Thursday, May 24, 2012

භූතා ( වාරණ හොල්මන ගැන ඇත්ත කතාව -එක කොටස )

හීන - අපි හැමෝටම එක එක ජාතියේ හීන තියනවා.බලහත්කාරයෙන් පාට තවරන්න හැදුවත්, ඒ හැම හීනයක්ම කළු - සුදුයි.කළු - සුදු විතරමයි .ඈටත් තමන් දැකපු හීනයක ලස්සනට පාට තවරන්න හිතෙන්න ඇති. ඒත් ඒ හීනය අතර මගදි බොඳවෙන බව ඈ දැනගෙන උන්නානම්.............?
මං දන්නැහැ.

පොස්ට් එක ලියන මේ මොහොතෙත් මගේ කාමරේ ජනේලයෙන් පේන්නේ ඈ රැකියාව කළ අයතනයේ අළුපාට වහළය.මොකද්දෝ හේතුවකට මට මීට කලින් මේ ගැන ලියන්න හිතුණේ නැහැ. සමහරවිට ඒ මං ඔය හැමෝම කියන හොල්මන ........හොල්මනක් වෙන්න කලින් ජීවත්ව ඉඳිද්දි ඇත්තට දැකලා තිබුණු නිසා වෙන්නැති. කට කතා ,ඕපාදූප කන්දරාවක් සත්‍ය සිද්ධිය යට ගහලා කියලනම් කියන්න පුළුවන්.කතාව පටන්ගන්න කලින් එක දෙයක් කියන්න ඕන.

' අවස්ථාවක් ලැබුණොත් ඕනම මනුස්සයෙක් ආදරය, ලිංගිකත්වය කියන මාතෘකාවල බොහොම ප්‍රාථමික විදිහට හැසිරෙයි.
පරිණාමණයවුණත්........
තාමත්....
මිනිස්සු....
ප්‍රාථමිකයි.....!'


[එක හා දෙක කොටසින් ඉදිරිපත් කරලා තියෙන්නේ මම මේ සිදුවීම දැනගත් හැටි සහ වැඩකට නැති විද්‍යාත්මක පසුබිම.ඒ ටික කියවන්න අකමැතිනම් කෙලින්ම තුන කොටසට යන්න. වෙනදා විදිහට කතාව තියෙන්නේ තුන කොටසේ]


එක කොටස

මීට අවුරුද්දකට විතර කලින් ; එදා සඳුදා දවසක් වෙන්නැති...මමයි මගේ යාළුවෝ තුන්දෙනෙකුයි ගම්පහ ඉස්ටේසමේ පළවෙනි වෙදිකාව උඩ්ට වෙලා වල්පල කතා කර කර බලාන හිටියේ උදේ පාන්දර මීදුම ඉරාගෙන දාරළුව පැත්තේ ඉඳන් කොළඹ යන කෝච්චියක් එනකං.මම තවමත් හරි හමන් රස්සාවක් නොකළත් මට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමහළු මිත්‍රයෝ තුන්දෙනාම ඒ වෙනකොටත් හොඳ හොඳ රස්සා කළ උදවිය.
අපේ කතාව එක පාරටම නැවතුණේ කෝච්චිය ආ නිසානම් නෙවෙයි.......එක මිත්‍රයෙක්ගේ ජංගම දුරකථනයට ආපු ඇමතුමක් නිසා.මිත්‍රයගේ ප්‍රති උත්තර කතාබහට අනුව ඒක සාමාන්‍ය ඇමතුමක් නොවෙන බව අපට තේරුම් ගන්න අමාරු වුණේ නැහැ.

"සිරාවටමද.....? බොරු! කවදද?  කොහෙදිද.........?අම්මටසිරි නුවර එළියේ !"

තේරුමක් නැති වචන ගොන්න්කට පස්සේ ඇමතුම විසන්ධිකළ මිත්‍රයා අපි දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"අඩෝ.......අරූ මැරිලලු බං...."
                 "කවුද?"
"අරවින්දයා..."
                   "ඒ කිව්වේ......අපේ ඉස්කෝලේ හිටි එකාද?"
"ඔව් බං ."
                  "මොනවා වෙලාද?"
"උං ට්‍රිප් එකක් ගිහින් නුවරෑළියේ.එහෙදිලු මැරිලා තියෙන්නේ.තාම හරි විස්තරයක් දන්නේ නෑ"

"කව්ද අයියේ අරවින්ද කියන්නේ?"





එහෙම ඇහුවේ මම.අරවින්දලා කීප දෙනක් දැනගෙන හිටියත් මැරුණු අරවින්ද කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ.

"ඇයි බං උඹ දන්නැද්ද? අර අපේ ගමේ සුමාලි එක්ක කාලයක් යාළුවෙලා හිටියේ.මතක නැද්ද?"
මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ මැරුණු කෙනාගේ ගම් පැත්තෙම හිටි මිත්‍රයෙක්.

"හරි හරි මතකයි මතකයි.සුමාලි කියන්නේ අර නහයේ කරාබුවක් එහෙම දාගෙන ඉන්න අක්ක නේද?"
මැරුණු කෙනාව මගේ මතකෙට ආවේ එයාගේ පෙම්වතිය හරහා.ලස්සන රූපයක් තිබුණු හින්දදෝ එයා ටිකක් ප්‍රසිද්ධ චරිතයක් වෙලා හිටියේ.




"ගනිං බලන්න ***ට කෝල් එකක්. ඌනේ අරවින්දයගේ බොක්ක.ඌ දන්නවා ඇති සීන් එක "

එතන හිටිය තවත් යාළුවෙක් කිව්වා.ඊළඟ මොහොතේ ඇහුණේ කබල් චීන ෆෝන් එකක බොත්තම් එබෙන සද්දේ.ඒ අස්සේ කෝච්චියත් ආ නිසා අපි පුරුදු මැදිරියටම ගොඩවෙලා හිර නොවී ඉන්න රවුමක් හදා ගත්තා.කෝච්චිය ගමන් ආරම්භ කළාම ඒ ඝෝසාව මැද්දෙන් ආයෙත් ඇහෙන්න වුණේ තේරුම් ගන්න අමාරු වචන කෑලි පිරිච්ච දුරකථන සංවාදයක්.

"මොකද්ද බං ඇත්තටම වෙලා තියෙන්නේ?"
කුතුහලය පිටාර ගලන්නවුණු එක මිත්‍රයෙක් ඇමතුම අස්සෙම අහන්න වුණා.ඒත් ඒකට උත්තර හම්බවුණේ තවත් මිනිත්තු කීපයකට පස්සේ ඇමතුම විසන්ධිඋණාමයි .

"සිද්ධිය බරපතලයි බං.මැරිල තියෙන්නේ අරවින්දය විතරක් නෙමෙයි"
"එහෙනං?"
"සුමාලිත් මැරිලලු"

ඝෝෂාව මැද්දේ හීන් හඬින් කිව්වත් ඒ කී දෙයින් අපිත් ටිකක් පුදුම වුණා.

"මොනවා වෙලාද මැරිලා තියෙන්නේ?"
"මං දැං කතාකරපු ***යයි, අරවින්දයයි ,සුමාලියි උංගෙ සෙට් එකයි නුවර එළියේ ට්‍රිප් එකක් ගිහින්.ඔය කොහෙද මන්දා ගෙස්ට් හවුස් එකක නතර වෙලා. එහෙදි රෑ බාබකිව් දාලා තියනවා.රෑ සීතල වැඩිකමට බාබකිව් ෆයර් එක කාමරේ ඇතුළේ තියාන තමයි මුන් දෙන්නා නිදාගෙන තියෙන්නේ . ඒකෙන් පිටවෙච්ච විස වායුවක් නිසා මැරුණා කියලයි කියන්නේ.අරවින්දයානම් දොර ඇරගන්න හදද්දිලු මැරිලා තියෙන්නේ .මිනිය තිබිලා තියෙන්නේ කාමරේ දොර ගාවලු."

"මාර සීන් එකනේ.ඒත් මං හිතුවේ උන් දෙන්න දැන් තරහයි කියලා.මාර දවස්වලටමයි අපටත් නයිට් සෙට් වෙන්නේ.......මේ දවස්වල රෑටත් එක්ක වැඩ."
"එහෙනං උඹ පරිස්සං වෙයං.උඹත් කාලයක් සුමාලිට ට්‍රයි කළා නේද?බලාගෙන රෑ වෙලා ගෙදර යද්දි පස්සෙන් එයි"

කතා බහ අස්සෙම එළි වුණේ තවත් රහසක්.කොයිතරම් බැරෑරුම් දෙයක් වෙලා තිබුණත් ඒ කතාවට හිනා නොවී ඉන්න අමාරු වුණා.

"අනෙ පලයං බං.ඒ මං චූටි කාලෙදිනේ...."
_
_
_
_
_
_
_
_
_

එදා විහිළුවට කිව්ව ඒ කතාව අද යම් තරමකට ඇත්ත වෙලා ඉවරයි. මගේ මිත්‍රයගේ පස්සෙන් මේ වන තුරුත් ආවේ නැති වුණත් ගොරකදෙණිය පාරේ බොනෑගල කිට්ටුවදි කීප දෙනෙක්ටම ......... නුවර එළියේ කළුකැලේ සංචාරක නිකේතනයේ දී අවසන් ගමන් ගිය සුමාලි දකින්න ලැබිලා අවසන්.

තාම මම කතාව පටන් ගත්තේ නැහැනේ......දෙවනි කොටසේ තියෙන්නේ මරණය වෙන්න පුළුවන් මෙහෙමයි කියලා සැක කරන කතාව.ඒක ටිකක් විද්‍යාත්මකයි. නීරසයි කියලා හිතෙනවානම් දෙක කොටස skip කරලා කෙලින්ම තුන කොටසට යන්න. කතාව තියෙන්නේ තුන කොටසේ.


දෙක කොටසට
තුන කොටසට

භූතා ( වාරණ හොල්මන ගැන ඇත්ත කතාව - දෙක කොටස )

දෙක කොටස




දහනයක් නිසි ආකාරයෙන් සිද්ද වෙන්න දේවල් තුනක් සම්පූර්ණ වෙන්න ඕන

1. දහන පෝෂකයක්
2. දාහ්‍ය ද්‍රව්‍යක්
3. ජ්වලන උෂ්ණත්වයක්

දහන පෝෂකයක් විදිහට ඔක්සිජන් වායුව හරි හැටි නොලැබීමෙන් කාබන් මොනොක්සයිඩ් වායුව හටගැනීමේ බරපතල ප්‍රවණතාවක් තියනවා. කාබන් මොනොක්සයිඩ් ආග්‍රාණය කළොත් ,රුධිරයේ ඇති ඔක්සිජන් සමග සම්බන්ධවෙලා කාබන් ඩයොක්සයිඩ් සැදීම වලක්වන්න බැහැ.ඊළඟට සිද්ධවෙන්නේ රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවීම.පරිවෘතීය ක්‍රියාවලියේ දී සෛලවල නිපදවෙන  ඉවත් කළයුතු අපද්‍රව්‍ය ඉවත් කිරීම මේ නිසා අපහසු වෙනවා.ඒ සංසිද්ධියේ
 පළමු පියවර සිහිමුර්ඡා වීම......
දෙවනි පියවර නිල්පාට වෙච්ච මළකඳක්!!!

අවුරුද්දකට කලින් වුණේ මොකද්ද කියලා හරි හැටි කියන්න දන්නේ නැතිවුණත් ඒ සිද්ධිය වටා ගොඩ නැගුණේ දූසමාන ආරංචි ගොන්නක්.තමන්ගේ දරුවෙක්ට හැදෙන කතා අහගෙන ඉන්න පුළුවන් කාටද?
ඇත්ත දැනගෙන තමන්ගේ දරුවට ගෞරවනීය මරණයක් උරුමකරදෙන්න හිතාගෙන සුමාලිගේ දෙමව්පියොත් ඒ ගමන යන්න ඇති.ඔව් ....ඒ අවිඥානගත ඒ ගමන.

සුමාලිට ඇහෙන්න ඇති තමන්ගේ නම කිය කියා අඬගහන ඒ කට හඬ.පෙනෙන්න ඇති තමාගේ ආත්මය ගෙන්වා ගැනීමට මළවුන් ගෙන්වන්නා දරන වෑයම.අවසානයේ මළවුන්ගෙන්වන්නා සාර්ථකයි.ඒත් ගෙන්වා අදාල තොරතුරු  පමණක් දැනගැනීම ප්‍රමාණවත්ද?

'ආරාධිතව පැමිණියෝ ආරාධිතවම යායුත්තෝය'

සුමාලි නැවත මළවුන්ගේ ලෝකයට යැවීමේදී මළවුන්ගෙන්වන්නා අසාර්ථකයි.ඒ රටක් කැළඹූ සිද්ධි දාමයක ආරම්භයයි.




තුන කොටසට  තුන කොටස........

භූතා ( වාරණ හොල්මන ගැන ඇත්ත කතාව - තුන කොටස )

තුන කොටස




බොත්තම එබුවයින් පසු මද වේලාවක් කහිමින් සිටි ත්‍රී රෝද රිය තිහාරිය හන්දියෙන් ගොඩැල්ල පැත්තට හරවාගත් ජනානන්ද ජිනේට ආයුබෝවන් කීවේය.

"ජිනේ අයියා.......එහෙනං හෙට උදේම සෙට් වෙමු.මං යනවා."

"හරි හරි මලයා....මමත් ඊළඟ හයර් එකෙන් පස්සේ ගෙදර .හෙට උදේට සෙට් වෙමු."

ගොරකදෙණියට යන අන්තිම බසය යෑමට තවත් පැයකටත් වඩා තිබේ.පාරේ කවුරුවත්ම නැත.ඇතැම් තැනක පහන් කණුව ඇතත් පහන නැත.හාත් පසම අඳුරුය.තුන්සක රියෙහි ඉදිරි ලාම්පුව වැදී එළිය වන ගොල්ලක් අඳුරු වන්නේ නිමේෂයකිනි.ජනානන්ද ඒ තරම්ම වේගයෙන් රථය පදවයි.අසූවට පමණක් ඇති මීටරේ කටුව කෙලින් පාරේදී හැටෙන් පහළට යන්නේම නැත.හතළිහට පවා ආසන්න වන්නේ වංගුවක් අසලදී පමණයි.අත්තනගල්ල ඔය අසබඩ වගුරු බිම් පසු කළ පසු පාර තවත් පාළුය.අතරින් පතර පිහිටි දොර වසා ඇති ගෙයකින් පවා ඇසෙන්නේ පිරිත් හඬ පමණකි.


පසුගිය දින කිහිපය ඇතුළත අහන්නට ලැබුණු ආරංචි රැසක් ජනානන්දගේ හිස වටා කැරකෙයි.

'සුදු සාරියක් ඇඳලලු හිටියේ........බයික් එකට අතදාලා නැග්ගලු.කෙල්ලෙක්නේ කියලා දාගෙන ඇවිත් ගේ ළඟදි පිටිපස්ස හැරිල බැලුවහම නෑලු.....'
'ඔය නිල්පාට ඇඟිලි පාරවලුත් කර දෙපැත්තේ තිබුණාය කියන්නේ'

"බොරු කතා"
ජනානන්ද තමන්ටම කියා ගත්තේය.

නමුදු හිස තුළ කැරකෙන දේ නිමක් නැත.අවුරුද්දකට කලින් වූ ඒ සිදුවීම ජනානන්දට හොඳටම මතකය.නුවර එළියේ සංචාරක නිකේතනයේ දී අභිරහස් ලෙස මිය ගිය ඇය ගැන විවිධ කටකතා ප්‍රදේශය පුරා පැතිරිණි.එහෙත් ඇය ඉතා අහිංසක ගැහැණු ළමිස්සියක ලෙස ජනානන්දට මතකය.තමාගේ රියෙහිම දෙතුන් වරක්ම වැඩ ඇරී යන ඇය ගමන් කළ හැටි ඔහුට මතකය.රියෙන් බට පසු කට පුරා 'අයියා' කියා තමාට ගාස්තුව ගෙවූ ඇය සමුගත් අයුරුද ජනානදට සිහිවිය.

බොනෑගල පැත්ත කිට්ටුවත්ම තාරපාරේ ඇඳ තිබූ සුදු ඉරි වේගයෙන් රිය පසු කර පසු පසට ඇදෙනු ජනානන්දට පෙනෙන්නට විය.ඔහු කිටි කිටියේ ත්‍රී රෝද රියෙහි හැඬලය මිරිකාගෙන සිටියේය.සමන්තගේ මෝටර්සයිකලයට ඇය ගොඩ වී තිබුණේ බස්නැවතුම අසලදීය.ඉතා පාළු ඉසව්වක පිහිටි නැවතුම අසලදී කෙනෙකු තම සයිකලයට ගොඩකරගන්නට සමන්තට 'පිස්සු' විය යුතුය.

බොනෑගල - වාරණ භීතිකාව ඇති වුණේ ඇගේ පවුලේ උදවිය සුමනේ අයියාගේ රියෙන් හන්දියට ගියදා පටන්ය.
'පොඩි ගමනක් යනවා ' කීවද ඔවුන් ගිය ගමන රහසක් ලෙස පැවතුණේ නැත.මළවුන් ගෙන්වීම සාර්ථක වුවත් පැමිණි මළගිය ප්‍රාණකාරයා ආපසු යෑම ප්‍රතික්ෂේප කර තිබිණි.ඉන් පසු සිදු වූ විවිධාකාර අද්භූත සිදුවීම්............?

බොහෝ කොට සිදුවූයේ රාත්‍රියේ මහ මග ගමන් ගත් රථයකට අත දමා  ගොඩවන ඈ ටික දුරක් යනවිට අතුරු දහන් වීමයි.

තමාගේ දුප්පත් රියටත් ඈ අත දැමුවහොත්?

ජනානන්දගේ ගෙල දෙපසින් දහදිය බිඳු නැග ආවේය.
ඈතින් සුදු හුණු ගෑ කොට බිත්ති සහිත බස්නැවතුම පෙනෙන විට ජනානන්ද තුන්සක රියෙහි වේගය තවත් වැඩි කළේය.ඇංජිම ගැහෙන වේගයටත් වඩා වේගයෙන් තමාගේ හදවත ගැහෙන බව ඔහුට දැනිණ.හුස්ම මදකට සිර විය.බස්නැවතුම පසුවනවා පවා ඔහුට නොපෙනිණ.රිය ඒ තරම්ම වේගයෙන් ඉදිරියට ඇදිණ.වම් ඇහැ හරවා පැතිකණ්නාඩිය දෙස බැලූ ජනානන්ද අඳුරේ නොපෙනී යන සුදු පැහැය දෙස බලා සැනසුම් සුසුම් හෙළීය.රියෙහි වේගය ද මදක් අඩුවිය.

ඔහු හතරවෙනි වංගුවෙන් රථය හැරවූයේ ලේන්සුවෙන් බෙල්ල පිටුපස පිස දමමිනි.එහෙත් ඒ මොහොත!!!
 ඒ මොහොත ජනානන්දයේ මතකයෙන් කිසිදු දිනක අතුරු දහන් නොවනු ඇත. ත්‍රී රෝද රියෙහි ඉදිරි ලාම්පුවේ එළිය කෙලින්ම වැදුණේ පාරේ පසක සිටගෙන සිටි අයෙකුගේ මුහුණෙහිය.දීප්තිමත් පහන් එළිය හමුවේ ඇස් හකුළා ගන්නවා වෙනුවට ඒ ඇස් පහන් එළියටත් වඩා හොඳින් දිලෙන්නට විය.ඒ ඈ ය. ඇගේ මුහුණ හඳුනා ගන්නට ජනානන්දට තත්පරයක් ප්‍රමාණවත් විය .ඊළඟ නිමේෂයේදී රිය නවත්වන ලෙසට ඇගේ අත එසවිණි.
ජනානන්ද වම් අතින් ඇක්සලේටරය කැරකුවේ තව දුරටත් එය කරකැවීමට ඉඩ ඉතුරු නොවන පරිදිය. ඔහු භීතියෙන් උමතු වීමට ළංව උන්නේය.ඇය පසු වී ගියත් මෙවර ඔහු පැති කණ්නාඩිය බලන්නටවත් ප්‍රමාද නොවීය.
පසෙකින් ඇසුණේ රථයට සවිකළ රේඩියෝවෙන් නැගුණු පිරිත් හඬ පමණෙකි.

                                                                  
_
_
_
_
_
_
_
_
_
_

ජනානන්දට අමුත්තක් දැනිණ.තමා දෙස කිසිවෙක් බලා හිඳිනු දැනෙන්නට විය.රේඩියෝව නතර විය .'කැසට් එක ඉවර වෙන්න ඇති'ඔහුට සිතිණ.එහෙත් මොහොතකින් රේඩියෝව යළිත් ක්‍රියා කරන්නට විය .එහෙත් .........එයින් නික්මුණේ

මළ බෙර හඬකි.

ජනානන්ද හැරී පිටුපස ආසනය දෙස බැලීය.ඔහු මදකට ගොළුවිය.කෑගසා බෙරිහන් දෙන්නට වුවමනා වුවත් කළ නොහැකි විය.දිව පැටළුණි.ජනානන්ද දුටුවේ ඈ තමා දෙස බලා සිටින අන්දමයි.ඒ මුහුණේ වූ හැඟීම් වෙන්කොට ප්‍රකාශ කිරීම අපහසුය.

"අයියා........කඩේ ළඟට"

ඇගේ හුරු පුරුදු ළබැඳි කටහඬ -එහෙත් මළවුන්ගේ ආත්මීයභාවයක් තැවරුණු හදවත වෙව්ලුම් කවන ඒ කටහඬ - රත් පැහැ තොල් අතරින් නික්මෙනු ජනානන්ද සිහිනයකින් මෙන් දුටුවේය.තමා නොදැනුවත්වම ජනානන්දගේ දකුණු පාද තිරිංගයේ පහළටම තද විය.තුන් සකරිය නැවතිණි.ඉන් එළියට බට ජනානන්ද පාර දිගේ ඉදිරියට දුවන්නට විය



මීටර් දෙසීයයක් පමණ ඔබ්බෙන් වූ ඒ නිවසට ජනානන්ද කෙසේ දිව ආවාදැයි ඔහුට තවමත් අමතකය.කරදරයකින් තොරව තමන් දුටු පළමු නිවසට දිව ඒමට තරම් ජනානන්ද වාසනාවන්ත විය.

ඒ ඇය සම්බන්ධ අවසන් සිදුවීම නොවීය.තවමත් ......ඔව් තවමත්......එය හමාරයැයි ස්ථීරවම කියන්නට අප අපොහොසත්ය.අද රාත්‍රියෙත් බොනැගල පාරේ නිවෙස්වලින් පිරිත් හඬ ඇසෙනු ඇත.සමහර විට ඇය පිරිත් හඬ අසමින්ම මිනිසුන් විසින් විකෘති කළ තමන්ගේ මරණයේ සත්‍ය කතාව කියන්නට කෙනෙකු එනතුරු බලා හිඳිනු ඇත......




ගෞරවණීය මරණයක් අපේක්ෂාවෙන්........නොමළ මළ ආත්මයක් ලෙසින්.







ප:ලි:
1).සදාචාරාත්මක හේතුමත මෙම සිදුවීමට සම්බන්ධ සියළුම අයගේ නම් පමණක් වෙනස් කොට ඇති බව සලකන්න.( සති අග එක්තරා පුවත්පතක් සියළුම සත්‍ය නම් ඉදිරිපත් කොට තිබුණි ).

2).සිදුවීමේ සත්‍යතාවන් පිළිබඳ 100% විශ්වාස කළ නොහැකිය.මා ජීවත්වන ප්‍රදේශයේ සිට කිලෝමීටර දෙකක පමණ දුරක් ඇතුළත අදාළ ප්‍රදේශය පිහිටා ඇති හෙයින් දැනගන්නට ලැබුණු බොහෝ දේ ඉදිරිපත් කළෙමි.

3).මාරයා අයියා මේ ගැනම ලස්සන පෝස්ට් එකක් දාලා තිබුණා.තාම බලපු නැතු අය මෙන්න මෙතනින් ගිහින් බලන්න  .