Friday, April 13, 2012

මළවුන්ගේ අවුරුදු දා........











ඔයා මට දීලා ගිය
අපි දෙන්නගෙ රෝස පොහොට්ටුව
පපුවට තුරුළුවෙලා මගේ
අහනවා අද මෙහෙම....

"අප්පච්චී ...කෝ අපට අවුරුදු?"

ජනේලයෙන් එහා පැත්තේ
බක්මහේ වහින වැහි
දිහා බලන් මං
ඒ පොහොට්ටුව සිඹිනවා

"අපට? අපි කියන්නේ ඔයයි මමයි ද පැටියෝ?"

ජනෙල් වීදුරුවේ - පහළට පෙරිලා එන
වැහි බින්දුවක් වගේ
නෙතගින් වැටෙන උණු කඳුල
මම පිහදගන්නවා හොරෙන් - මල් කැකුළ දකිවී....

"අපි විතරනේ අප්පච්චී..අම්මි දැන් කනත්තෙනේ"

පුංචි තොල්පෙති
මගේ ඇහි බැමි සිඹිනවා
පුංචි අතැඟිලි
කඳුළුකැට පිහිනවා - හංගන්න බැරිවෙච්ච.........

"අඬන්නෙපා අප්පච්චි....මම කිරිබත් උයන්නං.අම්මි ඉව්වා වගේම - සෙල්ලම් මුට්ටිවල"

ගිය අවුරුද්දේ දවසක
ඔයා දූට ගෙනාපු
පුංචි මැටි මුට්ටි ටික තවමත් බිඳිලා නෑ
එයා ඒවට ආදරෙයි-ගොඩක්

"එන්න දූ........අපි යමු අම්මි බලන්න"

මගේ කරවටේ
සිඟිති අත් පැටලී
අපි දෙන්නා වැස්සේම
ඔයා බලන්න ආවා

"අම්මි නිදි ඇති .සද්ද කරන්නෙපා"

ඇඟිල්ලක් මුව හරහා
තියලා අපේ පොහොට්ටුව
සිඹිනවා ඔයා සැතපුන
සොහොන් බිම පස්කන්ද - ආදරෙන්


"වැස්සනං අඩුවෙලා වගේ පැටියෝ....."

වැඩ අල්ලන නැකතට
මැටි පහනක් පත්තු කරලා
ඔයාගේ සොහොන ළඟ
අපි දෙන්නා තියනවා - ආදරෙන් - මගෙ රත්තරං

මමයි අපෙ රෝස පොහොට්ටුවයි
මළවුන්ගේ අවුරුදු දා
ඔයා ලඟ - පාළු සොහොනේ
සත්තයි- හෙටත් එන්නං - ඔයාව බලන්න...........




4 comments:

  1. ඉන්න තැනකින් මට
    පිං දෙන්න සුදූ
    මේ ආත්මය
    ඉදිරිපිට වෙන
    අහස පොලව නුහුලන
    අසාධාරණ අසරණකම
    දරාගන්න...

    ආවත් මගේ ඇඟ
    පෙට්ටියක් ඇතුලෙ
    වලකට
    තාමත් මගේ හිත
    එදා වගේමයි
    නුඹේ පය පාමුල

    එන්න එපා
    රත්තරං....
    ආයෙ මේ කනත්තට
    රෝස පොහොට්ටුවත් අරං
    යන්න මෙහෙන් ඈතට
    හුඟක්

    දකිනකොට නුඹෙ කඳුළු
    ඇහෙනකොට හුරතල් වචන
    අපේ චූටි රෝස පොහොට්ටුවේ...
    පිච්චිලා අලුවෙලා දැවි දැවී
    මැරි මැරී
    උපදිනව
    මගේ අසරණ ආත්මය....



    මං කියවල තියෙන කවි වලින් මට පුදුමාකාර විදියට දැනුන අන්ත අසරණ නන්නනත්තාරම වුන කවි පංතිය තමයි “මීමින ප්‍රේමතිලකගෙ“
    “දරු දුක“ කවි පංතිය.....

    අද මං ඊටත්වඩා අසරණ වුනා......
    ඇත්තටම අසරණ වුනා......

    ReplyDelete
    Replies
    1. මම කලින් ඒ කවිය කියවලා නැහැ.බොහොම ස්තූතියි කියවන්න අවස්ථාවක් දුන්නට. සංවේදී සිතුවිල්ලක්!

      Delete
  2. ලස්සනට ලියල තියෙනව මිත්‍රයා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සාතන් අයියේ.අයියා වගේ බ්ලොග් අවකාශයේ ප්‍රවීණයන් තමයි අපි වගේ අයව දිරිමත් කරන්නේ.thankz again.

      Delete