Saturday, August 7, 2010

අතීතය අවසන් නැත


මට මතකයි ඉස්සර මම මේ ජලාශයේ බැම්ම උඩට වෙලා ඈත ඉර බැහැගෙන යනවිදිය බලාගෙන ගොඩක් වෙලා හිටිය හැටි.ජලාශයේ බැම්ම ගොඩක් පළලයි.ලස්සනට මල් පඳුරු වැවිලා තිබුණු නිසා බැම්ම දිගේ සවි කරලා තිබුණු ලී බංකුවල වාඩිවෙලා හවස්යාමය ගත කතකරන්න මිනිස්සු පුරුදුවෙලා හිටියා.මම හැමදාමත් වාඩිවුණේ එකම බංකුවක.එතනට වෙන හැම තැනකට ම වඩා ලස්සනට ජලාශය පෙණුනා කියලයි මට හිතුණේ.මම හවස් යාමය ගතකරන්න පැමිණි හැම දවසකම වගේ මගේ බංකුවට යාබද බංකුවේ යුවලක් වාඩිවෙලා හිටියා.එයාලා පෙම්වතුන් වගෙයි පෙණුනේ.කවදාවත් කතා කරලා නැති වුණත් මා දුටුහැම දවසකම එයාලා මාත් එක්ක බොහොම අහිංසක විදියට හිනාවුණා.

සමහර වෙලාවට පිරිමි ළමයා හෙමින් කොඳුරන විට ඒකට කිකිරි සිනා සලන ගැහැණු ළමයාගේ සිනාවත් මගේ කනට වැටුණා.මම හිතෙන් හැමදාමත් එයාලට ආශිර්වාද කළා.

ඒත් ඒ අවාසනාවන්ත දවසත් තාම මට මතකයි.එදා මම වෙනදාට කලින් ලී බංකුවෙන් නැගිටලා ආවා.පෙම්වතුන් යුවල මම එනකොටත් බංකුව උඩ වාඩිවෙලා හිටියා.
මම ගෙදර ගිහින් ටික වෙලාවකට පස්සේ තමයි ජලාශයේ බැම්ම පිපිරිලා හැමදේම වතුරට ගහගෙන ගිහින් කියලා ආරංචි වුණේ.බැම්ම කැඩිලා තිබුණෙත් හරියටම මම වාඩිවෙලා ඉන්න ලී බංකු පේළිය ළඟින්.එතන ඒ වෙනකොටත් හිටිය ගොඩ දෙනෙක් මියගියා කියලා මට ආරංචි වුණා.ඒත් ඒ අතර අර පෙම්වතුන් යුවළ ඉන්නවද කියන එකනම් මට දැන ගන්න බැරිවුණා.සමහර අයගේ සිරුරුත් හොයාගන්න බැරිවුණු නිසා හිතේ තිබුණෙත් දෙගිඩියාවක්.


කාලයක් යද්දි ජලාශයේ බැම්ම නැවත ගොඩනැගුණා.මම තවමත් ඉස්සර පුරුද්දට බැම්ම උඩට යනවා.ඒත් කවදාවත් අර ගෑණු ළමයයි පිරිමි ළමයයි මට දකින්න ලැබුණේ නෑ.



ඒත් සමහරවෙලාවට එයාලා හිනාවෙන හඬ තවමත් මට ඇහෙනවා.

2 comments:

  1. sometymz feel it again & again..but I want 2 away frm thm..no more sensorz.......no no no no...no more...

    ReplyDelete