Saturday, February 11, 2012

- ධවල කළුවර -


"සෑම අවසානයකම අවසානයේ තෘප්තිමත් ආරම්භයක් ඇති බව විශ්වාස කරන්නෝ ඕන තරම් . උප්පත්තියෙන් මිනිස් ආත්මයන්ට කාවද්දන ආගම නම් එන්නත ඒ අවසානයත් ආරම්භයත් යා කරන පාලම වන්නේලු - ඇයත් ඒ විදිහටම විශ්වාස කරන්න ඇති . ඒත් අවසානයත් ආරම්භයත් අතර කෙනෙක් අතරමං වුවහොත් !"




පෝය දවසක් වුණත් ජයරත්න උදෙන්ම නැගිටුණේ අනෙක් රැකියාවන්ට වඩා තමන්ගේ රැකියාව හාත්පසින්ම වෙනස්වුණු නිසයි .බෝල කූඩුවේ එල්ලා තිබුණු , කලින් දවසේත් ඇඳි සුදු කලිසමත් කමිසයත් ඇඟේ එල්ලාගත් ජයරත්න ලෑලි දොර හෙමින්සැරේ ඇරගෙන මිදුලට ගොඩවැදුණා. තවමත් පාන්දරජාමය වුණු නිසා අවට ගිලිලා පැවතුණේ අඩ අන්ධකාරයකින් .

" අදවත් කලින් එනවද?"

ඒ ජයරත්නගේ බිරිඳ .කපරාරු නොකළ බාගෙට බැඳි ගඩොල් බිත්තිය අසලින් නැගිටුණු ඈ ජයරත්නගෙන් විමසුවා.බිතියෙන් එහාපැත්තේ මිටි බංකුවක ඉඳගෙන ඇය කඩයප්පන් තම්බන්න ඇති .

"කියන්න බෑ"

ආපසු හැරී තම බිරිඳ දෙස බැලූ ජයරත්න පැවසුවා.

"හැමදාම අවේලාවේ යනවා . අවේලාවේ එනවා . අනේ මන්දා......."

ඇය යළිත් බිත්තිය අද්දරින් නොපෙනී ගියා .

" මැරෙන එවුන්ට කොයින්ද වෙලාවක් !"

මුහුණට මද සිනහවක් නගාගෙන ජයරත්න පැවසූ දෙය ඇයට නෑසෙන්න ඇති .පාර අද්දර සුදුපාට මල් ගහෙන් , රෑ පිපුණු මල් එක දෙක වැටෙමින් තිබුණා . සුළඟක් නොතිබුණත් කැරකි කැරකි පහළට එන මල්, නටුව උඩට සිටින සේ මහපාර සිපගන්න හැටි ජයරත්න දැක්කා .
ඔහු තමන් රැකියාව කරන මෘත ශරීරාගාරයට යන්න වුණේ ඒ මල් මතින්.වෙනදා මෙන්ම කඩපිළ ,පාසල ,පන්සල පසුකරගෙන පැමිණි ජයරත්න රෝහල් හන්දියෙන් හැරී රෝහලට යාබදව ඉදිවූ මෘත ශරීරාගාරය වෙත ළංවුණා .

පාන්දරම සිල්ගන්නට පන්සලට යන වියපත් කාන්තාවක් ගේට්ටුව අසල ගසින් වතුසුදු මල් කඩමින් ඉන්න හැටි දුටු ජයරත්නට තමන්ගේ අම්මා සිහිවෙන්න ඇති . මල් නෙළන කාන්තාව වෙත ළඟාවූ ජයරත්න උස් අතුවල රැඳුණු මල් කඩමින් ඇගේ අතේ වූ වට්ටිය පුරවන්නට පටන් ගත්තා.

"මං මේ පන්සලට යන ගමන් පුතේ .පරක්කු වෙන්න බෑ.ඉක්මනට යන්න ඕන .වෙනදනං මේ වෙද්දි මම ඉස්සරහ මල් ආසනේ සුද්ද බුද්ද කරලත් ඉවරයි . ඉක්මන් කළොත් සමහරවිට බිසෝ එක්ක එකතුවෙලා මල් ටික ආසනේ උඩ පිළිවලට තියන්ඩවත් පුළුවං වෙයි ."

ආරාධනයකින් තොරවම ඇය කතාබහේ නිරතවෙන හැටි ජයරත්න අහගෙන ඉන්න වුණා .වියපත් වුවත් ඇගේ සිරියාවන්ත මුහුණ භක්තියෙන් ඔපවත්වෙලා තියන හැටි ජයරත්නගේ නෙත ගැටුණා.

" ආ ...............ඔය ඇති මයෙ පුතේ .පුතාට බොහොම පිං .මං එහෙනං යඤ්ඤං."

එසේ පැවසූ කාන්තාව තමාට පිටුපා පන්සල දෙසට යන'යුරු ජයරත්න බලා සිටියා . ඇගේ සිල් රෙද්දේ පැත්තක ලොකු මඩ පැල්ලමක් තැවරී තිබෙනු ජයරත්නගේ නෙත ගැටුණේ එවිටයි .
පෝය දින උදයේම පිනක් කරගැනීමට ලද අවස්ථාවෙන් තෘප්තිමත් වූ ජයරත්න ගේට්ටුපලු දෙපසට කරමින් මෘතශරීරාගාර භූමියට ඇතුළු වුණා. රාත්‍රී මුරය හමාර කළ 'පාලි', තමා එනතුරු මිටි බැම්ම උඩට වී සිටින අයුරු ජයරත්නට දැක්කා.
ඉදිරි පෝටිපෝව යට සිටි පිරිසක් තමා දෙස බලා සිටින බව ජයරත්න දුටුවේ තවත් ළංවූ විටයි . එහි වුන් කාන්තාවන් දෙදෙනෙක් ඉකිගසමින් හඬනු නෙතගැටුණු ජයරත්න සිදුව ඇතිදෙය වටහා ගත්තා .

" අද කවුද?"

පාලි වාඩිවී සිටි බැම්මේ පැත්තකින් හිඳගනිමින් ජයරත්න තම සගයාගෙන් විමසුවා .

" වයසක උන්දෑ කෙනෙක්. මෙයාලගේ අම්මයි කියන්නේ"

පිරිසේ හඬමින් සිටි අය දෙසට අත දිගුකරමින් පාලි පවසනු ජයරත්නට ඇසුණා .

" පාන්දරම පන්සලට යද්දි පපුවේ අමාරුවක් හැදිලා නියර ළඟ ඇද වැටිලා .වාට්ටුවට දාලා විනාඩි පහක්වත් ගියේ නැහැලුනේ "

බුලත් කොළයක් මැද්දට දබර ඇඟිල්ලෙන් හුණු තවරා ගුලිකොට හක්කේ තබා ගනිමින් පාලි පැවසුවා .

"ඇත්තද? ජීවිතේ හැටි තමයි ඉතිං"

වුන් තැනින් නැගිට් මෘත ශරීරාගාරය තුළට යමින් ජයරත්න පැවසුවේ හඬමින් සිටි අයටයි .
පිඟන් ගඩොල් ඇල්ලූ සිමෙන්ති බංකුව මත තබා තිබුණු මෘත දේහයේ රෙදි පටියකින් එකට කර ගැට ගැසූ පාදයේ මහපට ඇඟිලි , සුදු රෙදි කඩ අතරින් දිස්වෙමින් තිබුණා.රෙදිකඩෙහි කොණක් ඔසවාගත් ජයරත්න සෙමෙන් එය මැත් කළේ එතරම් උනන්දුවකින් නොවේ .එහෙත් හදිසියේ ඇස ගැටුණු මෘත ශරීරයේ ඇඳුමෙහි වූ පැල්ලමක් නිසා ඔහුගේ නෙත් පළල් වුණා .තමා මිනිත්තු කිහිපයකට පෙර දුටු මඩ පැල්ල්ලම හා සර්වසම වුණු එය ඇතිකළ හැඟීම ,ජයරත්නයේ කෙට්ටු පාද වෙව්ලුම්කවන්නට සමත් වුණා .

වෙව්ලන අතැඟිලිවලින් සුදුරෙද්ද මුළුමනින්ම ඉවත්කළ ජයරත්නට දැකීමට හැකිවූයේ ..................තමා මොහොතකට පෙර ගේට්ටුව අසලදී වතුසුදු මල් නෙළා දුන් වියපත් කාන්තාවගේ සිරියාවන්ත එහෙත් ප්‍රාණය නිරුද්ධ වූ මුහුණයි .......



අ.වික්

15 comments:

  1. මේතනට මේ සිද්ධිය ගැලපෙයිද මන්ද...ඒත් මේ පෝස්ට් එක බැලුවම මුලින්ම හිතට ආව නිසා ලියන්න හිතුන

    හැබැයි මේ සිද්ධිය ටිකක් වෙනස්...
    සීයගෙ අම්ම නැතිවෙන වෙලාවෙ සීය ඉඳල තියෙන්නෙ කුඹුරෙ...ඉවෙන් වගේ තේරිලා සීයට අම්ම අන්තිම හුස්ම හෙලනව කියල...කුඹරෙන් ගොඩ ඇවිත් නියර දිගේ එන්න හදනවලු,ඒත් එක මනුස්සයෙක්(මායාවක්)නියරදිගේ සීය ඉස්සරහට ඇවිදගෙන එනවලු.ඒ එන මනුස්සය සීයට ළඟට එන්න එන්න උස යනවලු සීයට නියරෙන් ගොඩවෙන්න බැරිවෙන්න...අනික් පැත්තට හැරිල යන්න හැදුවමත් ඒපැත්තෙනුත් එනවලු....හතරපාරක්ම දෙපැත්තෙන්ම යන්න හදලත් බැරිවුනාලු...කොහොමහරි පස්වෙනිවතාවෙ අනික්පැත්තට හැරෙනකොට ඒපැත්තෙ නියරදිගේ ඉඳල ඇත්තටම කෙනෙක් ඇවිල්ල පණිවිඩේ දුන්නලු අම්ම නැතිවුනා කියල....

    (මේක ඇත්තම සිද්ධියක්ද කියන්නනම් මම දන්නෙ නෑ...ඒත් අපේ සීය කවදාවත් බොරු කියනව තියා වැඩිය කතාබස් කරන කෙනෙකුත් නෙමෙයි....)

    ReplyDelete
  2. මම නම් ඔය වගේ දේවල් විශ්වාස කරනවා. ඔයවගේ සිද්ධියක් මුල් කරගෙන බොරු ගොතලා සීයා මොනවා ලබා ගන්නද ?
    " මරණයක් වීමට පෙර දකින පෙරනිමිති " කියලා පොතක් තියනවා . ඒ පොතේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔයවගේ කතා .ඒක ලියලා තියෙන්නේ ඉබ්බාගමුව මද්‍යමහා විද්‍යාලයේ සර් කෙනෙක් . නමනම් මතක නැහැ.පුළුවන්නම් හොයාගෙන කිවවන්න . ගුප්ත දේවල්වලට ආස කරන අයට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෙ...මමත් ඒදේවල් විශ්වාස කරනව...ඒත් යටින් අරවිදියට දැම්මේ...විශ්වාස නොකරන අය බහුතරයක් ඉන්න නිසා...:)

      Delete
    2. අයියේ "මරණයක් වීමට පෙර දකින පෙරනිමිති" පොතේ ප්‍රකශකයා කවුද කියලා මට පොඩ්ඩක් කියන්ඩ. මට ඒ පොත හොයාගන්ඩ ඕනේ.

      Delete
    3. අයියේ "මරණයක් වීමට පෙර දකින පෙරනිමිති" පොතේ ප්‍රකශකයා කවුද කියලා මට පොඩ්ඩක් කියන්ඩ. මට ඒ පොත හොයාගන්ඩ ඕනේ.

      Delete
  3. සන්තෝස වෙන්න නංගී......අපි ඉන්නේ සුළුතරයේ....

    ReplyDelete
  4. ලස්සන කතාවක් බං. හැබැයි සිදුවීම් වල වෙලාවල් වල පොඩි අතාත්වික බවක් තියනවා නේද?

    ReplyDelete
  5. අද කථාවෙ හොඳ ගලායාමක් තියෙනවා.. සිරා..

    ReplyDelete
  6. @කසුන් : අඩුපාඩු තියනවනං අනේ පෙන්නලා දීපන් මචං. වැරදි හැදෙන්නේ එතකොටනේ

    @පිටසක්වලයා කියන්න හිතෙන්නේ නෑ ලසී: තෑන්ක්z

    ReplyDelete
  7. ලස්සන කතාවක්!

    ReplyDelete
  8. Ela machan digatama karapan

    ReplyDelete