Friday, April 6, 2012

පිටු අතර - බොරැල්ල කනත්ත (1)


මං දන්නවා.මගේ ආදරණීය සහෘදයා - ඔබ බිය නැත්තෙක් බව.ඒත් ඔබේ ජීවිතේ එක මොහොතක් මට දෙන්න.මම ඔබව ගෙනයන්නම් එතැනට .මුලින්ම මෙන්න මේ සුදුපාට මල් පොකුර ගන්න .හොඳයි..........ඒක ඒ විදිහටම ඔය පපුවට තද කරගන්න .වටෙන්ම මීදුම ගලනවා තමයි .ඒත් ඒ පපුවේ ගැස්ම වැඩිවෙන්න ඉඩදෙන්න එපා.මම ආයෙමත් ඔබෙන් අයදිනවා .
දැන් අපි ඉන්නේ දවාලට මොනතරම් ජනාකීර්ණ වුණත් මධ්‍යම රාත්‍රිය වෙද්දි බලු බල්ලෙක්වත් එන්න කැමති නැති ඒ සුන්දර සුසානයේ බටහිර ද්වාරය ඉස්සරහ.පිටිපස්ස හැරිලා බැලුවොත් 'බානි රේමන්ඩ්' අවමංගල්‍ය අධ්‍යක්ෂවරු පෙනේවි .ඒත් දැන්මම ඉස්සරහ බලන්න එපා.ඔබ බිය වේවි.කොච්චර නිර්භීත වුණත් ඔබ බිය වේවි.
පුදුමයක් නැහැ.අවුරුදු නමයක් තිස්සේ උදේ හවස මේ තැන දැක්කත් , රෑ වෙද්දි මේ සුසානය දිහා බලන්න මම තාමත් බයයි.මම ඔබට වඩා දුර්වලයි .ඒ කතාව අහන්න අඳුරු සුසානයට ඔබත් එක්ක මම ආවේ ......ඔබ මට වඩා බය නැති හින්දයි .හොඳයි......වටේටම අන්ධකාරය.ගේට්ටුවගාව මුරකුටියේ පහන් එළිය යාන්තමට පේනවා.වම් අත පැත්තේ, කොහේහරි පල්ලියක බෞතිස්මය ලබපු අය නිදනවා.මාත එක්කම එන්න ;සද්ද නොකර;ඒ අය සාමදානයෙන් සැතපී ඉන්න උදවිය !

දැන් අපි ඉන්නේ හරියටම කනත්ත මැද්දේ.ඔව්.....ඔය මල් පොකුර ඔහොම තියන්න.එළිය නම් මදි තමයි .ඒත් මම මේ ඉටිපන්දම ස්මාරකය පාමුල හිටවන්නම් .
ඇයි ඔයා බයවෙලා?
..........
ඇත්තද?
.............
ඔව්...මේ සොහොන්කොතේ උපත සටහන් කරල තිබුණත් , විපත සටහන් කරලා නැහැ තමයි.කවුද දන්නේ...එයා මැරුණත් තාමත් ජීවත් වෙනවද කියලා!!!
හොඳයි මම කියන්නම් එයාගේ කතාව .හැබැයි මගේ ආදරණීය සහෘදයා පොරොන්දුවෙන්න...ඔබ බය වෙන්නේ නැහැ කියලා........................


අවුරුදු පහළොවකට කලින් වුණත් කුරුඳුවත්තේ තට්ටු තුනේ ගෙවල් විරල වුණේ නැහැ.ගෙවල්වලට වඩා ඒවට මන්දිර කියලා කියන එක සාධාරණයි. සඳමාලි ජීවත් වුණේ මේ වගේ මන්දිරයක - කිරිල්ලියක් වගේ .ඈ පාසල් ගියෙත් කොළඹ තිබුණු උසස් බාලිකාවකට .උසස්පෙළ පන්තියේ පොතකුත් අරගෙන සුදුපාටින් පින්තාරු කරපු සිමෙන්ති බීරලුවලින් වටකළ සඳලුතලේට වෙලා පාඩම් කරන සඳමාලිගේ දර්ශනය හැමදාම ගේ ඉස්සරහ පාරේ යන කෙනෙකුට අමුත්තක් වුණේ නැහැ.සඳමාලි ඉගෙන ගන්න දක්ෂයි . ඇගේ අරමුණ වුණේ වෛද්‍යවරියක් වෙන එක .ඒකට එයාව උනන්දු කළ කෙනෙකුත් හිටියා .ඔහු- මිහිරාන් පළමු වසර වෛද්‍ය ශිෂ්‍යයෙක් . සඳමාලි ඔහුට පණටත් වඩා ආදරය කරන්න ඇති .සතියකට දවස් දෙකක් සඳමාලිට ඕන කරන පාඩම් කියලා දෙන්න අධික වැඩ රාජකාරි අස්සේ වුණත් මිහිරාන් කුරුඳුවත්තේ පිහිටි සඳමාලිගේ මන්දිරයට ආවා.හොඳට මුදල් හදල් තිබුණත් මිහිරාන් වගේ කෙනෙක් තමන්ගේ දුවට පාඩම්වැඩ කියලා දෙන එකට සඳමාලිගේ දෙමව්පියන් අකමැති වුණේ නැහැ.

සඳමාලි හොඳ කවිකාරියක් .සමහර දවස්වලට එයාගේ මුතුවගේ අකුරුවලින් ලියවුණු ලස්සන කවි,නිසදැස් පොත්වල පිටු අස්සේ හැංගිලා මිහිරාන්ගේ අතට ගියා.සඳමාලි තමන්ට මුළු හිතින්ම ආදරය කරන බව දැනගෙන වුන්නත් මිහිරාන් ඒ කවිවලට පිලිතුරු සැපයුවේ නැහැ. ඒකට එක හේතුවක් තිබුණා.ඒ........මිහිරාන්ගෙ හිත රැඳිලා තිබුණේ වෙන කෙනක් ළඟ නිසයි .
සඳමාලිට පාඩම් කියාදෙන්න කුරුඳුවත්තේ මන්දිරයට ආපු හැම දවසකම , මිහිරාන්ට හමුවුණේ සඳමාලි විතරක් නෙවෙයි .මැණික් - සඳමාලිගේ සුන්දර බාල සහෝදරිය මිහිරාන්ගේ හිතට ඇතුළු වුණේ හැමෝටම හොරෙන්.ඒ බව සඳමාලි දැනගෙන හිටියානම්?
එදා සඳමාලිට පාසල් ඇරිලා ගෙදරට එන්න ටිකක් වෙලා ගතවුණා.ඒකට හේතුවුණේ පාසලේ තිබුණු සංගීත උත්සවයකට පියානෝ වාදනය කරන්න ඈට සිදුවුණු නිසයි .උත්සවය අවසන්වුණු හැටියේම සඳමාලි තමන්ගේ අප්පච්චිගේ මෝටර් රථයේ නැගලා නිවසට ආවේ ,ඒ වෙනකොටත් තමන්ට පාඩම් කියාදෙන්න මිහිරාන් ඇවිත් ඇති බව සිත සිතා .
ඇත්ත.ඇය සිතූ විදිහටම මිහිරාන් ඇවිත් හිටියා.ඉක්මනට ඇඳුම් මාරු කරගන්න කාමරයට යන අතරතුරදී සඳමාලිට මිහිරාන්ව දකින්න පුළුවන් වුණා.ඔහු හිටියේ සඳලුතලේ සිමෙන්ති බීරලු බැම්මට අත්දෙක බරකරගෙන .ඒත් ඒ අත්වල වෙලිලා උන්නු තමන්ගේ නැගණියව දැක්ක සඳමාලි යක්ෂාරූඪ වුණා.පිටේ එල්ලගෙන හිටි පාසල් බෑගය ගලවලා විසි කළ සඳමාලි සඳලුතලේට කඩා පැනලා , මිහිරාන්ගේ අතේ වෙලිලා හිටි මැණික්ගේ කම්මුලට පහරක් එල්ල කළේ හිතාගන්නවත් බැරි වේගයකින්.තමන්ගේ නැගණිය තමන් ආදාය කළ තරුණයාගේ හිත හොරකම් කරලා! සඳමාලිට ඒක දරාගන්න බැරිවුණා .කෝපය , දුක , වේදනාව..........ඇගේ ආත්මය දවමින් තිබුණා.
කතාකරන්නවත් ඇයට අපහසු වුණේ කෝපය ඒතරම්ම වුණු නිසයි.එක අතකින් කම්මුල අල්ලගෙන බීරලු වැටට හේත්තුවෙලා සිටි මැණික් දිහා ඇය ආයෙත් බැලුවේ දවා අළු කරන බැල්මෙන්.සඳමාලි දිහා එකවතාවක් අප්පිරියාවෙන් බැලූ මිහිරාන් මැණික්ව තුරුලු කරගෙන ඇගේ රත් පැහැ ගැන්වුණු කම්මුල අතගාන්න පටන් ගත්තා.සඳමාලිගේ දෑසින් කඳුළු කැට රූරා ගියේ ඇගේ දෑසටත් නොදැනිමයි.ඇගේ පියවර සෙමෙන් සෙමෙන් සඳලුතලේ බැම්ම ළඟට කිට්ටු වුණා.ඇය තවත් වරක් මිහිරාන් දිහාත් ඔහුට තුරුළු වුණු මැණික් දිහාත් නෙත් යොමා බැලුවා.

"ඔයාලා සන්තෝසෙන් ජීවත් වෙන්න.ඒත් .........මම තාමත් ඔයාට ආදරෙයි මිහිරාන් ..."

සඳමාලිගේ වෙව්ලන කටහඬ හැඬම් අතරින් වාතලයට මුසුවුණා-අවසාන වතාවට .ඊළඟ නිමේෂයේදී සිමෙන්ති බැම්ම උඩට නැගගත් සඳමාලි පහළට පැන්නේ මැණික්ට හෝ මිහිරාන්ට ඇය වෙනුවෙන් කිසිවක්ම කරන්නට ඉඩ නොදෙමින්.
"අක්කා..........."
මැණික්ගේ කෑගැසුම් හඬ තුරු මුදුන්වලට ඉහළින් පාවී ගියා.එහෙත් ඈ ප්‍රමාදයි.සුළඟේ ලෙලෙමින් මහල් තුනක් පසුකරමින් ඇදුණු සඳමාලිගේ සුදු ගවුම පොළොව සිපගත්තේ අසුරු සැනින් රතුපැහැයට හැරෙමින්.
සියගණන් මිතුරියන් සඳමාලි වෙනුවෙන් වැලපෙන්න ඇති.ඈ ගැන කතා කරන්න ඇති .ඒත් ඈ ගිහින් .හැමදාටම යන්න ගිහින් .
සුදුමල් පොකුරක් අතැඟිලි අතර සිරකරගත් සඳමාලි නිදාවුන් මිනී පෙට්ටියේ පියන වැහෙනවිට මිහිරාන් අතේ සිරවී සිටි මැණික් ක්ලාන්ත වුණේ සිදුවීම ආයෙත් ඇගේ හිත පාරන්න වුණු නිසා වෙන්න ඇති.

සඳමාලි තනිවුණා.පාළු සුසානයක් මැද්දේ ඉදිවුණු සොහොන් ගලකට යට.
ඇගේ සොහොන් ස්මාරකයේ ඈ මියගිය දිනය සටහන් නොවුණේ මැණික්ගේ බලවත් ඉල්ලීම නිසාමයි.ඇස් පනා පිටම මිය ගියත් සඳමාලි මිය නොගිය බව මිහිරාන් පවා ඇදහුවා. ඒකට හේතු තිබුණා.සමහර දවස්වල පාඩම් කරන්න පොත් පෙරලනකොට පිටු අතරේ රැඳිලා තිබුණු මින්පෙර නොකියවූ නිසැදසක් මිහිරාන්ට හමුවුණා.
හැම නිසදැසකම,කවියකම යටින් අත්සන් කරලා තිබුණේ වෙන කවුරුවත් නෙමෙයි - ඒ සඳමාලිමයි.
ඈ මිය ගියත් තමන්ගේ ආදරය මිහිරාන්ගේ පොත් පිටු අතරේ රැඳෙව්වා.


සමහර දවස් වලට සුදු මල් පොකුරක් පැත්තකින් තියාගත් යුවතියක් බොරැල්ල සුසානය මැද්දේ ඉදිකළ සොහොන් කොතක් ළඟට වෙලා මොන මොනවදෝ පුංචි පිටුවක කුරුටුගාන හැටි සුසානයේ මුරකාර උන්නැහේලා සියක් වතාවක් දැකලා ඇති.


ඉතිං මගේ ආදරණීය සහෘදයා...ඉටිපන්දම නිවෙන්නත් ළඟයි.ඔබට මට විතරක් නෙමෙයි.රෑ පානේ කනත්තේ මැද හරියට ආවොත් ඕන කෙනක්ට සඳමාලිව දකින්න පුළුවන්ලු.තව ටිකකින් එයා මෙතැනට ඒවි.එයාට කරදර කරන්න නොඉඳ අපි ඈතට යමු .මට පේනවා.........අන්න එයා හෙමින් හෙමින් එනවා.සුදුපාට මල්පොකුරක් අරන්....ලා මීදුම මැද්දෙන්-හෙමින් හෙමින්.

"මළ ඈ තවමත් නොමළ ඇගේ ආදරය හුදකලා සුසානයේ සිට සිත්තම් කරන්නීය."

10 comments:

  1. හ්ම්.......

    ඇයි ආදරේ මෙච්චරටම ආත්මයත් එක්ක බැඳෙන්නෙ....??

    ReplyDelete
  2. ආත්මයේ අරටුව ආදරය නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ලස්සන වචන අප්ප.......කොහෙන් මතක්වෙනවද මන්ද.......

      Delete
  3. ඉතිං ලස්සන ප්‍රශ්න ඇහුවාම ලස්සනට උත්තර දෙන්න ඕනනේ....

    ReplyDelete
    Replies
    1. හික්ස්...අයියෝ ඔයානම්...:)

      Delete
  4. "මළ ඈ තවමත් නොමළ ඇගේ ආදරය හුදකලා සුසානයේ සිට සිත්තම් කරන්නීය."

    - කතාවල එහෙම වුනාට , ඇත්ත ලෝකෙදි ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ගේ ආදරේ මරන්න තරං සමහරු නපුරුයි මචං... ජීවිතේ ජීවත් කරවන්න ආදරේ ඕනි කියලා දැන දැනත් , ඒ ආදරේම මරලා දාන්න තරං හිතක් පපුවක් නැති උදවියත් ඉන්නවා... සඳමාලි වගේ කෙල්ලෝ හොයාගන්න හරිම අමාරුයි.. සඳමාලිට ඊළඟ ආත්මයේදීවත් තමන්ගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු...

    ReplyDelete
  5. @ Champz :උඹේ වචන මාව කම්පනයට පත්කරනවා මචං.ආත්මය ඇතුලෙන් කියැවෙන ලොකු කතාවක්! මට උඹව විනිවිද දකින්න පුළුවන්.වේදනාකාරීයි.එහෙත් මුහුණ දියයුතුයි.උඹටයි මටයි සඳමාලිටයි තැනක් තියෙයි. අපි බලා ඉමු .........

    @Anuja : Thanks a lot machan.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ කථාවම කියවල ඉවර වෙනකොට මහ දවාලෙත් මුලු සරුවාන්ගෙම හිරිගඩු පිපෙන්න තරම් මේ කථාව උපරිම විදිහට ලියලා තියනව මචන්.... මැක්සා...........

      Delete
    2. බොහොම ස්තූතියි ජිනේ......

      Delete