Saturday, August 14, 2010

හොස්ටල්


"සංඝමිත්තා ශාලාවේ කොණක කාමරයක් තවද වසා ඇත්තේය."

යමුනාහට තව දුරතත් සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ අලංකාරයවත් උද්භිත උද්‍යානයේ සුපුෂ්පිත කුසුම් සිඹ එන මුදු අනිල සුගන්ධයවත් දැනුනේ නැත.කලා පීඨයේ වහළ දරා සිටින කුළුණුවලට දැනෙන බරටත් වඩා වැඩි බරක් ඇගේ හිසමත තිබුණි.ජීවිතයේ කඨෝරබව තව දුරටත් සුන්දරත්වයෙන් වසා ව්‍යාජ සිනාවෙන් මුව සරසා දිවිගෙවීම උගහට බව ඇයට දැනුණි.


මණ්ඩාවල හන්දියට වඩා ගලහ හන්දියේ වෙනසක් ඇය දුටුවත් එම වෙනස මණ්ඩාවලට ගෙන යන්නට ඇයට නොහැකිය.අගහිඟකම් පිරි නිවස,පාසල් යන බාල සොයුරු සොයුරියන් ,පීඨයේ මුහුණ දීමට ඇති ඇගේ ආතතිය වැඩිකරලූ සාධකය.ඒ හැමටත් වඩා මහානාම් ඇයට පිටුපෑම දරා ගැනීම අපහසු බැව් ඇයට දැනිණ.
මිතුරියන් කුමකින් කුමක් කීවද තම හිසමත වූ බර දරාගැන්ම යමුනාට අපහසුවිය.කලා පීඨයේදී මුහුණ දීමට සිදුවූ විභාග කිහිපයක්ම අසාර්ථක වීමත් හා දිනපත මුණගැහෙන මහානාමගේ මුහුණේ වූ නොපහන් බැල්ම තමා පිස්සියක කර ඇති බව ඇයට දැනිණ.
එදා උදයේ යමුනා මහානාම සමග බැණගත් අයුරු පීඨයේ අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බලා වුන්හ.මහානාම ඇයට අතුල්පහරක් එල්ල කළේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙසය.

වහා දේශන ශාලාවෙන් පිටවූ යමුනා සංඝමිත්තා නේවාසිකාගාරයේ කොණක වූ කාමරයට වැදී දොරවසා ගත්තාය.
එදින හවස්යාමය වනතුරු දොර විවර නොවීය.කාන්ති;යමුනාගේ හොඳම මිතුරිය පැමිණ දොරට තට්ටුකරමින් කතාකළද පිලිතුරක් නොවූ හෙයින් නේවාසිකාගාර පාලිකාවගේ අනුමැතියෙන් දොර කඩා විවර කරනු ලැබීය.

යමුනා ඇඳසිටි මල්ගවුම පිටින්ම කාමරය මැද ගෙල වැලලාගෙන සිටියාය්.
ඇගේ මළගමින් ටික දිනක් ගතවිය.රාත්‍රියේ අක්බාර් නේවාසිකාගාරයට යන අතරමගදී මහානාමට කිසිවෙකු පහරදෙනු ලැබීය.එම සිද්ධියෙන් පසු ඔහුගේ සිහි කල්පනාව එතරම් පිරිසිදු නොවීය.ඔහුට විශ්වවිද්‍යාලය අතහැර ගමට යන්නට සිදුවිය.

ඇතැම් දිනක රාත්‍රියේ සංඝමිත්තාවේ කොරිදෝව දිගේ මල්ගවුමක් හැඳ හඬමින් දිවයන යුවතියක අනෙක් ශිෂ්‍යාවන්ට ද දක්නට හැකිවිය.වසා දැමුණු නේවාසිකාගාර කාමරයෙන් ඉකිබිඳුම් හඳවල් තවද ඇසෙනබව නොරහසකි.
ඈ තවම හඬන්නීය.

Saturday, August 7, 2010

අතීතය අවසන් නැත


මට මතකයි ඉස්සර මම මේ ජලාශයේ බැම්ම උඩට වෙලා ඈත ඉර බැහැගෙන යනවිදිය බලාගෙන ගොඩක් වෙලා හිටිය හැටි.ජලාශයේ බැම්ම ගොඩක් පළලයි.ලස්සනට මල් පඳුරු වැවිලා තිබුණු නිසා බැම්ම දිගේ සවි කරලා තිබුණු ලී බංකුවල වාඩිවෙලා හවස්යාමය ගත කතකරන්න මිනිස්සු පුරුදුවෙලා හිටියා.මම හැමදාමත් වාඩිවුණේ එකම බංකුවක.එතනට වෙන හැම තැනකට ම වඩා ලස්සනට ජලාශය පෙණුනා කියලයි මට හිතුණේ.මම හවස් යාමය ගතකරන්න පැමිණි හැම දවසකම වගේ මගේ බංකුවට යාබද බංකුවේ යුවලක් වාඩිවෙලා හිටියා.එයාලා පෙම්වතුන් වගෙයි පෙණුනේ.කවදාවත් කතා කරලා නැති වුණත් මා දුටුහැම දවසකම එයාලා මාත් එක්ක බොහොම අහිංසක විදියට හිනාවුණා.

සමහර වෙලාවට පිරිමි ළමයා හෙමින් කොඳුරන විට ඒකට කිකිරි සිනා සලන ගැහැණු ළමයාගේ සිනාවත් මගේ කනට වැටුණා.මම හිතෙන් හැමදාමත් එයාලට ආශිර්වාද කළා.

ඒත් ඒ අවාසනාවන්ත දවසත් තාම මට මතකයි.එදා මම වෙනදාට කලින් ලී බංකුවෙන් නැගිටලා ආවා.පෙම්වතුන් යුවල මම එනකොටත් බංකුව උඩ වාඩිවෙලා හිටියා.
මම ගෙදර ගිහින් ටික වෙලාවකට පස්සේ තමයි ජලාශයේ බැම්ම පිපිරිලා හැමදේම වතුරට ගහගෙන ගිහින් කියලා ආරංචි වුණේ.බැම්ම කැඩිලා තිබුණෙත් හරියටම මම වාඩිවෙලා ඉන්න ලී බංකු පේළිය ළඟින්.එතන ඒ වෙනකොටත් හිටිය ගොඩ දෙනෙක් මියගියා කියලා මට ආරංචි වුණා.ඒත් ඒ අතර අර පෙම්වතුන් යුවළ ඉන්නවද කියන එකනම් මට දැන ගන්න බැරිවුණා.සමහර අයගේ සිරුරුත් හොයාගන්න බැරිවුණු නිසා හිතේ තිබුණෙත් දෙගිඩියාවක්.


කාලයක් යද්දි ජලාශයේ බැම්ම නැවත ගොඩනැගුණා.මම තවමත් ඉස්සර පුරුද්දට බැම්ම උඩට යනවා.ඒත් කවදාවත් අර ගෑණු ළමයයි පිරිමි ළමයයි මට දකින්න ලැබුණේ නෑ.



ඒත් සමහරවෙලාවට එයාලා හිනාවෙන හඬ තවමත් මට ඇහෙනවා.