Sunday, April 29, 2012

මට කලින්නුඹට ආදරෙයි කියාලා.........




බම්බලපිටිය ඉස්ටේසමේ
ප්ලැට්ෆෝම් එකේ කෙලවර
මතකයි මම බලා උන්නා
ටෙරාසෝ බංකුව උඩ - හැමදාම - නුඹ එනකං

එම් සී එක පැත්තේ ඉඳන්
පද්ද පද්ද ආව උකුළ
ගස්සලා මගෙ ඇස් අද්දර
පෙන්නුවා හැඩ - හැමදාම - ආඩම්බරෙං

හිතේ තිබුණු දහසක් දේ
එක වචනෙට කැටිකරලා
අනේ මටත් නුඹේ කනට
කියාගන්න - පුළුවන් - වුණානං

වැහි වතුර වැටිලා කොලපාට පාසි බැඳිච්ච
බිත්තියක ඉස්ටේසමේ
තිබුණා එදා
නුඹෙ මූණ අලවලා අනිච්චාවතං - සංඛාරං



"දැන්වීම් ඇලවීම තහනං"


ප.ලි: "ඌ" = මාරයා

Thursday, April 19, 2012

අද්භූත යුවතිය


එදා හැන්දෑවක්.අකුණු ගහන , හීතල හුළං හමන - ඒ හුළඟට ගෙවල්වල ජනෙල් දොරවල් ඇරෙන වැහෙන , පාර දිගට කොළ රොඩු පෙරලි පෙරලි යන හැන්දෑවක් නෙමෙයි.ඒක නිකම්ම නිකං හැන්දෑවක්.යාන්තමට අඳුරක් තිබුණා.......එච්චරයි.රසල් හිටියේ ඉස්සරහ සාලේ තියන සුදුපාට ගාපු උස් ජනේලෙන් මෙහා පැත්තේ.එතනට ජනේලෙන් එහා පැත්තේ ගෙවත්තත් ....ඊට පස්සෙ තියන පාරත් හොඳටම පේනවා.පරණතාලේ ටැක්සියක් පාර දිගේ හෙමින් හෙමින් ඇවිත් නැවතුණේ අල්ලපු ගෙදර ගේට්ටුව ඉස්සරහ.රසල් තව ටිකක් මූණ ජනෙල් වීදුරුවට ළං කරලා බැලුවේ මෙච්චර කාලෙකට ඒ ගෙදර කවුරුවත් පදිංචිවෙලා නොහිටි නිසයි.

රසල් විමසිල්ලෙන් බලාගෙන හිටියා.මුලින්ම දොර ඇරගෙන එළියට බැස්සේ ටැක්සියේ රියදුරා.එයා රථයේ පිටිපස්සට ඇවිත් ඩිකිය අරින අතරතුරේ පදිංචිකාරයත් හෙමින්සැරේ දොර ඇරගෙන බිමට බැස්සා.එයා ලස්සන යුවතියක්.සැරසිලා හිටියේ දකින කෙනෙක්ගේ හිත ඇදිලා යන විදිහට.ගේට්ටුව ඉස්සරහා හිටගත් යුවතිය ගේට්ටුවෙන් එහා පැත්තේ තියන තමන්ගේ අලුත් නවාතැන දිහාට බැල්මක් හෙලන හැටි රසල් බලාගෙන හිටියා.ඊළඟට තමන් ළඟ තිබුණ යතුරකින් ගේට්ටුව ඇරගත් යුවතිය ඇතුළුවුණේ ගෙවත්තට.ටැක්සි රියදුරා යුවතිය පිටිපස්සෙන් ඇදුනේ ලොකු ගමන් මළු දෙකක් අත්දෙකේ හිර කරගෙනයි.

පහුවදා හැන්දෑවේ රසල් වැඩ ඇරිලා ගෙදරට එද්දි තරමක් හවස්වෙලා.අලුත් අසල්වැසියා වත්තේ තියන මේපල් ගහයට බංකුවට වෙලා ඉඳගෙන ඉන්න හැටි රසල් දැක්කේ තමන්ගේ ගෙදර ගේට්ටුව ළඟට ආවාම.එයා එතන හිටියේ තනියම නෙමෙයි.ඉස්සරහ ගෙදර ඇන්ඩෲස් නෝනත් එතන ඉඳගෙන ඉන්න හැටි රසල් දැක්කා.

'ඇන්ඩෲස් නෝනා රටේ තියන ඔක්කොම ඕපාදූප මේ කෙල්ල එක්ක කියනවා ඇති.මං ගැන මොනවා කියලා ඇද්ද දන්නේ නෑ'
රසල්ට හිතුණා.

ගේට්ටුව අරින සද්දේ ඇහිලා මේ පැත්ත බලපු ඇන්ඩෲස් නෝනට රසල් අත වැනුවේ ඉබේටම වාගේ.ඒත් රසල්ගේ ඇස් තිබුණේ යුවතිය ළඟ. ඒ මූණ කොච්චර ලස්සන වුණත් මොකද්දෝ අමුත්තක් තියනවා නේද කියලා රසල්ට හිතුණා-හරියට කාටවත් සමාව නොදෙන නපුරු - අනුකම්පා විරහිත ගතියක් වගේ දෙයක්.
තමන් අත වනන බව දැක්ක ඇන්ඩෲස් නෝනා යුවතියගේ උකුල උඩ රැඳිලා තිබුණු අත ඉහළට ඔසවලා රසල්ට සංඥා කළා.හිනාවෙන් පිරුණු ඇන්ඩෲස් නෝනගේ කම්මුල් පිම්බිලා තිබුණා.
ඊළඟ දවසේ හැන්දෑවේ රසල් දැක්කේ ,මාවතේ කෙළවර ගෙදරක හිටිය අවුරුදු හයක විතර 'ලූක්' කියන පොඩි එකා මේපල් ගහයට සෙල්ලම් කරන හැටි.ඊටත් පස්සේ දවසේ රස්තියාදුකාර ඊතන් ගේට්ටුව ළඟට වෙලා ඈ එක්ක කතාකරන හැටි.ඔය විදිහට මුළු සතිය පුරාම රේල්පාරේ වැඩ කරන වයසක ජොෂුවා උන්නැහේ,හන්දියේ ගෙදර මැඩලයින්,කාත් එක්කවත් වැඩිය කතාවට නොයන පැගී පවා අසල්වැසි මිදුලේ ඉන්න හැටි රසල්ට දකින්න පුළුවන් වුණා.
මේ විදිහට මුළු මාවතේම ඉන්න ඈ එක්ක ඈ මිතුරු වුණත් තමන් එක්ක - අසල්වැසි නිවසේ ඉන්න තමන් එක්ක වචනයක්වත් කතා නොකරන එක ගැන රසල්ට ඇති වුණේ පුදුමයක්.වරක් දෙකක් මිදුලේ ඇවිදිද්දී ඈත් එක්ක හිනාවෙන්න උත්සාහ කළත් ඇගේ මුහුණේ රැඳිලා තිබුණේ නපුරු බැල්මක්.තමන් යුදෙව්වෙක් වීම සමහරවිට ඇගේ ප්‍රතිචාරයට හේතුවක් වෙන්න ඇති-රසල්ට හිතුණා.

සති අන්තේ දවසක පාරේ ටිකක් දුරට වෙන්න තියන ළමා උද්‍යානය ගාවදී රසල්ට මුණ ගැහුණේ ඇන්ඩෲස් නෝනා.වෙනදා බලෙන්ම කතාවට එන නෝනා මූණේ හිණාවක්වත් නැතුව තමන්ව පහුකරලා අනික් පැත්තට යන හැටි දැක්කාම රසල්ට ඇතිවුණේ පුදුමයක්.
"ඇන්ඩෲස් නෝනා .......කාලෙකින් දැක්කේ...කොහෙද ගියේ? "
අනිත් පැත්ත හැරිලා තමන්ට පිටුපාලා යන කාන්තාවට රසල් කතා කළා.රසල්ගේ කටහඬ ඇහුණු ඇන්ඩෲස් නෝනා ආපහු හැරෙන හැටි රසල් දැක්කා.ඒ මූණේ තිබුණේ මූසල බැල්මක් - අසාමාන්‍ය සුදුමැලි බවක්.ඇන්ඩෲස් නෝනා එක අතක එල්ලගෙන හිටිය ලොකු කළුපාට මල්ලක් අනිත් අතට මාරු කරන හැටි රසල්ට පෙනුණා.රසල් දැක්ක විදිහට මල්ල ඇතුළේ තිබුණේ ලොකු වටකුරු දෙයක් .
"මොනවද මල්ලේ?"
රසල් ආයෙත් එහෙම ඇහුවේ ඇන්ඩෲස් නෝනගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්.
"කෑම"
ඇන්ඩෲස් නෝනාගේ ප්‍රීතිමත් කටහඬ වෙනුවට ඇහුණේ අප්‍රසන්න ගොරෝසු හඬක්.ඒ හඬට රසල්ගේ ඇතුලාන්තය පවා වෙව්ලුම් කෑවා.ආපසු හැරිලා යන්නවත් සිහියක් නොතිබුණු රසල්ට , ඇන්ඩෲස් නෝනා ආපසු යනහැටි දකින්න ලැබුණාම ඇතිවුණේ සැනසීමක්.
එක අතක තිබුණු බස්තම අනෙක් අතට මාරු කරලා රසල් ළමා උද්‍යානය දිහා බැලුවා.උද්‍යානයේ හිටි හැම ළමයෙක්ම වගේ බලන් හිටියේ හිමින් හිමින් ඈතින් ඇවිදයන ඇන්ඩෲස් නෝනා දිහා.ඒ අයගේ කටවල් පවා ඇරිලා කරමින් හිටිය සෙල්ලම් නැවතිලා රසල් දිහා පවා බැලුවේ බොහොම බයෙන්.එදා හැන්දෑවෙද්දි ,උද්‍යානයේ සෙල්ලම් කරමින් හිටිය පොඩි එකෙක් අතුරුදහන් වෙලා කියන ආරංචිය රසල්ට අහන්න ලැබුණා.ඒත් ඒ වෙලාවේ සෙල්ලම් කරමින් හිටිය කිසිම ළමයෙක් අතුරුදහන් වුණු දරුවට වුණු දේ කියන්න සමත් වෙලා තිබුණේ නෑ.
තමන් ජීවත්වෙන මාවත පුරා කියාගන්න බැරි විදිහේ ගුප්ත දේවල් සිද්දවෙන බව රසල්ට දැනුණා.දවසින් දවස අසල්වැසියන්ගේ ස්භාවය වෙනස් වෙන හැටි රසල් අත් වින්දා.සමහර රෑක අහන්න ලැබුණු විලාප දීම්,අතුරුදහන් වීම් , ඇඳේ හාන්සිවෙලා ඉන්නකොට පාර පැත්තෙන් ඇහුණු කෙඳිරීම් රසල්ව පත් කළේ අවිඥානක භීතියකට.

තමන්ගේ පරණ මෝටර් රථය අලුත් වැඩියා කරලා හෙම්බත් වෙලා හිටි රසල් ඉක්මනටම ඇඳට වැටුණේ නිදාගන්න හිතාගෙන.එදා හඳ නොතිබුණු දවසක්.'කීස්' ගාමින් ඇරුණේ එහාගෙදර ගේට්ටුව බව රසල්ට අඳුරගන්න අමාරුවුණේ නැහැ.රසල් මොහොතක් කන්දීගෙන හිටියා.එක දිගටම රහස් කෙඳිරීම් පෙළක් රසල්ට ඇහෙන්න වුණා.රසල් ඇඳෙන් නැගිටුණේ තවදුරටත් ඒ හඬ අහන් ඉන්න බැරි වුණු නිසයි.
හෙමින් හෙමින් පාවහන් නැති යටිපතුල් ලී පොළොවේ සද්ද නැගෙන්නේ නැති විදිහට තියමින් රසල් ආවේ සාලේ තිබුණු උස් ජනේලේ ළඟට.

රසල් දැක්කා.එතන දුසිමකට වැඩිය පිරිසක් ඉන්න ඇති.ලෙලෙන සුදුපාට ලෝගුව ඇඳන් ඉන්නේ පල්ලියේ ස්වාමි බව අඳුරගන්න රසල්ට අපහසු වුණේ නැහැ.ඊට අමතරව ඇන්ඩෲස් නෝනා,ආතර්,ටැක්සි රියදුරා,ජොෂුවා උන්නැහේ ,ඊතන්,මැඩලයින්,පැගී විතරක් නෙමෙයි පොඩි එකා - ලූක් පවා ඉන්න හැටි රසල් දැක්කා.ඒ හැමෝම අහගෙන හිටියේ ඇය කියන දේ.ඔව්.........ඒ ඇයම තමයි.අසැල්වැසි යුවතියගේ දිලිසෙන ලෝහිත පාට ඇස් දැක්ක රසල් වෙව්ලන්න වුණා.විශ්වාස කරන්න අමාරු වුණත් තමන් වටේට ජීවත් වෙලා ඉන්න අය තව දුරටත් මනුෂ්‍යන් නොවන බව රසල්ට දැනෙන්න වුණා.රසල්ට හැමදෙයක්ම පැහැදිලි කළේ ,අඳුරේදී පවා දිලිසුණු අසල්වැසි යුවතියගේ මුවින් එළියට පැනපු දත් යුගලය.
ආත්මය වසාගෙන පැතිරිච්ච බය හින්දා තමන්ගේ අත්දෙක වෙව්ලන බවවත් , ඒ අත් තියාගෙන හිටි ජනෙල් වීදුරුත් ඒ එක්කම සද්ද නගමින් හෙලවෙන බවවත් රසල්ට දැනුණේ නැහැ.ඒත් ඒ බව ඔවුන්ට දැනෙන්න ඇති - අමනුෂ්‍ය - මනුෂ්‍ය - අප්‍රාණ - ප්‍රාණීන්ට.රසල්ට තමන්ගේ අත් දෙක වෙව්ලන බව දැනුණේ රතු පාට ඇස් ජනේලය දිහාට යොමුවෙද්දි.දෙපැත්තට කරලා තිබුණු තිරය ජනේලය වැහෙන්න ඇදලා දාපු රසල් ඒ ළඟින් ඈත්වුණේ හිතාගන්න බැරිතරම් වේගයෙන්.නමුත් ඔවුන් තමාව දැක්ක බව රසල්ට තේරුම් ගන්න අමාරු වුණේ නැහැ.ඊළඟ මොහොතේ දිගු ලෝගුව රසල්ගේ කරවටේ එතුණා.කොට්ටේ යට තියලා තිබුණු බයිබලය ඇතුළු සාක්කුවේ පපුවට ළඟින් තැන්පත් වෙද්දි රසල්ට මතක් වුණේ පල්ලියේ පියතුමාව.සුදු ලෝගුවත් රක්ත පැහැ ඇස් දෙකත් හිත ඇතුළෙන් කෙඳිරියක් ඇති කරන්න සමත් වුණා.

නිවසේ පිටිපස්සේ දොරේ අගුල ඇරෙන හැටි රසල්ට ඇහුණේ ,ඉස්සරහ දොරේ අගුල කරකවනකොට.ගේට්ටුව ළඟ පිරිසක් ඉන්න බව ඇස් කොණෙන් දැක්කත් වෙව්ලන පාද උත්සාහ කළේ මිදුලේ නවත්තලා තිබුණු මෝටර් රථයට දුවන්න.රසල් රථයට නැගලා දොර වහගන්නකොටත් අමනුෂ්‍යන් ගේට්ටුව හරස් කරගෙන ඉවරයි.දෙතුන් වරක් කැහැපු රථයපාරට පිවිසුණේ ගෙවත්තේ වැටත් බිඳගෙන.රසල් මොහොතකටවත් පිටිපස්ස හැරී නොබැලුවේ පැති කණ්නාඩියෙන් තමා ලුහුබැඳගෙන එන ටැක්සි රථය දුටු නිසයි. සැකයක් තිබුණත් රථය රසල්ගේ විශ්වාසය බිඳ දැමුවේ නැහැ.පැය දෙකක් පුරාවට තමන් ලුහුබැඳ ආ රථය , ෂෙෆීල්ඩ්වල පහන් කණු පෙනෙන විට නතරවුණු බව දුටු රසල්ගේ දෙතොල් සෙමින් මුමුණන්න වුණා....

"දෙවියන්ට ස්තූති වේවා!!!"

Friday, April 13, 2012

මළවුන්ගේ අවුරුදු දා........











ඔයා මට දීලා ගිය
අපි දෙන්නගෙ රෝස පොහොට්ටුව
පපුවට තුරුළුවෙලා මගේ
අහනවා අද මෙහෙම....

"අප්පච්චී ...කෝ අපට අවුරුදු?"

ජනේලයෙන් එහා පැත්තේ
බක්මහේ වහින වැහි
දිහා බලන් මං
ඒ පොහොට්ටුව සිඹිනවා

"අපට? අපි කියන්නේ ඔයයි මමයි ද පැටියෝ?"

ජනෙල් වීදුරුවේ - පහළට පෙරිලා එන
වැහි බින්දුවක් වගේ
නෙතගින් වැටෙන උණු කඳුල
මම පිහදගන්නවා හොරෙන් - මල් කැකුළ දකිවී....

"අපි විතරනේ අප්පච්චී..අම්මි දැන් කනත්තෙනේ"

පුංචි තොල්පෙති
මගේ ඇහි බැමි සිඹිනවා
පුංචි අතැඟිලි
කඳුළුකැට පිහිනවා - හංගන්න බැරිවෙච්ච.........

"අඬන්නෙපා අප්පච්චි....මම කිරිබත් උයන්නං.අම්මි ඉව්වා වගේම - සෙල්ලම් මුට්ටිවල"

ගිය අවුරුද්දේ දවසක
ඔයා දූට ගෙනාපු
පුංචි මැටි මුට්ටි ටික තවමත් බිඳිලා නෑ
එයා ඒවට ආදරෙයි-ගොඩක්

"එන්න දූ........අපි යමු අම්මි බලන්න"

මගේ කරවටේ
සිඟිති අත් පැටලී
අපි දෙන්නා වැස්සේම
ඔයා බලන්න ආවා

"අම්මි නිදි ඇති .සද්ද කරන්නෙපා"

ඇඟිල්ලක් මුව හරහා
තියලා අපේ පොහොට්ටුව
සිඹිනවා ඔයා සැතපුන
සොහොන් බිම පස්කන්ද - ආදරෙන්


"වැස්සනං අඩුවෙලා වගේ පැටියෝ....."

වැඩ අල්ලන නැකතට
මැටි පහනක් පත්තු කරලා
ඔයාගේ සොහොන ළඟ
අපි දෙන්නා තියනවා - ආදරෙන් - මගෙ රත්තරං

මමයි අපෙ රෝස පොහොට්ටුවයි
මළවුන්ගේ අවුරුදු දා
ඔයා ලඟ - පාළු සොහොනේ
සත්තයි- හෙටත් එන්නං - ඔයාව බලන්න...........




Friday, April 6, 2012

පිටු අතර - බොරැල්ල කනත්ත (1)


මං දන්නවා.මගේ ආදරණීය සහෘදයා - ඔබ බිය නැත්තෙක් බව.ඒත් ඔබේ ජීවිතේ එක මොහොතක් මට දෙන්න.මම ඔබව ගෙනයන්නම් එතැනට .මුලින්ම මෙන්න මේ සුදුපාට මල් පොකුර ගන්න .හොඳයි..........ඒක ඒ විදිහටම ඔය පපුවට තද කරගන්න .වටෙන්ම මීදුම ගලනවා තමයි .ඒත් ඒ පපුවේ ගැස්ම වැඩිවෙන්න ඉඩදෙන්න එපා.මම ආයෙමත් ඔබෙන් අයදිනවා .
දැන් අපි ඉන්නේ දවාලට මොනතරම් ජනාකීර්ණ වුණත් මධ්‍යම රාත්‍රිය වෙද්දි බලු බල්ලෙක්වත් එන්න කැමති නැති ඒ සුන්දර සුසානයේ බටහිර ද්වාරය ඉස්සරහ.පිටිපස්ස හැරිලා බැලුවොත් 'බානි රේමන්ඩ්' අවමංගල්‍ය අධ්‍යක්ෂවරු පෙනේවි .ඒත් දැන්මම ඉස්සරහ බලන්න එපා.ඔබ බිය වේවි.කොච්චර නිර්භීත වුණත් ඔබ බිය වේවි.
පුදුමයක් නැහැ.අවුරුදු නමයක් තිස්සේ උදේ හවස මේ තැන දැක්කත් , රෑ වෙද්දි මේ සුසානය දිහා බලන්න මම තාමත් බයයි.මම ඔබට වඩා දුර්වලයි .ඒ කතාව අහන්න අඳුරු සුසානයට ඔබත් එක්ක මම ආවේ ......ඔබ මට වඩා බය නැති හින්දයි .හොඳයි......වටේටම අන්ධකාරය.ගේට්ටුවගාව මුරකුටියේ පහන් එළිය යාන්තමට පේනවා.වම් අත පැත්තේ, කොහේහරි පල්ලියක බෞතිස්මය ලබපු අය නිදනවා.මාත එක්කම එන්න ;සද්ද නොකර;ඒ අය සාමදානයෙන් සැතපී ඉන්න උදවිය !

දැන් අපි ඉන්නේ හරියටම කනත්ත මැද්දේ.ඔව්.....ඔය මල් පොකුර ඔහොම තියන්න.එළිය නම් මදි තමයි .ඒත් මම මේ ඉටිපන්දම ස්මාරකය පාමුල හිටවන්නම් .
ඇයි ඔයා බයවෙලා?
..........
ඇත්තද?
.............
ඔව්...මේ සොහොන්කොතේ උපත සටහන් කරල තිබුණත් , විපත සටහන් කරලා නැහැ තමයි.කවුද දන්නේ...එයා මැරුණත් තාමත් ජීවත් වෙනවද කියලා!!!
හොඳයි මම කියන්නම් එයාගේ කතාව .හැබැයි මගේ ආදරණීය සහෘදයා පොරොන්දුවෙන්න...ඔබ බය වෙන්නේ නැහැ කියලා........................


අවුරුදු පහළොවකට කලින් වුණත් කුරුඳුවත්තේ තට්ටු තුනේ ගෙවල් විරල වුණේ නැහැ.ගෙවල්වලට වඩා ඒවට මන්දිර කියලා කියන එක සාධාරණයි. සඳමාලි ජීවත් වුණේ මේ වගේ මන්දිරයක - කිරිල්ලියක් වගේ .ඈ පාසල් ගියෙත් කොළඹ තිබුණු උසස් බාලිකාවකට .උසස්පෙළ පන්තියේ පොතකුත් අරගෙන සුදුපාටින් පින්තාරු කරපු සිමෙන්ති බීරලුවලින් වටකළ සඳලුතලේට වෙලා පාඩම් කරන සඳමාලිගේ දර්ශනය හැමදාම ගේ ඉස්සරහ පාරේ යන කෙනෙකුට අමුත්තක් වුණේ නැහැ.සඳමාලි ඉගෙන ගන්න දක්ෂයි . ඇගේ අරමුණ වුණේ වෛද්‍යවරියක් වෙන එක .ඒකට එයාව උනන්දු කළ කෙනෙකුත් හිටියා .ඔහු- මිහිරාන් පළමු වසර වෛද්‍ය ශිෂ්‍යයෙක් . සඳමාලි ඔහුට පණටත් වඩා ආදරය කරන්න ඇති .සතියකට දවස් දෙකක් සඳමාලිට ඕන කරන පාඩම් කියලා දෙන්න අධික වැඩ රාජකාරි අස්සේ වුණත් මිහිරාන් කුරුඳුවත්තේ පිහිටි සඳමාලිගේ මන්දිරයට ආවා.හොඳට මුදල් හදල් තිබුණත් මිහිරාන් වගේ කෙනෙක් තමන්ගේ දුවට පාඩම්වැඩ කියලා දෙන එකට සඳමාලිගේ දෙමව්පියන් අකමැති වුණේ නැහැ.

සඳමාලි හොඳ කවිකාරියක් .සමහර දවස්වලට එයාගේ මුතුවගේ අකුරුවලින් ලියවුණු ලස්සන කවි,නිසදැස් පොත්වල පිටු අස්සේ හැංගිලා මිහිරාන්ගේ අතට ගියා.සඳමාලි තමන්ට මුළු හිතින්ම ආදරය කරන බව දැනගෙන වුන්නත් මිහිරාන් ඒ කවිවලට පිලිතුරු සැපයුවේ නැහැ. ඒකට එක හේතුවක් තිබුණා.ඒ........මිහිරාන්ගෙ හිත රැඳිලා තිබුණේ වෙන කෙනක් ළඟ නිසයි .
සඳමාලිට පාඩම් කියාදෙන්න කුරුඳුවත්තේ මන්දිරයට ආපු හැම දවසකම , මිහිරාන්ට හමුවුණේ සඳමාලි විතරක් නෙවෙයි .මැණික් - සඳමාලිගේ සුන්දර බාල සහෝදරිය මිහිරාන්ගේ හිතට ඇතුළු වුණේ හැමෝටම හොරෙන්.ඒ බව සඳමාලි දැනගෙන හිටියානම්?
එදා සඳමාලිට පාසල් ඇරිලා ගෙදරට එන්න ටිකක් වෙලා ගතවුණා.ඒකට හේතුවුණේ පාසලේ තිබුණු සංගීත උත්සවයකට පියානෝ වාදනය කරන්න ඈට සිදුවුණු නිසයි .උත්සවය අවසන්වුණු හැටියේම සඳමාලි තමන්ගේ අප්පච්චිගේ මෝටර් රථයේ නැගලා නිවසට ආවේ ,ඒ වෙනකොටත් තමන්ට පාඩම් කියාදෙන්න මිහිරාන් ඇවිත් ඇති බව සිත සිතා .
ඇත්ත.ඇය සිතූ විදිහටම මිහිරාන් ඇවිත් හිටියා.ඉක්මනට ඇඳුම් මාරු කරගන්න කාමරයට යන අතරතුරදී සඳමාලිට මිහිරාන්ව දකින්න පුළුවන් වුණා.ඔහු හිටියේ සඳලුතලේ සිමෙන්ති බීරලු බැම්මට අත්දෙක බරකරගෙන .ඒත් ඒ අත්වල වෙලිලා උන්නු තමන්ගේ නැගණියව දැක්ක සඳමාලි යක්ෂාරූඪ වුණා.පිටේ එල්ලගෙන හිටි පාසල් බෑගය ගලවලා විසි කළ සඳමාලි සඳලුතලේට කඩා පැනලා , මිහිරාන්ගේ අතේ වෙලිලා හිටි මැණික්ගේ කම්මුලට පහරක් එල්ල කළේ හිතාගන්නවත් බැරි වේගයකින්.තමන්ගේ නැගණිය තමන් ආදාය කළ තරුණයාගේ හිත හොරකම් කරලා! සඳමාලිට ඒක දරාගන්න බැරිවුණා .කෝපය , දුක , වේදනාව..........ඇගේ ආත්මය දවමින් තිබුණා.
කතාකරන්නවත් ඇයට අපහසු වුණේ කෝපය ඒතරම්ම වුණු නිසයි.එක අතකින් කම්මුල අල්ලගෙන බීරලු වැටට හේත්තුවෙලා සිටි මැණික් දිහා ඇය ආයෙත් බැලුවේ දවා අළු කරන බැල්මෙන්.සඳමාලි දිහා එකවතාවක් අප්පිරියාවෙන් බැලූ මිහිරාන් මැණික්ව තුරුලු කරගෙන ඇගේ රත් පැහැ ගැන්වුණු කම්මුල අතගාන්න පටන් ගත්තා.සඳමාලිගේ දෑසින් කඳුළු කැට රූරා ගියේ ඇගේ දෑසටත් නොදැනිමයි.ඇගේ පියවර සෙමෙන් සෙමෙන් සඳලුතලේ බැම්ම ළඟට කිට්ටු වුණා.ඇය තවත් වරක් මිහිරාන් දිහාත් ඔහුට තුරුළු වුණු මැණික් දිහාත් නෙත් යොමා බැලුවා.

"ඔයාලා සන්තෝසෙන් ජීවත් වෙන්න.ඒත් .........මම තාමත් ඔයාට ආදරෙයි මිහිරාන් ..."

සඳමාලිගේ වෙව්ලන කටහඬ හැඬම් අතරින් වාතලයට මුසුවුණා-අවසාන වතාවට .ඊළඟ නිමේෂයේදී සිමෙන්ති බැම්ම උඩට නැගගත් සඳමාලි පහළට පැන්නේ මැණික්ට හෝ මිහිරාන්ට ඇය වෙනුවෙන් කිසිවක්ම කරන්නට ඉඩ නොදෙමින්.
"අක්කා..........."
මැණික්ගේ කෑගැසුම් හඬ තුරු මුදුන්වලට ඉහළින් පාවී ගියා.එහෙත් ඈ ප්‍රමාදයි.සුළඟේ ලෙලෙමින් මහල් තුනක් පසුකරමින් ඇදුණු සඳමාලිගේ සුදු ගවුම පොළොව සිපගත්තේ අසුරු සැනින් රතුපැහැයට හැරෙමින්.
සියගණන් මිතුරියන් සඳමාලි වෙනුවෙන් වැලපෙන්න ඇති.ඈ ගැන කතා කරන්න ඇති .ඒත් ඈ ගිහින් .හැමදාටම යන්න ගිහින් .
සුදුමල් පොකුරක් අතැඟිලි අතර සිරකරගත් සඳමාලි නිදාවුන් මිනී පෙට්ටියේ පියන වැහෙනවිට මිහිරාන් අතේ සිරවී සිටි මැණික් ක්ලාන්ත වුණේ සිදුවීම ආයෙත් ඇගේ හිත පාරන්න වුණු නිසා වෙන්න ඇති.

සඳමාලි තනිවුණා.පාළු සුසානයක් මැද්දේ ඉදිවුණු සොහොන් ගලකට යට.
ඇගේ සොහොන් ස්මාරකයේ ඈ මියගිය දිනය සටහන් නොවුණේ මැණික්ගේ බලවත් ඉල්ලීම නිසාමයි.ඇස් පනා පිටම මිය ගියත් සඳමාලි මිය නොගිය බව මිහිරාන් පවා ඇදහුවා. ඒකට හේතු තිබුණා.සමහර දවස්වල පාඩම් කරන්න පොත් පෙරලනකොට පිටු අතරේ රැඳිලා තිබුණු මින්පෙර නොකියවූ නිසැදසක් මිහිරාන්ට හමුවුණා.
හැම නිසදැසකම,කවියකම යටින් අත්සන් කරලා තිබුණේ වෙන කවුරුවත් නෙමෙයි - ඒ සඳමාලිමයි.
ඈ මිය ගියත් තමන්ගේ ආදරය මිහිරාන්ගේ පොත් පිටු අතරේ රැඳෙව්වා.


සමහර දවස් වලට සුදු මල් පොකුරක් පැත්තකින් තියාගත් යුවතියක් බොරැල්ල සුසානය මැද්දේ ඉදිකළ සොහොන් කොතක් ළඟට වෙලා මොන මොනවදෝ පුංචි පිටුවක කුරුටුගාන හැටි සුසානයේ මුරකාර උන්නැහේලා සියක් වතාවක් දැකලා ඇති.


ඉතිං මගේ ආදරණීය සහෘදයා...ඉටිපන්දම නිවෙන්නත් ළඟයි.ඔබට මට විතරක් නෙමෙයි.රෑ පානේ කනත්තේ මැද හරියට ආවොත් ඕන කෙනක්ට සඳමාලිව දකින්න පුළුවන්ලු.තව ටිකකින් එයා මෙතැනට ඒවි.එයාට කරදර කරන්න නොඉඳ අපි ඈතට යමු .මට පේනවා.........අන්න එයා හෙමින් හෙමින් එනවා.සුදුපාට මල්පොකුරක් අරන්....ලා මීදුම මැද්දෙන්-හෙමින් හෙමින්.

"මළ ඈ තවමත් නොමළ ඇගේ ආදරය හුදකලා සුසානයේ සිට සිත්තම් කරන්නීය."