Thursday, April 19, 2012

අද්භූත යුවතිය


එදා හැන්දෑවක්.අකුණු ගහන , හීතල හුළං හමන - ඒ හුළඟට ගෙවල්වල ජනෙල් දොරවල් ඇරෙන වැහෙන , පාර දිගට කොළ රොඩු පෙරලි පෙරලි යන හැන්දෑවක් නෙමෙයි.ඒක නිකම්ම නිකං හැන්දෑවක්.යාන්තමට අඳුරක් තිබුණා.......එච්චරයි.රසල් හිටියේ ඉස්සරහ සාලේ තියන සුදුපාට ගාපු උස් ජනේලෙන් මෙහා පැත්තේ.එතනට ජනේලෙන් එහා පැත්තේ ගෙවත්තත් ....ඊට පස්සෙ තියන පාරත් හොඳටම පේනවා.පරණතාලේ ටැක්සියක් පාර දිගේ හෙමින් හෙමින් ඇවිත් නැවතුණේ අල්ලපු ගෙදර ගේට්ටුව ඉස්සරහ.රසල් තව ටිකක් මූණ ජනෙල් වීදුරුවට ළං කරලා බැලුවේ මෙච්චර කාලෙකට ඒ ගෙදර කවුරුවත් පදිංචිවෙලා නොහිටි නිසයි.

රසල් විමසිල්ලෙන් බලාගෙන හිටියා.මුලින්ම දොර ඇරගෙන එළියට බැස්සේ ටැක්සියේ රියදුරා.එයා රථයේ පිටිපස්සට ඇවිත් ඩිකිය අරින අතරතුරේ පදිංචිකාරයත් හෙමින්සැරේ දොර ඇරගෙන බිමට බැස්සා.එයා ලස්සන යුවතියක්.සැරසිලා හිටියේ දකින කෙනෙක්ගේ හිත ඇදිලා යන විදිහට.ගේට්ටුව ඉස්සරහා හිටගත් යුවතිය ගේට්ටුවෙන් එහා පැත්තේ තියන තමන්ගේ අලුත් නවාතැන දිහාට බැල්මක් හෙලන හැටි රසල් බලාගෙන හිටියා.ඊළඟට තමන් ළඟ තිබුණ යතුරකින් ගේට්ටුව ඇරගත් යුවතිය ඇතුළුවුණේ ගෙවත්තට.ටැක්සි රියදුරා යුවතිය පිටිපස්සෙන් ඇදුනේ ලොකු ගමන් මළු දෙකක් අත්දෙකේ හිර කරගෙනයි.

පහුවදා හැන්දෑවේ රසල් වැඩ ඇරිලා ගෙදරට එද්දි තරමක් හවස්වෙලා.අලුත් අසල්වැසියා වත්තේ තියන මේපල් ගහයට බංකුවට වෙලා ඉඳගෙන ඉන්න හැටි රසල් දැක්කේ තමන්ගේ ගෙදර ගේට්ටුව ළඟට ආවාම.එයා එතන හිටියේ තනියම නෙමෙයි.ඉස්සරහ ගෙදර ඇන්ඩෲස් නෝනත් එතන ඉඳගෙන ඉන්න හැටි රසල් දැක්කා.

'ඇන්ඩෲස් නෝනා රටේ තියන ඔක්කොම ඕපාදූප මේ කෙල්ල එක්ක කියනවා ඇති.මං ගැන මොනවා කියලා ඇද්ද දන්නේ නෑ'
රසල්ට හිතුණා.

ගේට්ටුව අරින සද්දේ ඇහිලා මේ පැත්ත බලපු ඇන්ඩෲස් නෝනට රසල් අත වැනුවේ ඉබේටම වාගේ.ඒත් රසල්ගේ ඇස් තිබුණේ යුවතිය ළඟ. ඒ මූණ කොච්චර ලස්සන වුණත් මොකද්දෝ අමුත්තක් තියනවා නේද කියලා රසල්ට හිතුණා-හරියට කාටවත් සමාව නොදෙන නපුරු - අනුකම්පා විරහිත ගතියක් වගේ දෙයක්.
තමන් අත වනන බව දැක්ක ඇන්ඩෲස් නෝනා යුවතියගේ උකුල උඩ රැඳිලා තිබුණු අත ඉහළට ඔසවලා රසල්ට සංඥා කළා.හිනාවෙන් පිරුණු ඇන්ඩෲස් නෝනගේ කම්මුල් පිම්බිලා තිබුණා.
ඊළඟ දවසේ හැන්දෑවේ රසල් දැක්කේ ,මාවතේ කෙළවර ගෙදරක හිටිය අවුරුදු හයක විතර 'ලූක්' කියන පොඩි එකා මේපල් ගහයට සෙල්ලම් කරන හැටි.ඊටත් පස්සේ දවසේ රස්තියාදුකාර ඊතන් ගේට්ටුව ළඟට වෙලා ඈ එක්ක කතාකරන හැටි.ඔය විදිහට මුළු සතිය පුරාම රේල්පාරේ වැඩ කරන වයසක ජොෂුවා උන්නැහේ,හන්දියේ ගෙදර මැඩලයින්,කාත් එක්කවත් වැඩිය කතාවට නොයන පැගී පවා අසල්වැසි මිදුලේ ඉන්න හැටි රසල්ට දකින්න පුළුවන් වුණා.
මේ විදිහට මුළු මාවතේම ඉන්න ඈ එක්ක ඈ මිතුරු වුණත් තමන් එක්ක - අසල්වැසි නිවසේ ඉන්න තමන් එක්ක වචනයක්වත් කතා නොකරන එක ගැන රසල්ට ඇති වුණේ පුදුමයක්.වරක් දෙකක් මිදුලේ ඇවිදිද්දී ඈත් එක්ක හිනාවෙන්න උත්සාහ කළත් ඇගේ මුහුණේ රැඳිලා තිබුණේ නපුරු බැල්මක්.තමන් යුදෙව්වෙක් වීම සමහරවිට ඇගේ ප්‍රතිචාරයට හේතුවක් වෙන්න ඇති-රසල්ට හිතුණා.

සති අන්තේ දවසක පාරේ ටිකක් දුරට වෙන්න තියන ළමා උද්‍යානය ගාවදී රසල්ට මුණ ගැහුණේ ඇන්ඩෲස් නෝනා.වෙනදා බලෙන්ම කතාවට එන නෝනා මූණේ හිණාවක්වත් නැතුව තමන්ව පහුකරලා අනික් පැත්තට යන හැටි දැක්කාම රසල්ට ඇතිවුණේ පුදුමයක්.
"ඇන්ඩෲස් නෝනා .......කාලෙකින් දැක්කේ...කොහෙද ගියේ? "
අනිත් පැත්ත හැරිලා තමන්ට පිටුපාලා යන කාන්තාවට රසල් කතා කළා.රසල්ගේ කටහඬ ඇහුණු ඇන්ඩෲස් නෝනා ආපහු හැරෙන හැටි රසල් දැක්කා.ඒ මූණේ තිබුණේ මූසල බැල්මක් - අසාමාන්‍ය සුදුමැලි බවක්.ඇන්ඩෲස් නෝනා එක අතක එල්ලගෙන හිටිය ලොකු කළුපාට මල්ලක් අනිත් අතට මාරු කරන හැටි රසල්ට පෙනුණා.රසල් දැක්ක විදිහට මල්ල ඇතුළේ තිබුණේ ලොකු වටකුරු දෙයක් .
"මොනවද මල්ලේ?"
රසල් ආයෙත් එහෙම ඇහුවේ ඇන්ඩෲස් නෝනගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්.
"කෑම"
ඇන්ඩෲස් නෝනාගේ ප්‍රීතිමත් කටහඬ වෙනුවට ඇහුණේ අප්‍රසන්න ගොරෝසු හඬක්.ඒ හඬට රසල්ගේ ඇතුලාන්තය පවා වෙව්ලුම් කෑවා.ආපසු හැරිලා යන්නවත් සිහියක් නොතිබුණු රසල්ට , ඇන්ඩෲස් නෝනා ආපසු යනහැටි දකින්න ලැබුණාම ඇතිවුණේ සැනසීමක්.
එක අතක තිබුණු බස්තම අනෙක් අතට මාරු කරලා රසල් ළමා උද්‍යානය දිහා බැලුවා.උද්‍යානයේ හිටි හැම ළමයෙක්ම වගේ බලන් හිටියේ හිමින් හිමින් ඈතින් ඇවිදයන ඇන්ඩෲස් නෝනා දිහා.ඒ අයගේ කටවල් පවා ඇරිලා කරමින් හිටිය සෙල්ලම් නැවතිලා රසල් දිහා පවා බැලුවේ බොහොම බයෙන්.එදා හැන්දෑවෙද්දි ,උද්‍යානයේ සෙල්ලම් කරමින් හිටිය පොඩි එකෙක් අතුරුදහන් වෙලා කියන ආරංචිය රසල්ට අහන්න ලැබුණා.ඒත් ඒ වෙලාවේ සෙල්ලම් කරමින් හිටිය කිසිම ළමයෙක් අතුරුදහන් වුණු දරුවට වුණු දේ කියන්න සමත් වෙලා තිබුණේ නෑ.
තමන් ජීවත්වෙන මාවත පුරා කියාගන්න බැරි විදිහේ ගුප්ත දේවල් සිද්දවෙන බව රසල්ට දැනුණා.දවසින් දවස අසල්වැසියන්ගේ ස්භාවය වෙනස් වෙන හැටි රසල් අත් වින්දා.සමහර රෑක අහන්න ලැබුණු විලාප දීම්,අතුරුදහන් වීම් , ඇඳේ හාන්සිවෙලා ඉන්නකොට පාර පැත්තෙන් ඇහුණු කෙඳිරීම් රසල්ව පත් කළේ අවිඥානක භීතියකට.

තමන්ගේ පරණ මෝටර් රථය අලුත් වැඩියා කරලා හෙම්බත් වෙලා හිටි රසල් ඉක්මනටම ඇඳට වැටුණේ නිදාගන්න හිතාගෙන.එදා හඳ නොතිබුණු දවසක්.'කීස්' ගාමින් ඇරුණේ එහාගෙදර ගේට්ටුව බව රසල්ට අඳුරගන්න අමාරුවුණේ නැහැ.රසල් මොහොතක් කන්දීගෙන හිටියා.එක දිගටම රහස් කෙඳිරීම් පෙළක් රසල්ට ඇහෙන්න වුණා.රසල් ඇඳෙන් නැගිටුණේ තවදුරටත් ඒ හඬ අහන් ඉන්න බැරි වුණු නිසයි.
හෙමින් හෙමින් පාවහන් නැති යටිපතුල් ලී පොළොවේ සද්ද නැගෙන්නේ නැති විදිහට තියමින් රසල් ආවේ සාලේ තිබුණු උස් ජනේලේ ළඟට.

රසල් දැක්කා.එතන දුසිමකට වැඩිය පිරිසක් ඉන්න ඇති.ලෙලෙන සුදුපාට ලෝගුව ඇඳන් ඉන්නේ පල්ලියේ ස්වාමි බව අඳුරගන්න රසල්ට අපහසු වුණේ නැහැ.ඊට අමතරව ඇන්ඩෲස් නෝනා,ආතර්,ටැක්සි රියදුරා,ජොෂුවා උන්නැහේ ,ඊතන්,මැඩලයින්,පැගී විතරක් නෙමෙයි පොඩි එකා - ලූක් පවා ඉන්න හැටි රසල් දැක්කා.ඒ හැමෝම අහගෙන හිටියේ ඇය කියන දේ.ඔව්.........ඒ ඇයම තමයි.අසැල්වැසි යුවතියගේ දිලිසෙන ලෝහිත පාට ඇස් දැක්ක රසල් වෙව්ලන්න වුණා.විශ්වාස කරන්න අමාරු වුණත් තමන් වටේට ජීවත් වෙලා ඉන්න අය තව දුරටත් මනුෂ්‍යන් නොවන බව රසල්ට දැනෙන්න වුණා.රසල්ට හැමදෙයක්ම පැහැදිලි කළේ ,අඳුරේදී පවා දිලිසුණු අසල්වැසි යුවතියගේ මුවින් එළියට පැනපු දත් යුගලය.
ආත්මය වසාගෙන පැතිරිච්ච බය හින්දා තමන්ගේ අත්දෙක වෙව්ලන බවවත් , ඒ අත් තියාගෙන හිටි ජනෙල් වීදුරුත් ඒ එක්කම සද්ද නගමින් හෙලවෙන බවවත් රසල්ට දැනුණේ නැහැ.ඒත් ඒ බව ඔවුන්ට දැනෙන්න ඇති - අමනුෂ්‍ය - මනුෂ්‍ය - අප්‍රාණ - ප්‍රාණීන්ට.රසල්ට තමන්ගේ අත් දෙක වෙව්ලන බව දැනුණේ රතු පාට ඇස් ජනේලය දිහාට යොමුවෙද්දි.දෙපැත්තට කරලා තිබුණු තිරය ජනේලය වැහෙන්න ඇදලා දාපු රසල් ඒ ළඟින් ඈත්වුණේ හිතාගන්න බැරිතරම් වේගයෙන්.නමුත් ඔවුන් තමාව දැක්ක බව රසල්ට තේරුම් ගන්න අමාරු වුණේ නැහැ.ඊළඟ මොහොතේ දිගු ලෝගුව රසල්ගේ කරවටේ එතුණා.කොට්ටේ යට තියලා තිබුණු බයිබලය ඇතුළු සාක්කුවේ පපුවට ළඟින් තැන්පත් වෙද්දි රසල්ට මතක් වුණේ පල්ලියේ පියතුමාව.සුදු ලෝගුවත් රක්ත පැහැ ඇස් දෙකත් හිත ඇතුළෙන් කෙඳිරියක් ඇති කරන්න සමත් වුණා.

නිවසේ පිටිපස්සේ දොරේ අගුල ඇරෙන හැටි රසල්ට ඇහුණේ ,ඉස්සරහ දොරේ අගුල කරකවනකොට.ගේට්ටුව ළඟ පිරිසක් ඉන්න බව ඇස් කොණෙන් දැක්කත් වෙව්ලන පාද උත්සාහ කළේ මිදුලේ නවත්තලා තිබුණු මෝටර් රථයට දුවන්න.රසල් රථයට නැගලා දොර වහගන්නකොටත් අමනුෂ්‍යන් ගේට්ටුව හරස් කරගෙන ඉවරයි.දෙතුන් වරක් කැහැපු රථයපාරට පිවිසුණේ ගෙවත්තේ වැටත් බිඳගෙන.රසල් මොහොතකටවත් පිටිපස්ස හැරී නොබැලුවේ පැති කණ්නාඩියෙන් තමා ලුහුබැඳගෙන එන ටැක්සි රථය දුටු නිසයි. සැකයක් තිබුණත් රථය රසල්ගේ විශ්වාසය බිඳ දැමුවේ නැහැ.පැය දෙකක් පුරාවට තමන් ලුහුබැඳ ආ රථය , ෂෙෆීල්ඩ්වල පහන් කණු පෙනෙන විට නතරවුණු බව දුටු රසල්ගේ දෙතොල් සෙමින් මුමුණන්න වුණා....

"දෙවියන්ට ස්තූති වේවා!!!"

18 comments:

  1. "දෙවියන්ට ස්තූති වේවා!!!"

    ReplyDelete
    Replies
    1. අහ්....අද හිතූ අක්කි එක වෙලා නේ.....:)

      Delete
    2. ඒක තමයි......මොකද දැන් කරන්නේ...

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්.....හීනයක් වගේ....හිතාගන්නවත් බෑ

    “දෙවියන්ට ස්තූති වේවා...!!!!“

    ReplyDelete
  3. හීනයක් වගේ වුණත් ඒක යථාර්තයක් නම්........

    ReplyDelete
  4. කතාව ඉවරද?... තව කොටසක් තියෙනවද?...

    මේ බ්ලොග් එකේ තව කියවන්න ඉතුරු පෝස්ට් 5-6ක් විතරයි.. ඒ ටික කියවල ඉවර වෙනකොට තව අළුත් කතාවක් ඕන ;)

    ReplyDelete
    Replies
    1. තව කොටසක් දෙන්නම්....සාතන් අයියා වගේ පරිණත උදවියත් මගේ කියවනවා කියන්නේ මං වගේ චූටි බබාලට ලොකු ශක්තියක්.හැබැයි ඒ වගේ පින් කළොත් ලබන ආත්මෙදි සාතන් වෙන්න බැරිවෙයි.

      Delete
    2. මම මේ ලබන ආත්මයක් නැති කරගන්න ට්‍රයි එක..

      අයියෝ මලය බ්ලොග් එක පරණ වුනාට මම එහෙම පොරක් නෙමෙයි :)

      Delete
  5. එහෙනං ඉතිං ඔය යන විදිහට තව තව පින් ගොඩක් කරගන්නවෙයි....මේ පෝයට සිල් ගම්මු හොඳේ?

    අපි දන්නවා සාතන් අයියා අලුත් අලුත් වැඩවලට දස්සයා කියලා.....

    ReplyDelete
  6. හීනයක්ද මේක...අමුතුම හැගීමක් දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මම සාර්ථකයි.බොහොම ස්තූතියි.

      Delete
  7. හරිම ලස්සනයි! තවත් ලියන්න ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.......

      Delete
  8. බටු කොල්ලාAugust 15, 2012 at 9:20 AM

    මේවගේ පොස්ට් වලට ඔබගේ කාලය මිඩංගු කරමින් අපට ලබදෙනවට ඔබට ගොඩක් ස්තුත්යි සහෝදරයා,ඉදිරියට තව තවත් මෙවැනි කතා අපිට දෙන්න ඕනේ හොදේ .=)

    ReplyDelete
  9. වැම්පයර් යුවතියක්!!

    ReplyDelete