Monday, May 31, 2010

භයානක නවකථාව


(අදත් මම දෙන්න යන්නේ ඇත්තම ඇත්ත කථාවක්.මේක එංගලන්තෙ වෙලා තියෙන්නේ.)


සුප්‍රකට නවකථාකරු ජේසන් තම නවතම නවකථාව ලිවීමට තමමේසය අසල ඇති පුටුවෙහි හිඳ ගත්තේය.පෑනෙහි අග මදක් සපමින් ඔහු කල්පනා කළේ එය අරඹන ආකාරයයි.

ඔහු තුළ පවත්නා වස්තුබීජය හොඳ නවකථාවක විලසින් එළියට පැනීමට කැකෑරෙමින් තිබුණේය.උදක්ම ඔහු වඩා පතලව සිටියේ අති භයානක නවකථා රචකයෙකු ලෙසයි.එනම් මුළු දකුණු එංගලන්තය පමණක් නොවමුළු යුරෝපයේම ඔහුගේ, ඇඟ ලොමු දැහැ ගන්වන 'හොල්මන් කථා' කියවන්නන් අතරේ ජනප්‍රිය වී තිබුණි.අතිශයෝක්ති වර්ණනාවක් නොව,ඉතා දැඩි නිර්භීත මිනිසෙකු වුවද,ඔහුගේ නවකථා කියවා එහි ඇතිදේ නිසා ගුඩ හැඟීම් උපදවාගෙන බියට පැමිණේ.ජේසන් ගේ නවකථා එතරම් අද්භූතය,අභිරහස්ය,භයානකය.

ඔහුගේ නවතම නවකථාව වූ කලී අන් සියල්ලම යටපත් කිරීමට සමත් එකකැයි ඔහුට හැඟුණි.මක්නිසාදයත් එය එතරම්ම බියකරු වස්තුබීජයකින් තැනුණු හෙයිනි.ඔහු දින කිහිපයක් තුළදී තම නවකථාව ලියා අවසන් කළේය.එහි වූයේ ලේඛකයෙකු අතිශය භයංකර අද්භූත ආත්මයකට විරුද්ධව සටන් කරන අයුරුය.කථානායකයා වන්නේ එම බියකරු ආත්මයයි.
ජේසන්තම කථාව හමාර කර අවසන් තිතද තැබුවේය.රාත්‍රියද උදාවී තිබිණ.ඔහු නිවසින් පිටවූයේ අවන්හල වෙත යාමේ අටියෙනි.රාත්‍රී අහාරය අවන්හලෙන් ගෙන නැවත නිවස වෙත ඒමට ගමන් අරඹන විට වෙලාව මධ්‍යම රාත්‍රියටද ආසන්නය.
දසත පැවතියේ ඝන අන්ධකාරයකි.අහසෙහි එක්දු තාරකාවක් නැත.සඳද වළාකුලකට ආවරණය වී ඇත.තමා යායුතු දුරෙහි මදක් තැන් පැමිණි පසු ටිකෙන් ටික වැහි බිඳු ද වැටෙන්නට වියජේසන් තම කුඩය වහා ඉහළා ගත්තේය.වර්ෂාවධාරානිපාත වර්ෂාවක් බවට පරිවර්තනයවූයේ ඇසිල්ලකිනි.තවත් මද දුරක් ගමන් ගන්නා විට දැඩි අන්ධකාරය දෙබෑ කරමින් ද,හෙණහඬ නංවමින්ද අකුණක් කෙටුවේය.ඉදිරියට පියනගන ජේසන්ට මාර්ගයේතමට පිටුපා යමෙක් සිටගෙන සිටින බව පෙණින.දණහිස දක්වා වැටෙන කළු පැහැ කබායකින්ද උස්වූ තොප්පියකින්ද සැරසී සිටි ඔහු සිටගෙන සිටියේ මාර්ගයේ හරි මැදින්ය.
මේ වනවිට දෙපසවූ ඕක් ගස් මඩුලුවලින් වැසීගිය මෙමගෙහි වෙනත් කිසිවෙකුත් දක්නට නොවීය.ජේසන් මෙමෙ භයානක රැයෙහි ඉදිරියට යාමට මදක් පැකිළෙමින් නැවතුණේය.එකෙණෙහිම විශාල සුළඟක් හැමීය.තම අත තිබූ කුඩයද සුළඟට හසුවී ගසාගෙන යනු ජේසන්ට නොදැණින.වැහි බිඳු එක දෙක ඔහුගේ හිස මතට පතිත වන්නට විය.
එකෙණෙහිම ඉදිරි මගෙහි වුන් මිනිසා ජේසන් දෙසට හැරී හිස ඔසවා බැලීය.අඩ අඳුරේ මේ කිසිත් ඔහුට නොපෙණින.තවත් මොහොතකින් කෙටූ අකුණක එළියෙන් ඉදිරියේ වුන් පුද්ගලයා මුලුමනින්ම ජේසන්ගේ නෙතට හසුවිය.


ලේඛකයාගේ ශරීරය වෙව්ලන්නට විය.හේතුව එහි සිටියේ තමා පැය කිහිපයකට පෙර ලියා අවසන් කළ නවකථාවේ අද්භූත කථානායකයා වූ තියඩෝරියන්ය.
ඔහුට ඇදහීමට පවා අපහසු විය.ඒ තම සුරතින් මැවුණු භයානක චරිතය තමා අභිමුඛයේ වූ බැවිනි.මොහු අප්‍රාණ ප්‍රාණියෙකි;තම දිගු නියවලින් ගෙලට ඇන ,සිදුරුකොට තම රුධිර මනදොල සපුරා ගත්තෙකි.
ජේසන් හට තවත් සිතීමට වෙලාවක් නොලැබිණි.බූට් සපත්තු ශබ්දවන හඬ ඇසෙන්නට විය. අද්භූතාත්මය ඉදිරියට පැමිණියේය.ජේසන් අසලටම පැමිණ නතර විය.
"ඔහේ ක.....ක..වුද?"
ජේසන් පැකිලෙමින් ඇසුවේය.
"මම නුඹේ අතින් නිමවුණු භයානක ඝාතකයා"
බියකරු රුව පිළිතුරු දුන්නේය.
"ඇයි ඉතිං...නුඹ මා.....මාව හොයාගෙන ආවේ?"
ජේසන් නැවතත් විමසීය.
"මගේ මනුෂ්‍ය ඝාතනය නුඹෙන්ම අරඹන්න."
අඳුරු රුව පිළිතුරු දුන්නේය.ක්ෂණයෙන් ජේසන්ගේ ගෙල පසාකරගෙන තියුණු නියපොත්තක් ගමන් කළේය.ඔහු සිටගෙන හිටියේ තත්පර දෙක තුනක් පමණි.
විශ්වකීර්තිමත් භයානක නවකථාකරු ජේසන් ඇන්ඩ්‍රස් පාළු මගෙහි ඇදවැටුණි.

4 comments: