැබුණත් ඈ ඒවි.නිසැකවම.......... නුදුරේදීම ඈ ඒවි.

සමහර විටක ඔබ ඉදිරියට - ඇගේ දුක අසන කෙනෙකුන් ළඟට!



මට කියන්න තියෙන්නේ......

" ඒක ආයෙමත් සිද්ධවෙන්න ළඟයි "


ප . ලි : 
1). මේ පෝස්ට් එකේ මාතෘකාවට පෞද්ගලිකව මම බරපතල ලෙස අකමැත්තෙමි. මූලාශ්‍ර/පුරාවෘත්ත වලට අනුව අවසන් මොහොතේ දී ඇහැළේපොළ කුමාරිහාමි දෙවියන්ට ශාප කළ බව කියැවේ.එහෙත් එයින් ඇය අවතාරයක් බවට පත්වූ බව නොඅදහමි.ඈ අවතාරයකට වඩා විශේෂ කෙනෙක්......නේද?

2). මේ කතාවට සම්බන්ධ රියදුරු මහතාගේ ඇත්ත න නොදනිමි.හිතට ආපු නමක් ඔන්න ඔහේ දැම්ම හරිද?
















Wednesday, July 4, 2012

රූමතියගේ අවතාරය.



රේල් පීලි - සමාන්තරයි.ඈතට ඈතට ඇදිලා යනවා.හරියට ඔයයි මමයි වගේ.කවදාවත් ළං නොවී - ඒත් වෙන්වීමකුත් නැතුව.අද පෝය.මං ඉන්නේ රේල් පාරක වැතිරිලා ඔහේ අහස දිහා බලාගෙන.කෝච්චියක් එයිද දන්නේ නෑ.ආවත් කමක් නෑ.මේක මහව - මඩකලපු දුම්රිය මාර්ගය.යාපහුව ඉස්ටේසමට එච්චර දුර නැහැ.ඒත් මේ හරිය හද්ද මූකලාන.මම සියවතාවකට වැඩිය මේ සිල්පර කොට උඩින් ඒ මේ අත ගිහින් ඇති.ඒත් පීල්ලකට ඔළුව තියාන හිත සන්සුන් කරන්න හදන පළවෙනි වතාව මේ.මම ටිකක් කැළඹිලා - ඊයේ රෑ ආපු මැසේජ් එකකින්.මම එයාව අවුරුදු දහ අටක් තිස්සේ දැනගෙන හිටියා.එක වසරෙ ඉඳන්ම.මම සමනලයෙක් තමයි.මලින් මලට පියාඹනවා තමයි.ඒත් රොන් ගන්නේවත් මල් තලන්නේවත් නැහැනේ.ඒ සුවඳ චුට්ටක් විතර විඳිනවා විතරයි.ඒත් සුවඳ දෙන්න බැහැ කියන මල් මත වහන්නවත් ඒවාට ගිලී මල් කියලා අපහස කරන්නවත් මම දන්නේ නෑ.මට හැම මලක්ම 'ලිලී'මලක් - ලස්සනම ලස්සන ලිලී මලක්.මට ඕන වුණේ ඒ මල මත නතර වෙන්න.එපා නම් මම යන්නම්.ඒත් මම මල් එපා කියන්නේ නැහැ.


මම කිව්වනේ........මේ හරිය හද්ද මූකලාන.රේල්පාරයි මමයි විතරයි.අද කතාවට පාදක වුණු සිද්ධිය හරියටම වෙලා තියෙන්නේ දැන් මම ඉන්න ඉසව්වේ.
කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කිව්වහම බොහොමයක් දෙනා අහල ඇති.මන්තර ගුරුකංවලට ප්‍රසිද්ධ ඒ හාමුදුරුවෝ ඉඳලා තියෙන්නෙත් මේ පැත්තෙම තමයි.ඉස්සර ඒ හාමුදුරුවෝ මන්තර වලින් කෝච්චි නතර කළාය කියන්නෙත් දැං මම ඉන්න හරියේ.
මේ කතාවට කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ සම්බන්ධයක්නම් මට පේන්නේ නැහැ.ඒත් ඒ කාලේ මළගිය ආත්ම ගුරුකංවලින් නිදහස්වුණු පැත්තක් විදිහට මේ පාළු ඉසව්ව ප්‍රචලිතයි.

_
_
_
_
_
_


ජයරත්න කියන්නේ හේරත් බණ්ඩගේ ලොකු පුතා.ගමේ හිටිය ගජ ඉලන්දාරියෙක්.ඒත් ජයරත්න හරිම අහිංසකයෙක්.තමන්ගෙ පාඩුවේ ජීවත් වුණේ.ඉගෙන ගන්නත් දක්ෂ නිසාම තමයි මහව ලොකු ඉස්කෝලෙට ඇතුල්වෙන්න අවස්ථාව ලැබුණේ.උදේ පාන්දරම ගුරුපාර දිගේ අප්පච්චිගේ බයිසිකලේ පැදගෙන ඉස්කෝලෙට යන කඩවසම් ජයරත්න දිහාවට ගමේ ගෑණුළමයින්ගෙ ඇස් යොමුවුණේ ඉබෙටම.ඒ සමහර ඇස් ජයරත්නට ඉඟි බිඟි නොපෑවමත් නෙමෙයි.ඒත් ජයරත්න තමන්ගේ පාඩුවේ ඉගෙනීම කළා මිසක් සුන්දර ඇස් ඇත්තන්ගේ හදවත්වල හැටි තේරුම් ගන්න උත්සාහ කළේ නැහැ.කට්ටඹුවාව වැවට ටිකක් දුරින් තිබිච්ච ජයරත්නලාගේ ගෙදරට යන්න නම් රේල්පාර හරහා යන්නත් වෙනවා.

ගමට යන ගුරුපාර රේල්පාර හරහා වැටෙන තැන මහ මූකලානක්.දවාලටත් කරුවලයි.ඒ කරුවලට ගුප්ත බව එකතු කරන්න වගේ මුල්ලට වෙන්න පිහිටලා තිබුණේ ගමේ අතැරලා දාපු පාළු පරණ සොහොන් පිට්ටනිය.උරහිසටත් වඩා උසට වැවිච්ච පඳුරු ගොන්නක් මැද සෙවල බැඳිච්ච සොහොන්කොත් එබිකන් කරන කොට බය කියන හැඟීම හිතට ඇතුළු වෙන්නේ නිරායාසයෙන්.රෑ කාලෙට සුසානයේ පස් කඳු හාරන හිවල්ලු, ඇඟ කිලිපොලායන විදිහට හූවක් කියන්නේ දිරච්ච මිනියක ඉළඇටයක් එහෙම හම්බුනාම වෙන්නැති.

එදා පෝය දවසක්නම් නෙමෙයි.ඒත් එදා අමාවකත් නෙමෙයි.හේරත් බණ්ඩගේ පපුවට හීනියට කැක්කුම අල්ලනකොට හඳ එළියෙන් ලාවට උස් ගස් මුදුන් නැහැවිලා තිබුණා.එන්න එන්නම වැඩිවුණු පපුවේ අමාරුව ,හේරත් බණ්ඩට සිහිකළේ ගමේ වෙද මහත්තයව.

"ජයරත්න...............ජයරත්න..........මෙහාට වරේ...................... න් "

කාමරේට වෙලා කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර කර හිටි ජයරත්න පුටුවත් පස්සට කරගෙන නැගිට්ටුණේ ඉබේටම.ඊළඟ තත්පරයේදි ජයරත්න හිටියේ අප්පච්චිගේ ඇඳ ළඟ.බුදු පහන ළඟ තියලා තිබුණු බෙහෙත් තෙල් කුප්පිය අතට ගත්තු ජයරත්න තෙල් ඩිංගක් හලා ගත්තේ අත බොකු ගහ ගත්තට පස්සෙයි.පපුව මත ඇතිරුණු තෙල් ඩිංගිත්ත ජයරත්නගේ අතින් පිරිමැදෙද්දි , අඩුවෙනවා වෙනුවට හේරත් බණ්ඩගේ මොර ගෑම වැඩි වෙන්න වුණා.



"අනේ පුතේ....ඉක්මනට ගිහින්....වෙද මහත්තයා එක්කගෙන වරෙන්.........."

හේරත් බණ්ඩගේ වචන ටික ඇහෙද්දි ජයරත්න බෝලකූඩුවේ එල්ලලා තිබුණු කමිසෙකුත් ඇඳගෙන ඉවරයි.ගේ පිටිපස්සට යන ගමන් අල්ලපු ගෙදර මාමාට කතා කළ ජයරත්න පිළිකන්නේ බිත්තියට හේත්තු කරලා තිබුණු බයිසිකලේ හරවලා මිදුල දිහාට ගත්තා.

"අනේ මාමා ...මම වෙද මහත්තයා ඇන්න එනකං අපේ අප්පච්චිව ඩිංගක් බලාගන්න හොඳේ"

ඊළඟ මොහොතේ ජයරත්න කඟවේනෙක් වගේ ගුරු පාර දිගේ කරුවලේම නොපෙනී ගියේ අල්ලපු ගෙදර උන්දෑ බලා ඉද්දිමයි.ජයරත්නගේ හිතේ දාහක් දේවල් හොල්මන් කළා.අප්පච්චිගේ කෙඳිරි ගෑම ජයරත්නට හිත ඇතුළෙනුත් ඇහුණා.තවත් ටික වෙලාවකින් ජයරත්න හිටියේ මංසන්ධියේ.පැත්තකින් හිවල්ලු හූ කියන සොහොන් පිට්ටනිය ජයරත්නගේ බය වැඩිකළා.ලා හඳ එළියේ හමපු හීන් හුළඟකට අහුවෙලා නටන වේලිච්ච ගොක්කොළ රෑනක් මිනීපිටිය දිහායින් ජයරත්නගේ ඇස් කොණට අහුවුණා.ඒත් අප්පච්චි....ඒ හැමකෙකටම වඩා ලොකුයි.ගුරුපාරෙන් නොගිහින් රේල්පාර දිගේම ගියහම වෙදරාළගේ නිවසේ පිටිපස්ස පැත්තට ඉක්මනටම ළං වෙන්න පුළුවන් බව ජයරත්නට මතක් වුණා.මූසල සොහොන් කොත්වල උඩ හරිය හඳ එළියෙන් දිලිසෙද්දි බයිසිකලයෙන් බැහැපු ජයරත්න ඒකත් තල්ලු කරගෙනම පියවර තැබුවේ සිල්පර කොට උඩින්.රේල් පාර දෙපැත්තේ තියන ගල්කුළු දෙකට ළංවෙද්දි ජයරත්නට දැනුනේ අමුතුම හැඟීමක්.වම් අත පැත්තේ කජු ගස්වල උස් අතු හුළඟට හෙලවෙමින් තිබුණා කියලා ජයරත්නට මතකයි.

රේල්පාර දිගටම පුදුම නිහඬ බවක් තිබුණේ.ඒ නිහඬ බව මදකට හරි නැති කළේ ගල්ගොඩවල් උඩින් වැටුණු බයිසිකලේ ගමන. පපුව වේගෙන් උස්පහත්වෙමින් තිබුණු මොහොතක ජයරත්නට දැනුණේ කවුරු හරි තමන් දිහා බලාන ඉන්න බවක්.වම් අත පැත්ත - ජයරත්නගේ ඇස් යොමුවුණේ වම් අත පැත්තට.ඒ දර්ශනය දැකපු ජයරත්නගේ හදවත නැවතුණාවගේ.සිල්පර මතින් තැබුණු පියවරත් ඒ එක්කම නතරවෙලා.ඒත් ජයරත්නට ඒ බව නොදැනෙන්න ඇති.
හඳ එළියෙන් නැහැවුණු කජු අත්තක් උඩට වෙලා ඈ බලාන හිටියේ ජයරත්න දිහාමයි.සුදුපාට සාරියේ පොට අත්තෙන් පහළට එල්ලි එල්ලි තිබුණා.හුළඟට හෙලවෙන කෙස් රොදවල් අතින් හද හදා හිටිය ඇගේ මුහුණ දුටු ජයරත්නට හැම දේම නතරවුණා වගේ දැනුණා.ඈ රූප සුන්දරියක් වගේ ලස්සනයි .ඒත් ඒ මූනේ තිබුණේ මරණීය සුදුමැලි බවක්.පිට දිගෙන් පටන්ගෙන බෙල්ල දිහට යැවුණු ක්ෂණික හිරි වැටීමක් ජයරත්නව අවදි කළා.

"අප්පච්චී..............."

තමන්ටම මුමුණගත් ජයරත්න බිම බලාගෙනම පියවර මනින්න වුණා.

තවත් සිල්පර කොට විස්සක් තිහක්  පහුවෙන්න ඇති - ආකර්ශනයකින් වගේ ජයරත්නගේ ඇස් ආයෙත් යොමුවුණේ වම් අත පැත්තට.ඒත්!!!!

මායාකාරියක් වගේ කලින් දුටු යුවතියම කඩවසම් ජයරත්න දිහා ප්‍රේමාන්විතව හිනාවෙමින්  බලාන හිටියා - ජයරත්නට ළඟින්ම තිබුණු කජුගහ උඩ ඉඳන් .ජයරත්නගේ කමිසය මේ වෙද්දිත් දහදියෙන් තෙමී ගිහින් . තවත් පියවර කිහිපයක් - හැරී බැලීමක් - අස්වාභාවික ලෙස තමා දෙස බලමින් සිනාවෙන යුවතියක් - වඩ වඩාත් ළංවෙමින් . තමන් රේල් පාරේ කොච්චර ඉස්සරහට ඇවිද්දත් ඒ යුවතිය තමන්ට  සමාන්තරව කැලෑව පැත්තෙන් තමන් එක්කම එන බව ජයරත්නට වැටහුණා.පාළු රෑ යාමෙක බයක් සැකක් නැතුව හිනාවෙන අස්වාභාවික පෙනුමක් තිබුණු තරුණිය මළගිය ප්‍රාණකාරියක්ය යන හැඟීම ජයරත්නගේ හිතට මේ වෙද්දිත් ඇතුළුවෙලයි තිබුණේ.ජයරත්න හිටියේ උමතු වීමට ආසන්නවෙලා වගේ.
රේල්පාර මැදම බයිසිකල අතහැරිය ජයරත්න ආ මග ඔස්සේම ආපහු දුවගෙන යන්න වුණා.ගුරුපාර ළඟදී සරම පැටලී වැටෙන්නට ගියත් ජයරත්න නතර වුණේ ගෙදර එළිපත්ත උඩ ඉඳගත්තට පස්සේ.


හිසේ අත්දෙක ගසාගත් ජයරත්න නොනවත්වා දොඩවන්නට වුණා.හේරත්බණ්ඩාගේ අසනීපය නිසා නිවසට රැස්වෙලා හිටි අහළ පහළ අයට සිදුවීම තේරුම් ගැනීමට එතරම් වෙලාවක් ගියේ නැහැ.මහ කඩේ වාහනේට පටවා හේරත් බණ්ඩා ඉස්පිරිතාලයට  පිටත් කළ පිරිස ඇඳක හාන්සි කරවූ ජයරත්න ගැන විමසිලිමත් වුණා.ඔහුට පියවි සිහිය ලැබුණේ ඉලපත් පාර දෙකක් දී ඔළුව අද්දරින් දෙහිගෙඩි කපාදැම්මටත් පස්සෙයි.

ජයරත්න තමන් මුහුණදුන්නු අත්දැකීම විස්තර කරද්දි අසල්වැසි ගැහැණු කම්මුලේ අතගසා ගන්න වුණා.


"ඔව්වා ඔහොම තමයි.ඔය සොහොන් පිටිය හරියේ මේ දවස්වල ඔහොම එකක් අහන්න ලැබෙයි කියලා තමයි මං හිතාන වුන්නේ "

පස්තෙල් උතුරන තෙල් තාච්චියට වැටුණු දෙහි බෑයක් ගිරේට  අහුකරගන්න ගමං බ්‍රෙම්පි ආතා කියපු දේ හැමෝගෙම හිත්වල අති කළේ කුකුසක්.කවුරුත් ඒ ගැන කටින් නෑසුවත් තමන්වටේ හිටිවුන්ගේ ඇස්වලින් ආතාට ඒ බව පෙනුණා.

"උඹලා දන්නේ නැතිවුණාට පහුගිය දවසක......... බැඳගෙන හිටිය එකියක් නිදහස් වුණාලු.ඒකිට දැං ....ඔය හරිය කැප කරල දුන්නේ හාමුදුරුවොමලු.ඒකි පිරිමින්ට ආසාවෙන් මැරිච්ච සුන්දරියක්ලුනේ.දැං ඉතින් උඹලත් රෑ ජාමේ අවේලාවේ ඔය පැත්තේ කරක් ගහනවා එහෙම නෙමෙයි ඕං "


බ්‍රෙම්පි ආතා පඩික්කමට ගහපු බුලත් කෙළ පැල්ලමටත් වඩා තදට වටේ හිටි තරුණ උන්ගේ හිත්වල ඒ කාරණය සටහන් වුණා.

අවුරු ගාණකට කලින් ඒ සිද්ධිය සිද්ධවුණත් තවමත් මේ පැත්ත පාළුයි - පට්ටම පට්ට පාළුයි.සමහරවිට ඒ මළගිය සුන්දරිය තවමත් මේ ඉසව්වේ රෑ කාලෙට මුදු හඳ එළියේ සක්මන් කරනවා ඇති- නොලැබුණු තරුණයෙක් වෙනුවෙන්..........





ප . ලි :
 1).කතාව මට කිව්වේ අපේ ලොකු අම්මා.එවැනි සිදුවීමක් මේ ප්‍රදේශයේ තවමත් ඇති බව සහතිකයි.ඒත් අඩු වැඩිය පෙරලා ගන්න.අපේ ලොකු අම්මට මේ දවස්වල ටිකක් සඳ මෝල්.

2).පෝස්ට් එක ලිව්වේ ඊයේ උදේ.ඇත්තටම රේල්පාරේ වැතිරිලා ඉද්දි.photo එක අරන් දුන්නු නන්නාදුනන මිත්‍රයට බොහොම ස්තූතියි.photo එකේ ඉන්නේ ඔයාලා අඳුරන කෙනෙක්.

3).(එක කොටස )පළවෙනි ඡේදය වැඩිය ගණන් ගන්න එපා.මේ දවස්වල මටත් සඳ මෝල්.

3).(දෙක කොටස )කවුරු ආදරණීය මිතුරෙක්/මිතුරියක් හරි ගෑල්ළමයෙක්ගෙන් කැමැත්ත විමසන නිවැරදිම ආකාරය දන්නවනම් කියන්න.....;)