Sunday, July 4, 2010

ගෝල්ෆේස්


ඔහු නමින් සමන්ත.ගම රත්නපුරයයි.කොළඹ පැමිණියේ රැකියාවක් බලාපොරොත්තුවෙනි.මෙම සිදුවීම වූ වකවානුවේ දී කොළඹට පැමිණ රාත්‍රිය ගත කිරීමට නවාතැන් සොයාගත නොහැකි වූවන් නතර වූ ප්‍රධාන ස්ථානය වූයේ ගාලුමුවදොර පිටියයි.

සමන්තටත් නවාතැනක් සොයාගැනීමට අපහසු වූ හෙයින් කෙලින්ම පියමැන්නේ ගාලුමුවදොර පිටියටයි.අඳුරන මුහුණු කිසිවක් නොවූ හෙයින් හුදකලාවම පිටිය කෙලවර වූ සිමෙන්ති බංකුවේ ඇලවුණේ නින්ද පැමිණෙනතෙක්ය. නමුදු පසෙකින් වූ මුහුදේ හෝ හෝ හඬ ඔහුව නළවන්නට අසමත් විය.අවට කිසිවෙකුත් නොවූහ.සමන්තගේ දෑස කෙලින්ම යොමු වූයේ අහසේ දිදුළන තාරකා වෙතයි.පැය කිහිපයක් ගෙවී යන්නට ඇත.නින්ද නෙත වෙත ළං නොවූ නිසා සමන්තගේ කය දෙපයට බර දුනි.ඔහු සෙමෙන් සෙමෙන් කොටු පවුර බැස මුහුදු වෙරළට පිය මැන්නේය.ඈත මාර්ගය අයිනේ වූ පහනක කහපාට එළිය පමණක්දක්නට ලැබුණි.සමන්ත පවුරු බැම්මට හේත්තු වී සුසුම්ලන්නට විය.

හදිසියේම වෙරළදිගේ පියවර තබමින් ඇවිද එන්නෙකු ඔහුගේ නෙත ගැටිණ.ඔහු වික්ෂිප්තභාවයට පැමිණියේ ඇවිද ආ තැනැත්තියගේ ස්භාවය දැකීමෙනි.ඈ සුදුපැහැ දිගු ගවුමක් හැඳි ඉතා ලක්ෂණ යුවතියකි.හුරුබුහුටි ඇගේ වූ එකම අඩුපාඩුව වූයේ අස්වාභාවික සුදුමැලි පැහැ මුහුණයි.
කෙමෙන් සමන්ත වෙත පැමිණි ඈ ඔහුගේ පසකින් නතර වූවාය.සමන්තට ඇගේ මුහුණ දෙස එක එල්ලේ බැලීමට අපහසු විය.ඔහු තැති ගැන්වී සිටියේය.පාළු රාත්‍රියක්?
සුදු හැඳි යුවතියක්?
සමන්ත වෙත නැඹුරු වූ ඈ ඇසුවේ එකම පැනයකි.
"ඔබ ගැහැණුන් විශ්වාස කරනවාද?"
සමන්තගේ මුව ගොළුවී තිබිණ.මැය කවරෙක්ද යන ගැටළුව ඔහු වෙත විය.හෙතෙම අපහසුවෙන් "ඔ...ඔව්"යැයි ගොත ගැසීය.
"බොරු කියන්න එපා මිනිහෝ........"
යුවතියගේ සුන්දර මුහුණ ක්ෂණයෙන් වෙනස් වී ක්‍රෝධයක් පළ විය.ඊළඟ මොහොතේ ඈ මුහුද වෙත දිව ගියාය.සමන්තට සිදුවන්නට යන දෙය වැටහිණ.
සියදිවි නසා ගැනීමට දිවගිය තරුණිය මුහුදු රළ අතරේ ගිලෙනු ඔහුට පෙනිණ.වහා ක්‍රියාත්මක වූ ඔහු යුවතියගේ දිවි රැක ගැනීමට උඩුකය වැසුණු කමිසය ගලවා දියට පැන්නේය.ඉදිරියට පිහිනූ ඔහුට අවසන්වරට තරුණිය දියේ ගිලෙනු දක්නට ලැබිණ.

තමාද දිය වැලකට හසුව වෙරළෙන් ඉවතට ගසාගෙන යනු ඔහුට දැනුනේ මේ මොහොතේදීය.නමුදු ඉතා අපහසුවෙන් පිහිනා ගොඩට ඒමට ඔහුට හැකිවිය.නමුත් තරුණිය පෙනෙන්න්ට නොවීය.

වෙහෙස නොබලා නැගිටගත් ඔහු උදව් ලබා ගැනීම පිණිස වහා පිටියේ ඉදිරි කෙළවර වෙත දිව ගියේය.එහි කිහිප දෙනෙකු වැතිරසිටි අතර ,ඔවුන් අවදි කළ සමන්ත සිදුවීම පැහැදිලි කළේය.එහෙත් ඔහුගේ කතාවෙන් ඔවුන් කලබල නොවූ සෙයකි.ඒ වෙනුවට ඔවුහු සිනහ වන්නට වූහ.
"මලයා උඹ පළවෙනි පාරටද මෙතන නිදාගන්න අවේ?"
එකෙක් විමසීය.
"ඔව්.......ඇයි?"
සමන්තද පිළිතුරු දුන්නේය.
"පළවෙනිපාරට මෙතන නිදාගන්න ඇවිත් වෙරළේ ඇවිදින්න යන ගොඩ දෙනෙක්ට එයාව දකින්න ලැබෙනවා.එයා සෑහෙන කාලෙකට කලින් තමන්ගේ පෙම්වතා තමාව අවිශ්වාස කළ නිසා සියදිවි නසා ගත් කෙනෙක්.ගිහින් උඹ හිටි තැන වෙරළේ අඩි සළකුණු බලාපන්"

සමන්ත වෙරළේ තමා කොටු බැම්මට හේත්තු වී හුන් තැන වෙත දිව ගියේය.පුදුමයකි.එහි වූයේ තමාගේ අඩි සටහන් පමණි.

7 comments: