Tuesday, June 12, 2012

මළ ආත්මයක නොමළ සිහිනය.


මනුෂ්‍යත්වය - ඒක බොහොම විරල හීනයක් වෙන්න ඇති.අහිමිවුණත් , සමහරුන්ට  ඒ මනුෂ්‍යත්වය දාලා..... සරලව යන්න බැරි , හීනය ඒ තරම්ම විරල නිසා වෙන්නැති . සමහරුන්ගේ වෑයම ජීවත්වෙලා ඉද්දි ළඟා කරගන්න බැරිවෙච්ච හීන , මළවුන්ගේ ලොකෙකෙට ගිහින් හරි සැබෑ කරගන්න.ඒත් ඒ හැමෝම නෙමෙයි..............සමහරු උත්සාහ කරන්නේ ජීවත්වෙලා ඉන්න තමන්ගේ ආදරණීයයන්ගෙ හීන සැබෑ කරන්න - මියගියා වුණත්.............

එක්තරා ඉස්පිරිතාලයක කෙළවරේ කෑල්ලක කාටත් වැඩිය නොපෙනෙන විදිහට තිබුණු මෝචරියක ස්වෙච්ඡා සේවකයෙක් විදිහට සති දෙකක් තිස්සේ වැඩකරන්න වුණු නිසා මට සහතිකවම කියන්න පුළුවන් 'ඒ මනුස්සයා හිටියේ මැරිලා' කියලා.එදා පාන්දර මෝචරියට යද්දි ඉස්සරහ ඉස්තෝප්පුවේ තිබුණු ට්‍රොලියක දාලා ,සුදු රෙද්දකින් වහලා තිබිච්ච මිනිය තාමත් මට මතකයි.එකට ගැට ගහපු මහපට ඇගිලි දෙක සුදු රෙද්දෙන් එළියට පැනලා තිබුණේ පිටපතුල් එක්කමයි.ඒ පිට පතුල් රැළි ගැහිලා තැම්බිලා තිබුණේ දියේ ගිලිලා ගොඩක් වෙලා තිබුණා කියලා මට නොකියා කියන්න වගේ.

මම හෙමින්සැරේ ඉස්තෝප්පුවේ  කහපාට ලයිට් එක යටට ආවා.මෝචරියේ අඩවල් කරල තිබුණු දොර අස්සෙන් රෑ මුරේ වැඩ කරපු මාමා මිනී තියන්න හදපු සිමෙන්ති බංකුවක් උඩ බුදියගෙන හිටියේ වගේ වගක් නැතුව.සාම්ප්‍රදායිකව බොන බීම කලින්දා හැන්දෑවේ බොන්න ඇති........නාස් පුඩු කිතිකවන මෝෆීන් ගඳ මැද්දේ ඒ විදිහට නිදා ගන්න ඒ දේවල් නැතුව අමාරු ඇති.

 කොච්චර කොහොම කිව්වත් මිනියක් දිහා බලනකොට ටිකක් හිත ගැස්සෙන එක කාට වුණත් වෙන දෙයක්.ඒත් මම සුදුරෙද්ද ටිකක් උස්සලා බැලුවේ කුතුහලේටමයි.නහය නිසා උල් වෙච්ච හරියෙන් උස්සලා මම මූණ දිහා බැලුවා.අහිංසක මිනිහෙක්! තොල් දෙක නොසෑහෙන්න වතුරට තැම්බිලා තිබුණේ.

"මුහුදු ගිය එකෙක් "

මම ගැස්සිලා ආපහු හැරුණේ මුකුත් හිතා ගන්න බැරුව.මෝචරියේ මාමා හිනා වෙවී බැම්ම උඩට වෙලා ඉන්න හැටි දැක්කහමයි හිතේ ගැස්ම අඩුවුණේ.

"ඔරුව පෙරළිලා තියෙන්නේ දවස් ගාණකට කලින්.ඊයේ හැන්දෑවෙයි මිනිය වැල්ලට ගොඩගහල තියෙන්නේ"

එක කකුලක පතුලෙන් අනිත් කකුල් කහන ගමන්  මෝචරියේ මාමා බේබදු රතු ඇස් කරකව කරකවා කියන හැටි මං අහන් හිටියේ ඒ තරම්ම උනන්දුවකින් නෙමෙයි.....ඒත් ......අර වාරණ කතාව වගේම මේකත් දැං කරලියට ඇවිත් - වෙනස් මුහුණුවරකින්.

අපි , එක අතකින් ජීවිතයත් අනිත් අතින් මරණයත් අරගෙනලු ඉපදෙන්නේ.මං දන්නේ නැහැ........ඇන්තනි සමහර විට ගේන්න ඇත්තේ දෑතින්ම මරණය වෙන්නැති.ඒත් ඇණියේ රාළ කෙනෙක් විදිහට ඇන්තනි බොහොම සාර්ථකයි.ඇන්තනි එක්ක මුහුදු යන්න මුළු වැල්ලෙම මිනිස්සු කැමති වෙලා හිටියේ ,හරියට තැනට ඇණේ ගහන්න ඇන්තනී දැනගෙන හිටි නිසයි.කතාවට වැල්ලේ මිනිස්සු කිව්වේ වාරකනට වුණත් මාළු අහින් ඇන්තනීගේ පිටිපස්සෙන් එනවා කියලා.වෙලාවකට හිතෙනවා......ඒ කටවහක් ඇන්තනීට වැදුනද කියලා.පිලිප්ගේ ඔළුව ඉඹලා දොරකඩින් එළියට බහිද්දි හූනෙක් කෑගැහුවත් ඇන්තනී ඒක ගණන් නොගත්තේ තමන්ගේ එදා දවස හූනෙක්ට බාර දෙන්න කැමති නැති වුණු නිසා වෙන්නැති.

තමන්ගේ පුතා පිලිප්ට ඉස්කෝලේ ට්‍රිප් එක යන්න හම්බෙන්නේ ඇන්තනී එදා අල්ලන මාළු විකුණලා ලැබෙන සල්ලිවලින්.චාරිකාව යන්න නොලැබුණොත් තමන් පණවගේ ආදරය කළ පුතා කඳුළු හෙලන හැටි දකින්න ඇන්තනීට ඕන වුණේ නැහැ.ඔව්.........පිලිප් පහුවදා හැන්දෑවේ හෙළපු කඳුළු ඇන්තනී දැක්කේ නැහැ.ඒක කාලාන්තරයකට පස්සේ  හැමුව  දරුණුම කුණාටුවක්.කරුමෙකට වගේ හමාපු ඒ හුළඟට අහුවෙච්ච මාළු ඔරු කීපයක්ම අතුරු දහන් වුණා.ඊළඟට සතිය පුරා හැමදාකම වගේ වැල්ලට ගොඩගහපු මිනියක් දෙකක් දකින්න පුළුවන්වුණා.මුළු වැල්ලම එකම මළගෙයක්!

තුන්වෙනි දවසේ උදේ වෙද්දි ඇන්තනී වැල්ලට ඇවිත් හිටියා.ඒත්.........ඒ දවස් ගාණක් තිස්සේ අඬ අඬා හිටි පිලිප් හැමදාකම අඬවන්න පුළුවන් විදිහට වෙස්වලාගෙන.

පිලිප්ට යන්තම් දාහතරයි.අත්දැකීමක් නැති තමන්ව කවුරුවත් ඔරුවකට නග්ගගන්න අකමැති වෙනකොට පිලිප්ගේ ඇස් ගියේ ගේ පිටිපස්සේ අගුවේ , ලණු පොටවල් තුන හතරකින් මුනින් අතට  වහලේ එල්ලලා තිබුණු පරණ ඔරුව දිහාවට.තාත්තා නොහිටි නිසා අම්මටයි නංගිටයි කන්න දෙන්න පිලිප්ට වෙන ක්‍රමයක් තිබුණේ නැහැ - මුහුදු යෑම හැර.ලණු ටික කපලා අමාරුවෙන් වැල්ලට ගත්තු ඔරුවේ පළුදුවෙච්ච තැන්වල, ගෙන්දගම් එක්ක අනපු ලී කුඩු, කොහොල්ලෑ උණුකරලා ගාන හැටි දැක්ක කෙනෙක් ඔලොක්කුවට හිනා වුණා විතරක් නෙමෙයි.......

"උඹ තාත්තව බලන්ඩද යන්නේ ...ඈහ්"

සමහර තොල් ඒ විදිහටත් සෙලවුණලු.

"මරිය තුමී උඹව පරිස්සං කරයි.පරිස්සමින් ගිහිං වරෙං මයෙ පුතේ "

පිලිප්ගේ අම්මා ඒ විදිහට කිව්වේ පිලිප් තනියම ඔරුව බාගෙන මුහුදු යන්න හදන වෙලාවේ.පත්තු කළ පන්දම ඔරුවේ මැද්දේ සවිකරපු පිලිප් හබල අතට ගත්තා.අම්මයි ,නංගියි වැල්ලට වෙලා තමන් නොපෙනී යනකම්ම බලා ඉන්න හැටි පිලිප් දැක්ක.

' දැං ඉතිං මම විතරයි '

වෙරළ නොපෙනෙන්න ඉමට ළං වුණාම පිලිප්ගේ හිත බරවුණේ කියා ගන්න බැරි දුකකින්.ඇහැට නැගෙච්ච කඳුළු කැට විලක්කු එළියෙන් දිලිසිලා ඈතට පේන්නත් ඇති.

පහුවදා මුළු වැල්ලටම පුදුමයක්.තනියම මුහුදු ගිය පිලිප් - කවුරුවත් තමන් එක්ක යන්න එකතු කර නොගත්තු පිලිප් - මුළු ඔරුවම පිරෙන්න මාළු ගෙනත් තිබුණා.ඒත් රහස දැනන් වුන්නේ පිලිප් විතරයි.හැමෝගෙම විමසිල්ල ඉදිරියේ වුණත් පිලිප් මුකුත්ම නොකියා හිටියේ පරිස්සමට.

එදා ඉඳන් මුහුදු ගිය හැමදාකම වැල්ලට වැඩියෙන්ම මාළු ගේන්න පුළුවන් වුණේ පිලිප්ට.ඒ අනික් හැමෝටමත් කලින්.පිලිප්ගේ අලුත් මාළුවලට හොඳ මිලක් පාන්දර වැල්ලෙන් ලැබුණා.

ඒත් එක දවසක් පන්දම නිවපු ඔරුවක් පිලිප්ගේ පස්සෙන් වැටුණේ ' පිලිප්ගේ අලුත් මාළුවල රහස' හොයාගන්න.

වෙරළ නොපෙනෙන මානයට ගියාම පිලිප්ගේ ඔරුව නතරවුණු බව අනෙක් ඔරුවට පෙනුණා.ඊළඟට ඇඟ කිලිපොළන මීදුම් මුහුදු හුළඟ මැදින් ලෙලෙන තවත් ඔරුවක සවිකළ විලක්කුවක් අඳුර මැදින් පෙනෙන හැටි පිලිප්ට විතරක් නෙමෙයි අනෙක් ඔරුවේ හිටි වුන්ටත් දකින්න හැකිවුණා.

පිලිප්ගේ මූණේ හිනාවක් මවන්න සමත් වුණත් ඒ ඔරුවේ දර්ශනය අනෙක් ඔරුවෙ සිටිවුන්ගේ ආත්මයන් පුරවා දැම්මේ නොසිඳෙන භීතියකින්.

ඇන්තනීගේ රවුම් පන්තොප්පිය මුහුද මැද දිලිසි දිලිසි තිබුණේ විලක්කු එළිය වැටීමෙන්.ඒ ඔරුවේ පිරිලා තිබුණු මාළු පිලිප්ගේ ඔරුවට මාරුවුණේ පිලිප් වෙනුවෙන් ඇන්තනීට මවන්න බැරිවුණු 'හීන' එක්කමයි. තවදුරටත් රහසක් නොවන හිත හිරිවට්ටන රහසක් එක්ක පිලිප් තවමත් මුහුදු යනවා.ඒක ආදරණීය රහසක්.

මරණයට ආදරණීයයන් මුළුමනින්ම වෙන් කළ හැකිද? ඔවුන්ගේ  හීන මළ කඳක් සේම වළ දැමිය හැකිද?පදාර්ථමය නොවූවත් අවකාශමය වශයෙන් හෝ ඒ හීන සැබෑ කරන බැඳුම අමරණීය 'ආදරයමයි' .මළ නොමළ කාටත් පොදු ආදරයේ නාමයෙන් ඇන්තනී තවමත් පිලිප් වෙනුවෙන්.ඔව්..........තවමත්.

ප . ලි : මෙහි එන සියළුම නම් ගම් මනඃකල්පිත බව සලකන්න. වාරණ කතාව මෙතනින්


Thursday, June 7, 2012

මරණයට පෙරාතුව.....

'මගේ කාමරයේ ලොකු අලියෙක් හිටියා මතකද?'

මගේම මතකයන්
අහනවා මගෙන්ම.....

මිරිකිලා වේදනාවෙන්
අඬන හදවත මගෙන්
ඉල්ලන්නේ හිනාවක්
එ'කඳුළු සඟවන්න.....

'කානගී මෙලන්'
හද රැඳි සරසවියෙන්
සදහටම පිටවෙලා
යන්න තව මොහොතයි......





මගේ අන්තිම කතාවෙන්
සදා රැඳෙන්නට පතමින්
'ජේ' දිහා බලාගෙන
 නැවතීම තියන්නම්........

ගැටෙන ඒ අත්පොළසන්
දෝංකාරයේ හඬින්
හිතයි මට තව ටිකක්
ඉන්න තිබුණනම්........

' ඒත් මා යා යුතුයි - සදහටම වෙන්වී ඔබෙන් '

ඊයේ 'ජේ' ගේ දිනයයි උපන්
දහසක් සුබ පැතුම් මැදින්
සුන්දර වේදිකාව මත
නුඹ කවපු කේක් පිඩ අවසන්......

ඇසුවා මගේ දෙසවන්
ගිලිහුණු වදන් නුඹෙ මුවින්
ඉඩදී ගොළු වුණා හදවත
කඳුළු පොදකට නෙතගින්.........

' අනේ මැරෙන්න එපා '

'ජේ' කීවේ එච්චරයි...
ඒත් කොහොමද මං............?






 ප.ලි :
කානගී මෙලන් සරසවියේ අත්‍ය යථාර්ථය පිළිබඳ මහාචාර්යවරයෙකුව සිට තරුණ වියේදීම අග්න්‍යාශීය පිළිකාවකින් වියෝ වූ රැන්ඩි පෝෂ්ගේ මරණයට පෙරාතුව පැවති අවසන් දේශනයේ සංවේදී කතාව වෙනුවෙන්......


සුප්‍රසිද්ධ අවසන් දේශනයෙන් මාස කිහිපයකට පසු 2008 ජූලි 25 මහාචාර්ය රැන්ඩි පෝෂ් මිය ගියේය.
සම්පූර්ණ දේශනය ඉහළින්.

දේශනයේ මුල හරියයි අන්තිම හරියයි ටිකක් හොඳයි. විහිළු කතා ගොඩක් කියනවා.