Sunday, May 30, 2010

කළණ මිතුරා.


(හැමෝම කියනවා මේකේ පොඩි ගතියක් එන්නනම් ලියන බාසාවෙන්ම ලියන්න කියලා.ඒක නිසා මම අද ලියන බාසාවෙන්ම ලියනවා.මේ අත්දැකීම විඳපු කෙනා කියන විදියටම තමයි අදත් ඉදිරිපත් කරන්නේ)

වැටුණේ අකල් වැස්සකි.ගුරු පාරද සේදී ගොස් ඇතැම් තැනක වල ගොඩැලිද සෑදී ඇත.වට වර්ෂාවෙන් මාගේ ගමන ප්‍රමාද වුවද ඉනික්බිති ඇතිවන සිසිලස හේතුකොටගෙන සිතද පිරී ගොසිනි.
එහෙත් යළිත් වරක් වැස්සක ලකුණු පෙනෙන්නේය.මා මදකට කරෙහි වූ ගෝනිය බිමින් තැබුයේ සරම කැහැපට ගසා ගැනීමටය.එවිට ප්‍රමාදයක් ඇති නොවී පහසුවෙන් ගමන් කළ හැකිය.මම පය ඉක්මන් කොට කෙසේ හෝ නිවසට සේන්දුවෙන අටියෙන් ගමන් ඇරඹී.මිඑක්වරම කඩතිරයක් මෙන් වූ අහස පලාගෙන ඊ ගසක වේගය පහළට හෙළමින් කෙටී අකුණකින් දසත ආලෝකමත් විය.පොද වැස්සක් ඇද හැලුණු අතර මා සියොළඟම තෙමෙන්නට විය.මේ වනවිට මා පැමිණ සිටියේ ගලබඩ කනත්ත අස්ලටය.වෙන කිසිත් කළ නොහැකි වූ නිසාත් යකාටවත් බයනැති මිනිසෙක් වූ නිසාත් මම එහි දිරාගිය ගේට්ටුව අතරින් ඊට ඇතුල් වුණෙමි.යාර දහයක් දොළහක් ඔබ්බෙන් වූයේ එහි මුර කුටියයි.මෙම කනත්ත වූ කලී අති විශාල ඉඩමක් පුරා පවතින්නකි.අසළ ගම් ගණනාවක මෘත ශරීර ගෙනවුත් දමනුයේ මෙහිය.එසේම මෙය කාගේත් කතාබහට ලක්වූ ස්ථානයක්ද විය.මෙම ගලබඩ කනත්ත අසලින් ගමන් ගත් කිහිප දෙනෙකුට යමෙකු විසින් අදෘශ්‍යමාන ලෙසපහරදුන් කාල වකවානුවේ අප ගමෙහි ප්‍රධාන කතා මතෘකාව වූයේ එයයි.ඊට පසුබිමි වූයේ එය මධ්‍යම රාත්‍රියේ සිදුවූ බැවිනි.අති පුරාණ කාලයේ සොහොන් කොත් පවා මෙහි දක්නට ඇතැයි මම අසා ඇත්තෙමි.එහෙත් කුඩා කාල්යේදී මේ කිසිවක් පිලිබඳ සැලකිලිමත් වී ගුඩ හැඟීම් උපද්දවා ගැනීමට මම නොවෙහෙසුණෙමි.

මුර කුටියක් තිබුණද සොහොන් පල්ලෙකුනම් කිසිවිටක දක්නට නොලැබිණි.මෙමෙ මුර කුටියට ඇතුළු වූ මම කරෙහි ගෝනිය බිම තබාඑහි වූ මිටි සිමෙන්ති බංකුවෙහි හිඳ කර ලේන්සුවෙන් හිස පිසදමන්නට වීමි.
දසත ආලෝක කරමින් යළිත් වරක් අකුණක් කෙටීය.අඳුරුව තිබූ පරිසරය එයින් මට නිමේශයකින් පෙනී නොපෙනී ගියේය.මුර කුටියට මදක් ඔබ්බෙන් අලුත වළ දැමූ මෘත ශරීරයකට උපහාර දක්වන්නට ගෙන ආ මල්වඩම් කිහිපයකි.ටිකෙන් ටික වර්ශාව තදවීගෙන ආවේය.පාරෙහි මිනිසෙකු තබා කිසිදු සතෙකු නැත්තේය.බර කරත්තයක් පැමිණෙන තුරු මුර කුටියේ රැඳෙන්නට මම ඉටා ගත්තෙමි.එසේ වුවද කරත්තයක් පැමිණියාත් මා ඊට නගාගෙන යාමට කරත්තකරුවන් අකමැතිවේයැයි මගේ සිතේ කුකුසක් විය.මක්නිසාදයත් කරත්තකරුවන් සොහොන්පොළ අසලින් කිසිවෙකු රැගෙන යන්නට අකමැති බැවිනි.


තවත් ස්වල්ප වේලාවක් පාර දෙස බලාසිටින මට කනත්තේ ගේට්ටු පළු 'කීස්'ගා ඇරෙන වැහෙන හැටි ඇසිණි.මම මදක් විමසිලිමත්වීමි.කිසිවෙක් මා රැඳී සිටි මුරකුටිය දෙසට දිවෑනු පෙණින.එසේ පැමිණි පුද්ගලයා හිස ගස්සා වතුර ඉවතට වීසි කළේය.ඔහු මා දුටුවේ ඉන්පසුයැයි මට සිතිණ.එවිටම ඔහුගේ මුහුණ ආලෝකමත් විය.මටද හෙතෙම හඳුනාගත හැකි විය.ඒ මා පාසලෙන් ඉවත්වන කාලේ මට සිටි හොඳම මිතුරා පියදාසය.
"අනේ......! ටිකිරා උඹ කොහෙද මෙහේ?"
ඔහු තූෂ්නිම්භූතව මා වෙතින් විමසීය.
"මං මේ කොළඹ රස්සාව කරලා සල්ලි තිකක් එකතු කරගෙන ගමට එන ගමන්.මේ අනෝරා වැස්සක් වැටුනණේ."
මා කෙරේ ඔහු පිළිබඳව අවිශ්වාසයක් නොතිබූහෙයින් මම නොපැකිලව පිළිතුරු දුන්නෙමි.
"හොඳටම තෙමිලනේ.මේං පිහදා ගනින්"ඔහු මා දුන් ලේන්සුව සිනහාවෙමින් පිළිගත්තේය.හේ වෙනස්වෙලාය.ඇදිලා ගොසින්ය.විස්තර කළ නොහැකි අස්වාභාවික බවක්ද ඔහු කෙරෙන් විද්‍යාමාන විය.ඔහු මට පිටිපා හිස පිහින්නට විය.එකෙණෙහිම ඔහුගේ සුදු අත්දිග කමිසයේ පිට පැත්තේ රතු පැහැයෙන් විශාල ප්‍රමාණයක් රුධිරය ගලාගියබව පෙන්වන පැල්ලමක්ද විය.
"ඒයි...පියදාසයො..ඕං උඹේ පිටේ හොඳටම ලේ"
මම වහා ඔහුට පැවසීමි.

"ඒ පැල්ලම හුඟක් කල්ගිය එකක්"ඔහු ඒ දෙසවත් නොබලා පැවසීය.මට ඔහු පිළිබඳ අනුකම්පාවක් ඇතිවුණි.
"ඉතිං කොහොමැයි ගමේ තොරතුරු?"
මම ඔහු වෙතින් විමසීමි.
"මොනවද ඉතිං ,ඔය වෙනදා වගේම තියෙන්නේ.උඹ ඉස්කෝලේ නෑවිත් කොළඹ රස්සා හොයන්න ගියාට පස්සේ අපේ එක එකා ඉස්කෝලෙ යනෑක අත් ඇරියා.ඊට පස්සේ අපි කාණ්ඩෙ ගමේ එවුන්ගේ එක එක බවබෝග හොරකන් කොරන්න පටන්ගත්.තාමමත් මුලින් ඔය කාණ්ඩෙ හිටියට පස්සේ මට ඒක එපාවුණා.මම රංචුවෙන් ඉවත්වෙලා රස්සාවක් කරන්න හදනකොට අනිත් එව්න් මට අරියාදු කරන්න ආවා.අන්තිමේදී මම පොලීසිගියා.ගිහින් උන් ගැන ඔක්කොම කියලා එද්දි උං මාව මගදි අල්ලගෙන මට හොඳටම ගැහුවා.ඊට පස්සේ කාණ්ඩේ නායක රං කිරා තමයි මගේ පිටට පිහියෙන් ඇන්නේ.ඒ ලේ පැල්ලම තමයි ඔය පිටේ තියෙන්නේ."

"ඉතිං උඹට ගොඩක් අමාරු වුණාද?"මම විමසීමි.
"දැං ඕවා ගැන කතාකරලා වැඩක් නෑ.උඹ බුදියාගනින්.කරත්තයක් ආවොත් මම කතා කරන්නම්. "
හේ එසේ කියමඉන් පැල් කවියක් ආරම්ඹ කළේය.මම එකල ඔහුගේ කවිවලට බෙහෙවින් ඇළුම් කළෙමි.ටික වෙලාවක් ගතවිය.එක්වරම කවි කීම ඇණහිටියේය.මම දෑස් හැර බැලීමි.පියදාස මුරකුටියෙන් ඉවත්ව වේගයෙන් වැස්සේම කනත්ත ඇතුළට දිවයනු මම දුටිමි.

මමත් වහා නැගිට ඔහුට හඬගසමින් ඔහු පසුපස දිව ගියෙමි.එහෙත් ඔහු නැවතුණේ නැත.එක්වරම සොහොන් කොත් අතරෙන් දිවගිය ඔහු මට නොපෙනී ගියේය.කළුවරේම සොහොන්කොත් අතරින් ඇවිද යන මට ඈතින් ආලෝකයක් පෙනෙන්නට විය.මම ඒ දෙසට අවිද ගියෙමි.
වැසි සුළඟට ඇඹරෙන ගස් අතරින් මට ලන්තෑරුමක් දැකගත හැකි විය.එය තිබුණේ අලුත සෑදූ සොහොන් කොතක් අසලය.ඇස් පියන්පත් වලින් දිය ඉවත් කර බැලූ මට සොහොන්කොතේ වූ ඡායාරුව දැකගත හැකිවූයේ මෙවිටය.


ඇසිල්ලකින් මගේ ගත කිළිපොලා ගියේය.එහි වූයේ මගේ කළණ මිතුරු පියදාසගේ රුවයි.

4 comments: