Thursday, February 23, 2012

රතු


මට අද දුක හිතුණා...ඇත්තමයි.....

ඒකි අල්ලන් මයෙ අත් දෙක
අරුං ටික ඔකඳවෙන
සුදුපාට කකුල් දෙකට බරවෙලා
රෝස පැහැ ඇඟිලි තුඩින් ඉස්සිලා
කිව්වා කනට ළංවෙලා

" මම ආදරෙයි රත්තරං . ඇයි මට මෙහෙම දුක් දෙන්නේ ? මම......දැං කළුද ? "

දැන් තොපි ඇරන් කටවල්
බලාවි ස්කිරීන් එකට ළංවෙලා
මේකත් අර අර වගේ
ටුවිලයිට් සිද්ධියක්දෝ කියලා...

' රෙද්ද!'

මට හිතුණේ
එකම එක දෙයයි කෙල්ලේ

උඹ කල්ලෙක් වුණත්
උඹ සුද්දෙක් වුණත්
මගේ දිව හඳුනන්නේ
උඹේ කළු සුදු හමට යටින් ඇති - ඒ
රතු රුධිරයම විතරයි.........

අහාරයයි....ආදරයයි දෙකම මට එකයි බං.....

නෑ දුක හිතුණේ නෑ....ඇත්තමයි......

Saturday, February 11, 2012

Short Film - e.s.p.i.o.n.a.g.e.


අද නං ලැහැස්තිවෙන්නේ කතාවක් කියන්න නෙමෙයි . මේ බ්ලොග් අඩවියෙන් ඔයාලා කියවපු ගුප්තා කියන කතාව අළලා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුපීඨය විසින් නිෂ්පාදනය කළ කෙටි චිත්‍රපටය ගැන කියන්න .

මේ කෙටි චිත්‍රපටය හැදිලා දැනට මාස කිහිපයක් වෙනවා . පුංචි උත්සවයක් තියලා වැඩි සද්දයක් නැතුවම launch කළේ ඒක කැම්පස් එකේ විෂය පරිබාහිර ව්‍යාපෘතියක් වුණු නිසයි . චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණු
නිපුණ වීරක්කොඩි
අමිල කොඩිතුවක්කු
ර්‍රිසිර කන්නන්ගර
ඉරෙෂ් කුලරත්න
කියන මගේ ආදරණීය මිතුරන්ට සහ රඟපෑම වෙනුවෙන් දායක වුණු

මාලක,අශානි,හසිනි,මුතුරන්සි,විදු,හිරන්ත,දුල්ශානි,චාපා,දෙව්මි

කියන යාළුවන්ටත් open minds group එකටත් ,සංජය සූරියාරච්චි අයියාටත් ස්තූතිවන්ත වෙනවා.



මෙතන තියෙන්නේ චිත්‍රපටයේ trailor එක.

මෙතන තියෙන්නේ අපේ සහෝදර open minds group එක නිෂ්පාදනය කළ කෙටි චිත්‍රපටය.

ස්තූතියි !

- ධවල කළුවර -


"සෑම අවසානයකම අවසානයේ තෘප්තිමත් ආරම්භයක් ඇති බව විශ්වාස කරන්නෝ ඕන තරම් . උප්පත්තියෙන් මිනිස් ආත්මයන්ට කාවද්දන ආගම නම් එන්නත ඒ අවසානයත් ආරම්භයත් යා කරන පාලම වන්නේලු - ඇයත් ඒ විදිහටම විශ්වාස කරන්න ඇති . ඒත් අවසානයත් ආරම්භයත් අතර කෙනෙක් අතරමං වුවහොත් !"




පෝය දවසක් වුණත් ජයරත්න උදෙන්ම නැගිටුණේ අනෙක් රැකියාවන්ට වඩා තමන්ගේ රැකියාව හාත්පසින්ම වෙනස්වුණු නිසයි .බෝල කූඩුවේ එල්ලා තිබුණු , කලින් දවසේත් ඇඳි සුදු කලිසමත් කමිසයත් ඇඟේ එල්ලාගත් ජයරත්න ලෑලි දොර හෙමින්සැරේ ඇරගෙන මිදුලට ගොඩවැදුණා. තවමත් පාන්දරජාමය වුණු නිසා අවට ගිලිලා පැවතුණේ අඩ අන්ධකාරයකින් .

" අදවත් කලින් එනවද?"

ඒ ජයරත්නගේ බිරිඳ .කපරාරු නොකළ බාගෙට බැඳි ගඩොල් බිත්තිය අසලින් නැගිටුණු ඈ ජයරත්නගෙන් විමසුවා.බිතියෙන් එහාපැත්තේ මිටි බංකුවක ඉඳගෙන ඇය කඩයප්පන් තම්බන්න ඇති .

"කියන්න බෑ"

ආපසු හැරී තම බිරිඳ දෙස බැලූ ජයරත්න පැවසුවා.

"හැමදාම අවේලාවේ යනවා . අවේලාවේ එනවා . අනේ මන්දා......."

ඇය යළිත් බිත්තිය අද්දරින් නොපෙනී ගියා .

" මැරෙන එවුන්ට කොයින්ද වෙලාවක් !"

මුහුණට මද සිනහවක් නගාගෙන ජයරත්න පැවසූ දෙය ඇයට නෑසෙන්න ඇති .පාර අද්දර සුදුපාට මල් ගහෙන් , රෑ පිපුණු මල් එක දෙක වැටෙමින් තිබුණා . සුළඟක් නොතිබුණත් කැරකි කැරකි පහළට එන මල්, නටුව උඩට සිටින සේ මහපාර සිපගන්න හැටි ජයරත්න දැක්කා .
ඔහු තමන් රැකියාව කරන මෘත ශරීරාගාරයට යන්න වුණේ ඒ මල් මතින්.වෙනදා මෙන්ම කඩපිළ ,පාසල ,පන්සල පසුකරගෙන පැමිණි ජයරත්න රෝහල් හන්දියෙන් හැරී රෝහලට යාබදව ඉදිවූ මෘත ශරීරාගාරය වෙත ළංවුණා .

පාන්දරම සිල්ගන්නට පන්සලට යන වියපත් කාන්තාවක් ගේට්ටුව අසල ගසින් වතුසුදු මල් කඩමින් ඉන්න හැටි දුටු ජයරත්නට තමන්ගේ අම්මා සිහිවෙන්න ඇති . මල් නෙළන කාන්තාව වෙත ළඟාවූ ජයරත්න උස් අතුවල රැඳුණු මල් කඩමින් ඇගේ අතේ වූ වට්ටිය පුරවන්නට පටන් ගත්තා.

"මං මේ පන්සලට යන ගමන් පුතේ .පරක්කු වෙන්න බෑ.ඉක්මනට යන්න ඕන .වෙනදනං මේ වෙද්දි මම ඉස්සරහ මල් ආසනේ සුද්ද බුද්ද කරලත් ඉවරයි . ඉක්මන් කළොත් සමහරවිට බිසෝ එක්ක එකතුවෙලා මල් ටික ආසනේ උඩ පිළිවලට තියන්ඩවත් පුළුවං වෙයි ."

ආරාධනයකින් තොරවම ඇය කතාබහේ නිරතවෙන හැටි ජයරත්න අහගෙන ඉන්න වුණා .වියපත් වුවත් ඇගේ සිරියාවන්ත මුහුණ භක්තියෙන් ඔපවත්වෙලා තියන හැටි ජයරත්නගේ නෙත ගැටුණා.

" ආ ...............ඔය ඇති මයෙ පුතේ .පුතාට බොහොම පිං .මං එහෙනං යඤ්ඤං."

එසේ පැවසූ කාන්තාව තමාට පිටුපා පන්සල දෙසට යන'යුරු ජයරත්න බලා සිටියා . ඇගේ සිල් රෙද්දේ පැත්තක ලොකු මඩ පැල්ලමක් තැවරී තිබෙනු ජයරත්නගේ නෙත ගැටුණේ එවිටයි .
පෝය දින උදයේම පිනක් කරගැනීමට ලද අවස්ථාවෙන් තෘප්තිමත් වූ ජයරත්න ගේට්ටුපලු දෙපසට කරමින් මෘතශරීරාගාර භූමියට ඇතුළු වුණා. රාත්‍රී මුරය හමාර කළ 'පාලි', තමා එනතුරු මිටි බැම්ම උඩට වී සිටින අයුරු ජයරත්නට දැක්කා.
ඉදිරි පෝටිපෝව යට සිටි පිරිසක් තමා දෙස බලා සිටින බව ජයරත්න දුටුවේ තවත් ළංවූ විටයි . එහි වුන් කාන්තාවන් දෙදෙනෙක් ඉකිගසමින් හඬනු නෙතගැටුණු ජයරත්න සිදුව ඇතිදෙය වටහා ගත්තා .

" අද කවුද?"

පාලි වාඩිවී සිටි බැම්මේ පැත්තකින් හිඳගනිමින් ජයරත්න තම සගයාගෙන් විමසුවා .

" වයසක උන්දෑ කෙනෙක්. මෙයාලගේ අම්මයි කියන්නේ"

පිරිසේ හඬමින් සිටි අය දෙසට අත දිගුකරමින් පාලි පවසනු ජයරත්නට ඇසුණා .

" පාන්දරම පන්සලට යද්දි පපුවේ අමාරුවක් හැදිලා නියර ළඟ ඇද වැටිලා .වාට්ටුවට දාලා විනාඩි පහක්වත් ගියේ නැහැලුනේ "

බුලත් කොළයක් මැද්දට දබර ඇඟිල්ලෙන් හුණු තවරා ගුලිකොට හක්කේ තබා ගනිමින් පාලි පැවසුවා .

"ඇත්තද? ජීවිතේ හැටි තමයි ඉතිං"

වුන් තැනින් නැගිට් මෘත ශරීරාගාරය තුළට යමින් ජයරත්න පැවසුවේ හඬමින් සිටි අයටයි .
පිඟන් ගඩොල් ඇල්ලූ සිමෙන්ති බංකුව මත තබා තිබුණු මෘත දේහයේ රෙදි පටියකින් එකට කර ගැට ගැසූ පාදයේ මහපට ඇඟිලි , සුදු රෙදි කඩ අතරින් දිස්වෙමින් තිබුණා.රෙදිකඩෙහි කොණක් ඔසවාගත් ජයරත්න සෙමෙන් එය මැත් කළේ එතරම් උනන්දුවකින් නොවේ .එහෙත් හදිසියේ ඇස ගැටුණු මෘත ශරීරයේ ඇඳුමෙහි වූ පැල්ලමක් නිසා ඔහුගේ නෙත් පළල් වුණා .තමා මිනිත්තු කිහිපයකට පෙර දුටු මඩ පැල්ල්ලම හා සර්වසම වුණු එය ඇතිකළ හැඟීම ,ජයරත්නයේ කෙට්ටු පාද වෙව්ලුම්කවන්නට සමත් වුණා .

වෙව්ලන අතැඟිලිවලින් සුදුරෙද්ද මුළුමනින්ම ඉවත්කළ ජයරත්නට දැකීමට හැකිවූයේ ..................තමා මොහොතකට පෙර ගේට්ටුව අසලදී වතුසුදු මල් නෙළා දුන් වියපත් කාන්තාවගේ සිරියාවන්ත එහෙත් ප්‍රාණය නිරුද්ධ වූ මුහුණයි .......



අ.වික්