Sunday, June 13, 2010

රෝසමල්



[මේ වෘතාන්තය මෙරට එක්තරා යුගයකදී එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙකු හට සිදුවූ සිදුවීමක් ආශ්‍රයෙනි]



ඒ දෙසැම්බරයේ එක් මූසල සැන්දෑවක්බව මතකය.මම මගේ බස්තමද රැගෙන කිසිදු අරමුණකින් තොරව තැන්නෙහි ඇවිදීමට ගියෙමි.මුහුදු මට්ටමේ සිට මීටර දෙදහසකට වඩා උසැති මෙහි ස්භාවයෙන්ම ගුප්ත බවක් පවතින බැව් මට පසක් වී තිබිණි.එහෙත් එය මෙතරම් රුදු යැයි කිසිදු විටෙක මම නොසිතීමි.
එය හෝර්ටන් තැන්නෙහි සංචාරය කරන අවාරය විය.එසේම සන්ධ්‍යාවේ බැවින් ඊට ඇතුල් වූ ටික දෙනාද ඉන් පිටතට එමින් සිටියහ.සවස හය වීමට පෙරාතුව යළි පැමිණි‍ය යුතු වූ නිසා මම වහා එම තැන්නට පිවිසෙන ස්ථානයේ පියගැට පෙළ බැස පහතට පැමිණියෙමි.හාත්පස මද ශීතලක් සහ මීදුමක් පැවතුණද එය ඉදිරියට යාමට මා තුළ වූ අශාව මැඩලන්නට සමත් නොවීය.ඈත නෙතට රසඳුනක් වූ නිල් කඳු යාය ,නෙත පමණක් නොව සිතද පුරවා දැමීය.වර්ෂාව පැවති කාල වලදී සේදී ගොස් බිඳුණු මග දිගෙහි මම පියනැගීමි.තණ පඳුරුවලට ඉහළින් තනිවූ ගෝනෙකු හඬනු මට ඇසිණ.
ශීතල හෝර්ටන් තැන්නෙහි ලෝකාන්තය දෙසට වැටී ඇති මග ඔස්සේ මම ගමන් ගතිමි.කඳුකර වනාන්තරවල දැකිය හැකි ලයිකන හා විවිධ පාසි නොමදව ගස් ඉති අතු මත්තේ බැඳී තිබෙනු මට දැකිය හැකි විය.මම පැයක් පමණ ඉදිරියට ඇවිද ගියෙමි.ඒ අතරතුර දුටු දිය පහරවල් ,සතුන්,ශාක ,මීදුම පිළිබඳ පවසා ඔබ වෙහෙස කිරීමට මා සූදානම් නැත.
ඉදිරියට යන්නට යන්නට දැඩිවන ශීතලෙන් මාගේ දෙ අත ,දෙකම්මුල්,දෙකන පමණක් නොව ඝන සපත්තුවලින් ආවරණය වූ දෙපතුලද සීතල වන බැව් මට දැනිණ.දැන් මා අභිමුඛයෙහි වූයේ පුංචි ලෝකාන්තයයි.ඒ අසල වූයේ එකම එක නඩයක් පමණි.ඔවුහු ද කෑගසමින් නිශ්චල තැන්නෙහි නිහඬ බව බිඳිමින් සිටියහ.පුංචි ලෝකාන්තයෙහි පහළ ඝන මීදුම නිසා නොපෙණින.වේලාව සවස හයට ආසන්නවී තිබිණි.

සිතට අමුතුම සිසිලසක් ලැබෙනා හෙයින් මම,ඒ අසල වූ සිමෙන්ති තීරු අධාරකයේ වාඩිගෙන සිටියෙමි.තවත් ස්වල්ප වෙලාවකින් එහි සිටි නඩය මා පැමිණි මග ඔස්සේ යාමට හැරුණහ. මමද නැගීසිට මහා ලෝකාන්තය දෙසට වැටී ඇති මග ඔස්සේ ගමන් කළෙමි.අවට රජකළේ මීදුම හෝ අඳුර නොව ඒ හරහා පැමිණි ගුප්ත බවයි.මා අත විදුලි පන්දමක් හෝ අන් කිසි එළියක් නොවීය.තවත් පැයකින් පමණ අඳුරින් මේ තැන්න වසාගනු ඇත.එසේ වුවහොත් මට රාත්‍රිය ගත කිරීමට සිදුවන්නේ මෙම ගුප්ත තැන්නෙහිය.එය සිහිවනවිට මගේ ශරීරය බියෙන් සලිත වී ගියේය.මක්නිසාද යත් ශීතල හෝර්ටන් තැන්නෙහි රාත්‍රියක් ගත කිරීම ,මරණය ඔට්ටුවට තබා මාරයා සමග ක්‍රීඩා කිරීමක් බඳු නිසාය.

පැමිණි මග ඔස්සේම ගියේ නම් මට පහසුවෙන්ම ආපසු යාමට හැකිවී තිබිණි.නමුදු චංචල වූ මගේ මනසට මේ කිසිවක් නොවැදුණේය.
පිළිස්සී ගියාක් මෙන් වූ අඳුරු පැහැ ,තෙත් වූ මගෙහි ,මම ඉදිරියට දිව ගියෙමි.ඉන් මාගේ ගතද උණුසුම් වූ අතර ශීතලද නැතිවී ගියේය.
ඉන් පසුව මා ඉදිරියේ වූයේ මහා ලෝකාන්තයයි.මා හුදකලාවී ඇතැයි යන අදහස,යම් සිදුවීමක් නිසා එවේලෙහි බිඳ වැටිණ.ලෝකාන්තය අසල වූ කොන්ක්‍රීට් තීරු වලින් සැදි පීටිකාව මත කිහිපදෙනෙක් සිටියහ.එහි වූ සියල්ලෝම ගැහැණු පිරිමි යුගල වශයෙන් සිටි තරුණ වයසෙහි පසුවූවෝ වූහ.

වඩාතම පුදුම සහගත දෙය වූයේ සෑම දෙනෙකුගෙම අතේ විකසිත නොවූ රතු රෝසමලක් බැගින් තිබීමයි.මා වික්ෂිප්ත කළ අසාමාන්‍ය දෙය වූයේ,මේ කිසිවක් නොව,පහළ ප්‍රපාතය දෙස ඇසිපිය නොහෙලා බලාසිටි ඔවුන් තුළ පැවති ගුප්ත නිහඬතාවයයි.

එහි යුගල හයක් වූහ.මම කෙමෙන් ඔවුන් සිටි වේදිකාවට ගොඩවීමි මම මිනිත්තු පහක් පමණ බලා සිටින්නට ඇත.එහෙත් මාගේ ආගමනයෙන් හෝ බලා හිඳීමෙන් ඔවුන් තුළ වෙනසක් ඇති නොවූ සෙයකි.හඬ නංවමින් හමාගිය සුළං ප්‍රවාහයද ගුප්ත මොහොතේ ගුප්තභාවය වැඩිකරන්නට හේතු විය.
මම ඔවුන්ගෙන් එකෙකු වෙත කිට්ටුවීමි.
"මහත්මයා................තව ටික වේලාවකින් මේ තැන්න ගොඩක් සීතල වෙනවා.අනිත් එක හයට කලින් තැන්නෙන් පිටවෙන්න නියමකරලත් තියනවා.ඉතිං අපි යමු නේද?"
මම සෙමින් යෝජනා කළෙමි.

නිමේශයකින් ඔව්හු සියළු දෙනාම මා වෙත බැලුම් හෙලීය.මගේ සිරුර හරහා තියුණු කිණිසි දොළහක් යන්නක් මෙන් මට දැනිණ.මම මහත් අපහසුතාවකට පත්වීමි.
එහෙත් අපහසුතාව මැඩගෙන
"මම කිව්වේ ඇත්ත.අපි ඉක්මනට ගියේ නැත්තම් සීතලේ මැරෙන්න වේවි.මට පුළුවන් ඔයාලව කෙටි පාරකින් අරගෙන යන්න.එන්න යමු " එකෙකුගේ අතින් අදිමින් පැවසීමි.මට එක්වරම මහා අමුත්තක් දැනිණ.මා ඇල්ලූ හස්තය අයිස් මෙන් සීතල විය.මම ඔහුගේ ඇඟිලි ග්‍රහනය කරගත්තා සේම ඔහුද මගේ ඇඟිලි ඉතා තදින් ග්‍රහනය කරගෙන සිටියේය.මට එම ග්‍රහනයෙන් නිදහස් වීමට නොහැකි විය.
"ඔයාලා ඇත්තටම කවුද?"
මම තරමක නොසන්සුන්තාවයකින් විමසීමි.

"අපි........................................."
"අපි කවුරු කියලද හිතන්නේ?"
එහි සිටි අයෙක් මගෙන් විමසූහ.
"ඇත්තටම මම දන්නේ නෑ.ඇයි ඔයාලා මෙහෙ ඇවිදින්න ආපු අය නෙමෙයිද?"මම ද විමසීමි.
"නෑ..............අපි හැමෝම මෙහෙ අවේ මරණය මත ඇවිදින්න."
තවත් එකෙක් කොක් හඬලා සිනහවෙමින් පැවසීය.
"මට තේරුණේ නෑ"
මම කීවෙමි.
"ඔබට තේරුම් ගන්න පුළුවන්.අපි හැමෝම ලෝකාන්තයෙන් පහලට පැනලා දිවිනසා ගත් පෙම්වතුන්.අපි ආරාධනා කරනවා ඔබටත් අපහා එක්වන ලෙස."
එසේ පැවසූ ඔවුහු මා වෙත පැමිණ තරයේ මා අල්ලා ඔවුන් අතවූ රෝසමල් මා දෑතේ සිර කළහ.
මගේ හෘදය උරස් කුහරයෙන් පිටතට පනින තරම් වේගයෙන් ගැහෙන්නට විය.සීතලේ වුවද නළලට දහදිය දමනට විය.
ඔවුහු මා ප්‍රපාතය දෙසට ඇදගෙන යන්නට විය.සිදුවන්නට යන දෙය මට ඉවෙන් මෙන් වැටහිණි.තවත් මොහොතකින් මට අත්වන ඉරණම මට මැවී පෙනෙන්නට විය.කළයුත්තක් සිතාගත නොහැකි විය.උණු කඳුළු වැල් මගේ සීතල කම්මුල් උණුසුම් කළේය.ක්‍රියාතමක වියයුතු වෙලාව එළඹිණි.මම ගෙලෙහි එල්ල තිබූ සුරය ගලවා ඉහළට එසවීමි.සීතල හස්තයන්ගේ ග්‍රහනයෙන් කෙමෙන් මා මිදෙනු මට දැනිණ.ප්‍රපාතය අභිමුඛයේ මා අතහැරිය පිරිස දෙදෙනා බැගින් ප්‍රපාතයට පනිනු මට දැකගත හැකිවිය.අවසන් තරුණයා හා තරුණිය මා දෙස රුදු බැල්මක් හෙලා ප්‍රපාතයට පනිනු මම දුටිමි.ඔවුන්ගේ ඇඳුම් සුළඟේ ලෙලෙනු ද ඇසිල්ලකින් ගුප්ත මීදුම තුළ අතුරුදහන් වන අයුරුද මට මතකය.මම ද පීටිකාව මත්තෙහි ඇද වැටුණෙමි.මම සිහි එළවා ගත නොහැකිව මදක් සිටින්නට ඇත.අපහසුවෙන් දෙපයින් නැගිට ගත් මම සියක්වරක් වැටෙමින් නැගිටිමින් අඩවි කාර්යාලය දෙසට දිවගියෙමි.ඝන අඳුරේම බේකර්ස් ඇල්ල ද පසු කළා මතකය.

කාර්යාලයේ දොරටුව අබියස ඇද වැටුණු මට වහා තේ කෝප්පයක් ලැබිණ.කාර්යාලයේ සිටියවුන් මගේ කතාව විශ්වාස නොකළ සෙයකි.කෙසේ හෝ රාත්‍රියේ මම මගේ නවාතැනට ඔවුන් විසින් ඇරලවන ලද්දෙමි.කැඩපත ඉදිරියට ගිය මට මගේ අවුල් වූ ඇඳුම්ද මඩවලින් වැසුණු සපත්තු යුගලද එක් කාචයක් බිඳී ගිය උපැස් යුවලද දක්නට ලැබිණ.ඊටත් වඩා මගේ අතෙහි සිරවූ රෝසමල් දක්නට ලැබීමෙන් මා සිහිනයක් නොදුටු බව ප්‍රත්‍යක්ෂ කර ගත හැකි විය.මා අතෙහි රෝසමල් දහතුනක් විය.ඉන් දොළහක් මැලවී තිබුණි.එක්මලක් මැලනොවී තිබිණ.එහි සිටියේ දොළොස් දෙනෙකි.එසේනම් මැලනොවුණු මල ඔවුන් මට දුන් ත්‍යාගයද?
පසු දිනම මම තැන්න ආශ්‍රිතව කරමින් සිටි සෑම පර්යේෂණයක්ම නවතා කොළඹ ආවෙමි.

4 comments:

  1. Friends,I m looking for your comments.thanq

    ReplyDelete
  2. itz good my friend! i lyk it.
    gd luk!
    JANITHA

    ReplyDelete
  3. අන්ධකාරය රජයන හෝරාවේ හමන සුළඟට මුසුව ගිය නිසල වෘතාන්තයන් සිත්තම්වෙන නිශා යාමය.

    ඇසිදිසි මානයෙන් ඔබ්බෙහි වූ දෑ ගවේෂණය කරන පාඨක පිරිසගේ රසය වෙනුවෙන් දරන ප්‍රයත්නයට සදා ජය!

    ReplyDelete
  4. හම්මේ... බඩ පපුව හිරි වැටෙනවා..

    ReplyDelete