Sunday, June 13, 2010

සාධක සටහනක් ලෙස...........


විශ්වීය බලවේගයන් පිළිබඳව අවිශ්වාසයක් ගොඩ නැගීම, නූතන ලෝකය තුළ ජීවත් වන ඔබවැන්නවුන්ට සධාරණය.අවබෝධ කරගැනීමට නූතනයේ දී පවා අපහසු යම් යම් ගුප්ත සිදුවීම් පිළිබඳව යථාර්ථය හෙලිකිරීමට ගෙන ඇති උත්සාහයක් සහ ප්‍රසිද්ධ කතා පුවත් කිහිපයක් ඔබ වෙනුවෙන් පහත ඉදිරිපත් කර ඇත.

1.යේල් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය හැරල්ඩ් සැකස්මන් මහතා විසින් 1972 දී ප්‍රකාශයට පත් කළ "Blue Print for Immortality"නැමති කෘතියේ සත්ව ශරීර තුළින් පියවි ඇසට නොපෙනෙන රශ්මි මාලාවක්(Magnetic Aura)නිකුත් වන බව පර්යේෂණ ඇසුරෙන් සොයාගෙන ඇත.
රුසියානු ජාතික විදුලි කාර්මික ශිල්පියෙකුවන සිමියොන් දී කිර්ලියන් මහතා සිය බිරිඳ ගේ ද සහය ඇතිව අපගේ ශරීරයෙන් නිකුත්වන මෙම රශ්මි මාලාව(Magnetic Aura)ඡායාරූප ගතකළ හැකි'කිර්ලියන්'නැමති නවීන කැමරා උපකරණය නිෂ්පාදනය කොට ඇත.


2.ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 1500ක් පමණ මරාදැමූ මේජර් තෝමස් විලියම් කළ සත්ව ඝාතනය නවතා දැමීමට කිසිවෙකුට නොහැකි වූ විට බදුල්ලේ විසූ භික්ෂූනමක් ඔහුට හෙණ වැදියයුතුයැයි සාප කර ඇත.එය ඉතා අද්භූත සිදුවීම් මාලාවක ආරම්භයයැයි කියනු ලැබේ.මේජර් රොජර්ස් හපුතලේ දුර්ගයේදී අකුණු සැරයක් වැදී මියගියේය.මළ සිරුර භූමදානය කළ පසු එම සොහොනට ද කිහිප සැරයක් හෙණ වැදී ඇත.


3.සාමාන්‍යයෙන් මෘත ශරීරයක කොණ්ඩය සහ නියපොතු වැවීම නවීන විද්‍යාවට යම් තරමක ප්‍රෙහේලිකාවකි.එහෙත් එය සිදුවේ.බුදුදහමට අනුව නම් එය අනුගතය.මෙවැනි මෘත ශරීර ලෝකයේ කොතෙකුත් පවතී.අප්‍රිකාවේ පිරමිඩවල සහ චීනයේ ද මෙවැනි මෘත ශරීර සංරක්ෂිතව ඇත.අසැල්වැසි ඉන්දියාවේ කල්කටා නුවර ජාතික කෞතුකාගාරයේ ද මෙවැනි ක්‍රියා සිදුවන මෘත ශරීරයක් ප්‍රදර්ශනයට තබා ඇත.වයස අවුරුදු 90 කාලයක් ජීවත් වූ දෙවන රම්සේස් රජුගේ මමිය හෙවත් ආරක්ෂිත මෘත ශරීරය තවමත් එහි එහි පවතියි.එය වසර 3500ක් පමණ පැරණියැයි කියැවේ.තවද මාවෝ සේතුංගේ ශරීරයද ,ජිනරාජ මහා බල තෛලය පානය කළ ඉන්දියාවේදී අපවත් වී වදාල වෑත්තෑවේ හිමියන්ගේ මෘතදේහයද මෙලෙස විවිධ විපර්යාසයන් සිදුවෙමින් පවතින බව වාර්තාවේ.

පිනි


පිනි
දිලිසුනේ නෑ..........
දැනුනේ නෑ සීතල~ඔබේ ඔය සුරතේ
වදන් හමුවේ ඔබ තෙපලූ
කාන්තිය පමණි මා දුටුවේ
ඔබේ නෙතෙහි රැඳුණු
දුටුවේ නෑ එහි ගැඹුර
අනන්තය කියාලූ..........
දැන දැනත් මම
පෙම් කළෙමි මුළු හදින්
කය නැති ආත්මයට
නුඹගේ............
තවමත් දිදුළයි නුඹේ ඔය ඡායා
මා ඉදිරියේ
ඒ මා තවමත් නුඹට
ආදරේ නිසාලූ..................



අ.වික්
2010/06/14

රෝසමල්



[මේ වෘතාන්තය මෙරට එක්තරා යුගයකදී එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙකු හට සිදුවූ සිදුවීමක් ආශ්‍රයෙනි]



ඒ දෙසැම්බරයේ එක් මූසල සැන්දෑවක්බව මතකය.මම මගේ බස්තමද රැගෙන කිසිදු අරමුණකින් තොරව තැන්නෙහි ඇවිදීමට ගියෙමි.මුහුදු මට්ටමේ සිට මීටර දෙදහසකට වඩා උසැති මෙහි ස්භාවයෙන්ම ගුප්ත බවක් පවතින බැව් මට පසක් වී තිබිණි.එහෙත් එය මෙතරම් රුදු යැයි කිසිදු විටෙක මම නොසිතීමි.
එය හෝර්ටන් තැන්නෙහි සංචාරය කරන අවාරය විය.එසේම සන්ධ්‍යාවේ බැවින් ඊට ඇතුල් වූ ටික දෙනාද ඉන් පිටතට එමින් සිටියහ.සවස හය වීමට පෙරාතුව යළි පැමිණි‍ය යුතු වූ නිසා මම වහා එම තැන්නට පිවිසෙන ස්ථානයේ පියගැට පෙළ බැස පහතට පැමිණියෙමි.හාත්පස මද ශීතලක් සහ මීදුමක් පැවතුණද එය ඉදිරියට යාමට මා තුළ වූ අශාව මැඩලන්නට සමත් නොවීය.ඈත නෙතට රසඳුනක් වූ නිල් කඳු යාය ,නෙත පමණක් නොව සිතද පුරවා දැමීය.වර්ෂාව පැවති කාල වලදී සේදී ගොස් බිඳුණු මග දිගෙහි මම පියනැගීමි.තණ පඳුරුවලට ඉහළින් තනිවූ ගෝනෙකු හඬනු මට ඇසිණ.
ශීතල හෝර්ටන් තැන්නෙහි ලෝකාන්තය දෙසට වැටී ඇති මග ඔස්සේ මම ගමන් ගතිමි.කඳුකර වනාන්තරවල දැකිය හැකි ලයිකන හා විවිධ පාසි නොමදව ගස් ඉති අතු මත්තේ බැඳී තිබෙනු මට දැකිය හැකි විය.මම පැයක් පමණ ඉදිරියට ඇවිද ගියෙමි.ඒ අතරතුර දුටු දිය පහරවල් ,සතුන්,ශාක ,මීදුම පිළිබඳ පවසා ඔබ වෙහෙස කිරීමට මා සූදානම් නැත.
ඉදිරියට යන්නට යන්නට දැඩිවන ශීතලෙන් මාගේ දෙ අත ,දෙකම්මුල්,දෙකන පමණක් නොව ඝන සපත්තුවලින් ආවරණය වූ දෙපතුලද සීතල වන බැව් මට දැනිණ.දැන් මා අභිමුඛයෙහි වූයේ පුංචි ලෝකාන්තයයි.ඒ අසල වූයේ එකම එක නඩයක් පමණි.ඔවුහු ද කෑගසමින් නිශ්චල තැන්නෙහි නිහඬ බව බිඳිමින් සිටියහ.පුංචි ලෝකාන්තයෙහි පහළ ඝන මීදුම නිසා නොපෙණින.වේලාව සවස හයට ආසන්නවී තිබිණි.

සිතට අමුතුම සිසිලසක් ලැබෙනා හෙයින් මම,ඒ අසල වූ සිමෙන්ති තීරු අධාරකයේ වාඩිගෙන සිටියෙමි.තවත් ස්වල්ප වෙලාවකින් එහි සිටි නඩය මා පැමිණි මග ඔස්සේ යාමට හැරුණහ. මමද නැගීසිට මහා ලෝකාන්තය දෙසට වැටී ඇති මග ඔස්සේ ගමන් කළෙමි.අවට රජකළේ මීදුම හෝ අඳුර නොව ඒ හරහා පැමිණි ගුප්ත බවයි.මා අත විදුලි පන්දමක් හෝ අන් කිසි එළියක් නොවීය.තවත් පැයකින් පමණ අඳුරින් මේ තැන්න වසාගනු ඇත.එසේ වුවහොත් මට රාත්‍රිය ගත කිරීමට සිදුවන්නේ මෙම ගුප්ත තැන්නෙහිය.එය සිහිවනවිට මගේ ශරීරය බියෙන් සලිත වී ගියේය.මක්නිසාද යත් ශීතල හෝර්ටන් තැන්නෙහි රාත්‍රියක් ගත කිරීම ,මරණය ඔට්ටුවට තබා මාරයා සමග ක්‍රීඩා කිරීමක් බඳු නිසාය.

පැමිණි මග ඔස්සේම ගියේ නම් මට පහසුවෙන්ම ආපසු යාමට හැකිවී තිබිණි.නමුදු චංචල වූ මගේ මනසට මේ කිසිවක් නොවැදුණේය.
පිළිස්සී ගියාක් මෙන් වූ අඳුරු පැහැ ,තෙත් වූ මගෙහි ,මම ඉදිරියට දිව ගියෙමි.ඉන් මාගේ ගතද උණුසුම් වූ අතර ශීතලද නැතිවී ගියේය.
ඉන් පසුව මා ඉදිරියේ වූයේ මහා ලෝකාන්තයයි.මා හුදකලාවී ඇතැයි යන අදහස,යම් සිදුවීමක් නිසා එවේලෙහි බිඳ වැටිණ.ලෝකාන්තය අසල වූ කොන්ක්‍රීට් තීරු වලින් සැදි පීටිකාව මත කිහිපදෙනෙක් සිටියහ.එහි වූ සියල්ලෝම ගැහැණු පිරිමි යුගල වශයෙන් සිටි තරුණ වයසෙහි පසුවූවෝ වූහ.

වඩාතම පුදුම සහගත දෙය වූයේ සෑම දෙනෙකුගෙම අතේ විකසිත නොවූ රතු රෝසමලක් බැගින් තිබීමයි.මා වික්ෂිප්ත කළ අසාමාන්‍ය දෙය වූයේ,මේ කිසිවක් නොව,පහළ ප්‍රපාතය දෙස ඇසිපිය නොහෙලා බලාසිටි ඔවුන් තුළ පැවති ගුප්ත නිහඬතාවයයි.

එහි යුගල හයක් වූහ.මම කෙමෙන් ඔවුන් සිටි වේදිකාවට ගොඩවීමි මම මිනිත්තු පහක් පමණ බලා සිටින්නට ඇත.එහෙත් මාගේ ආගමනයෙන් හෝ බලා හිඳීමෙන් ඔවුන් තුළ වෙනසක් ඇති නොවූ සෙයකි.හඬ නංවමින් හමාගිය සුළං ප්‍රවාහයද ගුප්ත මොහොතේ ගුප්තභාවය වැඩිකරන්නට හේතු විය.
මම ඔවුන්ගෙන් එකෙකු වෙත කිට්ටුවීමි.
"මහත්මයා................තව ටික වේලාවකින් මේ තැන්න ගොඩක් සීතල වෙනවා.අනිත් එක හයට කලින් තැන්නෙන් පිටවෙන්න නියමකරලත් තියනවා.ඉතිං අපි යමු නේද?"
මම සෙමින් යෝජනා කළෙමි.

නිමේශයකින් ඔව්හු සියළු දෙනාම මා වෙත බැලුම් හෙලීය.මගේ සිරුර හරහා තියුණු කිණිසි දොළහක් යන්නක් මෙන් මට දැනිණ.මම මහත් අපහසුතාවකට පත්වීමි.
එහෙත් අපහසුතාව මැඩගෙන
"මම කිව්වේ ඇත්ත.අපි ඉක්මනට ගියේ නැත්තම් සීතලේ මැරෙන්න වේවි.මට පුළුවන් ඔයාලව කෙටි පාරකින් අරගෙන යන්න.එන්න යමු " එකෙකුගේ අතින් අදිමින් පැවසීමි.මට එක්වරම මහා අමුත්තක් දැනිණ.මා ඇල්ලූ හස්තය අයිස් මෙන් සීතල විය.මම ඔහුගේ ඇඟිලි ග්‍රහනය කරගත්තා සේම ඔහුද මගේ ඇඟිලි ඉතා තදින් ග්‍රහනය කරගෙන සිටියේය.මට එම ග්‍රහනයෙන් නිදහස් වීමට නොහැකි විය.
"ඔයාලා ඇත්තටම කවුද?"
මම තරමක නොසන්සුන්තාවයකින් විමසීමි.

"අපි........................................."
"අපි කවුරු කියලද හිතන්නේ?"
එහි සිටි අයෙක් මගෙන් විමසූහ.
"ඇත්තටම මම දන්නේ නෑ.ඇයි ඔයාලා මෙහෙ ඇවිදින්න ආපු අය නෙමෙයිද?"මම ද විමසීමි.
"නෑ..............අපි හැමෝම මෙහෙ අවේ මරණය මත ඇවිදින්න."
තවත් එකෙක් කොක් හඬලා සිනහවෙමින් පැවසීය.
"මට තේරුණේ නෑ"
මම කීවෙමි.
"ඔබට තේරුම් ගන්න පුළුවන්.අපි හැමෝම ලෝකාන්තයෙන් පහලට පැනලා දිවිනසා ගත් පෙම්වතුන්.අපි ආරාධනා කරනවා ඔබටත් අපහා එක්වන ලෙස."
එසේ පැවසූ ඔවුහු මා වෙත පැමිණ තරයේ මා අල්ලා ඔවුන් අතවූ රෝසමල් මා දෑතේ සිර කළහ.
මගේ හෘදය උරස් කුහරයෙන් පිටතට පනින තරම් වේගයෙන් ගැහෙන්නට විය.සීතලේ වුවද නළලට දහදිය දමනට විය.
ඔවුහු මා ප්‍රපාතය දෙසට ඇදගෙන යන්නට විය.සිදුවන්නට යන දෙය මට ඉවෙන් මෙන් වැටහිණි.තවත් මොහොතකින් මට අත්වන ඉරණම මට මැවී පෙනෙන්නට විය.කළයුත්තක් සිතාගත නොහැකි විය.උණු කඳුළු වැල් මගේ සීතල කම්මුල් උණුසුම් කළේය.ක්‍රියාතමක වියයුතු වෙලාව එළඹිණි.මම ගෙලෙහි එල්ල තිබූ සුරය ගලවා ඉහළට එසවීමි.සීතල හස්තයන්ගේ ග්‍රහනයෙන් කෙමෙන් මා මිදෙනු මට දැනිණ.ප්‍රපාතය අභිමුඛයේ මා අතහැරිය පිරිස දෙදෙනා බැගින් ප්‍රපාතයට පනිනු මට දැකගත හැකිවිය.අවසන් තරුණයා හා තරුණිය මා දෙස රුදු බැල්මක් හෙලා ප්‍රපාතයට පනිනු මම දුටිමි.ඔවුන්ගේ ඇඳුම් සුළඟේ ලෙලෙනු ද ඇසිල්ලකින් ගුප්ත මීදුම තුළ අතුරුදහන් වන අයුරුද මට මතකය.මම ද පීටිකාව මත්තෙහි ඇද වැටුණෙමි.මම සිහි එළවා ගත නොහැකිව මදක් සිටින්නට ඇත.අපහසුවෙන් දෙපයින් නැගිට ගත් මම සියක්වරක් වැටෙමින් නැගිටිමින් අඩවි කාර්යාලය දෙසට දිවගියෙමි.ඝන අඳුරේම බේකර්ස් ඇල්ල ද පසු කළා මතකය.

කාර්යාලයේ දොරටුව අබියස ඇද වැටුණු මට වහා තේ කෝප්පයක් ලැබිණ.කාර්යාලයේ සිටියවුන් මගේ කතාව විශ්වාස නොකළ සෙයකි.කෙසේ හෝ රාත්‍රියේ මම මගේ නවාතැනට ඔවුන් විසින් ඇරලවන ලද්දෙමි.කැඩපත ඉදිරියට ගිය මට මගේ අවුල් වූ ඇඳුම්ද මඩවලින් වැසුණු සපත්තු යුගලද එක් කාචයක් බිඳී ගිය උපැස් යුවලද දක්නට ලැබිණ.ඊටත් වඩා මගේ අතෙහි සිරවූ රෝසමල් දක්නට ලැබීමෙන් මා සිහිනයක් නොදුටු බව ප්‍රත්‍යක්ෂ කර ගත හැකි විය.මා අතෙහි රෝසමල් දහතුනක් විය.ඉන් දොළහක් මැලවී තිබුණි.එක්මලක් මැලනොවී තිබිණ.එහි සිටියේ දොළොස් දෙනෙකි.එසේනම් මැලනොවුණු මල ඔවුන් මට දුන් ත්‍යාගයද?
පසු දිනම මම තැන්න ආශ්‍රිතව කරමින් සිටි සෑම පර්යේෂණයක්ම නවතා කොළඹ ආවෙමි.

Monday, June 7, 2010

ගුප්තා.





ඔහු බැං කු කළමනාකරුවෙකි.ඈ වෛද්‍යවරියකි.ඇතැම්විට ඈට තම රෝහලේ රාත්‍රි සේවා මුරය සිදුකිරීමට ද සිදුවිය.අසරණ රෝගීන් පිළිබ්ඳව ඈ නොමද උනන්දුවක් දැක්වූවාය.බැංකු නිළධාරී ස්වාමි පුරුෂයාද ඇගේ රැකියාවේ බැරෑරුම් බව මනාව වටහා ගත්තෙකි.
එදින එම අඳුරු රාත්‍රිය වෛද්‍යවරියටනම් කිසිදා අමතක නොවනු ඇත. එදින ඇගේ වැඩමුරය සවස්කාලයේ දී අවසන් වුවත් රාත්‍රි වැඩමුරය සඳහා ඊළඟ වෛද්‍යවරයා පැමිණෙනතෙක් ඈට රෝහල තුළ තම වාට්ටුවේ රැඳෙන්නට සිදුවිය.එම වාට්ටුවේ තවත් හෙදියෝ තිදෙනෙක් සේවයේ යෙදී සිටියහ.
මධ්‍යම රාත්‍රියට ආසන්නව අදාළ වෛද්‍යවරයා පැමිණියේය.වෛද්‍යවරිය තම සේවය අවසන් කොට පිටව යාමට සූදානම් වූවාය.ඈ තම ස්වාමියාට දුරකථන ඇමතුමක් දුන්නේ තමා රැගෙන යාම පිණිස පැමිණෙන ලෙසයි. "හලෝ....ආ.....ඔයාට පුළුවන්ද වාහනේ අරගෙන එන්න.මට දැන් තමයි ඕෆ් වුණේ.ඉක්මනට එන්න හොඳේ."
"ඕකේ...මම එන්නම්"
ඈ අනතුරුව දුරකථනය විසන්ධි කළාය.තමා සිතුවාට වඩා වේලාවක් ගතවූ බව වෛද්‍යවරියට දැනිණ.ඇය අත රැඳි ඔරලෝසුව දෙස නොඉවසිලිමත්ව බැලුවේ එහෙයිනි.නේවාසික රෝගියෙකුගේ කෙඳිරි ගෑම් හඬක් නොවන්නට මුළු රෝහලම මරණීය නිශ්ශබ්දතාවයකින් වෙලෙන්නට ඉඩ තිබිණි.
තරුණ හෙදියක් වෛද්‍යවරිය අසළට ආවේ මේ අවස්ථාවේදීය.
"ඩොක්ට..මහත්තයා තවම ආවේ නෑ නේද?"
ඈ සෙමින් ඇසුවාය.
"නෑ සන්ධ්‍යා....මොකද දන්නේ නෑ.මම කිව්වා කාර් පාක් එකේ වාහනය නවත්තලා වෝඩ් එකට එන්න කියලා."
වෛද්‍යවරියද පැවසුවාය.
"ඩොක්ට"
"ඇයි?"
හෙදියගේ සිහින් කටහඬෙහි වෙනදා නොවූ අමුත්තක් දැනුණ හෙයින් වෛද්‍යවරියද ඈ දෙස බලමින් විමසුවාය.
"මට කියන්න අමතක වුණානේ ඩොක්ට...........මම ඩියුටි එද්දි හොස්පිටල් එක ඇතුළේ කොරිඩෝවේ පැත්තක ට්‍රොලියක මිනියක් දාල තිබුණා.මහත්තයා ඕක එක පාරටම දැක්කොත් ටිකක්.......................පුරුදුත් නැනේ "
හෙදිය කතාව අතරමග නතර කළාය.
"එහෙමද?එහෙනම් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමුකෝ..."
තම සැමියා බියගුල්ලෙකු බව නොදනිතත් ඈ තම බෑගය උරයක ලා ගනිමින් හෙදිය සමග වාට්ටුවෙන් පිට වූවාය.
"ඒ මනුස්සයා මැරිලා තියෙන්නේ වාහනයකට යටවෙලාලු. XXXX බැංකුවට ජීව්ත් වෙන ගෙදර සින්න වුණා කියලා බැංකුවේ මැනේජර් එක්ක රණ්ඩුවෙලා ආපහු එද්දි තමයි මේක වෙලා තියෙන්නේ.හරී පව් ඩොක්ට "
තමා සමග ඇවිද ආ හෙදිය කී දේ ඇසූ වෛද්‍යවරිය හුන් තැනම නතර වූවාය.
"මොනවා....XXXX බැංකුවේ මැනේජර් මගේ මහත්තයනේ"
මීළඟට ඈ හෙදිය පසුකරමින් වේගයෙන් ඉදිරියට ඇවිද යන්නට වූවාය.දෙදෙන අඩ අඳුරු කොරිඩෝවට පිවිසුණහ.
කොරිඩෝව දෙපස රෝහල් කාමරවල කිසිවෙකුත් නැත.එහි ඈත කෙළවර සුදු රෙද්දකින් වැසූ මෘත දේහය ට්‍රොලියක බහා තිබුණි.සිවිලිමේ සවිකර තිබූ පහනේ දුබල එළිය වුවද ,එය මත වැටී සුදු රෙද්දෙන් ඉලිප්පී තිබුණු නැහැය හා නිකට මනාවට පෙනුණේය.
හෙදිය හා වෛද්‍යවරිය කොරිඩෝව දිගේ ඉදිරියට ඇදුණෝය.ඔවුන්ගේ පාවහන් හඬ කොරිඩෝව පුරා දෝංකාර දුන්නේය.
දෙදෙන මෘත ශරීරය අසළට පැමිණ නතර වූහ.
වෛද්‍යවරිය තම බෑගය තුළින් ජංගම දුරකථනය පිටතට ගත්තේ තම ස්වාමියාට ඇමතුමක් ලබා දෙන අටියෙනි.
අදාළ අංකයට ඇමතුම සම්බන්ධකර ඈ දුරකථනය සවනෙහි තබා ගත්තාය.මොහොතකින් ඇයට ඇසෙන්නට වූයේ තම ස්වාමියාගේ ජංගම දුරකථනයේ හුරුපුරුදු නාදයයි.නමුදු එය වඩා හොඳින් ඇසුණේ දුරකථනය තුළින් නොව,තමාට ඉදිරියෙනි.
"ටීක් ටීක්"නාදය කොරිඩෝව පුරා රැවු පිළිරැවු දෙන්නට විය.
වෛද්‍යවරිය තම දුරකථනය කනෙන් ඉවතට ගත්තාය.ඇගේ මුව බාගෙට විවර විය.ඈ හෙදිය දෙසටද බැල්මක් හෙලුවාය.හෙදියගේ මුවද බාගෙට විවරව මුහුණ සුදුමැලි වී තිබිණ.
හේතුව ,ඒම දුරකථන නාදය ඇසෙන්නට වූයේ තමන් අභිමුඛයේ වූ මෘත දේහය වසා තිබූ සුදු රෙද්ද යටිනි.වෛද්‍යවරිය ඉදිරියට පියනගා තම වෙව්ලන අතින් සුදු රෙද්ද මෑත් කළාය.ඊළඟ මොහොතේ ඈ අඩ අඳුරු පාළු මූසල කොරිඩෝවේ සිහි විසඥව ඇද වැටුණාය.

Wednesday, June 2, 2010

බංගලාව



ප්‍රති විරුද්ධ දෙසට පාළුව මුසුවූ,මූසල සුළඟක් ඇදී ගියේය.ආනෝල්ඩ් හට නොකඩවා ඇසෙනුයේ අශ්වයන්ගේ කුර ගැටෙන හඬය.අශ්ව කරත්තය ද ඇදී ගියේ මන්දගාමීවය.දසත පැතිරී තිබුණේ අඳුරකි.දිවයිනේ අනෙකුත් පෙදෙස්වලට මෙන් නොව ,මෙම කඳුකරයට කලින් හිරු බැස යන බව ආනෝල්ඩ් දැනසිටියේ නැත.හෙතෙම අශ්වකරත්තය පදවමින් සිටි රියදුරාගෙන් මේ පිළිබඳව විමසීය.
"ඇත්තටම මොකද අද මේ කලින්ම ඉර බැහැගෙන යන්නේ?"
"මෙහාට එහෙම තමයි මහත්තයා.කලින්ම කළුවර වෙනවා.කඳුකරයනේ........"
රියදුරාද පැවසීය.
දැන් දැන් කරත්තය ඇදී යනුයේ ඉතා පටු ලෙසිනෑතට දිවෙන මගකය.ගැස්සෙමින් පැද්දෙමින් යන මේ ගමන්වලට ආනෝල්ඩ් හුරු පුරුදු අයෙක් නොවීය.මක්නිසාද යත් පරිපාලන නිළධාරියෙකු ලෙස තම පත්වීම ලැබ වැඩ බාර ගැනීම පිණිස යන මුල්ම ගමන මෙය වූ බැවිනි.තමාට දැන් පාලනය කිරීමට සිදුව ඇති පෙදෙසේ ක්ලින් පාලකයාව සිටි නිළධාරියා අස්වාභාවික ලෙස මරණයට පත්ව තිබූ හෙයින් එම පුරප්පාඩුව පිරවීමට තෝරාගනු ලැබුවේ ආනෝල්ඩ්ය.
දිගු ගමනකින් ඉක්බිති කර්‍අත්තය ඉතා පැරණි බංගලාවක් ඉදිරිපිට නවත්වනු ලැබීය.ආනෝල්ඩ් තම ගමන් මළු ඔසවාගෙන බංගලාවට පිළිපන්නේය.දොර හැර තිබූවද බංගලාව තුළ වූයේ දැඩි අඳුරකි.හදිසියේම අඳුර දෙබෑ කරගෙන කෙසඟ මිනිසෙක් එළියට පැමිණියේය.
"මහත්තයා වෙන්නැති මේ පැත්තට පත්වෙලා ආව අලුත් දිසාපතිතුමා"
හේ දෙකට තුනට නැමෙමින් විමසීය.
"ඔව්......මං තමයි"
ආනෝල්ඩ්ද පැවසීය.
"එහෙනං පොද්දක් හිටින්න මහත්තයා..මම එළියක් අරන් එන්නම්"
සේවකයා නැවත බංගලාව තුලට වැදුණේය.අශ්වකරත්තයද පිටව යන හඬ ඇසිණි.ආනෝල්ඩ් පාළු,මූසල ගරාවැටුණු බංගලාව දෙස් වරක් නෙත යොමා බැලීය.
තවත් මිනිත්තු කිහිපයකින් කෙසඟ සිරුරැති සේවකයා ලන්තෑරුමක් රැගෙන පැමිණ නිළධාරියාගේ එක් ගමන් මල්ලක් ඔසවා ගත්තේය.
ආනෝල්ඩ් තම ඉතිරි ගමන් මල්ලද රැගෙන සේවකයා පසු පස්සෙහි වැටුණේය.හෙතෙම සේවකයා පිටිපසින් ගොස් තරප්පු පෙළක් නැග ඉහළ මාලයට පිවිසියේය.
"මෙන්න මෙතනයි මහත්තයාගේ කාමරය"
සේවකයා ඉණෙහි වූ යතුරු කැරැල්ලක් ගෙන ,අභිමුඛයෙහි වූ ද්වාරයේ යතුර සොයමින් පැවසීය.

"ඉස්සල්ලා හිටිය දිසාපතියුමා හිටියෙත් මේ කාමරේමයි;අනේ!හරි හොඳ මහත්තයා"
ඔහු දොර විවෘත කරමින් නැවත පැවසීය.
"ඒ කිව්වේ අර.................මැරුණු දිසාපති මහත්තයද?"
ආනෝල්ඩ් බියපත් සැකයකින් යුතුව විමසීය.
"ඔව් නෙව.ඒ මහත්තයා ඔය බංගලාව ඉස්සරහ තියන ප්‍රපාතයට ඇදවැටිලා මැරුණනේ......"
ආනෝල්ඩ් තම සාක්කුවෙන් ලේන්සුවගෙන මුහුණෙහි වූ දා බිඳු පිසදා ගත්තේය.
"ඇයි මහත්තයා රස්නෙයිද?අද නම් වහින්න වගේ"
සේවකයා ගණනකට නොගෙන පැවසීය.
"ඇත්තටම ඉස්සල්ල හිටපු දිසාපති තුමා මැරුණේ කොහොමද?"
තමා එයට අදාළ සිද්ධිය දනිතත්,ආනෝල්ඩ් යළිත් එය සේවකයාගෙන් විමසීය.

"හරියටම කියන්න දන්නෙ නෑ.....දවසක් මහ රෑ කෑ ගැහීමක් ඇහිලා මම දුවගෙන එනකොට ඒ මහත්තයා ප්‍රපාතයට වැටිලා මැරිලා හිටියා."
"කවුරුත් තල්ලු කළා වෙන්න බැරිද?"
"නෑ මහත්තයා.............එතන තිබුණේ ඒ මහත්තයාගේ අඩි සලකුණු විතරමයි."
සේවකය ආනෝල්ඩ් නැවත ඇසූ පැනයට පිළිතුරු දුන්නේය.
"හැබැයි මහත්තයා...මේ බංගලාව හදපු හාමු,ඒ කාලේ කාටවත් මේ පැත්තටවත් එන්න දෙන්නේ නෑලූ.ඒ හාමු මැරුණට පස්සේ මේ බංගලාවේ හොල්මන් කරනවා කීප දෙනෙක්ම දැකලා තියනවා.මහත්තයත් රෑ වුණාම කාමරේටම වෙලා ඉන්න."
සේවකයා රහසක් කියන්නාක් මෙන් ආනෝල්ඩ්ට පැවසීය.මෙහි නොපැමිණියේනම් වඩා හොඳ යැයි ආනෝල්ඩ්ට සිතිණ.

සේවකයා කාමරයෙන් පිටව ගියේය.ආනෝල්ඩ් ඇඳුම් මාරු කර ටික වෙලාවකින් බංගලාව තුළ ඇවිදීමට ගියේය.එහි පැරණි විසිත්ත කාමරයේ විශාල ඡායා රූපයක් විය.එහි හුන් තැනැත්තා එම බංගලාවේ නිර්මාතෘයැයි සඳහන්ව තිබිණ.ඔහු දැඩි කෝපයෙන් ,රෞද්‍ර මුහුණ තමා දෙසට හරවාගෙන සිටින්නේයැයි ආනෝල්ඩ්ට දැණින. රාත්‍රී ආහාරය ගෙන තම කාමරයට ගිය ආනෝල්ඩ් ඇඳට වැතී නිදාගන්නට වූයේය.වර්ෂාවද ඇද හැලෙන්නට විය.

මධ්‍යම රාත්‍රියේ ආනෝල්ඩ් තිගැස්සී අවදිවූයේ අස්වාභාවික හඬක් තම සවනත වැටීමෙනි.එක්වරම බරට අඩි තබමින් සොල්දරය මත ඇවිදින හඬක් ඇසෙන්නට විය.එහෙත් ඒ කෙසඟ සිරුරැති සේවකයා නොවන බැව් ඔහුට තීරණය කළ හැකි විය.ටික වෙලාවකින් ශබ්දය නැවතුණු හෙයින් කුතුහලයෙන් යුතුව ආනෝල්ඩ් සයනයෙන් නැගිටුණේය.

තද වර්ෂාවෙහි වුවත් ගත දහදියෙන් තෙමී ඇති බැවු ඔහුට ද ප්‍රත්‍යක්ෂ විය.අසාමාන්‍ය අයුරින් වටපිට බැලූ ඔහුගෙ නෙතට හසුවූයේ තම කාමරයෙන් එපිට බිමේ සිටි මිනිස් රුවකි.
ජනේලය අසලට ගිය ආනෝල්ඩ් වඩා හොඳින් එදෙස බැලීය.වර්ෂාව මැදින් කෙටූ අකුණකින් විහිදී ගිය ආලෝකයෙන් ධාරාව හේතුවෙන් ධාරානිපාතයේ තමාට පිටුපා සිටින පුද්ගලයා ආනෝල්ඩ් හට පැහිදිලිව පෙණින.සිතට දිරිගත් ඔහු විපරම් කිරීමේ අටියෙන් කාමරයේ දොර හැරගෙන අඳුරේම බන්ගලාව මැදින් ගොස් ගෙවත්තට ඇතුළුවිය. වැස්සේම තෙමෙමින් ආනෝල්ඩ් අඳුරු රුව දෙසට කෙමෙන් කෙමෙන් පියමැන්නේය.එක් වරම තවත් අකුණක් කෙටීමෙන් දසත ආලෝකමත් විය;අඳුරු රුවද මුළුමනින්ම ආනෝල්ඩ්ගේ නෙත ගැටුණි.ඒ ....තමා මීට පැය කිහිපයකට පෙර ඡායාරූපයකින් දුටු බංගලාවෙහි නිර්මාතෘ නොවේදැයි ආනෝල්ඩ්ට සිතිණ.
එවේලෙහි ආනෝල්ඩ් හට සිහි වූයේ සේවකයා කියූ වදන්ය.
නැවත දාස් පිසදා දිය ගසාදමා බැලූ කල ඔහුට එම රුව නොපෙණින.ඔහු කෙමෙන් ඒ රුව තිබූ ස්ථානයට පැමිණියේය.පසෙකින්වූයේ ගැඹුරු ප්‍රපාතයයි.

හදිසියේම පිටුපසින් ,අකුණකටත් වඩා රුදු වූ කොක් හඳලා සිනාසෙන හඬක් ඇසීමෙන් ආනෝල්ඩ්ගේ දෙපා අප්‍රාණික විය.ඔහු බංගලාව දෙසට හැරී දුවන්නට සැරසුණේය.නමුත් මග අහුරා සිටියේ බංගලාවේ අවතාරයයි.අවතාරය ඔහු දෙසට එන්නට විය.
ආනෝල්ඩ් පියවරෙන් පියවර ප්‍රපාත ගැට්ට අසලටම පැමිණියේය.කළහැකි යමක් ඔහු වෙත නොවීය. තමා ඉදිරියට පනින රුව ඔහු දිටීය.ඒ සමගම දැඩි හස්තයකින් තම ගෙල සිර කරනු ඔහුට දැනිණ.පසුව ළය පෙදෙසට එල්ලවූ පහරකින් හේ ප්‍රපාතයට පෙරළිණි.

පසුදා උදෑසන නව පරිපාලන නිළධාරී ආනෝල්ඩ්ගේ ශරීරය සොයාගන්නා විට ඔහුගේ ගෙලෙහි හා ළයෙහි වූ ඇඟිලි සලකුණු දැක කවුරුත් විස්මයට පත්වූහ.