Friday, September 24, 2010

දියවන්න හිම තුෂර.........


චෙරි මල් නොපිපි මාවතේ
හිම පියලි මතින්
සිඟිති සුදු මුදු
පාද තබමින්
උණුහුමට උරහිසේ
වෙලෙමින් නැළවෙමින්
හිම යටම සැඟවිලා
ඇවිදගිය මතකයන්
පෙනෙයි මට නුඹ නිදන
සොහොන් කොත ඈතින්
වැටෙන හිම තුෂරයෙන්
කාලෙකට සැඟවෙමින්
හඬමි මම වැළපෙමින්
උණු කඳුළු වගුරමින්
දියවන්න සිසිල් හිම
ගලා ගිය එකඳුළින්
ගොඩගන්න මතකයන්
යළිදු ඒ හිම තුළින්


"ඔබ දුන් අවන්පත
තාමත් මා ලඟයි"............

Saturday, August 14, 2010

හොස්ටල්


"සංඝමිත්තා ශාලාවේ කොණක කාමරයක් තවද වසා ඇත්තේය."

යමුනාහට තව දුරතත් සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ අලංකාරයවත් උද්භිත උද්‍යානයේ සුපුෂ්පිත කුසුම් සිඹ එන මුදු අනිල සුගන්ධයවත් දැනුනේ නැත.කලා පීඨයේ වහළ දරා සිටින කුළුණුවලට දැනෙන බරටත් වඩා වැඩි බරක් ඇගේ හිසමත තිබුණි.ජීවිතයේ කඨෝරබව තව දුරටත් සුන්දරත්වයෙන් වසා ව්‍යාජ සිනාවෙන් මුව සරසා දිවිගෙවීම උගහට බව ඇයට දැනුණි.


මණ්ඩාවල හන්දියට වඩා ගලහ හන්දියේ වෙනසක් ඇය දුටුවත් එම වෙනස මණ්ඩාවලට ගෙන යන්නට ඇයට නොහැකිය.අගහිඟකම් පිරි නිවස,පාසල් යන බාල සොයුරු සොයුරියන් ,පීඨයේ මුහුණ දීමට ඇති ඇගේ ආතතිය වැඩිකරලූ සාධකය.ඒ හැමටත් වඩා මහානාම් ඇයට පිටුපෑම දරා ගැනීම අපහසු බැව් ඇයට දැනිණ.
මිතුරියන් කුමකින් කුමක් කීවද තම හිසමත වූ බර දරාගැන්ම යමුනාට අපහසුවිය.කලා පීඨයේදී මුහුණ දීමට සිදුවූ විභාග කිහිපයක්ම අසාර්ථක වීමත් හා දිනපත මුණගැහෙන මහානාමගේ මුහුණේ වූ නොපහන් බැල්ම තමා පිස්සියක කර ඇති බව ඇයට දැනිණ.
එදා උදයේ යමුනා මහානාම සමග බැණගත් අයුරු පීඨයේ අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බලා වුන්හ.මහානාම ඇයට අතුල්පහරක් එල්ල කළේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙසය.

වහා දේශන ශාලාවෙන් පිටවූ යමුනා සංඝමිත්තා නේවාසිකාගාරයේ කොණක වූ කාමරයට වැදී දොරවසා ගත්තාය.
එදින හවස්යාමය වනතුරු දොර විවර නොවීය.කාන්ති;යමුනාගේ හොඳම මිතුරිය පැමිණ දොරට තට්ටුකරමින් කතාකළද පිලිතුරක් නොවූ හෙයින් නේවාසිකාගාර පාලිකාවගේ අනුමැතියෙන් දොර කඩා විවර කරනු ලැබීය.

යමුනා ඇඳසිටි මල්ගවුම පිටින්ම කාමරය මැද ගෙල වැලලාගෙන සිටියාය්.
ඇගේ මළගමින් ටික දිනක් ගතවිය.රාත්‍රියේ අක්බාර් නේවාසිකාගාරයට යන අතරමගදී මහානාමට කිසිවෙකු පහරදෙනු ලැබීය.එම සිද්ධියෙන් පසු ඔහුගේ සිහි කල්පනාව එතරම් පිරිසිදු නොවීය.ඔහුට විශ්වවිද්‍යාලය අතහැර ගමට යන්නට සිදුවිය.

ඇතැම් දිනක රාත්‍රියේ සංඝමිත්තාවේ කොරිදෝව දිගේ මල්ගවුමක් හැඳ හඬමින් දිවයන යුවතියක අනෙක් ශිෂ්‍යාවන්ට ද දක්නට හැකිවිය.වසා දැමුණු නේවාසිකාගාර කාමරයෙන් ඉකිබිඳුම් හඳවල් තවද ඇසෙනබව නොරහසකි.
ඈ තවම හඬන්නීය.

Saturday, August 7, 2010

අතීතය අවසන් නැත


මට මතකයි ඉස්සර මම මේ ජලාශයේ බැම්ම උඩට වෙලා ඈත ඉර බැහැගෙන යනවිදිය බලාගෙන ගොඩක් වෙලා හිටිය හැටි.ජලාශයේ බැම්ම ගොඩක් පළලයි.ලස්සනට මල් පඳුරු වැවිලා තිබුණු නිසා බැම්ම දිගේ සවි කරලා තිබුණු ලී බංකුවල වාඩිවෙලා හවස්යාමය ගත කතකරන්න මිනිස්සු පුරුදුවෙලා හිටියා.මම හැමදාමත් වාඩිවුණේ එකම බංකුවක.එතනට වෙන හැම තැනකට ම වඩා ලස්සනට ජලාශය පෙණුනා කියලයි මට හිතුණේ.මම හවස් යාමය ගතකරන්න පැමිණි හැම දවසකම වගේ මගේ බංකුවට යාබද බංකුවේ යුවලක් වාඩිවෙලා හිටියා.එයාලා පෙම්වතුන් වගෙයි පෙණුනේ.කවදාවත් කතා කරලා නැති වුණත් මා දුටුහැම දවසකම එයාලා මාත් එක්ක බොහොම අහිංසක විදියට හිනාවුණා.

සමහර වෙලාවට පිරිමි ළමයා හෙමින් කොඳුරන විට ඒකට කිකිරි සිනා සලන ගැහැණු ළමයාගේ සිනාවත් මගේ කනට වැටුණා.මම හිතෙන් හැමදාමත් එයාලට ආශිර්වාද කළා.

ඒත් ඒ අවාසනාවන්ත දවසත් තාම මට මතකයි.එදා මම වෙනදාට කලින් ලී බංකුවෙන් නැගිටලා ආවා.පෙම්වතුන් යුවල මම එනකොටත් බංකුව උඩ වාඩිවෙලා හිටියා.
මම ගෙදර ගිහින් ටික වෙලාවකට පස්සේ තමයි ජලාශයේ බැම්ම පිපිරිලා හැමදේම වතුරට ගහගෙන ගිහින් කියලා ආරංචි වුණේ.බැම්ම කැඩිලා තිබුණෙත් හරියටම මම වාඩිවෙලා ඉන්න ලී බංකු පේළිය ළඟින්.එතන ඒ වෙනකොටත් හිටිය ගොඩ දෙනෙක් මියගියා කියලා මට ආරංචි වුණා.ඒත් ඒ අතර අර පෙම්වතුන් යුවළ ඉන්නවද කියන එකනම් මට දැන ගන්න බැරිවුණා.සමහර අයගේ සිරුරුත් හොයාගන්න බැරිවුණු නිසා හිතේ තිබුණෙත් දෙගිඩියාවක්.


කාලයක් යද්දි ජලාශයේ බැම්ම නැවත ගොඩනැගුණා.මම තවමත් ඉස්සර පුරුද්දට බැම්ම උඩට යනවා.ඒත් කවදාවත් අර ගෑණු ළමයයි පිරිමි ළමයයි මට දකින්න ලැබුණේ නෑ.



ඒත් සමහරවෙලාවට එයාලා හිනාවෙන හඬ තවමත් මට ඇහෙනවා.

Sunday, July 4, 2010

ගෝල්ෆේස්


ඔහු නමින් සමන්ත.ගම රත්නපුරයයි.කොළඹ පැමිණියේ රැකියාවක් බලාපොරොත්තුවෙනි.මෙම සිදුවීම වූ වකවානුවේ දී කොළඹට පැමිණ රාත්‍රිය ගත කිරීමට නවාතැන් සොයාගත නොහැකි වූවන් නතර වූ ප්‍රධාන ස්ථානය වූයේ ගාලුමුවදොර පිටියයි.

සමන්තටත් නවාතැනක් සොයාගැනීමට අපහසු වූ හෙයින් කෙලින්ම පියමැන්නේ ගාලුමුවදොර පිටියටයි.අඳුරන මුහුණු කිසිවක් නොවූ හෙයින් හුදකලාවම පිටිය කෙලවර වූ සිමෙන්ති බංකුවේ ඇලවුණේ නින්ද පැමිණෙනතෙක්ය. නමුදු පසෙකින් වූ මුහුදේ හෝ හෝ හඬ ඔහුව නළවන්නට අසමත් විය.අවට කිසිවෙකුත් නොවූහ.සමන්තගේ දෑස කෙලින්ම යොමු වූයේ අහසේ දිදුළන තාරකා වෙතයි.පැය කිහිපයක් ගෙවී යන්නට ඇත.නින්ද නෙත වෙත ළං නොවූ නිසා සමන්තගේ කය දෙපයට බර දුනි.ඔහු සෙමෙන් සෙමෙන් කොටු පවුර බැස මුහුදු වෙරළට පිය මැන්නේය.ඈත මාර්ගය අයිනේ වූ පහනක කහපාට එළිය පමණක්දක්නට ලැබුණි.සමන්ත පවුරු බැම්මට හේත්තු වී සුසුම්ලන්නට විය.

හදිසියේම වෙරළදිගේ පියවර තබමින් ඇවිද එන්නෙකු ඔහුගේ නෙත ගැටිණ.ඔහු වික්ෂිප්තභාවයට පැමිණියේ ඇවිද ආ තැනැත්තියගේ ස්භාවය දැකීමෙනි.ඈ සුදුපැහැ දිගු ගවුමක් හැඳි ඉතා ලක්ෂණ යුවතියකි.හුරුබුහුටි ඇගේ වූ එකම අඩුපාඩුව වූයේ අස්වාභාවික සුදුමැලි පැහැ මුහුණයි.
කෙමෙන් සමන්ත වෙත පැමිණි ඈ ඔහුගේ පසකින් නතර වූවාය.සමන්තට ඇගේ මුහුණ දෙස එක එල්ලේ බැලීමට අපහසු විය.ඔහු තැති ගැන්වී සිටියේය.පාළු රාත්‍රියක්?
සුදු හැඳි යුවතියක්?
සමන්ත වෙත නැඹුරු වූ ඈ ඇසුවේ එකම පැනයකි.
"ඔබ ගැහැණුන් විශ්වාස කරනවාද?"
සමන්තගේ මුව ගොළුවී තිබිණ.මැය කවරෙක්ද යන ගැටළුව ඔහු වෙත විය.හෙතෙම අපහසුවෙන් "ඔ...ඔව්"යැයි ගොත ගැසීය.
"බොරු කියන්න එපා මිනිහෝ........"
යුවතියගේ සුන්දර මුහුණ ක්ෂණයෙන් වෙනස් වී ක්‍රෝධයක් පළ විය.ඊළඟ මොහොතේ ඈ මුහුද වෙත දිව ගියාය.සමන්තට සිදුවන්නට යන දෙය වැටහිණ.
සියදිවි නසා ගැනීමට දිවගිය තරුණිය මුහුදු රළ අතරේ ගිලෙනු ඔහුට පෙනිණ.වහා ක්‍රියාත්මක වූ ඔහු යුවතියගේ දිවි රැක ගැනීමට උඩුකය වැසුණු කමිසය ගලවා දියට පැන්නේය.ඉදිරියට පිහිනූ ඔහුට අවසන්වරට තරුණිය දියේ ගිලෙනු දක්නට ලැබිණ.

තමාද දිය වැලකට හසුව වෙරළෙන් ඉවතට ගසාගෙන යනු ඔහුට දැනුනේ මේ මොහොතේදීය.නමුදු ඉතා අපහසුවෙන් පිහිනා ගොඩට ඒමට ඔහුට හැකිවිය.නමුත් තරුණිය පෙනෙන්න්ට නොවීය.

වෙහෙස නොබලා නැගිටගත් ඔහු උදව් ලබා ගැනීම පිණිස වහා පිටියේ ඉදිරි කෙළවර වෙත දිව ගියේය.එහි කිහිප දෙනෙකු වැතිරසිටි අතර ,ඔවුන් අවදි කළ සමන්ත සිදුවීම පැහැදිලි කළේය.එහෙත් ඔහුගේ කතාවෙන් ඔවුන් කලබල නොවූ සෙයකි.ඒ වෙනුවට ඔවුහු සිනහ වන්නට වූහ.
"මලයා උඹ පළවෙනි පාරටද මෙතන නිදාගන්න අවේ?"
එකෙක් විමසීය.
"ඔව්.......ඇයි?"
සමන්තද පිළිතුරු දුන්නේය.
"පළවෙනිපාරට මෙතන නිදාගන්න ඇවිත් වෙරළේ ඇවිදින්න යන ගොඩ දෙනෙක්ට එයාව දකින්න ලැබෙනවා.එයා සෑහෙන කාලෙකට කලින් තමන්ගේ පෙම්වතා තමාව අවිශ්වාස කළ නිසා සියදිවි නසා ගත් කෙනෙක්.ගිහින් උඹ හිටි තැන වෙරළේ අඩි සළකුණු බලාපන්"

සමන්ත වෙරළේ තමා කොටු බැම්මට හේත්තු වී හුන් තැන වෙත දිව ගියේය.පුදුමයකි.එහි වූයේ තමාගේ අඩි සටහන් පමණි.

Sunday, June 13, 2010

සාධක සටහනක් ලෙස...........


විශ්වීය බලවේගයන් පිළිබඳව අවිශ්වාසයක් ගොඩ නැගීම, නූතන ලෝකය තුළ ජීවත් වන ඔබවැන්නවුන්ට සධාරණය.අවබෝධ කරගැනීමට නූතනයේ දී පවා අපහසු යම් යම් ගුප්ත සිදුවීම් පිළිබඳව යථාර්ථය හෙලිකිරීමට ගෙන ඇති උත්සාහයක් සහ ප්‍රසිද්ධ කතා පුවත් කිහිපයක් ඔබ වෙනුවෙන් පහත ඉදිරිපත් කර ඇත.

1.යේල් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය හැරල්ඩ් සැකස්මන් මහතා විසින් 1972 දී ප්‍රකාශයට පත් කළ "Blue Print for Immortality"නැමති කෘතියේ සත්ව ශරීර තුළින් පියවි ඇසට නොපෙනෙන රශ්මි මාලාවක්(Magnetic Aura)නිකුත් වන බව පර්යේෂණ ඇසුරෙන් සොයාගෙන ඇත.
රුසියානු ජාතික විදුලි කාර්මික ශිල්පියෙකුවන සිමියොන් දී කිර්ලියන් මහතා සිය බිරිඳ ගේ ද සහය ඇතිව අපගේ ශරීරයෙන් නිකුත්වන මෙම රශ්මි මාලාව(Magnetic Aura)ඡායාරූප ගතකළ හැකි'කිර්ලියන්'නැමති නවීන කැමරා උපකරණය නිෂ්පාදනය කොට ඇත.


2.ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 1500ක් පමණ මරාදැමූ මේජර් තෝමස් විලියම් කළ සත්ව ඝාතනය නවතා දැමීමට කිසිවෙකුට නොහැකි වූ විට බදුල්ලේ විසූ භික්ෂූනමක් ඔහුට හෙණ වැදියයුතුයැයි සාප කර ඇත.එය ඉතා අද්භූත සිදුවීම් මාලාවක ආරම්භයයැයි කියනු ලැබේ.මේජර් රොජර්ස් හපුතලේ දුර්ගයේදී අකුණු සැරයක් වැදී මියගියේය.මළ සිරුර භූමදානය කළ පසු එම සොහොනට ද කිහිප සැරයක් හෙණ වැදී ඇත.


3.සාමාන්‍යයෙන් මෘත ශරීරයක කොණ්ඩය සහ නියපොතු වැවීම නවීන විද්‍යාවට යම් තරමක ප්‍රෙහේලිකාවකි.එහෙත් එය සිදුවේ.බුදුදහමට අනුව නම් එය අනුගතය.මෙවැනි මෘත ශරීර ලෝකයේ කොතෙකුත් පවතී.අප්‍රිකාවේ පිරමිඩවල සහ චීනයේ ද මෙවැනි මෘත ශරීර සංරක්ෂිතව ඇත.අසැල්වැසි ඉන්දියාවේ කල්කටා නුවර ජාතික කෞතුකාගාරයේ ද මෙවැනි ක්‍රියා සිදුවන මෘත ශරීරයක් ප්‍රදර්ශනයට තබා ඇත.වයස අවුරුදු 90 කාලයක් ජීවත් වූ දෙවන රම්සේස් රජුගේ මමිය හෙවත් ආරක්ෂිත මෘත ශරීරය තවමත් එහි එහි පවතියි.එය වසර 3500ක් පමණ පැරණියැයි කියැවේ.තවද මාවෝ සේතුංගේ ශරීරයද ,ජිනරාජ මහා බල තෛලය පානය කළ ඉන්දියාවේදී අපවත් වී වදාල වෑත්තෑවේ හිමියන්ගේ මෘතදේහයද මෙලෙස විවිධ විපර්යාසයන් සිදුවෙමින් පවතින බව වාර්තාවේ.

පිනි


පිනි
දිලිසුනේ නෑ..........
දැනුනේ නෑ සීතල~ඔබේ ඔය සුරතේ
වදන් හමුවේ ඔබ තෙපලූ
කාන්තිය පමණි මා දුටුවේ
ඔබේ නෙතෙහි රැඳුණු
දුටුවේ නෑ එහි ගැඹුර
අනන්තය කියාලූ..........
දැන දැනත් මම
පෙම් කළෙමි මුළු හදින්
කය නැති ආත්මයට
නුඹගේ............
තවමත් දිදුළයි නුඹේ ඔය ඡායා
මා ඉදිරියේ
ඒ මා තවමත් නුඹට
ආදරේ නිසාලූ..................



අ.වික්
2010/06/14

රෝසමල්



[මේ වෘතාන්තය මෙරට එක්තරා යුගයකදී එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙකු හට සිදුවූ සිදුවීමක් ආශ්‍රයෙනි]



ඒ දෙසැම්බරයේ එක් මූසල සැන්දෑවක්බව මතකය.මම මගේ බස්තමද රැගෙන කිසිදු අරමුණකින් තොරව තැන්නෙහි ඇවිදීමට ගියෙමි.මුහුදු මට්ටමේ සිට මීටර දෙදහසකට වඩා උසැති මෙහි ස්භාවයෙන්ම ගුප්ත බවක් පවතින බැව් මට පසක් වී තිබිණි.එහෙත් එය මෙතරම් රුදු යැයි කිසිදු විටෙක මම නොසිතීමි.
එය හෝර්ටන් තැන්නෙහි සංචාරය කරන අවාරය විය.එසේම සන්ධ්‍යාවේ බැවින් ඊට ඇතුල් වූ ටික දෙනාද ඉන් පිටතට එමින් සිටියහ.සවස හය වීමට පෙරාතුව යළි පැමිණි‍ය යුතු වූ නිසා මම වහා එම තැන්නට පිවිසෙන ස්ථානයේ පියගැට පෙළ බැස පහතට පැමිණියෙමි.හාත්පස මද ශීතලක් සහ මීදුමක් පැවතුණද එය ඉදිරියට යාමට මා තුළ වූ අශාව මැඩලන්නට සමත් නොවීය.ඈත නෙතට රසඳුනක් වූ නිල් කඳු යාය ,නෙත පමණක් නොව සිතද පුරවා දැමීය.වර්ෂාව පැවති කාල වලදී සේදී ගොස් බිඳුණු මග දිගෙහි මම පියනැගීමි.තණ පඳුරුවලට ඉහළින් තනිවූ ගෝනෙකු හඬනු මට ඇසිණ.
ශීතල හෝර්ටන් තැන්නෙහි ලෝකාන්තය දෙසට වැටී ඇති මග ඔස්සේ මම ගමන් ගතිමි.කඳුකර වනාන්තරවල දැකිය හැකි ලයිකන හා විවිධ පාසි නොමදව ගස් ඉති අතු මත්තේ බැඳී තිබෙනු මට දැකිය හැකි විය.මම පැයක් පමණ ඉදිරියට ඇවිද ගියෙමි.ඒ අතරතුර දුටු දිය පහරවල් ,සතුන්,ශාක ,මීදුම පිළිබඳ පවසා ඔබ වෙහෙස කිරීමට මා සූදානම් නැත.
ඉදිරියට යන්නට යන්නට දැඩිවන ශීතලෙන් මාගේ දෙ අත ,දෙකම්මුල්,දෙකන පමණක් නොව ඝන සපත්තුවලින් ආවරණය වූ දෙපතුලද සීතල වන බැව් මට දැනිණ.දැන් මා අභිමුඛයෙහි වූයේ පුංචි ලෝකාන්තයයි.ඒ අසල වූයේ එකම එක නඩයක් පමණි.ඔවුහු ද කෑගසමින් නිශ්චල තැන්නෙහි නිහඬ බව බිඳිමින් සිටියහ.පුංචි ලෝකාන්තයෙහි පහළ ඝන මීදුම නිසා නොපෙණින.වේලාව සවස හයට ආසන්නවී තිබිණි.

සිතට අමුතුම සිසිලසක් ලැබෙනා හෙයින් මම,ඒ අසල වූ සිමෙන්ති තීරු අධාරකයේ වාඩිගෙන සිටියෙමි.තවත් ස්වල්ප වෙලාවකින් එහි සිටි නඩය මා පැමිණි මග ඔස්සේ යාමට හැරුණහ. මමද නැගීසිට මහා ලෝකාන්තය දෙසට වැටී ඇති මග ඔස්සේ ගමන් කළෙමි.අවට රජකළේ මීදුම හෝ අඳුර නොව ඒ හරහා පැමිණි ගුප්ත බවයි.මා අත විදුලි පන්දමක් හෝ අන් කිසි එළියක් නොවීය.තවත් පැයකින් පමණ අඳුරින් මේ තැන්න වසාගනු ඇත.එසේ වුවහොත් මට රාත්‍රිය ගත කිරීමට සිදුවන්නේ මෙම ගුප්ත තැන්නෙහිය.එය සිහිවනවිට මගේ ශරීරය බියෙන් සලිත වී ගියේය.මක්නිසාද යත් ශීතල හෝර්ටන් තැන්නෙහි රාත්‍රියක් ගත කිරීම ,මරණය ඔට්ටුවට තබා මාරයා සමග ක්‍රීඩා කිරීමක් බඳු නිසාය.

පැමිණි මග ඔස්සේම ගියේ නම් මට පහසුවෙන්ම ආපසු යාමට හැකිවී තිබිණි.නමුදු චංචල වූ මගේ මනසට මේ කිසිවක් නොවැදුණේය.
පිළිස්සී ගියාක් මෙන් වූ අඳුරු පැහැ ,තෙත් වූ මගෙහි ,මම ඉදිරියට දිව ගියෙමි.ඉන් මාගේ ගතද උණුසුම් වූ අතර ශීතලද නැතිවී ගියේය.
ඉන් පසුව මා ඉදිරියේ වූයේ මහා ලෝකාන්තයයි.මා හුදකලාවී ඇතැයි යන අදහස,යම් සිදුවීමක් නිසා එවේලෙහි බිඳ වැටිණ.ලෝකාන්තය අසල වූ කොන්ක්‍රීට් තීරු වලින් සැදි පීටිකාව මත කිහිපදෙනෙක් සිටියහ.එහි වූ සියල්ලෝම ගැහැණු පිරිමි යුගල වශයෙන් සිටි තරුණ වයසෙහි පසුවූවෝ වූහ.

වඩාතම පුදුම සහගත දෙය වූයේ සෑම දෙනෙකුගෙම අතේ විකසිත නොවූ රතු රෝසමලක් බැගින් තිබීමයි.මා වික්ෂිප්ත කළ අසාමාන්‍ය දෙය වූයේ,මේ කිසිවක් නොව,පහළ ප්‍රපාතය දෙස ඇසිපිය නොහෙලා බලාසිටි ඔවුන් තුළ පැවති ගුප්ත නිහඬතාවයයි.

එහි යුගල හයක් වූහ.මම කෙමෙන් ඔවුන් සිටි වේදිකාවට ගොඩවීමි මම මිනිත්තු පහක් පමණ බලා සිටින්නට ඇත.එහෙත් මාගේ ආගමනයෙන් හෝ බලා හිඳීමෙන් ඔවුන් තුළ වෙනසක් ඇති නොවූ සෙයකි.හඬ නංවමින් හමාගිය සුළං ප්‍රවාහයද ගුප්ත මොහොතේ ගුප්තභාවය වැඩිකරන්නට හේතු විය.
මම ඔවුන්ගෙන් එකෙකු වෙත කිට්ටුවීමි.
"මහත්මයා................තව ටික වේලාවකින් මේ තැන්න ගොඩක් සීතල වෙනවා.අනිත් එක හයට කලින් තැන්නෙන් පිටවෙන්න නියමකරලත් තියනවා.ඉතිං අපි යමු නේද?"
මම සෙමින් යෝජනා කළෙමි.

නිමේශයකින් ඔව්හු සියළු දෙනාම මා වෙත බැලුම් හෙලීය.මගේ සිරුර හරහා තියුණු කිණිසි දොළහක් යන්නක් මෙන් මට දැනිණ.මම මහත් අපහසුතාවකට පත්වීමි.
එහෙත් අපහසුතාව මැඩගෙන
"මම කිව්වේ ඇත්ත.අපි ඉක්මනට ගියේ නැත්තම් සීතලේ මැරෙන්න වේවි.මට පුළුවන් ඔයාලව කෙටි පාරකින් අරගෙන යන්න.එන්න යමු " එකෙකුගේ අතින් අදිමින් පැවසීමි.මට එක්වරම මහා අමුත්තක් දැනිණ.මා ඇල්ලූ හස්තය අයිස් මෙන් සීතල විය.මම ඔහුගේ ඇඟිලි ග්‍රහනය කරගත්තා සේම ඔහුද මගේ ඇඟිලි ඉතා තදින් ග්‍රහනය කරගෙන සිටියේය.මට එම ග්‍රහනයෙන් නිදහස් වීමට නොහැකි විය.
"ඔයාලා ඇත්තටම කවුද?"
මම තරමක නොසන්සුන්තාවයකින් විමසීමි.

"අපි........................................."
"අපි කවුරු කියලද හිතන්නේ?"
එහි සිටි අයෙක් මගෙන් විමසූහ.
"ඇත්තටම මම දන්නේ නෑ.ඇයි ඔයාලා මෙහෙ ඇවිදින්න ආපු අය නෙමෙයිද?"මම ද විමසීමි.
"නෑ..............අපි හැමෝම මෙහෙ අවේ මරණය මත ඇවිදින්න."
තවත් එකෙක් කොක් හඬලා සිනහවෙමින් පැවසීය.
"මට තේරුණේ නෑ"
මම කීවෙමි.
"ඔබට තේරුම් ගන්න පුළුවන්.අපි හැමෝම ලෝකාන්තයෙන් පහලට පැනලා දිවිනසා ගත් පෙම්වතුන්.අපි ආරාධනා කරනවා ඔබටත් අපහා එක්වන ලෙස."
එසේ පැවසූ ඔවුහු මා වෙත පැමිණ තරයේ මා අල්ලා ඔවුන් අතවූ රෝසමල් මා දෑතේ සිර කළහ.
මගේ හෘදය උරස් කුහරයෙන් පිටතට පනින තරම් වේගයෙන් ගැහෙන්නට විය.සීතලේ වුවද නළලට දහදිය දමනට විය.
ඔවුහු මා ප්‍රපාතය දෙසට ඇදගෙන යන්නට විය.සිදුවන්නට යන දෙය මට ඉවෙන් මෙන් වැටහිණි.තවත් මොහොතකින් මට අත්වන ඉරණම මට මැවී පෙනෙන්නට විය.කළයුත්තක් සිතාගත නොහැකි විය.උණු කඳුළු වැල් මගේ සීතල කම්මුල් උණුසුම් කළේය.ක්‍රියාතමක වියයුතු වෙලාව එළඹිණි.මම ගෙලෙහි එල්ල තිබූ සුරය ගලවා ඉහළට එසවීමි.සීතල හස්තයන්ගේ ග්‍රහනයෙන් කෙමෙන් මා මිදෙනු මට දැනිණ.ප්‍රපාතය අභිමුඛයේ මා අතහැරිය පිරිස දෙදෙනා බැගින් ප්‍රපාතයට පනිනු මට දැකගත හැකිවිය.අවසන් තරුණයා හා තරුණිය මා දෙස රුදු බැල්මක් හෙලා ප්‍රපාතයට පනිනු මම දුටිමි.ඔවුන්ගේ ඇඳුම් සුළඟේ ලෙලෙනු ද ඇසිල්ලකින් ගුප්ත මීදුම තුළ අතුරුදහන් වන අයුරුද මට මතකය.මම ද පීටිකාව මත්තෙහි ඇද වැටුණෙමි.මම සිහි එළවා ගත නොහැකිව මදක් සිටින්නට ඇත.අපහසුවෙන් දෙපයින් නැගිට ගත් මම සියක්වරක් වැටෙමින් නැගිටිමින් අඩවි කාර්යාලය දෙසට දිවගියෙමි.ඝන අඳුරේම බේකර්ස් ඇල්ල ද පසු කළා මතකය.

කාර්යාලයේ දොරටුව අබියස ඇද වැටුණු මට වහා තේ කෝප්පයක් ලැබිණ.කාර්යාලයේ සිටියවුන් මගේ කතාව විශ්වාස නොකළ සෙයකි.කෙසේ හෝ රාත්‍රියේ මම මගේ නවාතැනට ඔවුන් විසින් ඇරලවන ලද්දෙමි.කැඩපත ඉදිරියට ගිය මට මගේ අවුල් වූ ඇඳුම්ද මඩවලින් වැසුණු සපත්තු යුගලද එක් කාචයක් බිඳී ගිය උපැස් යුවලද දක්නට ලැබිණ.ඊටත් වඩා මගේ අතෙහි සිරවූ රෝසමල් දක්නට ලැබීමෙන් මා සිහිනයක් නොදුටු බව ප්‍රත්‍යක්ෂ කර ගත හැකි විය.මා අතෙහි රෝසමල් දහතුනක් විය.ඉන් දොළහක් මැලවී තිබුණි.එක්මලක් මැලනොවී තිබිණ.එහි සිටියේ දොළොස් දෙනෙකි.එසේනම් මැලනොවුණු මල ඔවුන් මට දුන් ත්‍යාගයද?
පසු දිනම මම තැන්න ආශ්‍රිතව කරමින් සිටි සෑම පර්යේෂණයක්ම නවතා කොළඹ ආවෙමි.

Monday, June 7, 2010

ගුප්තා.





ඔහු බැං කු කළමනාකරුවෙකි.ඈ වෛද්‍යවරියකි.ඇතැම්විට ඈට තම රෝහලේ රාත්‍රි සේවා මුරය සිදුකිරීමට ද සිදුවිය.අසරණ රෝගීන් පිළිබ්ඳව ඈ නොමද උනන්දුවක් දැක්වූවාය.බැංකු නිළධාරී ස්වාමි පුරුෂයාද ඇගේ රැකියාවේ බැරෑරුම් බව මනාව වටහා ගත්තෙකි.
එදින එම අඳුරු රාත්‍රිය වෛද්‍යවරියටනම් කිසිදා අමතක නොවනු ඇත. එදින ඇගේ වැඩමුරය සවස්කාලයේ දී අවසන් වුවත් රාත්‍රි වැඩමුරය සඳහා ඊළඟ වෛද්‍යවරයා පැමිණෙනතෙක් ඈට රෝහල තුළ තම වාට්ටුවේ රැඳෙන්නට සිදුවිය.එම වාට්ටුවේ තවත් හෙදියෝ තිදෙනෙක් සේවයේ යෙදී සිටියහ.
මධ්‍යම රාත්‍රියට ආසන්නව අදාළ වෛද්‍යවරයා පැමිණියේය.වෛද්‍යවරිය තම සේවය අවසන් කොට පිටව යාමට සූදානම් වූවාය.ඈ තම ස්වාමියාට දුරකථන ඇමතුමක් දුන්නේ තමා රැගෙන යාම පිණිස පැමිණෙන ලෙසයි. "හලෝ....ආ.....ඔයාට පුළුවන්ද වාහනේ අරගෙන එන්න.මට දැන් තමයි ඕෆ් වුණේ.ඉක්මනට එන්න හොඳේ."
"ඕකේ...මම එන්නම්"
ඈ අනතුරුව දුරකථනය විසන්ධි කළාය.තමා සිතුවාට වඩා වේලාවක් ගතවූ බව වෛද්‍යවරියට දැනිණ.ඇය අත රැඳි ඔරලෝසුව දෙස නොඉවසිලිමත්ව බැලුවේ එහෙයිනි.නේවාසික රෝගියෙකුගේ කෙඳිරි ගෑම් හඬක් නොවන්නට මුළු රෝහලම මරණීය නිශ්ශබ්දතාවයකින් වෙලෙන්නට ඉඩ තිබිණි.
තරුණ හෙදියක් වෛද්‍යවරිය අසළට ආවේ මේ අවස්ථාවේදීය.
"ඩොක්ට..මහත්තයා තවම ආවේ නෑ නේද?"
ඈ සෙමින් ඇසුවාය.
"නෑ සන්ධ්‍යා....මොකද දන්නේ නෑ.මම කිව්වා කාර් පාක් එකේ වාහනය නවත්තලා වෝඩ් එකට එන්න කියලා."
වෛද්‍යවරියද පැවසුවාය.
"ඩොක්ට"
"ඇයි?"
හෙදියගේ සිහින් කටහඬෙහි වෙනදා නොවූ අමුත්තක් දැනුණ හෙයින් වෛද්‍යවරියද ඈ දෙස බලමින් විමසුවාය.
"මට කියන්න අමතක වුණානේ ඩොක්ට...........මම ඩියුටි එද්දි හොස්පිටල් එක ඇතුළේ කොරිඩෝවේ පැත්තක ට්‍රොලියක මිනියක් දාල තිබුණා.මහත්තයා ඕක එක පාරටම දැක්කොත් ටිකක්.......................පුරුදුත් නැනේ "
හෙදිය කතාව අතරමග නතර කළාය.
"එහෙමද?එහෙනම් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමුකෝ..."
තම සැමියා බියගුල්ලෙකු බව නොදනිතත් ඈ තම බෑගය උරයක ලා ගනිමින් හෙදිය සමග වාට්ටුවෙන් පිට වූවාය.
"ඒ මනුස්සයා මැරිලා තියෙන්නේ වාහනයකට යටවෙලාලු. XXXX බැංකුවට ජීව්ත් වෙන ගෙදර සින්න වුණා කියලා බැංකුවේ මැනේජර් එක්ක රණ්ඩුවෙලා ආපහු එද්දි තමයි මේක වෙලා තියෙන්නේ.හරී පව් ඩොක්ට "
තමා සමග ඇවිද ආ හෙදිය කී දේ ඇසූ වෛද්‍යවරිය හුන් තැනම නතර වූවාය.
"මොනවා....XXXX බැංකුවේ මැනේජර් මගේ මහත්තයනේ"
මීළඟට ඈ හෙදිය පසුකරමින් වේගයෙන් ඉදිරියට ඇවිද යන්නට වූවාය.දෙදෙන අඩ අඳුරු කොරිඩෝවට පිවිසුණහ.
කොරිඩෝව දෙපස රෝහල් කාමරවල කිසිවෙකුත් නැත.එහි ඈත කෙළවර සුදු රෙද්දකින් වැසූ මෘත දේහය ට්‍රොලියක බහා තිබුණි.සිවිලිමේ සවිකර තිබූ පහනේ දුබල එළිය වුවද ,එය මත වැටී සුදු රෙද්දෙන් ඉලිප්පී තිබුණු නැහැය හා නිකට මනාවට පෙනුණේය.
හෙදිය හා වෛද්‍යවරිය කොරිඩෝව දිගේ ඉදිරියට ඇදුණෝය.ඔවුන්ගේ පාවහන් හඬ කොරිඩෝව පුරා දෝංකාර දුන්නේය.
දෙදෙන මෘත ශරීරය අසළට පැමිණ නතර වූහ.
වෛද්‍යවරිය තම බෑගය තුළින් ජංගම දුරකථනය පිටතට ගත්තේ තම ස්වාමියාට ඇමතුමක් ලබා දෙන අටියෙනි.
අදාළ අංකයට ඇමතුම සම්බන්ධකර ඈ දුරකථනය සවනෙහි තබා ගත්තාය.මොහොතකින් ඇයට ඇසෙන්නට වූයේ තම ස්වාමියාගේ ජංගම දුරකථනයේ හුරුපුරුදු නාදයයි.නමුදු එය වඩා හොඳින් ඇසුණේ දුරකථනය තුළින් නොව,තමාට ඉදිරියෙනි.
"ටීක් ටීක්"නාදය කොරිඩෝව පුරා රැවු පිළිරැවු දෙන්නට විය.
වෛද්‍යවරිය තම දුරකථනය කනෙන් ඉවතට ගත්තාය.ඇගේ මුව බාගෙට විවර විය.ඈ හෙදිය දෙසටද බැල්මක් හෙලුවාය.හෙදියගේ මුවද බාගෙට විවරව මුහුණ සුදුමැලි වී තිබිණ.
හේතුව ,ඒම දුරකථන නාදය ඇසෙන්නට වූයේ තමන් අභිමුඛයේ වූ මෘත දේහය වසා තිබූ සුදු රෙද්ද යටිනි.වෛද්‍යවරිය ඉදිරියට පියනගා තම වෙව්ලන අතින් සුදු රෙද්ද මෑත් කළාය.ඊළඟ මොහොතේ ඈ අඩ අඳුරු පාළු මූසල කොරිඩෝවේ සිහි විසඥව ඇද වැටුණාය.

Wednesday, June 2, 2010

බංගලාව



ප්‍රති විරුද්ධ දෙසට පාළුව මුසුවූ,මූසල සුළඟක් ඇදී ගියේය.ආනෝල්ඩ් හට නොකඩවා ඇසෙනුයේ අශ්වයන්ගේ කුර ගැටෙන හඬය.අශ්ව කරත්තය ද ඇදී ගියේ මන්දගාමීවය.දසත පැතිරී තිබුණේ අඳුරකි.දිවයිනේ අනෙකුත් පෙදෙස්වලට මෙන් නොව ,මෙම කඳුකරයට කලින් හිරු බැස යන බව ආනෝල්ඩ් දැනසිටියේ නැත.හෙතෙම අශ්වකරත්තය පදවමින් සිටි රියදුරාගෙන් මේ පිළිබඳව විමසීය.
"ඇත්තටම මොකද අද මේ කලින්ම ඉර බැහැගෙන යන්නේ?"
"මෙහාට එහෙම තමයි මහත්තයා.කලින්ම කළුවර වෙනවා.කඳුකරයනේ........"
රියදුරාද පැවසීය.
දැන් දැන් කරත්තය ඇදී යනුයේ ඉතා පටු ලෙසිනෑතට දිවෙන මගකය.ගැස්සෙමින් පැද්දෙමින් යන මේ ගමන්වලට ආනෝල්ඩ් හුරු පුරුදු අයෙක් නොවීය.මක්නිසාද යත් පරිපාලන නිළධාරියෙකු ලෙස තම පත්වීම ලැබ වැඩ බාර ගැනීම පිණිස යන මුල්ම ගමන මෙය වූ බැවිනි.තමාට දැන් පාලනය කිරීමට සිදුව ඇති පෙදෙසේ ක්ලින් පාලකයාව සිටි නිළධාරියා අස්වාභාවික ලෙස මරණයට පත්ව තිබූ හෙයින් එම පුරප්පාඩුව පිරවීමට තෝරාගනු ලැබුවේ ආනෝල්ඩ්ය.
දිගු ගමනකින් ඉක්බිති කර්‍අත්තය ඉතා පැරණි බංගලාවක් ඉදිරිපිට නවත්වනු ලැබීය.ආනෝල්ඩ් තම ගමන් මළු ඔසවාගෙන බංගලාවට පිළිපන්නේය.දොර හැර තිබූවද බංගලාව තුළ වූයේ දැඩි අඳුරකි.හදිසියේම අඳුර දෙබෑ කරගෙන කෙසඟ මිනිසෙක් එළියට පැමිණියේය.
"මහත්තයා වෙන්නැති මේ පැත්තට පත්වෙලා ආව අලුත් දිසාපතිතුමා"
හේ දෙකට තුනට නැමෙමින් විමසීය.
"ඔව්......මං තමයි"
ආනෝල්ඩ්ද පැවසීය.
"එහෙනං පොද්දක් හිටින්න මහත්තයා..මම එළියක් අරන් එන්නම්"
සේවකයා නැවත බංගලාව තුලට වැදුණේය.අශ්වකරත්තයද පිටව යන හඬ ඇසිණි.ආනෝල්ඩ් පාළු,මූසල ගරාවැටුණු බංගලාව දෙස් වරක් නෙත යොමා බැලීය.
තවත් මිනිත්තු කිහිපයකින් කෙසඟ සිරුරැති සේවකයා ලන්තෑරුමක් රැගෙන පැමිණ නිළධාරියාගේ එක් ගමන් මල්ලක් ඔසවා ගත්තේය.
ආනෝල්ඩ් තම ඉතිරි ගමන් මල්ලද රැගෙන සේවකයා පසු පස්සෙහි වැටුණේය.හෙතෙම සේවකයා පිටිපසින් ගොස් තරප්පු පෙළක් නැග ඉහළ මාලයට පිවිසියේය.
"මෙන්න මෙතනයි මහත්තයාගේ කාමරය"
සේවකයා ඉණෙහි වූ යතුරු කැරැල්ලක් ගෙන ,අභිමුඛයෙහි වූ ද්වාරයේ යතුර සොයමින් පැවසීය.

"ඉස්සල්ලා හිටිය දිසාපතියුමා හිටියෙත් මේ කාමරේමයි;අනේ!හරි හොඳ මහත්තයා"
ඔහු දොර විවෘත කරමින් නැවත පැවසීය.
"ඒ කිව්වේ අර.................මැරුණු දිසාපති මහත්තයද?"
ආනෝල්ඩ් බියපත් සැකයකින් යුතුව විමසීය.
"ඔව් නෙව.ඒ මහත්තයා ඔය බංගලාව ඉස්සරහ තියන ප්‍රපාතයට ඇදවැටිලා මැරුණනේ......"
ආනෝල්ඩ් තම සාක්කුවෙන් ලේන්සුවගෙන මුහුණෙහි වූ දා බිඳු පිසදා ගත්තේය.
"ඇයි මහත්තයා රස්නෙයිද?අද නම් වහින්න වගේ"
සේවකයා ගණනකට නොගෙන පැවසීය.
"ඇත්තටම ඉස්සල්ල හිටපු දිසාපති තුමා මැරුණේ කොහොමද?"
තමා එයට අදාළ සිද්ධිය දනිතත්,ආනෝල්ඩ් යළිත් එය සේවකයාගෙන් විමසීය.

"හරියටම කියන්න දන්නෙ නෑ.....දවසක් මහ රෑ කෑ ගැහීමක් ඇහිලා මම දුවගෙන එනකොට ඒ මහත්තයා ප්‍රපාතයට වැටිලා මැරිලා හිටියා."
"කවුරුත් තල්ලු කළා වෙන්න බැරිද?"
"නෑ මහත්තයා.............එතන තිබුණේ ඒ මහත්තයාගේ අඩි සලකුණු විතරමයි."
සේවකය ආනෝල්ඩ් නැවත ඇසූ පැනයට පිළිතුරු දුන්නේය.
"හැබැයි මහත්තයා...මේ බංගලාව හදපු හාමු,ඒ කාලේ කාටවත් මේ පැත්තටවත් එන්න දෙන්නේ නෑලූ.ඒ හාමු මැරුණට පස්සේ මේ බංගලාවේ හොල්මන් කරනවා කීප දෙනෙක්ම දැකලා තියනවා.මහත්තයත් රෑ වුණාම කාමරේටම වෙලා ඉන්න."
සේවකයා රහසක් කියන්නාක් මෙන් ආනෝල්ඩ්ට පැවසීය.මෙහි නොපැමිණියේනම් වඩා හොඳ යැයි ආනෝල්ඩ්ට සිතිණ.

සේවකයා කාමරයෙන් පිටව ගියේය.ආනෝල්ඩ් ඇඳුම් මාරු කර ටික වෙලාවකින් බංගලාව තුළ ඇවිදීමට ගියේය.එහි පැරණි විසිත්ත කාමරයේ විශාල ඡායා රූපයක් විය.එහි හුන් තැනැත්තා එම බංගලාවේ නිර්මාතෘයැයි සඳහන්ව තිබිණ.ඔහු දැඩි කෝපයෙන් ,රෞද්‍ර මුහුණ තමා දෙසට හරවාගෙන සිටින්නේයැයි ආනෝල්ඩ්ට දැණින. රාත්‍රී ආහාරය ගෙන තම කාමරයට ගිය ආනෝල්ඩ් ඇඳට වැතී නිදාගන්නට වූයේය.වර්ෂාවද ඇද හැලෙන්නට විය.

මධ්‍යම රාත්‍රියේ ආනෝල්ඩ් තිගැස්සී අවදිවූයේ අස්වාභාවික හඬක් තම සවනත වැටීමෙනි.එක්වරම බරට අඩි තබමින් සොල්දරය මත ඇවිදින හඬක් ඇසෙන්නට විය.එහෙත් ඒ කෙසඟ සිරුරැති සේවකයා නොවන බැව් ඔහුට තීරණය කළ හැකි විය.ටික වෙලාවකින් ශබ්දය නැවතුණු හෙයින් කුතුහලයෙන් යුතුව ආනෝල්ඩ් සයනයෙන් නැගිටුණේය.

තද වර්ෂාවෙහි වුවත් ගත දහදියෙන් තෙමී ඇති බැවු ඔහුට ද ප්‍රත්‍යක්ෂ විය.අසාමාන්‍ය අයුරින් වටපිට බැලූ ඔහුගෙ නෙතට හසුවූයේ තම කාමරයෙන් එපිට බිමේ සිටි මිනිස් රුවකි.
ජනේලය අසලට ගිය ආනෝල්ඩ් වඩා හොඳින් එදෙස බැලීය.වර්ෂාව මැදින් කෙටූ අකුණකින් විහිදී ගිය ආලෝකයෙන් ධාරාව හේතුවෙන් ධාරානිපාතයේ තමාට පිටුපා සිටින පුද්ගලයා ආනෝල්ඩ් හට පැහිදිලිව පෙණින.සිතට දිරිගත් ඔහු විපරම් කිරීමේ අටියෙන් කාමරයේ දොර හැරගෙන අඳුරේම බන්ගලාව මැදින් ගොස් ගෙවත්තට ඇතුළුවිය. වැස්සේම තෙමෙමින් ආනෝල්ඩ් අඳුරු රුව දෙසට කෙමෙන් කෙමෙන් පියමැන්නේය.එක් වරම තවත් අකුණක් කෙටීමෙන් දසත ආලෝකමත් විය;අඳුරු රුවද මුළුමනින්ම ආනෝල්ඩ්ගේ නෙත ගැටුණි.ඒ ....තමා මීට පැය කිහිපයකට පෙර ඡායාරූපයකින් දුටු බංගලාවෙහි නිර්මාතෘ නොවේදැයි ආනෝල්ඩ්ට සිතිණ.
එවේලෙහි ආනෝල්ඩ් හට සිහි වූයේ සේවකයා කියූ වදන්ය.
නැවත දාස් පිසදා දිය ගසාදමා බැලූ කල ඔහුට එම රුව නොපෙණින.ඔහු කෙමෙන් ඒ රුව තිබූ ස්ථානයට පැමිණියේය.පසෙකින්වූයේ ගැඹුරු ප්‍රපාතයයි.

හදිසියේම පිටුපසින් ,අකුණකටත් වඩා රුදු වූ කොක් හඳලා සිනාසෙන හඬක් ඇසීමෙන් ආනෝල්ඩ්ගේ දෙපා අප්‍රාණික විය.ඔහු බංගලාව දෙසට හැරී දුවන්නට සැරසුණේය.නමුත් මග අහුරා සිටියේ බංගලාවේ අවතාරයයි.අවතාරය ඔහු දෙසට එන්නට විය.
ආනෝල්ඩ් පියවරෙන් පියවර ප්‍රපාත ගැට්ට අසලටම පැමිණියේය.කළහැකි යමක් ඔහු වෙත නොවීය. තමා ඉදිරියට පනින රුව ඔහු දිටීය.ඒ සමගම දැඩි හස්තයකින් තම ගෙල සිර කරනු ඔහුට දැනිණ.පසුව ළය පෙදෙසට එල්ලවූ පහරකින් හේ ප්‍රපාතයට පෙරළිණි.

පසුදා උදෑසන නව පරිපාලන නිළධාරී ආනෝල්ඩ්ගේ ශරීරය සොයාගන්නා විට ඔහුගේ ගෙලෙහි හා ළයෙහි වූ ඇඟිලි සලකුණු දැක කවුරුත් විස්මයට පත්වූහ.

Monday, May 31, 2010

භයානක නවකථාව


(අදත් මම දෙන්න යන්නේ ඇත්තම ඇත්ත කථාවක්.මේක එංගලන්තෙ වෙලා තියෙන්නේ.)


සුප්‍රකට නවකථාකරු ජේසන් තම නවතම නවකථාව ලිවීමට තමමේසය අසල ඇති පුටුවෙහි හිඳ ගත්තේය.පෑනෙහි අග මදක් සපමින් ඔහු කල්පනා කළේ එය අරඹන ආකාරයයි.

ඔහු තුළ පවත්නා වස්තුබීජය හොඳ නවකථාවක විලසින් එළියට පැනීමට කැකෑරෙමින් තිබුණේය.උදක්ම ඔහු වඩා පතලව සිටියේ අති භයානක නවකථා රචකයෙකු ලෙසයි.එනම් මුළු දකුණු එංගලන්තය පමණක් නොවමුළු යුරෝපයේම ඔහුගේ, ඇඟ ලොමු දැහැ ගන්වන 'හොල්මන් කථා' කියවන්නන් අතරේ ජනප්‍රිය වී තිබුණි.අතිශයෝක්ති වර්ණනාවක් නොව,ඉතා දැඩි නිර්භීත මිනිසෙකු වුවද,ඔහුගේ නවකථා කියවා එහි ඇතිදේ නිසා ගුඩ හැඟීම් උපදවාගෙන බියට පැමිණේ.ජේසන් ගේ නවකථා එතරම් අද්භූතය,අභිරහස්ය,භයානකය.

ඔහුගේ නවතම නවකථාව වූ කලී අන් සියල්ලම යටපත් කිරීමට සමත් එකකැයි ඔහුට හැඟුණි.මක්නිසාදයත් එය එතරම්ම බියකරු වස්තුබීජයකින් තැනුණු හෙයිනි.ඔහු දින කිහිපයක් තුළදී තම නවකථාව ලියා අවසන් කළේය.එහි වූයේ ලේඛකයෙකු අතිශය භයංකර අද්භූත ආත්මයකට විරුද්ධව සටන් කරන අයුරුය.කථානායකයා වන්නේ එම බියකරු ආත්මයයි.
ජේසන්තම කථාව හමාර කර අවසන් තිතද තැබුවේය.රාත්‍රියද උදාවී තිබිණ.ඔහු නිවසින් පිටවූයේ අවන්හල වෙත යාමේ අටියෙනි.රාත්‍රී අහාරය අවන්හලෙන් ගෙන නැවත නිවස වෙත ඒමට ගමන් අරඹන විට වෙලාව මධ්‍යම රාත්‍රියටද ආසන්නය.
දසත පැවතියේ ඝන අන්ධකාරයකි.අහසෙහි එක්දු තාරකාවක් නැත.සඳද වළාකුලකට ආවරණය වී ඇත.තමා යායුතු දුරෙහි මදක් තැන් පැමිණි පසු ටිකෙන් ටික වැහි බිඳු ද වැටෙන්නට වියජේසන් තම කුඩය වහා ඉහළා ගත්තේය.වර්ෂාවධාරානිපාත වර්ෂාවක් බවට පරිවර්තනයවූයේ ඇසිල්ලකිනි.තවත් මද දුරක් ගමන් ගන්නා විට දැඩි අන්ධකාරය දෙබෑ කරමින් ද,හෙණහඬ නංවමින්ද අකුණක් කෙටුවේය.ඉදිරියට පියනගන ජේසන්ට මාර්ගයේතමට පිටුපා යමෙක් සිටගෙන සිටින බව පෙණින.දණහිස දක්වා වැටෙන කළු පැහැ කබායකින්ද උස්වූ තොප්පියකින්ද සැරසී සිටි ඔහු සිටගෙන සිටියේ මාර්ගයේ හරි මැදින්ය.
මේ වනවිට දෙපසවූ ඕක් ගස් මඩුලුවලින් වැසීගිය මෙමගෙහි වෙනත් කිසිවෙකුත් දක්නට නොවීය.ජේසන් මෙමෙ භයානක රැයෙහි ඉදිරියට යාමට මදක් පැකිළෙමින් නැවතුණේය.එකෙණෙහිම විශාල සුළඟක් හැමීය.තම අත තිබූ කුඩයද සුළඟට හසුවී ගසාගෙන යනු ජේසන්ට නොදැණින.වැහි බිඳු එක දෙක ඔහුගේ හිස මතට පතිත වන්නට විය.
එකෙණෙහිම ඉදිරි මගෙහි වුන් මිනිසා ජේසන් දෙසට හැරී හිස ඔසවා බැලීය.අඩ අඳුරේ මේ කිසිත් ඔහුට නොපෙණින.තවත් මොහොතකින් කෙටූ අකුණක එළියෙන් ඉදිරියේ වුන් පුද්ගලයා මුලුමනින්ම ජේසන්ගේ නෙතට හසුවිය.


ලේඛකයාගේ ශරීරය වෙව්ලන්නට විය.හේතුව එහි සිටියේ තමා පැය කිහිපයකට පෙර ලියා අවසන් කළ නවකථාවේ අද්භූත කථානායකයා වූ තියඩෝරියන්ය.
ඔහුට ඇදහීමට පවා අපහසු විය.ඒ තම සුරතින් මැවුණු භයානක චරිතය තමා අභිමුඛයේ වූ බැවිනි.මොහු අප්‍රාණ ප්‍රාණියෙකි;තම දිගු නියවලින් ගෙලට ඇන ,සිදුරුකොට තම රුධිර මනදොල සපුරා ගත්තෙකි.
ජේසන් හට තවත් සිතීමට වෙලාවක් නොලැබිණි.බූට් සපත්තු ශබ්දවන හඬ ඇසෙන්නට විය. අද්භූතාත්මය ඉදිරියට පැමිණියේය.ජේසන් අසලටම පැමිණ නතර විය.
"ඔහේ ක.....ක..වුද?"
ජේසන් පැකිලෙමින් ඇසුවේය.
"මම නුඹේ අතින් නිමවුණු භයානක ඝාතකයා"
බියකරු රුව පිළිතුරු දුන්නේය.
"ඇයි ඉතිං...නුඹ මා.....මාව හොයාගෙන ආවේ?"
ජේසන් නැවතත් විමසීය.
"මගේ මනුෂ්‍ය ඝාතනය නුඹෙන්ම අරඹන්න."
අඳුරු රුව පිළිතුරු දුන්නේය.ක්ෂණයෙන් ජේසන්ගේ ගෙල පසාකරගෙන තියුණු නියපොත්තක් ගමන් කළේය.ඔහු සිටගෙන හිටියේ තත්පර දෙක තුනක් පමණි.
විශ්වකීර්තිමත් භයානක නවකථාකරු ජේසන් ඇන්ඩ්‍රස් පාළු මගෙහි ඇදවැටුණි.

යාමය(බිය නොහඳුනන්නන්ට පමණයි )

යාමය(බිය නොහඳුනන්නන්ට පමණයි )

Sunday, May 30, 2010

කළණ මිතුරා.


(හැමෝම කියනවා මේකේ පොඩි ගතියක් එන්නනම් ලියන බාසාවෙන්ම ලියන්න කියලා.ඒක නිසා මම අද ලියන බාසාවෙන්ම ලියනවා.මේ අත්දැකීම විඳපු කෙනා කියන විදියටම තමයි අදත් ඉදිරිපත් කරන්නේ)

වැටුණේ අකල් වැස්සකි.ගුරු පාරද සේදී ගොස් ඇතැම් තැනක වල ගොඩැලිද සෑදී ඇත.වට වර්ෂාවෙන් මාගේ ගමන ප්‍රමාද වුවද ඉනික්බිති ඇතිවන සිසිලස හේතුකොටගෙන සිතද පිරී ගොසිනි.
එහෙත් යළිත් වරක් වැස්සක ලකුණු පෙනෙන්නේය.මා මදකට කරෙහි වූ ගෝනිය බිමින් තැබුයේ සරම කැහැපට ගසා ගැනීමටය.එවිට ප්‍රමාදයක් ඇති නොවී පහසුවෙන් ගමන් කළ හැකිය.මම පය ඉක්මන් කොට කෙසේ හෝ නිවසට සේන්දුවෙන අටියෙන් ගමන් ඇරඹී.මිඑක්වරම කඩතිරයක් මෙන් වූ අහස පලාගෙන ඊ ගසක වේගය පහළට හෙළමින් කෙටී අකුණකින් දසත ආලෝකමත් විය.පොද වැස්සක් ඇද හැලුණු අතර මා සියොළඟම තෙමෙන්නට විය.මේ වනවිට මා පැමිණ සිටියේ ගලබඩ කනත්ත අස්ලටය.වෙන කිසිත් කළ නොහැකි වූ නිසාත් යකාටවත් බයනැති මිනිසෙක් වූ නිසාත් මම එහි දිරාගිය ගේට්ටුව අතරින් ඊට ඇතුල් වුණෙමි.යාර දහයක් දොළහක් ඔබ්බෙන් වූයේ එහි මුර කුටියයි.මෙම කනත්ත වූ කලී අති විශාල ඉඩමක් පුරා පවතින්නකි.අසළ ගම් ගණනාවක මෘත ශරීර ගෙනවුත් දමනුයේ මෙහිය.එසේම මෙය කාගේත් කතාබහට ලක්වූ ස්ථානයක්ද විය.මෙම ගලබඩ කනත්ත අසලින් ගමන් ගත් කිහිප දෙනෙකුට යමෙකු විසින් අදෘශ්‍යමාන ලෙසපහරදුන් කාල වකවානුවේ අප ගමෙහි ප්‍රධාන කතා මතෘකාව වූයේ එයයි.ඊට පසුබිමි වූයේ එය මධ්‍යම රාත්‍රියේ සිදුවූ බැවිනි.අති පුරාණ කාලයේ සොහොන් කොත් පවා මෙහි දක්නට ඇතැයි මම අසා ඇත්තෙමි.එහෙත් කුඩා කාල්යේදී මේ කිසිවක් පිලිබඳ සැලකිලිමත් වී ගුඩ හැඟීම් උපද්දවා ගැනීමට මම නොවෙහෙසුණෙමි.

මුර කුටියක් තිබුණද සොහොන් පල්ලෙකුනම් කිසිවිටක දක්නට නොලැබිණි.මෙමෙ මුර කුටියට ඇතුළු වූ මම කරෙහි ගෝනිය බිම තබාඑහි වූ මිටි සිමෙන්ති බංකුවෙහි හිඳ කර ලේන්සුවෙන් හිස පිසදමන්නට වීමි.
දසත ආලෝක කරමින් යළිත් වරක් අකුණක් කෙටීය.අඳුරුව තිබූ පරිසරය එයින් මට නිමේශයකින් පෙනී නොපෙනී ගියේය.මුර කුටියට මදක් ඔබ්බෙන් අලුත වළ දැමූ මෘත ශරීරයකට උපහාර දක්වන්නට ගෙන ආ මල්වඩම් කිහිපයකි.ටිකෙන් ටික වර්ශාව තදවීගෙන ආවේය.පාරෙහි මිනිසෙකු තබා කිසිදු සතෙකු නැත්තේය.බර කරත්තයක් පැමිණෙන තුරු මුර කුටියේ රැඳෙන්නට මම ඉටා ගත්තෙමි.එසේ වුවද කරත්තයක් පැමිණියාත් මා ඊට නගාගෙන යාමට කරත්තකරුවන් අකමැතිවේයැයි මගේ සිතේ කුකුසක් විය.මක්නිසාදයත් කරත්තකරුවන් සොහොන්පොළ අසලින් කිසිවෙකු රැගෙන යන්නට අකමැති බැවිනි.


තවත් ස්වල්ප වේලාවක් පාර දෙස බලාසිටින මට කනත්තේ ගේට්ටු පළු 'කීස්'ගා ඇරෙන වැහෙන හැටි ඇසිණි.මම මදක් විමසිලිමත්වීමි.කිසිවෙක් මා රැඳී සිටි මුරකුටිය දෙසට දිවෑනු පෙණින.එසේ පැමිණි පුද්ගලයා හිස ගස්සා වතුර ඉවතට වීසි කළේය.ඔහු මා දුටුවේ ඉන්පසුයැයි මට සිතිණ.එවිටම ඔහුගේ මුහුණ ආලෝකමත් විය.මටද හෙතෙම හඳුනාගත හැකි විය.ඒ මා පාසලෙන් ඉවත්වන කාලේ මට සිටි හොඳම මිතුරා පියදාසය.
"අනේ......! ටිකිරා උඹ කොහෙද මෙහේ?"
ඔහු තූෂ්නිම්භූතව මා වෙතින් විමසීය.
"මං මේ කොළඹ රස්සාව කරලා සල්ලි තිකක් එකතු කරගෙන ගමට එන ගමන්.මේ අනෝරා වැස්සක් වැටුනණේ."
මා කෙරේ ඔහු පිළිබඳව අවිශ්වාසයක් නොතිබූහෙයින් මම නොපැකිලව පිළිතුරු දුන්නෙමි.
"හොඳටම තෙමිලනේ.මේං පිහදා ගනින්"ඔහු මා දුන් ලේන්සුව සිනහාවෙමින් පිළිගත්තේය.හේ වෙනස්වෙලාය.ඇදිලා ගොසින්ය.විස්තර කළ නොහැකි අස්වාභාවික බවක්ද ඔහු කෙරෙන් විද්‍යාමාන විය.ඔහු මට පිටිපා හිස පිහින්නට විය.එකෙණෙහිම ඔහුගේ සුදු අත්දිග කමිසයේ පිට පැත්තේ රතු පැහැයෙන් විශාල ප්‍රමාණයක් රුධිරය ගලාගියබව පෙන්වන පැල්ලමක්ද විය.
"ඒයි...පියදාසයො..ඕං උඹේ පිටේ හොඳටම ලේ"
මම වහා ඔහුට පැවසීමි.

"ඒ පැල්ලම හුඟක් කල්ගිය එකක්"ඔහු ඒ දෙසවත් නොබලා පැවසීය.මට ඔහු පිළිබඳ අනුකම්පාවක් ඇතිවුණි.
"ඉතිං කොහොමැයි ගමේ තොරතුරු?"
මම ඔහු වෙතින් විමසීමි.
"මොනවද ඉතිං ,ඔය වෙනදා වගේම තියෙන්නේ.උඹ ඉස්කෝලේ නෑවිත් කොළඹ රස්සා හොයන්න ගියාට පස්සේ අපේ එක එකා ඉස්කෝලෙ යනෑක අත් ඇරියා.ඊට පස්සේ අපි කාණ්ඩෙ ගමේ එවුන්ගේ එක එක බවබෝග හොරකන් කොරන්න පටන්ගත්.තාමමත් මුලින් ඔය කාණ්ඩෙ හිටියට පස්සේ මට ඒක එපාවුණා.මම රංචුවෙන් ඉවත්වෙලා රස්සාවක් කරන්න හදනකොට අනිත් එව්න් මට අරියාදු කරන්න ආවා.අන්තිමේදී මම පොලීසිගියා.ගිහින් උන් ගැන ඔක්කොම කියලා එද්දි උං මාව මගදි අල්ලගෙන මට හොඳටම ගැහුවා.ඊට පස්සේ කාණ්ඩේ නායක රං කිරා තමයි මගේ පිටට පිහියෙන් ඇන්නේ.ඒ ලේ පැල්ලම තමයි ඔය පිටේ තියෙන්නේ."

"ඉතිං උඹට ගොඩක් අමාරු වුණාද?"මම විමසීමි.
"දැං ඕවා ගැන කතාකරලා වැඩක් නෑ.උඹ බුදියාගනින්.කරත්තයක් ආවොත් මම කතා කරන්නම්. "
හේ එසේ කියමඉන් පැල් කවියක් ආරම්ඹ කළේය.මම එකල ඔහුගේ කවිවලට බෙහෙවින් ඇළුම් කළෙමි.ටික වෙලාවක් ගතවිය.එක්වරම කවි කීම ඇණහිටියේය.මම දෑස් හැර බැලීමි.පියදාස මුරකුටියෙන් ඉවත්ව වේගයෙන් වැස්සේම කනත්ත ඇතුළට දිවයනු මම දුටිමි.

මමත් වහා නැගිට ඔහුට හඬගසමින් ඔහු පසුපස දිව ගියෙමි.එහෙත් ඔහු නැවතුණේ නැත.එක්වරම සොහොන් කොත් අතරෙන් දිවගිය ඔහු මට නොපෙනී ගියේය.කළුවරේම සොහොන්කොත් අතරින් ඇවිද යන මට ඈතින් ආලෝකයක් පෙනෙන්නට විය.මම ඒ දෙසට අවිද ගියෙමි.
වැසි සුළඟට ඇඹරෙන ගස් අතරින් මට ලන්තෑරුමක් දැකගත හැකි විය.එය තිබුණේ අලුත සෑදූ සොහොන් කොතක් අසලය.ඇස් පියන්පත් වලින් දිය ඉවත් කර බැලූ මට සොහොන්කොතේ වූ ඡායාරුව දැකගත හැකිවූයේ මෙවිටය.


ඇසිල්ලකින් මගේ ගත කිළිපොලා ගියේය.එහි වූයේ මගේ කළණ මිතුරු පියදාසගේ රුවයි.

Saturday, May 29, 2010

වික්ටෝරියා


(මේක මට කිව්වේ මම අඳුරන ගෑණු ළමයෙක්....එයා මට මේ කතාව කියපු විදියටම මම ඔයාලට ඉදිරපත් කරන්නම්)

එදා සීතල දවසක්.පුංචි හිරිපොදයකුත් තිබුණා.ඒත් මම එදා සීයත් එක්ක ඇවිදින්න ගියා.අපි ගියේ වික්ටෝරියා උද්‍යානයට.නුවර එළියේ සීතල හුළඟ වැදිලා, වික්ටෝරියා උයන හරහා ගලායන දියපාර උඩින් දමා තිබුණු යකඩ පාලමේ අත්වැට සීතල වෙලා තිබුණා.අපි හිටියේ අත්වැටට හේත්තු වෙලා.මීදුමකින් මුළු උයනම වැහිලා තිබුණා.විටින් විටේ මීදුම තුරන් වෙලා උයනේ වවලා තිබුණු රෝස පාට මල් පෙනුණා.ඒත් සුළු වෙලාවකට විතරයි.

මම ඇඳන් හිටියේ සුදුපාට ජර්සියකුයි,නිල් පාට දෙනිම් කලිසමකුයි.මගේ ඔළුවට දාලා තිබුණු අයිස් කැප් එකේ තැන් තැන් වල පිනි බිංදු රැඳිලා තිබුණා.මීදුම මැද හිටන් ඉන්න මාව ලස්සනට අනිත් අයට පේනවා ඇති නේද කියලා මට හිතුණා.උද්‍යානයේ දොරටුව ගාව උණු උණුවෙම කඩල විකුණන කඩලකාරයාගේ ලාම්පුවේ කහපාට එළිය මීදුම අතරින් බොඳවෙලා පෙනුණා.
මම ජර්සියේ සාක්කුදෙක ඇතුලට මගේ අත්දෙක ඔබාගෙන සීයත් එක්ක කතාකරන්න වුණා.
"ඔයා ඇත්තටම එයාට කැමතිද?"
සීයා ඇහුවා.අපි කතාකරමින් හිටියේ මගේ පෙම්වතා ගැන.ඇත්තටම මට එයා ගැන ලොකු අදහසක් තිබුණේ නෑ.එයා හොඳ කෙනෙක් කියලා මට දැනුණා.නමුත් එයාගේ සමහර වැඩ වල විකාර ගතියක් තිබුණා.මොනවා වුණත් එයා මට ගොඩක් ආදරේ කරනවා කියලා මම දැනන් හිටියා.
මම උත්තරයක් නොදී දියපාරේ වතුර ගලා යනවා බලන් ඉන්න ඇති.
"කවදාවත් දුවේ කෙනෙක්ට බොරුවට ආදරය කරන්න එපා.ඒක විඳවන්න දවසක් එනවා."
සීයා ලොකු හුස්මක් පාතට හෙලනගමන් මට කිව්වා.
"ඇයි සීයේ එහෙම කිව්වේ?"
මම සීයා දිහා බලාගෙන ඇහුවා.සීයගේ ඇස් යොමුවෙලා තිබුණේ ඈත අහසට.මීදුම අස්සෙන් ඈත අහස දිහා බලාගෙන මොනවාහරි පරණ දෙයක් මතකයට ගන්න සීයා උත්සාහ කරනවා කියලා මට දැනුණා.

"වික්ටෝරියා"
සීයාගෙ තොල් වෙව්ලුවා.
"මොකක්?"
මම ඒ දේ තේරුම් නොගිය නිසා ආයෙත් සීයා දිහා බලාගෙනම ඇහුවා.
"අපි ඉන්නේ වික්ටෝරියා උයනේ තමයි."
මම කිව්වා.
"නෑ......මට මුලින්ම ආදරය කරපු කෙල්ල;එයාගේ නම වික්ටෝරියා"සීයා මිමිණුවා.
"ආ....ඒකද මේ...ඉතිං එයාට මොකද වුණේ?"
මම සීයව අවුස්සන අදහසින් තමයි එහෙම ඇහුවේ
"එයා නැතිවුණා.සියදිවි නසා ගත්තා."
සීයා දුකෙන් කිව්වා.මම සීයගෙන් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු වුණේ නෑ.මගේ මූණත් මැලවිලා යන්න ඇති.
"මොනවා වෙලාද?ඇයි ඒ?"

මගි ඊළඟ ප්‍රශ්නයේ තියෙන්න ඇත්තේ වෙන ස්වරයක්.
"ඒ මං නිසා.එයා මට ගොඩක් ආදරය කළා.ඒත් මම එයාට බොරු කළා.මට මතකයි රෑට අඳින ඩ්‍රෙසිං ගවුම පිටින් එයා එල්ලිලා ඉන්නවා.ඒ මූණේ තිබුණේ මං දිහාට හෙලපු නපුරු බැල්මක්.අසරණී......."
සීයා හීල්ලුවා.
"ඉතිං සීයා ඒකට විඳවන්නේ කොහොමද?"
මම ඇහුවා.
"මට තාමත් විඳවන්න වුණේ නෑ.ඒත් මගේ හිත කියනවා ළඟදිම එහෙම වෙයි කියලා"
ඒ ස්වරයේ තිබුණේ ශෝකී බවක්.
"විකාර"
මම එහෙම කියන ගමන් සාක්කුවේ තිබුණ කුඩය ඉහළලා සීයා අතට දුන්නේ සීයව පොද වැස්සෙන් තෙමෙන නිසා.
"මම ගිහින් කඩල ගොට්ටක් අරන් එන්නම්"
මම එහෙම කියන ගමන් උයනේ දොරටුව දිහාට දුවලා ගියා.මට මිනිත්තු පහකට වඩා ගතවෙන්න නැතුව ඇති.ම්ම උණු කඩල ගොට්ටත් අරගෙන ආපහු එද්දී පාලම සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා.ළඟ පාත කවුරුවත්ම හිටියෙ නෑ.මීදුම අතරින් එකපාරටමමම සීයට දීල ගිය කුඩේ රෝල් වෙලා සුළං පාරක් එක්ක ආවා.කියන්න බැරි අමුතු බයක් නිසා මගේ ඇඟේ හිරිගඩු පිපුණා.මම මීදුම අස්සෙන් පාලම දිහාට දුවගෙන ගියා.

ඊළඟට මට සිද්ධ වුණේ එතනම නතර වෙන්න.සීයා පාලම උඩ උඩුබැලි අතට වැතිලා හිටියා.කව්දෝ කෙනෙක් සීයා ළඟ බිම දණගහගෙන සීයගේ මූණට එබිලා හිටියා.මීදුම නිසා මට එයාව හරියටම පෙනුණේ නෑ.ඒත් එයා ඇඳන් හිටියේ සුදු පාට ඩ්‍රෙසිං ගවුමක්!මම එතනට යද්දි එයා සීයා ළඟින් නැගිටලා මීදුම අසේ සැඟවිලා ගියා.
සීයගේ කට ඇදවෙලා තිබුණා.අතකුත් පණනැහැ කියලයි මට තේරුණේ.සීයට සීයට කතා කරන්න බැරිවෙලා තිබුණා.
ඊට මාස තුනකට පස්සේ දුක් විඳ විඳ හිටපු සීයා නැටෛ වුණා.ඊට පස්සෙ මම කවදාවත් වික්ටෝරියා උයන පැත්තේ ගියේ නෑ........................................

Facebook | Anuradha Wickramasinghe

Facebook | Anuradha Wickramasinghe

How do I put AdSense on my blog (using Layouts)?

How do I put AdSense on my blog (using Layouts)?

අමරණීය රචකයා


මම අද කියන්න යන කතාව එංගලන්තයේ සිද්ද වෙච්ච එකක්....ඇත්තම කිව්වොත් මේකට බය හිතෙන්නේ නෑ.ඒත් ඔන්න ඔහේ කියවල දාන්න.

වෛද්ය වෘත්තියෙන් අයින් වුණාට පස්සේ.....ෂාල් ඇල්බට් මහත්තයා පූර්ණ කාලීන ලේඛකයෙක් වුණා.ඒ කාලේ එයාගේ නම එංගලන්තයේ පත්තරවල සුලබ දසුනක් වුණාලු......හැබැයි මෙයා අපි වගේ කෙටි කතා,නිසදැස් ලියනවා වගේ ගොන් පාට් වැඩ කළේ නෑලු.මෙයා කලේ සමාජයේ යටි පතුලේ හැංගිලා තිබුණු දූෂිත දේවල් මුළු සමාජයටම පෙන්නලා දීපු එකලු.

තමන්ගේ පෑනට විවේකයක් දෙන්නෙම නැතුව කරපු මේ මෙහෙවර නිසා සමහර වෙලාවට ෂාල් ඇල්බට් මහත්තයට මැර තර්ජන විතරක් නෙමේ.......පහර දීම් පවා සිදු වුණාලු.ඒත් ඒ දේවල් වලට මේ උන්නැහේ නවත්තන්න බැරි වුණා.

මේ නිසා කීර්තිය ,පැසසුම වගේම මරණයත් එයාට ළං
වුණේ අපි කවුරුවත් හිතපු විදියට නෙමෙයි.


ලන්ඩනයේ මීදුමෙන් වැහුනු එක්තරා රාත්තිරියක එයා එයාගේ ගෙදර ඉස්සරහ කිණිසි පාරක් කාලා මැරිලා හිටියලු.ෂාල් ඇල්බට්ගේ මරණින් පස්සේ ටිකදවසක් යනකම් ලන්ඩන් පාතාලයට රජ මඟුල්ලු.ඒත් ඒ ටික දවසකට පමණයි.ආයෙමත් පත්තරවල ෂාල් ඇල්බට් නමින් ලිපි පළවෙන්න පටන් ගත්තා.......ඒත් මේ ලිපි ලිව්වේ කව්ද කියලා කවෘවත් දැනන් හිටියේ නෑ........කොහොමහරි මේ ලිපි නිසා පාතාලයේ රහස් එළිවෙලා සමාජය යහපත් වෙන්න පටන් ගත්තලු.


ඒ වගේම ෂාල් ඝාතනය කළ අපරාධකාරයන්ගේ මෘතශරීර තේම්ස් ගඟේ පාවෙමින් තිබිලා හොයා ගන්නත් හැකි වුණාලු...මේ විදියට දූෂිත ලන්ඩනය ටිකෙන් ටික යහපත් වුණාලු.


කොහොමහරි මේ ගැන විපරමින් හිටිය පොලීසියට දකින්න පුලුවන් වුණේ මොකද්ද දන්නවද! මහ රෑ තමන්ගේ සොහොන ලඟ ඉඳගෙන ඉටි පන්දම් එලියෙන් ලිපි ලියන ෂාල් ඇල්බට් ම තමයි.........මරණින් පසුත් සේවය......

හෝර්ටන් තැන්නේ තනිවෙන්නේ බලාගෙනයි...


මම අවුරුදු ගාණක් තිස්සේ හොයපු කතා එකතුවක් තමයි මම ඔයාලට මේ දෙන්න යන්නේ.සමහර අය මේවා ව්ශ්වාස කරන එකක් නෑ.අවුලක් නෑ....ඔයාලා කියවල බලන්නකෝ.
මුලින්ම ලියන සිද්ධිය නිසා ලන්කාවේ කතාවක් කියන්නම්.........ඕ.කේ?



මේක වෙලා තියෙන්නේ දෙදාස් ගණන්වල මුල් හරියේ.එච්චර ඈත කාලෙක නෙමේ.ඔයාලා හැමෝම දන්නවනේ "හෝර්ටන් තැන්න".සීතල මීදුම හැම වෙලාවෙම..........කොයි වෙලාවේ මීදුම ඇවිත් අතරමං වෙයිද දන්නෙ නෑ....එහෙම කියලා ඒ වගේ ලස්සන උඩරට කඳුකරේ වනාන්තරය බලන්නේ නැතුව ඉන්න බෑනේ.....

මම කියන සිදුවීමට යාලුවෝ තුන්දෙනෙක් සම්බන්ධයි.මෙයාලා කොළඹ ආයතනයක රස්සාව කළ අය.නම් කියන්න හොඳ නැති නිසා මම දැනට මෙයාලට අජිත්,කමල්,අරුණ කියලා කියන්නම්කෝ.ඉතින් දෙසැම්බර් මාසේ නත්තල් නිවාදුවට මේ තුන්දෙනා විනෝද ගමනක් යමු කියලා කතා කරගත්තා.යන්නේ හෝර්ටන් තැන්නට........මෝටර්බයිසිකල් වලින් තමයි යන්නේ......

හැබැයි දෙසැම්බර් මාසේ නුවර එළිය පැත්තට අවුට් ඔෆ් සීසන්ලු.මෙයාලා මේක දන්නේ නෑ...ඒකාලෙට හෝර්ටන් තැන්නට එච්චරම සෙනග නෑලූකොහොම හරි මේ තුන්දෙනා හෝර්ටන් තැන්නට ගියා කියමුකෝ.හොර්ටන් තැන්නට ගිය අය දන්නවානේ.......කිලෝ මීටර් ගානක් කැලේ ඇවිදින්න ඕන කියලා....මෙයාලා තෝරගත්තේ මුලින්ම ලෝකාන්තෙ පැත්තට වැටිලා තියන පාර....යාලුවෝ තුන් දෙනා බොහොම සන්තෝසයෙන් ඇවිදගෙන ගියාලු...ලස්සන මල් (කොළඹ මල් නෙවේ;ඇත්තම මල්),ලස්සන සත්තු මෙයාලා දැක බලාගෙන ඔන්න ලෝකාන්තෙ ලඟටම ආවලු.


ඔයාලා දන්නවනේ..සීතල පරිසරයක ඉද්දී ගොඩක් අයට මූත්තරා කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙනවා.ඉතින් මේ යාලුවෝ තුන් දෙනාගෙන් කෙනෙක්ටත් එහෙම අවශ්‍යතාවයක් මතුවුණාලු.ලෝකාන්තේ අවට සෙනග හිටියෙම නෑලූ.ඒත් අපේ අවශ්‍යතාව සහිත යාලුවා ,ටිකක් එහාට ගිහින් මූත්තරා කරන්න පටන් ගත්තලු.කවෘවත් නොහිතන විදියට එකපාරටම ඝන මීදුම මතු වුණාමූත්තරා කරන්න ගිය යාලුවාව නොපෙනෙන විදියටම මීදුම සැරවුණා.ටික වෙලාවයි ගතවුණේ..........

"අයියෝ ........අනේ මාව බේර ගන්න" කියලා ලෝකාන්තේ හෙල පැත්තෙන් කෑ ගහීමක් ඇහුණා.මෙහා කොණේ හිටිය යාලුවෝ දෙන්න හිතුවා මූත්තරා කරන්න ගිය යාලුවා හෙලට වැටෙන්න යනවා කියලා......මේ දෙන්නත් ඉක්මනටම හෙල පැත්තට ගියා.මීදුම අස්සෙන් හෙල අයිනේ ගහක එල්ලිලා ඉන්න තමන්ගේ යාලුවාගේ අපැහැදිලි රූපය දකින්න පුලුවන් වුණා.යාලුවා හිටියේ හෙලට වැටෙන්න ඔන්න මෙන්න කියා ගෙන..එක යාලුවෙක් ඉක්මනටම වැත්ටෙන්න යන යාලුවට අත දීලා ගොඩට ගන්න හැදුවා....ඒත් අවාසනාවකට ඒක හරිගියේ නෑ.එක යාලුවෙක් බලන් ඉද්දිම අනික් දෙන්නා හෙලට ඇදිලා ගියා.................

දැන් ඉතින් මොනවා කරන්නද?තමන් එක්ක ආව යාලුවෝ දෙන්නම හෙලෙන් වැටුණා.අනිත් කෙනාට තනියම ගෙදර යන්න බෑනේ.......එයා....ලෝකාන්තේ ලඟ වාඩි වෙලා අඬන්න පටන් ගත්තා.ටික වෙලාවකින් මීදුමත් නැති වුණා.තමන්ගේ උරහිසට අතක් තියනවා දැනිලා අඬ අඬා හිටපු යාලුවා ගැස්සිලා නැගිට්ටා.බැලින්නම්.......ඒ මූත්තරා කරන්න ගිය තමන්ගෙම යාලුවා.ඒකා හලට වැටිලා නෑ.ඌට මීදුම නිසා පාර හොයා ගන්න බැරි වෙලා.මීදුම තුරල් උණාට පස්සේ තමයි ඌ ඇවිත් තියෙන්නේ...දැන් හරි ගැටලුව......."කව්ද එතකොත අර ගහේ එල්ලිලා කෑ ගැහුවේ...?"කොහොම හරි තමන්ගේ එක යාලුවෙක් නැතුව මේ දෙන්නා පොලීසියට ඇවිත් වෙච්ච දේ කිව්වා.


ඊලඟ දවසේ හෙල පාමුලින් යාලුවාගේ මිනිය හොයා ගනිද්දි එතන තිබුනේ එක මිනියයි...................වැටුණු අනිත් කෙනා කව්ද?....මේක අහගෙන හිටපු වයසක සීයා කෙනෙක් කිව්වේ..."මහත්තයෝ....හෝර්ටන් තැන්නේ තනි වෙන්නේ බලාගෙන"කියලා.......