Tuesday, December 27, 2011

අනන්තයට මෙහා


තලන බටු ප්‍රේමයෙන්
මුසපත්ව රැළි නැගූ
නුඹේ ඒ කෙහෙරැල්ල
ගලා යන ඕජසින් පෙඟිලා
මවන්නේ මැවෙන්නේ
මරණින් මතුත්
නුඹ මට කරනවැයි කී - ඒ
අහිංසක ප්‍රේමයම ද?


අ . වික්

Wednesday, November 30, 2011

තුහින සාළුව


උණුහුමට පෙරවන්න
ඉන්නකං නොලැබිච්ච
ඒ සාළුව.........
මළා ම
කුණ වහන්න
මොකට ද?
තුඃ

Saturday, October 8, 2011

ගීතිකාව.


ප්‍රාර්ථනාවන්-ඒවා හරිම අමුතුයි.අපි බලා ඉන්නෙ ඉටුවෙනතුරු.මහ විශාල ප්‍රාර්ථනාවක් නොවුණත්.......ඈ තවමත් තමන්ගේ පුංචි බලාපොරොත්තුව ඉටු කරගන්න උත්සාහ ගන්නවා-පිනි වැටෙන යාමයේ වුණත්.

නතාලියා අවුරුදු දාහතක පුංචි ලස්සන කෙල්ලක්.ජීවත් වුණේ තිස් හයේ බිංගෙය ගාවින් උඩහට යන ගුරුපාරේ .කඳු බෑවුමේ උස් ගස්වල ලා පාට කොළ නටවගෙන එන හීතල හුළඟ හැමදාම නතාලියාට කතා කළා-බොහොම ආදරෙන් .
නත්තලට ඉතිරිවෙලා තිබුණේ දින කීපයයි . හැන්දෑවේ හයට විතර පහළ ගුරුපාර දිහා බලාගෙන හිටිය ස්වාමිට ලා මීදුම මැදින් බොඳ වෙවී පෙනුණේ කහපාට ලන්තෑරුම් එළිය.ඈ පියවර තබන වාරයක් පාසාම ලන්තෑරුම ඒ මේ අත පැද්දුණා.ඈ-ඔව් ......ඇය නතාලියා.දෙවියන් පිළිබඳ අසීමිත භක්තියෙන් ,දේව දූතයන් පිටව යන නිහඬබව රැඳුණු පල්ලියේ කනත්ත අසලින් හෙමින් හෙමින් පල්ලිය දිහාට ඇදී ආවේ දෙවියන්ට ගීතිකා ගයන්නයි.තවත් මිනිත්තු කිහිපයකින් මියුරු පියානෝ හඬ සමග මුසු වූ ගීතිකාවන් පල්ලියේ උස් දොරටුවෙන් පිටවෙලා හුළඟත් එක්ක මුසු වෙලා තිස් හයේ බිංගෙය ගාවටම ඇදිලා ගියා.නතාලියාට තිබුණේ මුහුණ වගේම ලස්සන කටහඬක්.ගීතිකා කණ්ඩායමේ වැඩිමහල්ම සාමාජිකාව වෙච්ච නතාලියා නිසා ගීතිකාවන් පවා අලංකාර වුණා.

"ෆාදර් බලන්නකෝ....මේ අවුරුද්දේ තමයි නත්තලට පල්ලිය ඇතුළේ හොඳම ගීතිකා කියවෙන්නේ.අපේ පුංචි ජූඩිත් වුණත් දැන් ගොඩක් හොඳයි."
නතාලියාගේ එකම නත්තල් ප්‍රාර්ථනය වුණේ නත්තල් ගීතිකාව කාටවත්ම අමතක නොවෙන විදියට අලංකාරව කිරීම.


හැම අවුරුද්දකම ගීතිකා කණ්ඩායමේ එළිය වුණේ නතාලියා.අවුරුදු ගණනාවකට කළින් එක් නත්තලක ඇය අවුරුදු දාහතක සුන්දර යුවතියක් වෙලා හිටියා.ඒ අවුරුදු ගාණකට කලින්.

නත්තල් දවසට පල්ලියට එන අමුත්තන්ගෙ ඇස් , විශේෂයෙන්ම කඩවසම් තරුණ ඇස් නතාලියා දිහාවට යොමුවුණා.ඒ වෙලාවල්වලදි නතාලියාගේ රෝස පාට කම්මුල් ලා රතුපාට වුණා-මොකද්ද්දෝ අමුතු හැඟීමක් නිසා.


ඒ අවුරුද්දේ නත්තල් දවසට කලින්දා හැන්දෑවේ පියතුමා වෙනදා වගේම බලාහිටියේ නතාලියා එනතුරු.
"අද පරක්කුයි වගේ"
පියානෝ වාදනය කරන ඉස්කෝලේ සංගීත ගුරුතුමා පල්ලියෙන් එළියට ඇවිත් කියනකොටත් පියතුමාගේ ඇස් වෙහෙසුණේ වෙනදා පහළ ගුරුපාර දිගේ ඉහළනගින කහපාට ලන්තෑරුම් එළිය හොයන්න.

පහළ රේල්පාර දිගේ හවස කෝච්චිය ඇදිලා යන හඬ ඇහුණේ ඊට ටික වෙලාවකට කලින්.කෝච්චිය බිංගේ තුළින් ඇදිලා යන්න ඇති.වෙනදා කෝච්චියේ හඬ ඇහෙද්දි නතාලියාගේ මියුරු කට හඬ පල්ලිය පුරවන බව ස්වාමිට මතක් වුණා.

'ඇයට කරදරයක්වත් ද?'
ස්වාමිගේ හිත කියන්නට වුණා.ඔහු සංගීත ගුරුතුමාත් එක්ක පහළ පාර දිගේ ඇවිදගෙන ගියේ ඒ හේතුව නිසාමයි.ඔවුන් රේල්පාරට ගොඩවෙද්දි මුළු පරිසරයම වැහිලා තිබුණේ අන්ධකාරයෙන්.
ඒත් රේල්පාරේ ඈත තැනක පැත්තකින් පුංචි එළියක් පෙනුණා.කහපාට පුංචි එළියක් ! ඒත් වෙනදා වගේ ඒ එළිය ඒ මේ අත හෙලවුණේ නැහැ.නිසසලව ඔහේ තිබුණා.සිවාමිගේත් ගුරුතුමාගේත් පියවර සිල්පර කොට උඩින් වේගයෙන් ඇදීගෙන ගියේ සිදුවීම ඉවෙන් දැණුනු නිසයි .වීදුරුව බිඳුණු ලන්තෑරුම රේල්පාර අයිනේ වැටිලා තිබුණා.ලන්තෑරුමට ටික දුරක් ඈතින් රේල්පාර මැද නතාලියාගේ සිරුර දමා ගිහින් තිබුණත් හවස කෝච්චිය ඒ ආත්මය අරන් ගිහින් තිබුණා-ලස්සන පුංචි කට හඬත් එක්කම.පියතුමෙක් වුණත්,ස්වාමි රේල්පාරේ දණගහගෙන දෑසින් ගලා ආ කඳුළු පිහදැම්මා.

නතාලියාගේ මෘත දේහය පල්ලියේ කනත්තේ තැන්පත් කෙරුණා.
ඒ අවුරුද්දේ පල්ලිය නත්තලේදී ගීතිකාවන්ගෙන් තොරවුණා.ගීතිකා කණ්ඩායමේ හැමෝටම නතාලියාගේ වියෝව දරා ගන්න බැරිවෙලා තිබුණා.ඒත් ...ඊළඟ අවුරුද්දේ නත්තල ළංවුණාම අමුතු දෙයක් සිද්ද වුණා.කවුරුත් නොහිතපු අමුතු දෙයක්.

පල්ලිය ඇතුළේ ගීතිකා කණ්ඩායම ගීතිකාවන් ගයන්න පටන් අරන් වැඩි වෙලාවක් ගතවුණේ නැහැ.පල්ලිය ඇතුළෙන් කියවුණු ගීතිකාවන් යටපත් කරගෙන ඇහුණේ සුන්දර ගීතිකාවක්.භක්තිමත් හදවතකින් දෙවියන් උදෙසා කෙරුණු අලංකාර ගීතිකාවක්.නමුදු ඒ පල්ලිය තුළින් නම් නොවෙයි.ඒ පල්ලියෙන් පිටත පලියට අයත් කනත්ත දෙසින්.පියතුමා අනුගමනය කරමින් පල්ලිය තුළවුන් පිරිස පල්ලියේ දොරකඩට රැස්වුණේ කුතුහලය නිසාමයි.පියතුමාටත් ගුරුතුමාටත් ඒ කට හඬේ සුපුරුදු බවක් දැනෙන්නට වුණා.

පල්ලිය වට කරගෙන තිබුණේ මීදුම.ඒ මීදුම කනත්තට උඩින් රැඳිලා තිබුණා.කනත්ත පුරා ගොඩනැගුණු ස්මාරක මීදුම අතරින් කඩින් කඩ පෙනෙන්නට වුණා.ටිකක් ඈතින් පෙනුණේ කහපාට පුංචි එළියක්.

කනත්ත මැද්දේ හිටවපු කුරුසයක් ළඟ වාඩි වුණු මීදුම නිසා බොඳවුණු රුවක් ගීතිකාව ගයන්න වුණා.

"ඒ නතාලියා"
ගීතිකා කණ්ඩායමේ නතාලියගේ හොඳම මිතුරිය වුණු පුංචි ජූඩිත් මිමිණුවා.
"එයාට ගයන්න දෙන්න.ඒ එයාගේ කැමැත්ත."
පියතුමාගේ කට හඬ පිරිසට ඇහුණා.

අවුරුදු ගාණක් ගතවෙන්න ඇති.ජූඩිත් දැන් මහළුයි.ගීතිකා කණ්ඩායමට අලුතින් අය එක්වුණා.ඒ අයත් තවත් අලුත් පිරිසකට ඉඩ දුන්නා.කාලය ගතවුණා.ගොඩක් දේවල් වෙනස් වුණා.ඒත් නතාලියා හැම නත්තල් හැන්දෑවකම තමන්ගේ සොහොන ළඟ වාඩිවෙලා භක්තිමත් ගීතිකාව දෙවියන්ට පුද කරනවා.ඈ....... තවමත්...... අවුරුදු දාහතක ලස්සන පුංචි කෙල්ලක්.

Wednesday, September 28, 2011

කැරකෝප්පු මාවත


හිතේ හිරවෙච්ච ලොකු වේදනාවකින් ඇහේ හිරවෙච්ච කඳුළු කැට එළියට පනින මොහොතක පාඨක ඔබව ආමන්ත්‍රණය කරන්නේ ඒ වේදනාව බිඳක් හරි අඩු කරගන්න හිතාගෙන.
මුළු ජීවිතේ පුරාවට මම, "අක්කා" කියලා කටපුරා ආමන්ත්‍රණය කරපු සහෝදරිය පාළු කනත්තක පස්වලට යට කරලා සිතින් නොසිතින් එතනින් පිටවෙලා ඇවිත් තාම පැයක්වත් ගතවුණේ නැහැ.

පුංචි කාලේ මගේ මතකය බෙදිලා තිබුණේ අපි හතර දෙනෙක් අතරේ.ඒ මතකයේ එකම අයිතිකාරිය යන්න ගියා.දැන් එතන හිස්තැනක්.මට දරා ගන්න අමාරු හිස්තැනක්.ඔබ මගේම අක්කා නොවුණත්..


මම ලියන බ්ලොග් පෝස්ට් කියවපු,මම පත්තරවලට ලියන කවි කියවපු සහ හැම දාම මාව උනන්දු කරපු අක්කා අද යන්න ගිහින්.හැමදාටම.


අක්කේ " ඔබට නිවන් සුව ! "



මූලාරම්භය........සමහර විට ඒක අවිදිමත් වෙන්න පුළුවන්.ඒත් පැවැත්ම ඒක මූලාරම්භය තරම්ම අවිධිමත් නොවෙන්න පුළුවන්.ඇත්තටම මම මේ කියන්න යන කතාවත් අවිධිමත් මූලාරම්භයක් සහිත...ඒත් පැවැත්ම අවිධිමත් නොවූ කතාවක්.සත්තයි..ඒක තාමත් වෙනවලු.හැම මාසෙකම.......කුරුණෑගල පැත්තේ කැලෑ ගම්මානයක.

අපි මනුෂ්‍යන් වශයෙන් ඉපදිලා ඉන්නේ තවත් මනුෂ්‍යන්ට උදව් උපකාර කරන්නලු.අඩුම තරමේ උපකාර නොකළත් කරදර නොකර ඉන්නලු.අත්තිටිය ගුරුන්නාන්සේ ඔය ධර්මතාවය තේරුම් නොගත්තු නිසා තමයි තවමත්...ඔව්...තවමත් මැටියාව ගමේ මිනිස්සුන්ට පාන්දර ජාමයට ගම්සභා පාර දිගේ ඇවිදින්න බැරිවෙලා තියෙන්නේ.විස්තරවල හැටියට අත්තිටිය කොලුගැටයට ඔය හපන්කම ලැබුණේ උගේ අප්පච්චිගෙන් .අප්පච්චිත් හොඳ නම ගිය ගුරුන්නාන්සේ කෙනෙක්.කොඩිවින කැපීම, තොවිල් පවිල් කිරීම,යකුන් බැඳගෙන වැඩගන්න එක ඒ අයට බොහොම සරල දේවල්ලු.මන්තර ගුරුකම් විතරක් නෙවෙයි.අත්තිටිය ගුරුන්නාන්සේ පහතරට නැටුමටත් ගජ සමතෙක්.ගුරුන්නාන්සේ එක්ක හරි හරියට නටන්න පුළුවන් කෙනෙක් ඒ කාලේ ඒ පළාතෙම නොහිටිය බවයි කිය වෙන්නේ.

පදනමක් නැහැ කියලා අද ජීවත් වෙන අය බැහැර කළත් ,මන්තර ගුරුකම් ශාස්ත්‍රය අදටත් මැටියාව ගමේ අය විශ්වාස කරන්නේ බොහොම ඉහළින්.මීට අවුරුදු ගණනාවකට කලින් ජීවත් වුණු අත්තිටිය ගුරුන්නාන්සේ පළාත පුරාම ප්‍රසිද්ධ වුණේ කොඩිවින කියන හිරිකිත මාතෘකාව සම්බන්ධයෙන්.ගමේ ජීවත් වෙච්ච පවුල් කීපයක්ම නිරපරාදේ දියවෙලා යන්න හේතුව බොහොමයක් දෙනා දැනන් හිටියත් කවුරුත් ඒක එළිපිට නොකිව්වේ ගුරුන්නාන්සේට තිබුණු බය නිසාමයි.ගුරුන්නාන්සේට ඉහළින් යන්න ගිය සමහර කෙනෙකුට අත්වුණු භයානක මරණවල ස්භාවය ,ගුරුන්නාන්සේ දකින කෙනෙක්ගේ ඇඟ සලිත කරන්නට සමත්නොවුණේ කලාතුරකින්.

කරකවලා වවපු උඩු රැවුලත්,සුදු සරමට උඩින් වැටුණු රතු පටියත්,දකුණු උරහිස වටේට බැඳුණු ආරක්ෂක සුරයත්.....ගුරුන්නාන්සේගේ පෙනුම තවතවත් රළු කළා.සමහර දවසක මහ රාත්‍රියේ ගුරුන්නාන්සේ එක අතකින් කඩුවකුත් අරගෙන ගමේ පාළු කැරකෝප්පුවට ඇදුණේ කරේ පුහුලක් තියගත්තු තමන්ගේ කීකරු ගෝලයත් පිටිපස්සෙන් එල්ලගෙනයි.අලුතෙන් මිනියක් වළලපු තැනක හරි බරි ගැහිලා ඉඳගන්න අත්තිටිය ගුරුන්නාන්සේ ,ගෝලය විසින් පහනක් පත්තු කරලා.... අරගෙන ආපු පස් වර්ගයක මල් හරි හැටි පූජා තට්ටුව උඩ තැන්පත් කළාට පස්සේ මතුරන්න පටන් ගන්නවා.


මහ රෑවෙනකන් සිද්දවෙන මැතිරිල්ල නවතින්නේ කඩුවෙන් ගුරුන්නාන්සේගේ බඩගෙඩිය උඩ තියා ගත්තු පුහුල දෙබෑ වුණාමයි.ඒත් එක්කම හීන් සැරේ කනත්ත හරහා අදිලා යන හුළඟකින් පත්තු වෙවීඑ තිබුණු පහන නිවිලා........මුළු කනත්තම අඳුරේ ගිලෙන්නේ මූසල වේසයක් අරගන්න ගමන්මයි.හීනි කෙඳිරිලි කීපයක් කැරකෝප්පුවේ දොරටුවෙන් පිටවෙලා යන්නේ කෙනෙක්ගේ ඔළුව පිස්සුවට්ටන්න සමත් බයක් එකතු කරමින්මයි.ඒත් මිනිත්තු කීපයකට වඩා වෙලා ගතවෙන්නේ නැහැ.ගමේ කොහේ හරි ඇතකෙලවරකින් ඇහෙන්නේ මහා විලාප හඬක්.

පහුවදා ගුරුන්නාන්සේ ඒ මළ ගෙදරට යන්නේ මුකුත් නොවුණු ගාණට.

ඔය විදියට කාලයක් ගතවුණා.
ඒත්........... දවසක රාත්තිරියේ වුණු එක වැරදීමක් එක්ක බොහොමයක් දේවල් වෙනස් වුණා.

එදත් ගුරුන්නාන්සෙයි ගෝලයයි කනත්ත පැත්තට යන්න ඇත්තේ ඔය වගේ ජුගුප්සාජනක වැඩකට වෙන්න ඇති. කොඩිවින හූනියම් වලදි වැරදීම් වලට ඉඩ නැහැලු.ගුරුන්නාන්සේ අතින් සිද්ධවුණෙත් ඒ විදියේ වැරැද්දක්.

ගුරුන්නාන්සේගේ මිනිය කනත්ත මැද්දේ තිබිලා හොය ගන්න පුළුවන් වුණේ පහුවදා දවල් වරුවේ.ගෝලයා පේන්න නොහිටියත්....ගෝලයා අරගෙන ආපු පුහුල් ගෙඩිය ගුරුන්නාසේගේ පපුව මත්තේ තිබුණා. පුහුල් ගෙඩිය හරහා ගිය කඩුව ගලවන්න අමාරු විදියට ගුරුන්නාන්සේගේ පපුව පසාකරගෙන ගිහින් තිබුණා.

මිනීවළ ලේ විලක් වෙලා තිබුණු බවයි කියන්නේ.

ඒ සිද්දියෙන් පස්සේ සිද්ධවෙමින් තිබුණු ගොඩක් දේවල් නැවතුණා;ගමේ මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් විදියට.ඒත් ඒ ටික කාලයයි.සමහර දවස්වල පාන්දරජාමේ ගම්සභාපාර දිගේ ඇවිදගෙන යන අයට කැරකෝප්පුව හරියෙදි ඇඟ සලිත වෙන අමුතු දෙයක් දකින්න පුළුවන් වුණා.ඒ දේ දැකපු ගොඩක් දෙනා බරපතළ විදියට අසනීප වුණා.සමහර අයගේ සිහි කල්පනාවත් අඩුවුණා.

අසනීප වෙලා සුවවුණු හැමදෙනාම කිව්වේ එකම විදිහේ කතාවක්.

"........මුලින්ම ඇහුණේ පාද සළඹ හඬක්.....අඩිය තියන වාරයක් පාසා ඇහෙන විදියට ඇහෙන්න වුණා.ඊළඟට ....පාන්දර මීදුම මැදින් ඉස්සරහට ආවේ නටන ඇඳුමෙන් සැරසෙච්ච ගුරුන්නාන්සේ...මූණ හරිය මීදුමෙන් වැහිලා.ඒත් සහතිකයි...ඒ ගුරුන්නාන්සේමයි........"


උත්සාහ කළොත් ඔබට තවමත් මැටියාව ගමේ කැරකෝප්පු මාවතේ පාන්දරට සක්මන් කරන ඡායාවක් දකින්න පුළුවන් වේවි.ඒත්....මගේ අවවාදය නම් .....එපා !


ප.ලි :පෝස්ට් එක පබ්ලිෂ් කරන්න දවසක් පමාවුණු බව සලකන්න.නම් ගම් මනඃකල්පිතයි.

Wednesday, September 7, 2011

J ටවුන් ස්ටෝරි - සාතූර්යවන්


මම දන්නවා.සමහර අය මම තවමත් ජීවත් වෙනවා කියලා දැනගන්නෙත් මේ බ්ලොග් ලිපියෙන්.මට ඔයාලගේ ලස්සන ජීවිත තවමත් පෙනෙනවා.පෙනුනත් මම ගොඩක් දුරින්.හරියට හඳ වගේ.ජීවිතේ පළමු වරට මම මට පෙනෙන දේ විශ්වාස කරනවා;දැනෙන දේට වඩා.

මම ලැහැස්තිවෙන්නේ............... රස්නෙ වැඩි නිසා මහ රෑ ඔයාගේ කාමරේ ජනේලෙ ඇරලා බලනකොට ඉස්සරහ මිදුලේ බාගෙට ගොඩකරපු මිනී වළකින් පස්වලට යට නොවුණු අතක් එළියට ඇවිත් තියන හැටි කියන්නවත් , ඔයාලා බාත් රූම් එකේ නානකොට පුංචි කවුළුවෙන් දික්වුණු සීතල අතකින් ඔයාලගේ බෙල්ල අතගාන හැටි කියන්නවත් නම් නෙවෙයි.

මේක මට අහන්න ලැබුණේ අලිමංකඩ හමුදා කඳවුර කිට්ටුවදි මුණගැහුණු යුද්ද හමුදවේ අයිය කෙනෙක්ගෙන් .කතාව අයිති වෙන්නේ යාපනේට .ඉතාම මෑත කාලයේ දී වුණු සිදුවීමක්.

සාතූර්යවන් පවුලෙ හිටියේ අම්මයි ,තාත්තයි ,පුතයි දුවයි . විස්තරවල හැටියට නම් බොහොම සන්තෝසයෙන් සමගියෙන් හිටිය පවුලක්.ඉතිහාසේ වෙච්ච එක වැරැද්දක් නිසා ඝාතනය වුණු මිනිසුන්ගේ ලැයිස්තුවට මේ පවුලේ සාමාජිකයන්ට එකතු වෙන්න සිද්ද වුණෙත් අවාසනාවට වෙන්න ඇති.එක කළුවර රෑක කාටවත් නොපෙනෙන මානයක දී නොදන්නා අත් වලට හිරවුණු තුවක්කුවලින් නික්මුණු වෙඩි උණ්ඩ පුංචි දියණියගේ හිස පසා කරගෙන ගියේ අම්මා බලන් ඉද්දිමයි . ඒ අත්වලින්ම තාත්තත් පුතත් එකම ගමන ගියා.කවදාවත් බලාපොරොත්තු නොවුණ විදියකට .අම්මට ජීවිතේ බේර ගන්න පුළුවන් වුණත් අනූගණන්වල අග බාගේ ඉඳන් සාතූර්යවන් නිවස තිබුණේ පාළුවෙලා. හතරවටින් කැළෑ වැවිලා නිවසට මූසල පෙනුමක් වැටෙන්න ගොඩක් කල් ගියේ නැහැ. කාලය ගතවුණා. අවාසනාවන්ත සිදුවීම් තවදුරටත් සිද්දවෙන එක නැවතුණා.කැලෑවෙන් වැහිලා තිබුණු මේ නිවස එළි පෙහෙලි වෙලා නවාතැන් පොළක් වෙන්න වැඩි කාලයක් ගතවුණේ නැහැ.ලොජ් එකක් විදියට සාතූර්යවන් නිවස එළියට ආවේ යාපනේ වෙළඳ ව්‍යාපාර කිහිපයක් පාලනය කළ මුදලාලි කෙනෙක් නිවස මිලට ගත් නිසයි .

කාලෙකට පස්සේ නිවසට අලුත් පෙනුමක් ලැබිලා තිබුණා.
මෙවන්ත එයාගේ යාළුවො කට්ටියත් එක්ක ගල්කිස්සෙන් උදේම පිටත් වුණේ යාපනේට යන්න. කොහොමෙන් කොහොමහරි මෙවන්තලාගේ වෑන් රථය යාපනේට යනකොට මහ රෑ වෙලා.හරිහමන් නැවතුම් පොළක් නැතුව යාපනේ සංචාරේ ගිය අයනම් විඳින්න වෙන කරදරේ දන්නවා ඇති.නැවතුම් පොළක් හොයාගන්නකොට මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. සාතූර්යවන් නාම පුවරුව හිටවපු මිදුලේ වෑන් රථය නැවතුණා.
ලා නිල්පාට ආලේපකරලා තිබුණු නිවසේ තමන්ට ඕන හැටියකට රාත්‍රිය ගත කරන්න පුළුවන් බව මෙවන්තලාට පෙනුණා.හිමින්සැරේ බෝතලයක් ටීපෝවක් උඩට වැඩියේ ඒ හින්දා වෙන්න ඇති. පරිහරණයක් නැති මෙවන්තගේ එක යාළුවෙක් කාමරේකට ගියේ නිදා ගන්න. ඇහැ පියවෙන මොහොතේ එයාට ඇහුණේ ඡායාරූප ගනිමින් මෙවන්ත ඇතුළු පිරිස විනෝදවෙන හඬ.එක පාරටම මූණට වැදුණු හුළං පාරකින් මිත්‍රයාට අවදි වෙන්න සිද්ද වුණා.කාමරේ අඳුරු මුල්ලකින් පුංචි ඉකිබිඳුම් හඬක් ඇහෙන්න වුණා. ඇඳෙන් නැගිටුණු මිත්‍රයා අතින් කාමරේ විදුලි පහන දැල්වුණ් හිතේ තිබුණු සැකයටමයි .ඒත් ! කවුරුවත්ම එළියවුණු මුල්ලේ හිටියේ නැහැ.ඉකිබිඳීමත් නතරවෙලා තිබුණා. ඇරලා දාපු කාමරේ ජනේලෙන් හුළං එනබව දැනගත් මිත්‍රයා හෙමින් සැරේ ජනේලේ වහලා දැම්මා.ඊළඟ මොහොතේ ආපසු හැරුණු මිත්‍රයා දැක්ක දෙයින් මුළු ඇඟම හිරි වැටුණා.පුංචි ගැණු ළමයෙක් ! ඔව්! මිත්‍රයා දිහා බලාගෙන හිටියේ එක ඇහැකින්. අනිත් ඇහැ තිබුණු තැන කුහරයක් වෙලා තිබුණා. ඒ ඇහෙන් ලේ ගලා යමින් තිබුණේ.මෙවන්තගේ මිත්‍රයා අසිහියෙන් වගේ සාලෙට පැනගත්තේ පුටු දෙක තුනකුත් පෙරලගෙන .මිත්‍රයගේ කතාව අහපු මෙවන්තලාට හිනා නොවී ඉන්න බැරිවුණා.මිත්‍රයාත් මෙවන්තලා ළඟින් ඉඳ ගත්තේ තනියම ඉන්න තිබුණු බය නිසාමයි. වැඩි වෙලාවක් ගතවුණේ නැහැ.



එකපාරටම නිවසේ විදුලිය විසන්ධි වුණා.කවුරුත් තම තමන් හිටිය තැන් වලම වාඩි වෙලා හිටියේ ආයෙත් විදුලිය ලැබෙන තුරු.ඇරලා තිබුණු ඉස්සරහ දොරින් යාන්තමට හඳ එළිය ගලන් ආවා. පුංචි හුළඟකට තිරරෙදි හෙලවුණා.ගේ ඇතුළේ තිබුණේ දේව දූතයන් පිටව යන නිහැඬියාවක්.ඒත් ඒ ටික වෙලාවකට විතරයි.ඊළඟ මොහොතේ ඇහුණේ බෝතලයක් බිඳෙන හඩක් එක්ක මුසුවුණු වේදනාවෙන් මුරගාන මිත්‍රයෙක් ගේ කෑගැසීමක්.කට්ටියම හිටපු තැන් වලින් නැගිට්ටේ සිද්ධවුණු දේ හිතා ගන්න බැරුව.නිවසේ පිටිපස්සේ සවිකරලා තිබුණු ජනක යන්ත්‍රය ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා.තමන් ආලෝකයෙන් ආයෙත් පාරක් එළිය වෙද්දි දකින්න ලැබුණු දෙයින් කට්ටියම කලබල වුණා.තමන් ළඟ ඉඳගෙන හිටිය මිත්‍රයෙක් සාලේ මැද්දේ මුනින් අතට වැටිලා හිටියා.ඒ ළඟම බිඳිලා විසිරුණු මත්පැන් බෝතලයක්.යාළුවාගේ හිසෙන් ලේ ගලාගෙන යමින් තිබුණේ.
"කවුද යකෝ මට ගැහුවේ?"
යාළුවා කොඳුරන්න වුණා.
"කවුරුත් උඹට ගැහුවේ නෑ.උඹ නැගිටලා යන්න ගිහින් වැටුණනේ"
පුටුවක් උඩ වනලා තිබුණු තුවායක් ගුලි කරලා ලේ ගලාගෙන යන තුවාලේ උඩින් තියන ගමන් මෙවන්ත කියන්න වුණා.ඒ සිද්ධියෙන් වැඩි වෙලාවක් ගියේ නැහැ.නිදන කාමරයක් දිහායින් ඇහුණේ ඉකිබිඳීම් හඬක්.කට්ටියම පුදුමයෙන් එක එක්කෙනාගේ මුහුණු දිහා බැලුවා.තමන් අතේ තිබුණු ගුලිවුණු තුවාය වෙනත් මිතුරෙක්ට දුන් මෙවන්ත හඬ නැගුණු කාමරයට එබිකම් කළා.

මෙවන්තලාට දකින්න ලැබුණේ කාමරයේ ජනේලය ළඟ තමන්ට පිටුපා හඬන පුංචි ගෑණු ළමයෙක්.
"මේ ළමයා මේ වෙලාවේ කොහොමද මෙහාට ආවේ?"
මෙවන්තගේ පිටිපස්සෙන් ආපු මිතුරෙක් කොඳුරනවා මෙවන්ත අහගෙන.

රිදීපාට බෝඩරයක් දාලා තිබුණු කොළපාට සාම්ප්‍රදායික ගවුමෙන් ඒ දමිළ ගෑණු ළමයෙක් බව හිතාගන්න අමාරු වුණේ නෑ.
"ඒයි....ඔයා මොකද ම්හෙ කරන්නේ?"
ගෑණු ළමයා දිහාවට අඩි දෙක තුනක් තියන ගමන් මෙවන්ත එහෙම ඇහුවා.
"සිංහල තේරෙන්නේ නැතුව ඇති බං"ඒ පිටිපස්සෙන් ආපු මිත්‍රයා.
පුංචි ගෑණු ළමයා මිතුරන්ගේ දිහාවට හැරුණා.පුංචි අත්වලින් මුහුණ වහගෙන හිටියේ.
"ඔයා කව්ද?"
මෙවන්ත අඩි දෙක තුනක් ඉස්සරහට තියන ගමන් එහෙම ඇහුවා.
ගෑණු ළමයා හෙමින් සැරේ අත්දෙක මූණෙන් ඉවතට ගත්තා.මුලින්ම අත්දෙකෙන් වැහිලා තිබුණු මොට්ටුව නළල උඩ දිලිසෙන හැටි මෙවන්ත දැක්කා.ඒත් ඊළඟ මොහොත !!!! මෙවන්ත වේගයෙන් ඉස්සරහට තබපු පියවර ආපස්සට ගත්තා.තමන්ගේ පිටිපස්සේ හිටපු මිත්‍රයන්ගේ බාගෙට ඇරුණු කටවල් මෙවන්ත දැක්කේ නැහැ.ඒ වෙනුවතැ එයා දැක්කේ දකුණු ඇහැ තියෙන්න ඕන තැන ලොකු කුහරයක් තිබුණු ; ඒ කුහරෙන් නොනවත්වාම ලේ ගලා ගියපු ගෑණු ළමයගෙ විකෘති වුණු මුහුණ.

තත්පර කිහිපක් තුළ මහ හඬින් කෑගහපු මිත්‍රයෝ ගෙයින් එළියට පැනගත්තා .වෑන් රථයට නැගුණු පිරිස තමන්ගේ බඩු මුට්ටු පවා නිවසේ අමතක කරලා පලායන්න වුණා.මෙවන්තලා රථය නැවැත්තුවේ ළඟම තිබුණු හමුදා බැරැක්කයට ආවට පස්සේ.
එතන හිටි සෙබළු කිහිප දෙනා මෙවන්තලාගේ කථාව අහලා පුදුම වුණේ නැහැ.

"ඕක ඔය පළවෙනි වතාව නෙමෙයි මහත්තයා.ඔය ගෙදර රෑ ගතකරන්න ආපු කාටවත් එක රැයක්වත් ගත කරන්න බැරිවුණා.මැරිච්ච පවුල හොල්මන් කරනවලු.මහත්තයලා මෙතන ඉන්න .අපි ගිහින් බඩු මුට්ටු ටික අරන් එන්නම්."
එහෙම කියපු සෙබළු දෙන්නෙක් මෙවන්තලාගේ බඩු භාණ්ඩ අරගෙන ආයෙත් ආවා.


මෙවන්තලාගේ ගමනත් එතනින්ම ඉවර වුණා.

මෙවන්තලා අරගත්තු ඡායා රූප හැම එකක්ම වගේ අපැහැදිලි වෙලා තිබුණා.එක ඡායාරූපයක විතරක් බොහොම අපැහැදිලි විදියට පොඩි ළමයෙක්ගේ රූපයක් සටහන් වෙලා තිබුණා කියලා දැනගන්න ලැබුණා.


ඔව්..........සාතූර්යවන් නිවස තවමත් අයිති සාතූර්යවන් පවුලටමයි.බොහෝ විට ..............හැමදාටම.

ප.ලි : 1) ඡායා රූප පිළිබඳ විමසීමක් කළා. ලැබේ යැයි විශ්වාස කළ හැකියි.ලද විගස ජාල ගත කරන්නම්.
2) යාපනය සංචාරයක දී නවාතැන් පොළක් බලා පොරොත්තු වන්නේ නම් පළමුව විමසීමක් කර ලබාගැනීම යහපත් බව විශ්වාස කරමි.

Wednesday, June 15, 2011

තුන්වෙනි තට්ටුව


"මහත්මයා...........දෙවැනි තට්ටුවෙ වම් පැත්තෙ හතරවෙනි කාමරය."
මුරකරු ඔහුට පෙන්වා දුන්නේ ඉදිරි වසර කිහිපය ගත කරන්නට සිදුවෙන ඔහුගේ අලුත් නවාතැනයි.ඔහු,නේතන්;ගණිතය ජීවිතය කරගත් අයෙක්.ඔහුගේ ක්ෂේත්‍රයත් විනෝදාංශයත් දෙකම වුණේ ගණිතය.තමන්ගේ උපාධිය සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට නේතන් ඇතුළත් වුණේ යූක්ලෝ විද්‍යාලයට.අගනුවරින් මදක් ඈත්ව පිහිටි යූක්ලෝ විද්‍යාලය සුන්දර තැනක් වුණා.නෙතන්ට නවාතැන් ගැනීමට සිදුවුණේ විද්‍යාල නේවාසිකාගාරයේ.තමන් වගේම උපාධිය සඳහා සූදානම් වෙන සිසුන් පිරිසක් පළමු හා දෙවන මහල් වල නේවාසිකව අධ්‍යන කටයුතු සිදුකරන අන්දම නේතන් හට දැකගන්න ලැබුණා.

තමන්ගේ බඩුමළු ඔසවාගෙනදෙවන තට්ටුවට පිළිපන් නේතන්ට දැකගැනීමට ලැබුණේ තුන්වන මහලට යන පියගැට පෙළ අවුරා ඇති අන්දමයි.
දෙවන මහලේ පිහිටි තමන්ගේ කාමරය සොයා ගන්න ඔහුට අපහසු වුණේ නැහැ.ටික දවසක් ඇතුළත නේවාසිකාගාරයේ ශිෂ්‍යන් හැමදෙනෙක්ම නේතන්ගේ යහළුවන් බවට පත්වුණා.තමන්ගේ උසස් ගණිත දැනුම නිසාම මිතුරන් අතරේ නමක් දිනා ගන්නට ඔහුට හැකියාව ලැබුණා.ගුරුවරුන්ගේ පවා පැසසුමට නේතන් ලක්වුණේ,ඔහු මුහුණදුන් ප්‍රශ්න පත්‍ර සඳහා ඉහළ ලකුණු ලබාගත් නිසයි.නේතන්ගේ යාබද කාමරයේ නවාතැන්ගෙන සිටියේ බර්නාඩ්.

ඔහු නේතන්ට වඩා අවුරුදු කිහිපයක් වැඩිමහල් වුණා.බර්නාඩ් සමග කතාවට වැටී සිටින මොහොතක ඔහු විසින් කියන ලද දෙයක් ඇසූ නේතන් මදක් කලබලයට පත්වුණා.
"ඔව්.......තුන්වෙනි තට්ටුව වහලා තියෙන්නේ.ඉස්සර ඒකේ හිටියේ ගණිතය උගන්නපු ආචාර්ය හෙක්ටර්.බොහොම තදින් උත්තර පත්‍ර බලපු කෙනෙක්.ප්‍රශ්න පත්‍ර සකස් කළෙත් එයාම තමයි.එයා කවදාවත්ම කාටවත්ම කිසිම ප්‍රශ්න පත්‍රයකට සම්පූර්ණ ලකුණු දුන්නේ නැහැ.

ඒත් අවුරුදු දෙකකට විතර උඩදි එක ළමයෙක්ට සම්පූර්ණ ලකුණු දෙන්න එයාට සිද්ද උණා.ඒ ඒ ශිෂ්‍යගෙ උත්තර පත්‍රයේ කිසිම අඩුපාඩුවක් නොතිබුණ නිසයි.තමන්ගේ ප්‍රශ්න පත්‍රයකට සම්පූර්ණ ලකුණු දෙන්න වුණු එක ගැන ආචාර්ය හෙක්ටර්ට තදින්ම තරහ ගිහින් තිබුණේ.සමහරවිට ඒක ඊරිසියාව වෙන්නැති.එදා රෑ තුන්වෙනි තට්ටුවේ ඉඳන් බිමට පැනපු ආචාර්යතුමා සියදිවි නසාගෙන තිබුණා.ඊටත් දවස් කිහිපයකට පස්සේ තමයි අයිවන්ගේ මරණය සිද්ද වුණේ............ඔව් අයිවන් කිව්වේ සම්පූර්ණ ලකුණු ලබාගත් කෙනා.

දවසක් පාන්දර විලාප හඬක් ඇහිලා අපි නැගිටිනකොට පාන්දර තුනට කිට්ටු ඇති.හැමෝම දුවගෙන ගියේ විලාපය ඇහුණු තුන්වෙනි තට්ටුවට.ආචාර්ය හෙක්ටර්ගෙ කාමරය ළඟ අයිවන් වැටිලා හිටියා.එයාගේ පපුව සිදුරුවෙන විදියට ඇනිලා තිබුණේ උල් කවකටුවක් .ඒ ළඟම අයිවන්ගේ ගණිත ප්‍රශ්න පත්තරේ කෑලි කෑලි වලට ඉරා දමලා තිබුණා.ඒ කොළ කෑලි උඩින් පපුවෙන් ගලා ගිය ලේ පහරක් ගමන් කරලා තිබුණා.
ඊට පස්සේ තමයි තුන්වෙනි තට්ටුව ඔය විදිහට වහල දමල තියෙන්නෙ......."

බර්නාඩ්ගේ ජුගුප්සාජනක කතාව තවදුරටත් නේතන්ට රසවත් නොවුණු නිසාම ඔහු තමන්ගේ කාමරයට යන්න ගියා.
තවත් මාස කිහිපයකින් නේතන්ට පළමු වසර අවසාන විභාගයට මුහුණ දෙන්න සිදුවුණා.අවසාන ප්‍රශ්න පත්‍ර සඳහා ලැබෙන්නෙත් ආචාර්ය හෙක්ටර් ජීවත්ව සිටි කාලයේ නිර්මාණය කළ ගණිත ගැටළු බව දැනහිටියෙ,ඒ වනවිට ප්‍රශ්න පත්‍රය සකස් කළ ආචාර්යතුමා පමණයි.

විභාගයෙන් සති කිහිපයකට පසුව ප්‍රතිඵල නිකුත් වුණා.විද්‍යාල ඉතිහාසයේ දෙවෙනි වතාවට නේතන් ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු සියයක් ලබාගෙන තිබුණා.මිත්‍රයෝ හැමෝම ඔහුට සුබ පැතුවා.නේතන් එදා රෑ නින්දට ගියේ වෙනදාටත් වඩා සන්තෝසයෙන්.




ඒත්....................................පාන්දර ඇහුණු ඇඟ කිලිපොලායන විලාප හඬකින් නේවාසිකාගාරයේ හැමෝම කාලබල වුණා.පළමු මහලේ හා දෙවන මහලේ ශිෂ්‍යන්ගේ කාමරවල විදුලි බුබුළු එකිනෙක දැල්වෙන්න වුණා.නමුත් දෙවන මහලේ වම්පස, හතරවන කාමරයේ බල්බය පමණක් දැල්වුණේ නැහැ.එය අඳුරේම ගිලී තිබුණා.හැමදාටම.

Wednesday, June 8, 2011

ඔෆීලියා


මීදුම අතරින් පිනිකැට වැටිලා-අප පියවර තැබි මග දිදුලයි
හීතල පින්නේ මීදුම අස්සෙන්-අද ඒ මාවතෙ මා විතරයි...........

බොඳවූ පිනි මල් වරුසා අතරේ
මලානිකව පුන් සඳ පෑ‍යූ
මාවත අද්දර අතු ඉති අතරේ
අපයන විට සොඳ ගීත ගැයූ

චූටි කුරුල්ලෝ ඇත ගොළුවී-ඔෆීලියා ඔබ ඇත සැඟවී

මීදුම අතරින්..............

පිනි තවරා මීදුමෙන් වසාලූ
ඔබේ සුසානයෙ දොරටු හැරෙයි
අඳුරු රුවක් දෝතින් පහනක් ගෙන
ඔබේ සොහොන ළඟ වැටී හඬයි

මීදුම් පින්නේ කුණාටු අතරේ
පැමිණැත ඔබ වෙත මට කලියෙන්
ඔෆීලියා ඔබ හට පෙම් කළ ඔහු
වසයි ඔබෙ සොහොන උණු කඳුලින්

මීදුම අතරින්........

ඔෆීලියා ඔබ ඇත සැඟවී..........


P.S: ඔෆීලියා is a character created by William Shakespeare who appears in his play, Hamlet. The story of Hamlet is tragic-

Friday, April 8, 2011

රබර් කම්හලේ ලේ පැල්ලම


ඔබේ ආත්මීය සගයා මේ කතාව ලියන්නේ විල්වත්ත ඉස්ටේසමේ දෙවෙනි වේදිකාවේ ඉඳන්.පැත්තකින් පේන්නේ ලා මීදුමකින් වැසුණු කන්දක්.දැන්නම් වෙලාව හැන්ඳෑවේ පහයි හතළිස් පහයි.ඉක්මනට ගෙදර එන්න හිතාගෙන කොටුවෙන් කෝච්චියට නැග්ග සගයට වැරදි කෝච්චියකට නැගීමේ පාපයට විල්වත්ත ඉස්ටේසමට ටිකක් එහායින් හදිස්සියෙන්ම බහින්න සිදුවුණා.කරුමේ තමයි.හෙමින් සැරේ විල්ලවත්ත ඉස්ටේසමට ඇවිදගෙන ආවා.ආයෙත් ගම්පහට යන කෝච්චිය තියෙන්නේ හයටලු.වටේටම මීදුම නිසා සගයා කැමතියි 'රබර් කම්හලේ ලේ පැල්ලම'කියන කතාව ඉදිරිපත් කරන්න.

කෑගල්ල,ලංකාවේ රබර් වලට ඉතා ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයක්.කෑගල්ලේ ගුප්ත රබර් වතු යායක පැත්තකින් ගොඩ නැගුණු රබර් කම්හලක තවමත් සිදුවන අද්භූත ජනක සිදුවීමක් ගැනයි මේ..........

ආනන්ද ඒ ගමේ සිටි කඩිසර තරුණයෙක්.හැමෝගෙම සිත් දිනාගෙන සුහදව කටයුතු කිරීමේ හැකියාව ආනන්දට තිබුණා.වැඩිකල් ඉස්කෝලයකට ගිහින් ඉගෙන ගැනීමේ වරමක් නොලැබුණත් සහජ බුද්ධියක් ඔහුට පැවතුණා.ආනන්ද රැකියාව විදියට කළේ රබර් කිරි කැපීමත්,කැපූ කිරි කම්හලට ගෙනගොස් විකිණීමත්.ආනන්ද වගේම තවත් තරුණ තරුණියෝ කිහිපදෙනෙක් ම මේ රැකියාව කළා.තමන්ට ප්‍රමාණවත් මුදලක් කම්හල් හිමියාගෙන් නොලැබුණත්,ඒ අය ආනන්ද මෙන් කම්හල් හිමියා සමග වාද කරන්න ගියේ නෑ.
නමුත් ආනන්ද කෙදිනකවත් කම්හල්හිමියාගේ ක්‍රියාව අනුමත කළේ නෑ.වැහිකාලයට ආනන්දලාට වැඩ නොතිබුණු නිසා ඒ දවස්වල අවශ්‍යතා සපුරා ගන්න වුණේ බොහොම අමාරුවෙන්.මේ වගේ දවසක ආනන්ද කම්හල්හිමියා මුණගැහුණේ හදිස්සියට අතමාරුවක් ලබා ගන්න.
ඒත් කම්හල්හිමිකරු ආනන්දගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.ඒ විතරක් නෙවෙයි;ආනන්දට නොසෑහෙන්න බැණ වැදුණා.ආනන්ද විසින් තමාට විරුද්ධව කුමන්ත්‍රණයක යෙදෙන බවටත් චෝදනා කළා.මේ බහින් බස් වීම රණ්ඩුවකට පෙරලීමට ගතවුණේ ටික වේලාවයි.අවසානයේ 'රබර් රොටී'මැෂිමක් ඉදිරිපිට ලේ විලක් මැද ආනන්දගේ නිසල සිරුර වැටී තිබුණා.පැත්තකින් හිටියේ 'රොටී තැටි'ඉවතට අදින යකඩ කූර අත දරාගත් කම්හල් හිමිකරු.
තවත් මද වේලාවකින් මැෂිම ළඟ වැටී තිබුණු සිරුර රබර් වත්තේ කොණක මදක් ගැඹුරට සාරන ලද වලක පස්වලට යටවුණා.එයටත් උඩින් වැටුණේ වියළි රබර් කොළ.
අතුරුදහන් වූ ආනන්ද පිළිබඳ කිසිම තොරතුරක් කාටවත්ම දැනගන්න බැරිවුණා.ඒත් සිද්ධිය ඇරඹුණේ ආනන්දගේ මරණයෙන් තුන්මාසයකට විතර පස්සේ.
මුලින්ම අමුතු අමුතු දේවල් සිදුවෙන්න වුණේ රබර් කම්හල ඇතුළේ.රබර් රොටී හදන මැෂිම ළඟ ලේ වැටී තියෙනවා මුලින්ම දුටුවේ සේවකයෙක්.එදා ඒ පැල්ලම පිහදාලා දැමුවත් හැම රාත්‍රියකම ලේ පැල්ලම අලුත් වුණා.තද පාටින්;ඒ හැඩේටම.මේක කාටත් ප්‍රෙහේලිකාවක් වුණා.
ඊට පස්සේ මැෂිමෙන් හැදුණු හැම රබර් රොටියකම රතු පාටින් ලේ තැවරී තිබුණා.රබර් ගස්වල වැහි ආවරණ කවුරුන් විසින් හෝ ගලවා දමා තිබුණා.රාත්‍රියට රබර් කම්හල තුළින් විලාප;බහින් බස් වීම් ඇසෙන්නට වුණා.
ඒ හැමටම වඩා අසාමාන්‍ය දේ වුණේ රබර් කිරි නොකපන කාලයට රබර් ගස් අතරින් ඇදීයන ආනන්දගේ අපැහැදිලි රූපය.ඒ රුව රබර් වත්ත කොණේ දී නොපෙනී යන්නට වුණා.


වෙලාවනම් දැන් හයයි කාලයි.කෝච්චිය නෑ.සගයා තාමත් ඉස්ටේසමේ.ටිකෙන් ටික කළුවරත් වැටීගෙන එනවා.එහෙනම් සුබ රාත්‍රියක් වේවා!

Wednesday, April 6, 2011

දංකොටුවේ අත්පන්දු පිටිය


මේ වෘතාන්තය අගනුවර එක්තරා පාසලක අත්පන්දු ක්‍රීඩා කණ්ඩායමට මුහුණ දීමට සිදුවූ සත්‍ය සිද්ධියක් ඇසුරෙනි.



ඔවුහු දක්ෂයෝ වූහ.එහෙයින් පළාත් තරග සඳහා පහසුවෙන් ඇතුළු වීමට මෙම අත්පන්දු කණ්ඩායමට හැකියාව ලැබිණ.පළාත් තරග පැවතියේ 'දං කොටුව 'නගරයට ආසන්න එක්තරා විද්‍යාලයකයි.එහෙයින් මෙම ක්‍රීඩකයෝ ,එම තරගාවලියට මුහුණ දීමේ අරමුණ පෙර දැරිව දංකොටුව නගරය බලා ගියහ.
නමුදු ජයග්‍රහණය මිස මළවුන්ගේ අඳෝනා ඇසීමේ බලා පොරොත්තුවක් ඔවුන් තුළ නොවීය.
දවස පුරා පාසල් කිහිපයක් සමග පැවති තරග සියල්ලම පාහේ ජය ගැනීමට යථෝක්ත ක්‍රීඩකයන්ට හැකි විය.එහෙයින් පසු දිනයේ දී තවත් තරග කිහිපයකට මුහුණ දීමට සිදුවන බව ඔවුන්ට දන්වන ලදී.අත්පන්දු කණ්ඩායමට රාත්‍රිය ගත කිරීම සඳහා ලැබුණේ අත්පන්දු පිටියට මදක් ඔබ්බෙන් වූ පැරණි නේවාසිකාගාරයකි.රාත්‍රි ආහාරයෙන් පසු නොයෙකුත් කතා කියමින් වුන් ඔවුහු එකා දෙන්නා බැගින් නින්දට වන්හ.රාත්‍රී එක පමණ වන විට නිදිවර්ජිතව වුන්නේ ක්‍රීඩකයන් තිදෙනෙකු පමණි.ඔවුහුද තම තමන්ගේ සයනයන් හි වැතිර නින්ද පැමිණෙනතෙක් සිටියෝය.
එක්වරම අත් පන්දුවකට පහර දීමේ දී නැගෙන හඬක් ඇසෙන්නට විය.පන්දුව බිම නොවැටී දිගු වේලාවක් දැල දෙපස පිරිස එය ගුවනේ රඳවා ගන්නා පරිදි 'තඩ්'යන අනුකරණයන් දිගින් දිගටම ඇසෙන්නට විය.
අතරින් පතර එකිනෙකා කතා කරන හඬ ,සිනාසෙන හඬ,ඔල්වරසන් දීම් ද ඉතා සෙමින් ඇසෙන්නට විය.කුතුහලයට පත්ව සිටි ක්‍රීඩකයෝ සයනයෙන් නැගිට ජනේලයක් විවෘත කර අත්පන්දු පිටිය දෙස නෙත්යොමා බැලූහ.
පිටිය කෙලවර විදුලි පහනක් පිහිටියේය.එහි දුබල එළිය පන්දු පිටියේ මදක් තැන් වනතුරු වැටී තිබුණේය.ඒ එළියෙන් අඳුරු රූ කිහිපයක් අත් පන්දු ක්‍රීඩා කරනු දක්නට ලැබිණ.ඔවුන්ගේ රූ ඉතා අපහැදිලි වූ අතර දුබල හඬවල් නික්මිණ.
තමන්ගේ අනෙක් සගයන් නින්දේ පසුවන බව තිදෙනාට පෙනිණ.එසේම පසුදින තරග කිරීමට සිටි ප්‍රතිවාදීන් නවාතැන් ගනු ලැබුවේ ටික දුරක් ඈතින් පිහිටි වෙනත් විද්‍යාලයක නේවාසිකාගාරයකය.එහෙයින් මධ්‍යම රාත්‍රියේ මෙලෙස අත්පන්දු ක්‍රීඩා කරන්නන් කවුරුන්දැයි අනුමාන කිරීමට තිදෙනාට අපහසු විය.
සයනයෙන් නැගිටුණු ඔවුහු නේවාසිකාගාරයෙන් පිටතට පැමිණ පිටිය දෙසට මද දුරක් ඇවිද යන්නට වූහ.ඔවුන්ගේ හඬ පැහැදිලිව ඇසෙන්නට වූ නමුත් රූපයන් ඉතා අපැහිදිලි විය.පිටිය හරහා දෘඩ නොවූ අවකාශයන් ච්ලනය වන්නක් මෙන් පෙනිණ.එසේම පන්දුවක හඬක් නැගුණත් පන්දුවක් පෙනෙන්නට නොවීය.තිදෙනාට තවත් ඉදිරියට යාමට නොහැකි විය.එක්වරම සිනා හඬ විලාප හඬක් පවට පරිවර්තනය විය.රූ පිටිය පුරා ඒ මේ අත වේගයේ චලනය වන්නට විය.අඳු රූ අඳුරේම ඔවුන්ගෙන් ඉවතට ,තව තවත් අඳුරටම ඇදී යන්නට විය.තවත් මොහොතකින් ඇසුණේ වෙඩි හඬවල් ය.විලාපයන් නතර විය.
ක්‍රීඩකයෝ තිදෙනා තූෂ්ණීම්භූතව බලා සිටියහ.ඔවුන්ගේ ශරීර සීතලව දරදඬුව ගියා සේ දැනිණ.තවත් අඩියක් හෝ තැබීමට නොහැකිය ඔවුහු බලා සිටියහ.මේ අතර ඔවුන්ට පිටුපසින් විදුලි පන්දම් එළියක් වැටුණි.ඊලඟ මොහොතේ විද්‍යාලයේ මුරකරු විසින් තිදෙන නේවාසිකාගාරය වෙත කැඳවාගෙන යන ලදී.

"මහත්තයලා මොන එහෙකටද මේ මහ රෑ පිට්ටනියට ගියේ?"
නේවාසිකාගාරයේ බංකුවක හිඳවූ තිදෙනාට බීමට වතුර ජෝගුවක් දෙමින් මුරකරු විමසීය.
"අපි.....අපි......නිදාගන්න හදනකොට කවුද මන්දා වොලිබෝල් ගහන සද්දයක් ඇහුණා.ඉතිං නැගිටලා බලනකොට කෝට් එකේ කවුද කට්ටියක් සෙල්ලන් කරනවා .අපි තුන්දෙනා ඒ කවුද කියලා බලන්නයි ආවේ."
එකෙක් ගොතගසමින් පැවසීය.
"අනේ මන්දා.....දැන් ඔය මහත්තයලට නූල් බඳින්න වේද දන්නෙ නෑ"
ඒ මුරකරුය.
"ඒ ඇයි?"
තිදෙනාගෙන් තවත් අයෙක් විමසූහ.ඔහුගේ අතෙහි තිබූ ජෝගුව සැලුණේ ඊළඟ මොහොතේ ඇසීමට සිදුවන බියජනක කතාවකට මුහුණ දීමට නොහැකිවාසේය.
"ඇයි කියන්නේ කියලා අහනවා.ඒ පණපිටින් ඉන්න ඈයෝ නෙමෙයි.ඒ මළවුන්.මීට අවුරුදු ගානකට කලින් භීෂණ කාලේ ඔය පිට්ටනියේ අහළ පහළ අහිංසක කොල්ලො වගයක් සෙල්ලන් කර කර ඉඳලා තියනවා.හවස්යාමේ ජීප් එකකින් තුවක්කුත් අරං ආපු කට්ටියක් විලාප හඬ මැද්දෙම ඒ කොල්ලො ටික එහා පැත්තේ කැළෑවට ඇදගෙන ගිහින් වෙඩි තියලා මරලා දාලා තියනවා.ඉතිං තාමත් සමහර දවස්වලට රාත්තිරියට ඒ මළවුන්ගේ විලාප හඬයි වෙඩිහඬයි ඇහෙනවා."
මුරකරු දෙනෙත් ලොකු කරමින් කියූ දෙය ඇසූ තිදෙනාම වෙව්ලන්නට විය.පසු දින අසනීප තත්වයේ පසුවූ ක්‍රීඩකයන් තිදෙනා නිසා සියළු තරග අවලංගු කර අත්පන්දු කණ්ඩායමට යළිත් විද්‍යාලය බලා යාමට සිදු විය.

දං කොටුවේ අත්පන්දු පිටියේ රාත්‍රියට තවමත් මළවුන්ගේ හැඬුමන් ඇසෙන්නේය.අසාධාරණව ජීවිතය අහිමි වූ ඔවුහු තවමත් හඬන්නෝය.

Saturday, April 2, 2011

මීදුම නැගෙනා හෝරාව


"දුම් රිය මග දිගෙහි තවද මීදුම නැගෙන්නේය."

ඒ කොළඹින් පිටත්ව බදුල්ල බලා දිවෙන රාත්‍රි දුම් රියයි .එහි රියදුරු අජන්ත මේ සංචාරයේ ආධුනිකයෙක්.ඔහුගේ සහයක රවීන්ද්‍ර ද බදුල්ල බලා ගමන් වාර දෙක තුනකට වඩා සම්පූර්ණ කර නොතිබූ අයෙකි.
දුම් රිය සෙමෙන් සෙමෙන් කඳුකරය නගිමින් තිබිණ.හාත්පස ගස්කොළන් කළුවරින් වැසී ගොස්ය.කෙමෙන් කෙමෙන් සීතල සුළං දුම් රිය එංජිම තුළට හැර තිබූ කවුළුවලින් පැමිණීම ආරම්භ කර තිබිණ.කවුළුවේ බැඳුණු ජල වාෂ්ප පිණි බිඳු බවට පත්ව වීදුරුව දිගේ රූරා වැටුණි.ඒ ඔහියත් පට්ටිපොළ දුම් රිය ස්ථානයත් අතර ප්‍රදේශයයි.වේගය අඩුකිරීමේ සංඥාව දුටු අජන්ත දුම් රියේ වේගය තව තවත් අඩු කළේය.ඒ වන විට ගමන් ගන්නා දුම් රියෙන් උපද්‍රවයක් නොමැතිව අයෙකුට බිමට බැසීමට වුවද හැකියාව තිබිණි.හදිසියේම දුම් රිය දෙපසින් ඝන මීදුමක් ගලා එන්නට විය.අඳුරු වනාන්තරයේ තුරු හිස් වලට මුදුනින් නැගුණු මීදුම නිසා දෙපස දර්ශන කිසිවක් දැකිය නොහැකිය.නමුදු දුම්‍රිය මග ඉදිරියේ පිළියෙල වී තිබුණේ පැහැදිලි අවකාශයකි.එංජිමේ මුදුණේ සවිකර තිබූ පහනේ එළිය ඉදිරි මග එළි කළේය.දෙපසමීදුම තව තවත් තද විය.එය කෙමෙන් කෙමෙන් දුම්‍රිය මාර්ගයට ද ගලා එන්නට විය.
හදිස්සියේම අජන්ත හා රවීන්ද්‍ර වික්ෂිප්තභාවයට පත් කරමින් දුම් රියට අඩි කිහිපයක් ඉදිරියෙන් මීදුමෙන් වැසුණු දකුණු පස ප්‍රදේශයේ සිට යමෙක් දුම් රිය මගට අවතීර්ණ විය.ඈ සුන්දර යුවතියකි.සුදු ගවුමක් හැඳසිටි ඈ කොණ්ඩය පිට දෙපසින් හලාගෙන සිටියාය.ඇය පාවහන් පැළඳ සිටියේ නැත.දුම් රියෙහිවිදුලි එළිය දුටු ඈ දුම්‍රිය එංජිම දෙසට හැරුණාය.විගසින් ඇගේ දෑත් කම්මුල් දෙපසට යන ලදී.භීතියට පත්වූ දෑස් විදුලි පහන් එළියෙන් දිලිසුණි.විවර වූ මිවින් භයානක විලාපයක් නැගිණ.ගමන් කරමින් තිබූ දුම් රියේ හඬ පරයා ඇගේ විලාප හඬ රියදුරන්ගේ සවන්පත් සිපගත්තේය.වහා ක්‍රියාත්මක වූ අජන්ත හා රවීන්ද්‍ර දුම් රිය නවතා ගැනීමට උපරිම උත්සාහය යෙදුවෝය.එහෙත් ඔවුන් ප්‍රමාද වූවා වැඩිය.යුවතිය යට කරගත් දුම්‍රිය එංජිම තවත් අඩි කිහිපයක් ඉදිරියට ගොස් නතර විය.අජන්ත හා රවීන්ද්‍ර මුහුණින් මුහුණ බලාගත්තෝය.දෙදෙනාටම කතා කිරීමට අපහසු වූ සෙයකි.පසෙකින් තබා තිබූ විදුලිපන්දම අතට ගත් රවීන්ද්‍ර බිමට බැස්සේය.ඔහු අනුකරණය කරමින් අජන්ත ද එංජිමෙන් බිමට බැස රවීන්ද්‍ර හා එක්විය.
යුවතියගේ මෘත ශරීරය දැකීමේ අටියෙන් විදුලි පන්දම් එළිය දුම් රිය එංජිමේ රෝද අතරින් මාර්ගය එබිකම් කළේය.එහෙත් කිසිවක් දක්නට නොවීය.අඩුම තරමේ එකදු ලේ බිඳුවක් හෝ දක්නට නොවීය.අජන්ත ද විදුලි පන්දම ගෙන දුම් රිය මගෙහි ඉදිරියටත් පසු පසටත් යමින් තව තවත් විපරම් කරන්නට විය. දුම් රිය නැවතුණු හේතුව දැන ගැනීමේ අටියෙන් පැමිණි, පිටුපසම මැදිරියේ දුම්‍රිය නියාමක වරයාගේ විදුලි පන්දමේ එළිය දෙදෙනා වෙත වැටුනේ මේ අවස්ථාවේදී ය.
"මොකද වුණේ?"
ඒ නියාමකවරයාය."බලන්නකෝ මහත්තයා..අපි.............."
අජන්ත සිදුවීම විස්තර කරන්නට විය.
"ආ.......ඕකද!ඔය සිද්දිය කීපදෙනෙක්ටම වෙලා තියනවා.වැඩිපුරම අලුත් අයට"
ඔහු පවසන්ට විය."ඒ කිව්වේ?"
කිසිවක් තේරුම්ගත නොහැකි වූ රවීන්ද්‍ර විමසීය.
"ඔය කියන්නේ සුදු පාට ගවුමක් ඇඳගත්තු ගෑණු ළමයා ගැනනේ......."
නියාමක මහතා යළිත් සිනහා වෙමින් පැවසීය.
"ඔව් ඔව් ..සුදු පාට ගවුමක් ඇඳගත්තු කෙනෙක් තමයි රේල්පාරට පැන්නේ"
ඒ අජන්තය.
නියාමකවරයා කළුවරේම දුම් වැටියක් දල්වා ගත්තේය.
"ඔය සිදුවීම මීට අවුරුදු දහයකට දොළහකට උඩදි වුණු දෙයක්.මේ පැත්තේ හිටිය දුප්පත් අම්ම කෙනෙක් දවසක් මහ රෑ හොඳටම අසනීප වෙලා තියනවා.එයාගේ දුව දොස්තර කෙනෙක් එක්කරගෙන එන්ඩ මහ රෑ ඔය අයිනේ තියනාඩි පාරක් දිගේ ඇවිත් රේල්පාරට ගොඩ වෙලා තියනවා.කලබලය හින්දම ඒ ළමයා දැකලා නෑ කෝච්චිය එනවා.ඉතිං ඒ ළමයා එදා කෝච්චියට අහුවෙලා නැති වුණා.එදා මීදුම නිසා තමයි ඩ්‍රයිවර්ට කෝච්චිය නතර කර ගන්න බැරිවෙලා තියෙන්නේ.දැනටත් අධික මීදුම තියන දවස්වල රෑට ඔය සිදුවීම වෙනවලු.ඒ ළමයගේ ආත්මය තාමත් මෙතන සැරි සරනවලු."
එසේ පැවසූ නියාමකවරයා ඉතිරි වූ දුම්වැටි කැබැල්ල සිල්පර කොටයක් මතට දමා පයෙන් තද කොට නිවා දමා තම මැදිරිය වෙත පිය නැගීය.

Wednesday, March 30, 2011

පල්ලියේ අඳෝනාව


[මම මේ කතාව style එක චුට්ටක් වෙනස් කරලා කියන්නම්.හැමදාම එකම විදියට වුණත් කියද්දි නීරස වෙනවලුනේ.අනිත් එක blog ලියන අය දැන් කියන්නේ මම සම්මතයට එපිටින් ගිහින් භාෂාවත් වෙනස් කරන්න හදනවා කියලා.ඒ නිසා මේ කතාව එයාලා වෙනුවෙන් .හැබැයි මේක විතරයි]

මම පහුගිය කාලයේ මීගමුවත් පුත්තලමත් අතර වෙරළ තීරයේ සංචාරයක නියැළුණා.ඒ ගමනේ එක්තරා ප්‍රදේශයක වෙරළට එතා ආසන්නව කඳුගැටයක් උඩ පල්ලියක් ඉදිවෙලා තිබුණා.වේගයෙන් එන රළ පහර කඳු ගැටය පාමුල වැදිලා මහ හඬ නංවමින් බිඳී විසිරුණා.කඳු ගැටය උඩ සමතලා බිමේ පල්ලියත් මුහුදත් අතර ප්‍රමාණයෙන් කුඩා සුසාන භූමියක් පිහිටලා තිබුණා.පල්ලියේ තිබුණු අමුතු ස්භාවයම නිසාම මට හිතුණා ටිකක්ගොඩවෙලා බලන්න.පල්ලිය ඉස්සරහා යකඩ ගේට්ටුව නිරන්තර මුහුදු සුළං වැදිලා මලබැඳිලා තිබුණේ.මම හිමින්සැරේ "කීස්" ගාන ගේට්ටු පළු දෙක ඇරගෙන පල්ලියේ භූමියට ඇතුල් වුණා.කඳු ගැටය මතට වාරකන් කාලයේ වේගවත් සුළං පහරවල් ඇදී එන්න වුණා.වෙලාව උදේ හතට විතර ඇති.පල්ලියේ ඉස්සරහ දොර ඉබි යතුරකින් වහලා තිබුණේ.මම ඉස්සරහ දොර ළඟ හිටගෙන වට පිට බැලුවා.මගේ හිතට එක පාරටම අමුත්තක් දැනුණා.ඒ මට කවුරු හරි ඉකි බිඳින සද්දයක් ඇහුණු නිසා.මුහුදු හුළං සද්දයට මුහුවෙලා ඇහුණු හැඬුම් හඬේ අස්වාභාවික ගතියක් තියනවා නේද කියලා මට හිතුණා.හිතට දැනුණ කුතුහලය නිසාම මම දොරට ටිකක් එපිටින් තිබුණු වීදුරු ජනේලෙන් පල්ලිය ඇතුළ බැලුවා.පල්ලිය ඇතුළේ තිබුණු අඳුර නිසා මුලින් මට මුකුත්ම පෙනුනේ නෑ.ඒත් මම මගේ නහයත් වීදුරුවට තද කරල අඇස් දෙක වටේට අත්දෙකත් තියාගෙන දුර දක්නයකින් බලනවා වගේ බැලුවා.මුලින්ම මම දැක්කේ අල්තාරය ඉස්සරහා කවුරුහරි දණ ගහගෙන ඉන්නවා වගේ.පැත්තකින් දැල්වුණු ඉටිපන්දමක දුබල එළිය ඒ රූපය මත වැටිලා තිබුණා.එතන හිටියේ නිල්පාට සාළුවක් පොරවා ගත්ත යුවතියක්.

ඈ හිටියේ ඒවනවිටත් ඉකි බිඳිමින්.ඉකිබිඳීම නිසා උස් පහත් වූ ඇගේ දෙවුර දුබල ඉටිපන්දම් එළියෙන් මට පෙනුණා.ඒත් ඒ කවුද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට කවුදෝ කෙනෙක් පිටිපස්සේ ඉඳන් මගේ උර හිසට අත තිබ්බා.මම ගැස්සිලා පිටිපස්ස හැරුණාම දැක්කේ පාදිලිතුමෙක් ව.එතුමා මා දිහා බලලා හිනාවුණා.මම හිටියේ මුකුත්ම කතා කරගන්න බැරුව ."ඔව්...මම දන්නවා ,ඔය ළමයට ඕන ඒ ඉකිබිඳින්නේ කව්ද කියලා දැනගන්නනේ"
පාදිලිතුමා සාක්කුවෙන් යතුරු කැරැල්ලක් එළියට ගනිමින් කිව්වා.මම අවිඥානකව වගේ ඔළුව වැණුවා.
"බලන්න ..ඒ තැනැත්තිය දැන් අඬන්නේ නෑනේ"
පාදිලිතුමා එහෙම කියනවත් එක්කම මම ආයෙත් ඉක්මනට අනිත් පැත්ත හැරිලා ජනෙල් වීදුරුව තුළින් බැලුවා.
ඉකිබිඳීම නැවතිලා.පුදුමයකට වගේ කවුරුවත් එතන හිටියේ නෑ.ඉටිපන්දම විතරක් දැල්වෙවී තිබුණා.
මම භ්‍රාන්තවෙලා පාදිලිතුමා දිහා බැලුවා.එතුමා සුසානය දිහාට අත දිගු කළා.මම දැක්කේ සුසානයේතිබුණු උස සොහොන් කොතක්.ඒ සොහොනේ මුදුනට වෙන්න පැටලිලාතිබුණු නිල්පාට සාළුව සුළඟට ලෙල දෙමින් තිබුණා."ඒ ඉස්සර මේ ප්ළාතේ හිටිය රදළයෙක්ගේ දුවණියක්.තමන්ගේ දුප්පත් ආදරවන්තයා මුහුදු ගිහිනතුරුදහන් උණාට පස්සේ,ඒ තැනැත්තිය ඉස්සරහ තියන කඳුගැටය මුදුනින් පහළට පැනලා දිවි නසා
ගත්තා.වාරකන් කාලයට ඈ තාමත් අඬනවා"
ඉබි යතුරෙන් දොර විවෘත කරගත් පාදිලිතුමා එහෙම කියමින් පල්ලිය ඇතුළට ගියා.මම ආයෙත් සොහොන් කොත දිහා බැලුවා.ඒත් එතන ඒ වෙනකොට නිල්පාට සාළුව තිබුණේ නෑ.

Saturday, March 26, 2011

අලව්වේ පාලම


ඉතිහාසයේ වූ ඇතැම් වැරදි ,යළි කිසිදු දිනෙක නිවැරදි කළ නොහැකි අමිහිරි සිදුවීම් බවට පත්වී හමාරයි.ඉතිහාසයේ එක් අඳුරු රාත්‍රියක සිදුවූ නිවැරදි කළ නොහැකි අවාසනාවන්ත සිදුවීමක් නිසා ඔහු තවමත් හඬයි.

රත්නසිරි ජීව්ත්වූයේ අලව්ව ප්‍රදේශයේ ,අසූව දශකයේ අග භාගයේදීයි.උසස් පෙළ සමත්ව සරසවි ප්‍රවේශය බලාපොරොත්තුවෙන් පසුවූ රත්නසිරි කිසිවෙකුටත් හිරිහැරයක් නැතිව අහිංසකව ජීවත් වූයෙක්.මෙකල රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ කැරලි කෝලාහලවල උණුසුම අලව්ව ප්‍රදේශයට ලැබීමටත් වැඩි කලක් ගත නොවීය.රාත්‍රිය උදාවත්ම නිවසේ පහන් නිවා දමා ඉක්මනින් ඇඳට යාම රත්නසිරි ඇතුළු පවුලේ අයට ගෙන දුන්නේ බියජනක සිද්ධි දාමයක ප්‍රාරම්භික හඳුන්වාදීමක්.රාත්‍රිය මුලුල්ලේ ගමන් කළ ජීප් රථවල ශබ්දය රත්නසිරි නිදිවර්ජිතව තැබීමට සමත් විය.ඇතැම් දිනයක උදයේ අසන්නට ලැබුනේ සිත් කම්පා කරවන අප්‍රසන්න ආරංචීන් ය."අදත් හන්දියේ ටයර් සෑයක්"
ඇතැම් ආරංචියක් එසේ විය.රත්නසිරිගේ වැඩිමහල් සහෝදරියගේ දින පොතේ සඳහන්ව ඇත්තේ එදින සඳුදා දිනයක් ලෙසයි.

මධ්‍යම රාත්‍රියට ආසන්නව වේගයෙන් පැමිණි ජීප් රථයක් තම ගෙමිදුලේ නතර කරන හඬ ඇසුණු රත්නසිරි ඇඳෙන් නැගිටුණේ ඉබේටමය.ඉනික්බිති බරැති සපත්තු ශබ්දයක් ගේ වටේටම දිව ගිය අතර ඉදිරි දොරට කිසිවෙක් තට්ටු කළහ.රත්නසිරි හා ඔහුගේ පවුලේ සියල්ලන්ම ශබ්ද නොනගා සිටිමුත්,පා පහරකින් විවර වූ දොරපළු අතරින් ඉදිරියට ආවේ කළු රෙදි කඩකින් මුහුණු ආවරණය කර ගත් ගිනි අවි අතැති පිරිසක්.ඇසිල්ලකින් මුහුණට වැටුණු විදුලි පන්දම් එළියෙන් රත්නසිරි වික්ෂිප්ත වූ අතර මවගේ,සහෝදරියන්ගේ විලාපය මැද කමිස කොලරවලින් අල්ලා ගන්නා ලද රත්නසිරිත් ඔහුගේ බාල සොහොයුරාත්නිවසින් පිටතට ඇදගෙන යන ලදී.

රත්නසිරිත් සොහොයුරාත් හඬන්නට වූ අතර ඔවුන් දෙදෙනා ජීප් රථයේ පිටුපස සිර වීමට වැඩිවේලාවක් ගත නොවීය.ගිනි අවි රැගත් අළුගෝසුවන් ජීප් රිය පැදවූයේ අලව්ව මහ පාලම දෙසටය.අතරමග ටයර් සෑයක දැවෙන මළ සිරුරක පුළුටු ගඳ දැණුනු රත්නසිරිගේ සොහොයුරාගේ හැඬුම වැඩි විය.සැනෙකින් තුවක්කු මිටක් ඔහුගේ බඩ හරහා වැදිණ.වේදනාවෙන් ඇඹරුණු සොහොයුරා රත්නසිරි විසින් වැළඳ ගන්නා ලදී.

පාලම මැදට පැමිනුණු ජීප් රිය නතර විය.රත්නසිරිත් සොහොයුරාත් ජීප් රියෙන් එළියට ඇද දමනු ලැබීය.අළුගෝසුවෝ සපයාගත් රෙදි පටියකින් රත්නසිරිගේ දෑත් බැඳ දමන්නට වූහ.ලද කුඩා අවසරයෙන් ඔහුගේ සොහොයුරා තම ජීවිතයේ ගත් නැණවත්ම තීරණය ගත්තේය.එහෙත් ඒ තීරණය අදට ද ඔහු පෙළන්නේය.
වහා හුන් තැනින් නැගිටුණු ඔහු වේගයෙන් දිව යන්නට විය.අඳුරේ තැබූ වෙඩි පහරවලින් බේරී අසළ වූ ලැහැබකට රිංගා ගන්නට ඔහු සමත් විය.එහෙත් තම සොහොයුරා?ඔහු වනලැහැබේ සිට පාලම මත වූ අඳුරු ඡායා දෙස බලන්නට විය.දෑත් පිටුපසට වූ එක් රුවක් පාලමේ ඇන්ද මතට නග්ගවන ලද අතර ක්ෂණයෙන් ගිනි පුපුරු පිටවනු පෙනිණ.

"අම්මේ......."

රත්නසිරිගේ හඬ අවකාශයේ ගිගුම් දුන් අතර රත්නසිරිගේ සොහොයුරාගේ කම්මුල් මතින් කඳුළු වැල් රූරා වැටුණි.අනතුරුව ඇසුණේ රත්නසිරිගේ සිරුර පහළ මා ඔයේ ජල තලයට වැටෙන හඬය.
එහෙත් එය එකල සිදු වූ සිය ගණනක් සිදුවීම් අතරේ අවසාන නොවූ සිදු වීමකි.
අද ද අලව්ව මහ පාලම මතින් රාත්‍රියේ හුදකලාව ඇවිද යන්නෙකුට රත්නසිරි දැකීමට හැකිවනු ඇත.පිටුපසට කර ඇති දෑත් ඔබට පෙන්වා ඔහු හඬනු ඇත.එහෙත් ඔබ උපකාර කරන්නට ඔහුවෙත පිය නගන විට පාලම් ඇන්ද මතට නගින ඔහු ක්ෂණයෙන් පහළට පනිනු ඇත.
ඔහු පවසන අවසන් වදන ඔබ වටා දෝංකාර දෙනු ඇත.
"අම්මේ............"

ප.ලි: [මෙම සිදුවීමට බඳුන් වූ කිහිපදෙනෙක් අත්‍ය ඔහුට උපකාර පිණිස ජලයට පැනීමෙන් අනතුරුවලට ද ලක් වී ඇත.]

Saturday, February 5, 2011

යළිත් යාමයට ඉඩක්-----ඇස්මානයෙන් ඔබ්බට


"යථාර්ථයේ අඳුරු කඩතිර අතරින් නැගෙනා ලුණ්ඨිත ආත්මයන්ගේ අඳෝනාව~යාමය"

යළිදු වතාවක් බොහෝ කලකට පසු "යාමය" ට ලිපියක් ලියන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙමි.නමුදු මෙය කතාන්තරයක් ඉදිරිපත්කරලීමකට වඩා යමක් පැහැදිලි කරලීමේ අරමුණ පෙරදැරිකරගෙන ලියැවෙන්නකි.නිහඬව සිටි පසුගිය කාල වකවානුවේදී 'යාමය'රස විඳින කිහිපදෙනෙකුගෙන් නැගුණු ප්‍රශ්නය නම් "යාමය ඇත්තක් ද?"යන්නයි.
මා උත්සාහගනුයේ අතරමං වූ ආත්මයන් ඇතිබව කීමට නොව,එවැනි ආත්මයන් පැවතීමට හැකියාවක් ඇතිබව කීමටයි.555nm අප නෙතට ඉතා හොඳින් දිස්වන ආලෝකයේ තරංග ආයාමයයි.380nm-750nm දෘෂ්‍ය පරාසයයි.නමුත් අපට පෙනෙන පරාසයට වඩා,විද්‍යුත් චුම්භක වර්ණාවලියේ අප නොදකින නමුදු ශක්තිය ගැබ්වූ තරංගයන් පවතින බව ඔබ දනියි.යම් වස්තුවක චලිතයක් ඇතිකරලීමට අවශ්‍යවනුයේ බලයකි.එම බලය පදාර්ථයක් විසින්ම සැපයීම අවශ්‍ය කරුණක් නොවේ.හුදු දෘශ්‍ය නොවන යම් ශ්ක්තියක් ගැබ්වූ තරංගයකට වුවද මෙය කළ හැකිය.සංඛ්‍යාත විචලනයේ දී ස්භාවික සංඛ්‍යාතයන් සමාන වූ කල වස්තූන් කම්පනය වේ.සූක්ෂම තරංග භාවිතයෙන් යම් වස්තූන්ගේ අභ්‍යන්තරය කම්පනය කර ඒවා විනාශ කෙරේ.වස්තූන් කම්පනය කිරීමට ගැමා කිරණ මගින් ගන්නා ප්‍රයෝජනය අති මහත්ය.

යම් ජීවිතයක අවසානයේ දී එහි පදාර්ථමය කොටස වන ශරීරය දිරායයි.නමුදු ඉන් වෙන්වන ආත්මය ( මනෝකාය )යම් ශක්තියක් සහිත ,එනම් යම් කාර්යයක් කළ හැකි තරංගමය ස්භාවයක් පවතින ,විශ්වීය ශ්ක්ති ප්‍රබේදයන්ගෙන් ශක්තිය ලබාගත හැකි හා නොහැකි ලෙස බෙදෙන ආත්මීය ද්‍රව්‍යක් බව විශ්වාස කළ හැකිය.අතරමං වූ ආත්මයන්ගේ මෙම ශක්තිය වැඩිබවත් කළ හැකි කාර්යයන්ගේ සංකීර්ණ භාවය වැඩිබවත් කියැවේ.එබැවින් අවැසිනම් තම ශක්තිය වටාදෘඩ අවකාශයක් තනා ගැනීම ආත්මයකට පහසු කාර්යයක් විය යුතුය.ශක්තිය හැසිරවීමේ හැකියාව මත අවකාශයේ ස්වරූපයද වෙනස් කළ හැකිවිය යුතුය.ඇතැම්විට අවකාශය මනුෂ්‍ය ශරීරයක ස්වරූපයෙන් පිළිබිඹු වීමද සිදුවිය හැකිය.
සරලතම දෘෂ්ටාන්තයක් ලෙස ,චුම්භකයක උතුරු දකුණු ධ්‍රැව රේඛා අතර,ඒවා පිහිටන පරිදි යකඩ කුඩු මගින් රටා ඇඳිය හැකිය.නමුත් ඇසට චුම්භක රේඛා දැකිය නොහැකිය.දැකිය හැක්කේ යකඩ කුඩු මගින් ඇඳි රටා පමණි.වෙනත් චුම්භක ක්ෂේත්‍රයක් මගින් මීට බලපෑමක් ඇති කළහොත් යකඩ කුඩු රටා වෙනස්වීම සිදුවේ.එය ශ්ක්තිය සාන්ද්‍රණගතවීම වෙනස් කිරීමෙන් ,ආත්මයක් විසින් තම දෘඪ අවකාශය වෙනස් කිරීමට සමාන ස්වරූපයකි.

දිනකට දෙවතාවක් උදම් ඇතිවීම හා සමව විශ්වීය ශක්තීන් වැඩි අඩුවන කාල සීමාවන්ද ,ස්ථානද පැවතිය හැකිය.එබැවින් ඇතැම් ප්‍රදේශවල ස්ථානවල හා ඇතැම් කාලවල මෙම ආත්මයන්ගේ ක්‍රියාකාරීත්වය වැඩිපුර දර්ශනයවීම ද පිළිගත හැකිය.නිශිච්ත විද්‍යාත්මක ඔප්පු කිරීමක් නොමැති වුවත් එහි යම් විද්‍යාත්මක පදනමක් ඇති බව ඔබට සිතාගත හැකිවනු ඇතැයි සිතමි.
ඉහත දෑ විශ්ලේෂණයෙන් තොරව වුවද ඔබ මෙහි එන වෘතාන්ත රස විඳින්නේනම් එය හොඳටම ප්‍රමාණවත්ය.



coming soon......

පල්ලියේ අඳෝනාව
අලව්වේ පාලම~භීෂණ යුගයේ සිද්ධි තුනක් සහිතව
දංකොටුවේ අත්පන්දු පිටිය
රබර් කම්හලේ ලේ පැල්ලම
මීදුම් නැගෙනා හෝරාව