Wednesday, May 14, 2014

පාළු තේ කම්හල



මම සෑහෙන වෙලාවක් එයා එනතුරු බලා ඉන්නැති. මගෙ වටේටම තිබුණේ ඉවරයක් නැති මීදුමක්. ඊටත් වඩා ඉවසන්න බැරි සීතලක්! වෙව්ලුම්කන අත් දෙකත් බැඳගෙන මම එයා එනතුරුම හිටියා. එයා නාවත් මීදුම පහවෙලා ගියාට පස්සේ බටර්කප් මල් තැන් තැන්වල ඕනවට එපාවට පිපිච්ච පරණ සුසානය මට පෙනුණා. ඒ පරණ සොහොන් බිමේ අලුත් පස්කන්දක් උඩ තිබුණෙ සුදුපාට අත්මේස් එකක්. එක ඇඟිල්ලක් අහිමි වෙච්ච ලේ තැවරුණු සුදුපාට අත්මේස් එකක්!
                       *                 *               *                  *                *                 *

රස්සාවේ හැටියට ජයරත්න පුරුදු වෙලා හිටියේ ඕනම වෙලාවක ඕනම තැනකට යන්න. සුදු කමිසෙ යටවෙන විදිහට, තදවෙන්නම සරම ඔතාගත්තු ජයරත්න ඊටත් උඩින් ගැටගහ ගත්තේ දුඹුරුපාට පරණ ඉණ පටිය. දෙතුන් වතාවක්ම කහිමින් හිටිය මිනීකාරෙක පණගැන්වෙද්දි හිතට මොකද්දෝ සහනයක් දැනුණා.රේඩියෝවේ පිරිත් සද්දෙත් වැඩිකරගෙන මල්ශාලාව ළඟින් පිටත් වෙද්දි  වෙලාව හරියටම පාන්දර හතර පහුවුණා විතරයි.වෙනදා පාළුව තනිකම මකන්න රාමන් හිටියත්, එදා ජයරත්නට අමුතු චකිතයක් දැනුණේ නැහැ. ටවුමෙ ඉඳලා ලූල්කඳුරේ මිනිය බාර දෙන්න ඕන ගෙදරට තිබුණේ පැයක විතර ගමනක්.ඒත් වංගු හරවමින් තේපඳුරු අස්සෙන් වැටුණු වළගොඩැලි සහිත ගුරුපාරෙ යන ගමනට පැය එකහමාරකට වඩා ගතවෙන්නැති.ජයරත්න සුක්කානම දකුණට කැපුවේ වමට ඇලවෙන ගමන්.වංගුව වැඩි නිසාමදෝ මිනීපෙට්ටිය ලිස්සලා ගිහින් කාරෙකේ පැත්තක 'ඩොකොස්' ගාලා වැදෙන හඬ ජයරත්නට ඇහුණා.
ලූල්කඳුරේ ගුවන් ව්දුලි කණුවක් නොතිබිච්ච නිසාම රේඩියෝවෙන් ඇහුණේ ගෝසාවක් - පිරිත නතර වෙලා තිබුණා. මිනීකාරෙක උවමනා කරන තැනට එද්දි කඳුබෑවුමෙන් යන්තමින් ඉර එළියක් වැටෙමින් තිබුණා. ඒත් වටේටම පැතිරිලා තිබුණේ හද්ද මීදුමක්! ඒ මීදුම මැදින් පෙනුණෙත් ළපටි තේ පඳුරු විතරමයි. කාරෙක නවත්තපු වංගුව ළඟින් උඩහට තිබුණු අඩිපාරේ ජයරත්න පියවර මැන්නේ මිනීපෙට්ටිය කාරෙක ඇතුළෙ තියෙද්දිමයි. තට්ටතනියම ම! මැරිච්ච කෙනාගෙ ගෙදර තිබුණේ ගුරුපාර කෙලවර කන්ද මුදුනට වෙන්නමයි.ජයරත්නගෙ අරමුණ වුණේ මිනීපෙට්ටිය උස්සගෙන යන්න පුළුවන් විදිහට, මළගෙදර පාළු කපන්න ආපු කීපදෙනෙක් අඬගහගෙන එන්න.

                              *                 *               *                  *                *                 *

ඉහළට ඉගෙන ගන්න වජිරාට තිබුණේ ලොකු ආසාවක්.අප්පච්චි මළාට පස්සේ ලෙඩගාණේ හිටිය අම්මවත් දාලා තවදුරටත් ඉස්කෝලෙ යන්න වජිරාට හිතදුන්නේ නෑ.බිත්තියෙ කුරුටු බලි අඳින නංගිටයි මල්ලිටයි උගන්නන්න ඕන නිසාමයි වජිරා අවුරුද්දකට විතර එපිටදී පැට්ටේරියෙ වැඩට බැඳුණේ. තරමක් දුරට ඉගෙනගෙන තිබුණු නිසා ලියන කියන වැඩකට සම්බන්ධවෙන්න ඇයට පුළුවන් වුණා. දවල්වරුවේ ගෙනෙන තේ දළුවල බර කිරලා ගණන් හිලව් තියන එක කළේ වජිරා. කොළඹ ඉඳන් නිවාඩුවට ලූල්කඳුරට ආපු පැට්ටේරිය අයිති තාබෲ මහත්තයගෙ ලොකුපුතා, වජිරාට මුණගැහුණේ ඔය අතරෙදිමයි. තමන්ව තේ පඳුරු අතරේ ලස්සනට හිටවලා පොඩිමහත්තයා ගත්තු පින්තූරයක් ආදරයෙන් රාමු කරලා, වජිරා ගෙදර ඉස්ටූල් එක උඩ තියලා තිබුණා. ඒත් වජිරගෙ ආරදය රාමුකළේ පොඩිමහත්තය බව දැනගෙන ඉන්නැත්තේ තේ පඳුරු යායම විතරයි.

                                *                 *               *                  *                *                 *
ජයරත්න කන්ද මුදුණෙ ගේදරට ගොඩවෙනකොට වජිරාගෙ අම්ම හිටියෙ තේ පඳුරු අතරෙ ඉන්න විදිහට රාමු කරපු වජිරව බදාගෙන. ඒ ඇස්වල ගලාගෙන ගිය කඳුළු වියළිලා තිබුණා. ජයරත්නගෙ ආගමනයත් එක්ක කැරම්බෝඩ් එක උඩ ඒ මේ අත දුවපු ඉත්තො ටිකකට නතර වුණා.ජයරත්නගෙ මල්ශාලාවෙ සුදු ඇඳුම, වජිරාගෙ අම්මට නොකියා කිව්වේ පහළ වංගුව ළඟ තමන්ව එක්කරගෙන යන්න එනකං වජිරා බලං ඉන්න බව. ඒ එක්කම වේළුණු කඳුළුමතුපිටට තවත් කඳුළු වැස්සක් වැටුණේ අම්මගෙ අඳෝනාව කඳුමුදුණෙ මීදුම අස්සේ හංගමින්.
ජයරත්න පල්ලම බැස්සා. කැරම්බෝඩ් එක වටේ හිටිය තරුණ ගැටව් කීපදෙනෙකුත් ජයරත්න පස්සෙන් වැටුණා. පාන්දර පින්න මැදින් තේ පඳුරු අතරින් මීදුම දෙබෑකරගෙන කට්ටිය ළංවුණේ වංගුවේ නතරකරල තිබුණ මිනීකාරෙක ළඟට. ඒත්......කාරෙකෙ පිටිපස්ස දොර තිබුණෙ ඉස්සිලා. ජයරත්නගෙ කටේ යටිතල්ල පහතට වැටුණෙ ඉබේටමයි. ඊළඟට සරම ටිකක් ඉහළට වෙන්නට උස්සාගත්තු ජයරත්න අඩියට දෙකට ගුරුපාරෙන් කාරෙක ළඟට ළංවුණා. හිතාගන්න බැරිවිදිහට මිනීපෙට්ටිය තිබුණෙ ඇරල දාලා. දෙපැත්තට වෙච්ච පියන්පතක් උඩ තිබුණේ එක සුදු අත්මේස් එකක් විතරයි. ඒක වජිරාගෙ මිනියෙ අත් වහන්න දාපු එකක් බව හිතාගන්න ජයරත්නට අමාරු වුණේ නැහැ.ඒත්..........වජිරා පෙට්ටිය ඇතුළේ හිටියෙ නැහැ!!! කිසිම හෝඩුවාවක් නැතිවෙන්න වජිරාඅගෙ මිනිය මීදුම අතරෙ අතුරුදහන් වෙලා තිබුණා.

                                 *                 *               *                  *                *                 *


ලොකුමහත්තයා වජිරාව පැට්ටේරියෙන් අයින් කළේ, වජිරා කාටත් හොරා පාන්දරම ඔක්කාරෙ කරන්න පටන් ගත්තු දවස්වලමයි. බංගලාව ඉස්සරහ දෙතුන් විටක්ම වජිරා හඬාවැටිලා තිබුණත් ඒ දුක අහන්න පොඩිමහත්තයා ඇවිත් නැහැ- කැමරාවයි පොඩිමහත්තයයි දෙන්නම කොළඹ ගිහින් තිබුණා.ලොකුමහත්තයා වජිරව ආයෙමත් වැඩට අරන් තිබුණේ 'හැමදේම එළිකරනවා' කියලා තර්ජනය කළාට පස්සෙයි. ඒත් එදා හවසම කවුරුත් අහල පහළ නොහිටි වෙලාවක වජිරා මැෂිමකට අහුවුණු ආරංචිය තේ පඳුරු උඩින් පියඹලා ගියා. පදනමක් නැති ඔප්පු නොවුණු ඕපාදූප කතා ලූල්කඳුර පුරා පැතිරෙද්දි තැන්තැන්වල කැපුම් තුවාල එක්ක වජිරගෙ මිනිය මැෂිමෙන් එළියට ගත්තේ එක අඟිල්ලක් නැතිවමයි.

                                *                 *               *                  *                *                 *

ජයරත්නටවත් කාටව්ත් හිතාගන්න අමාරු වුණා මිනියට සිද්ධවුණු දේ. දවස් ගාණක් තිස්සේ හොයා බැලුවත් කිසිම ඵලක් නොවුණු තැන නිකම්ම පාංශුකූලෙ වඩම්මලා පිං දුන්නා. ඒත් සතියක් දෙකක් යන්නත් මත්තෙන් ගම්මානෙ පුරාම ඇළලිලා ගියේ ගැඹුරු භීතිකාවක්.පාන්දරම තේ දළු නෙළන්න ගිය කීපදෙනෙක්ම දැකල තිබුණේ සුදුපාටින් මිනියක් වගේ සැරසිච්ච වජිරව. මීදුම මැදින් කැපුම්තුවාල එක්ක ලේ ගලමින් එන වජිරව දුටු හැමෝම දුවල තිබුණෙ දළුකූඩ මග විසිකරලමයි. ඊටත් ටික දවසකට පස්සේ එක ඇඟිල්ලක් අහිමි වෙච්ච ලේ තැවරුණු සුදු අත්මේස් එකක්  වජිරා ඇඹරුණු මැෂිමෙ තිබිලා හම්බුණහම හැමෝගෙම බය දෙගුණ තෙගුණ වුණා.ලූල්කඳුර පුරා කවුරුත් නොදන්නා බලවේගයක් ගලාගෙන යන බව මිනිස්සුන්ට දැනුණා. හැන්දෑ වෙද්දිම ගෙවල්වලට වෙලා දොරවල් වහගන්න මිනිස්සු පුරුදු වුණේ ඒ නිසාමමයි.
අත්මේස් එක ලැබිච්ච වෙලාවේ ඉඳන්ම ලොකුමහත්තයා හිටියෙ විකාරෙන් වගේ. වජිරගේ රූපෙ පැට්ටේරිය වටේ සක්මන් කරන හැටිත් කීප දෙනෙක්ම දැකලා තිබුණා. ලොකුමහත්තයා අසනීප වුණාට පස්සේ පැට්ටේරියෙ වැඩ නතර වුණා. බංගලාවෙ ඉඳන් එනගමන් ජීප් එක තේ පඳුරු කඩාගෙන පහළට වැටිල තිබුණා.
බරපතළ තුවාලයක් නොතිබුණත් ලොකුමහත්තයගෙ බෙල්ලෙ තිබුණු අත්ලක සලකුණ දොස්තරවරුන්ට ගෙනාවෙත් ප්‍රෙහේලිකාවක්.ඒ අත්සලකුණේ තිබුණේ ඇඟිලි හතරක් විතරයි!!!

පැට්ටේරිය පාළු වුණා. ඒ වටේටම වැවුණේ අඳුරු ගස් ගොන්නක්.තවමත් මීදුම නැගෙන පාන්දර ජාමයට එකම එක අත්මේස් එකක් දාගත්තු වජිරා පැට්ටේරිය ඉස්සරහා බලන් ඉන්නවලු - පොඩිමහත්තයා එනකං -වේදනාවෙන් ඉකිගසමින්!

ප.ලි - ඉතිං.... බ්ලොග් කලාවෙන් අයින් වෙන්නම හිතාගෙන හිටියත් අවුරුදු එකහමාරකට පස්සේ ආයෙමත් පුංචි පෝස්ට් එකක් ලිව්වේ හැමදෙනෙක්ගෙම ඉල්ලීම් ඉෂ්ට කරන්න හිතාගෙන.ඔන්න එහෙනම් මම පොරොන්දුව රැක්කා ;)  සෑහෙන කාලයක් ගතවුණා.මම බ්ලොග් කලාවට ඇවිත් අවුරුදු හතරක් ගතවෙලා.අලුත් අය එන්න ඇති - යන්න ඇති. පරණ අය තාම ඉන්නවද දන්නෙත් නෑ.කියවලා බලන්න ඕන.
පහුගිය කාලෙට අලුත් පොත් දෙකක් ලියන්න පුළුවන් උණා. එකක් නවකතාවක්.අනිත් එක කෙටිකතාවක්.අපෝ නැහැ.......ඒවගෙ හොල්මන් නැහැ :)ඔන්න පහළින් පොඩි පින්තූර දෙකක් දැම්මා.කියවන්න කැමති අයට සරසවි එකෙනුයි ගොඩගේ එකෙනුයි ගන්න පුලුවන්.නිහතමානිව කියන්නේ - novel එකට පොඩි award එකක් ලබුණා - 'කවිතා 2013'. එහෙනම් හැමෝටම ජය!!!



උල් -A novel by Amila Wickramasinghe
        Sarasavi Publshers (Nugegoda)

 
තුහින සිහින සහ වෙනත් කතා -
  Short stories by Amila   Wickramasinghe
   Godage Publshers (Maradana)



Sunday, January 20, 2013

සූරිය කන්ද නිහඬයි - මළවුන්ගේ අඳෝනා 3 (voice file එක සමගින් )







ඒ මාසේ අන්තිම දවස් ටික. දුරුත්තේ හීතලෙන් අතැඟිලි ගල් ගැහිලා හිටිය මිනිස්සුන්ට නවම් මහේ උණුහුම දැනෙමින් තිබිච්ච වෙලාවක්.
හැමදාම වගේ නෙමෙයි. අද කතාව කියන්න කලින් මට තව වතාවක් හිතන්න ඕන. හේතුව.......අතීතයේ එක කාලයකදී එක්තරා පිරිසක් විසින් තමන්ගේ වාසිය වෙනුවෙන් කෙලවරක් නැතිව පට්ට ගහපු උන්ගේ ආත්ම වලට යාමයෙන් අංශු මාත්‍රයකවත් අගෞරවයක් සිදු නොවිය යුතු නිසා. වෙලාවකට හිතන්න වෙනවා..........අතීතයේ ඒ මූසල අඳුරු මතකයන් සොහොන් ගර්භ විවෘත කරලා මතුපිටත ගැනීමේ සාධාරණකම ගැන. ඒත්...........අවාසනාවකට සූරිය කන්දේ අඳුරු මතකයන්ට සොහොන් ගැබක්වත් නැහැ. ඒක, සමූහ මිනී වළක බලහත්කාරයෙන් නිදිකළවුන් තිස් එක් දෙනෙක්ගේ අඳෝනාවක්! සත්තයි......හද පාරන අඳෝනාවක්!



සාලිය ඒ වෙද්දි ඉගෙන ගත්තෙ දොළහේ පන්තියේ. තමන්ගේ ගෙදර පොත් මේසේ ඉස්සරහ වාඩිවුණාම ජනෙල් කූරු අස්සෙන් ඔහුට පෙනුණේ සූරිය කන්දේ හිටවලා තිබුණු රූපවාහිනී කුළුණ. විටෙන් විටේ මීදුමෙන් වැහී ගිය කුළුණ, ලොකු කතාවක් කොඳුරමින් හිටියා. සාලියට විතරක් නෙවෙයි - මුළු සූරිය කන්දටම.

ඒත් ඒ කෙඳිරුමට ඇහුම්කන් දුන්නේ සාලිය විතරමයි. දවස් දෙක තුනකට කලින් සිංහරාජයට ඇතුල්විය හැකි සූරිය කන්දේ නිළ නොවන පිවිසුම හරහා ගිය කිහිප දෙනෙක්ටම කුළුණ පාමුලදි ලැබී තිබුණු අත්දැකීම සාලියගේ හිත පිරෙව්වේ අප්‍රමාණ කුතුහලයකින්. ඔවුන්ට අහන්න ලැබිලා තිබුණු කෙඳිරිලිවල, අඳෝනාවන්ගේ යථාර්ථය හොයාගන්න සාලියගේ සිතේ මතුවුණු කැමැත්ත, එදා හැන්දෑවේ ඔහුව අරගෙන ගියේ කුළුණ පාමුළට. තනියට තමන්ගේ හොඳම යාළුවෝ දෙන්නත් එක්ක, ඉර බැහැගෙන යන වේලාවේ සාලිය, කුළුණ පාමුල කාණු කවාටය උඩ වාඩි වුණා. ඔහුට ඈතින් පෙනුණේ ලොකු දෙයක් කියාගන්න බැරිව හිර කරගෙන ඉන්න මානා පඳුරු රෑන උඩට රාස්සිගේ අව්ව වැටිලා දිලිහෙන හැටි.අතේ තිබුණු විදුලි පන්දම නිකටට තදකරන් සාලියත් මිතුරනුත් බලාගෙන හිටියා - දෙයක් වෙනතුරු.

කාලෙකට කලින් අඳුරු යුගයක දී කාටත් හොරෙන් පස් යට සිරකළ අවාසනාවන්තයන් පිරිසකගේ සමූහ මිනීවළක් කුළුණ පාමුල ඒ බිමේ ඇති බවට සූරිය කන්දේ වැසියන් තුළ තිබුණේ ප්‍රත්‍යක්ෂ නොවූ අනුමානයක්. ඒ වෙද්දි ඒ භූමිය වැහිලා තිබුණේ මානා පඳුරු ගොන්නකින්. රෑ වෙද්දි අතැඟිලි හීතලෙන් වෙව්ලුම් කෑවත්, සාලියගේ ඉවසීම නොසෙල්වී තිබුණා.

ටිකෙන් ටික මෝරපු හඳ, සූරියකන්දට උඩින් පෙනෙන කොට, ඒ....ඒ.....අස්වාභාවික හඬ මුලින්ම ඇහිලා තිබුණේ සාලියගේ මිතුරෙක්ට. ඊළඟ මොහොතේ දැල්වුණු විදුලි පන්දම් එළිය මානා පඳුරු අතරේ ඒ මේ අත සැරිසරන්න වුණා. තමන්ගේ දෙපය යට නිදන මළවුන් නගන අඳෝනාවන් සොයමින් වෙහෙසෙන්න වුණේ ඔවුන්ගේ සවන්පත්. හීතල නිසා හෝ හිත තුළ අවිඥානකව පැන නැගුණු භීතිය නිසා හෝ වෙව්ලුම් කෑව පන්දමේ එළිය, ගැහෙමින් තිබුණු සාලියගේ අතැඟිලිවල ස්භාවය කියන්න වුණා. ඒ එළිය එක්වරම නැවතුණේ සරුවට වැඩුණු මානා පඳුරක් මත. එතනින් එහා පැත්තේ යමක් ඇති බව සාලියට දැනෙන්නැති. හදවත්වල ගැස්ම එන්න එන්නම වැඩිවෙද්දි මානා පඳුරු දෙපසට මෑත්වුණා. සත්තයි........හඳ එළිය පවා වැටිලා තිබුණා.ඒ එළියට එකතුවුණු විදුලි පන්දමේ එළියෙන් ඔවුන් දුටුවේ මුළු ආත්මයම වෙව්ලුම් කන විදිහේ දෙයක්.


පොළොවෙන් උඩට මතුවෙලා තිබුණේ අතක්! මැණික්කටුව ළඟට එනකම් පෙනුණු අතේ මස් ගැලවුණු අතැඟිලි තිබුණේ නලියමින්. හරියට පොළොව මතුපිට ඉන්න එවුන්ගෙන් ඉහළට මතුවෙන්න උදව් ඉල්ලනවා වාගේ. අඳුරින් වැසුණු සමහර තැනකින් ඇසුණේ හිත් කම්පා කරවන අඳෝනාවන් රැසක්.පස් පෙරලාගෙන ඉහළතැ ණගෙන්න වෙර දරන හස්තය ප්‍රාණයක් සහිත වූවෙකුගේ නොවන බව වටහා ගන්න සාලියටත් ඔහුගේ මිතුරන්ටත් වැඩිවේලාවක් ගියේ නැහැ.දෙපයේ රැඳුණු පාවහන් ඔහේ විසිවන අතරේ - විදුලි පන්දමේ එළිය එල්ලයක් නැතිව ඒ මේ අත වැනෙන අතරේ - සාලියත් මිතුරනුත් කුළුණ පාමුලින් එපිටට දුවන්න වුණා. ඔවුන්ට දැනුණා - ඒ බිම පුරා රහසේ වළ දැමුණු අවාසනාවන්තයන්ට දෙයක් කියන්න ඇති බව. ඒත්......ඒ දේ අසන්නට තරම් ශක්තියක් සාලිය තුළ තිබුණේ නැහැ. තමන්ගේ පිටුපසින් ඇසුණු මළවුන්ගේ අඳෝනාවන් නෑසෙන තුරු, ඔවුන් දිව ගියා - සූරිය කන්ද හරහා ඇදුණු මීදුම් තීරය තුළින්.

ඒ සිද්ධිය වෙලා අදට අවුරුදු ගණනක්.මේ වෙද්දි ඒක පරණ මතකයක් විතරයි. කාලයත් එක්ක සිදුවුණු විපර්යාස නිසා සොහොන් ගැබක්වත් නැති වූ ඔවුන් නිහඬ වෙන්නැති. ඔව්.........කාලෙක ඉඳන් සූරිය කන්ද නිහඬයි.ඒත්.......සූරිය කන්ද අසාධාරණව ජීවිත අහිමි කළවුන්ට තවමත් සින්නක්කරයි.

ප.ලි : සූරිය කන්දේ සමූහ මිනීවළවල් සොයා ගැනීම සම්බන්ධ වැඩි විස්තර - වික්ටර් අයිවන් මහතා විසින් රචිත චෞර රැජිණ පොතෙන්.....


Saturday, December 22, 2012

නොමළ පෙම්වතුන් ( Voice file එකත් සමගින් )









ජීවිතය කියන්නේ විරල හීනයක්. හුදු මනුෂ්‍ය කොට්ඨාසයක පුරුකක් ලෙස ඉපිද තමන් දකින ඒ විරල හීනයෙන් බලෙන් පිබිදෙන්න උත්සාහ කරනවා නම්..........ඒකට සමාවක් නැහැ. ජීවිතය ඔහේ සැඟවිලා යාවී. ....වේදනාවෙන් ඉකි ගසාවී......අහිමි වෙච්ච හීනය සිහිපත් කරමින්.......හැමදාමත්!


ඒ ගුප්ත තැන්න එදා වෙනදාටත් වඩා නිහඬව තියෙන්නැති. ලා හිරු එළිය පවා විටක, මීදුම් තීරය විසින් සඟවාගෙන, එක මොහොතකට මුළු තැන්න පුරා ජීවිත නිෂ්ක්‍රීය කරන්නැති. තැන්නට ඇතුල්වීමේ දොරටුව ළඟදි  එකට වෙලුණු ඔවුන්ගේ අතැඟිලි ලෝකාන්තයේ පීඨිකාව මත දී වුණත් ලිහී ගියේ නැහැ. ඒ වෙනුවට ඒ දෑත් තව තවත් තදින් වෙලුණේ ඊළඟ මොහොත ගැන හිත පුරා හමාගිය කුණාටු වලට ශක්තිමත්ව මුහුණ දෙන්න හිතා ගෙන වෙන්නැති. සත්තයි..........උන්ගේ ආත්ම ගැහෙමින් තියෙන්නැති.


දවසක ඔබ ගිහින් ඇත්නම් , ඔබට මතක ඇති හෝර්ටන් තැන්නේ එක සුන්දර ඉසව්වක පිහිටි ලෝකාන්තය අභියස ඒ පීඨිකාව. ඔබත් ඒ වේදිකාව මත සිටගෙන මීදුමෙන් වැහුණු ගැඹුරු ප්‍රපාතය දිහා බලාන ඉන්න ඇති. ඔව්.......ඔවුන් දෙදෙනාත් ඒ විදිහටම හිටියා - වෙලාව එනතුරු.

මහනුවර පැත්තේ පුංචි ගම්මානයක ආදරණීයයන් දෙදෙනෙක් විදිහට බැඳුණත් ඔවුන්ගේ සම්බන්ධතාවයට බාධා තිබුණා. තර්ජන, බලකිරීම්, නොයෙකුත් වේදනාත්මක සිදුවීම් මැද තමන්ට කිසිදාක එක් වෙන්න ඉඩ නොලැබෙන බව දැනුණු නිසාමදෝ ඔවුන් එළඹුණේ ඒ අවාසනාවන්ත තීරණයට. දුක හදවත් වල පුරවාගෙන, ආදරය මරණයේ සදාකාලික බැම්ම්මෙන් හිර කරගෙන ඔවුන් තීරණය කර තිබුණේ ඒ හීතල මීදුම අතරේ හැමදාටම අතුරුදහන් වෙන්න.


ආයෙමත් වතාවක් පීඨිකාව මත වුන් අයට ඇහුණේ හොර්ටන් තැන්න හරහා ඇදී ගිය මාරුතයේ අඳෝනාව. ඒත් බෑවුමේ පහළ මීදුම අත වනන්න වුණේ ඔවුන් දෙදෙනාට විතරයි.

හදවත්වල ගැස්ම එන්න එන්නම වැඩිවුණා. එකට බැඳුණු අතැඟිලි තව තවත් තදින් වෙලුණේ මරණයටවත් වෙන් කරන්න බැරි විදිහට. නෙත් පුරා තවරගත් ආදරයෙන් අවසන් වතාවටත් එකිනෙකා දිහා බලාගත් ඔවුන්, ඊළඟ මොහොතේ පීඨිකාව මතින් ප්‍රපාතයේ මීදුම අතරේ අතුරුදහන් වුණා. ප්‍රපාතය මුදුණේ වුන් අය නෙත් විවර කර මුව අයා සිටින විට ඔවුන් දෙදෙනා තත්පර ගණනකට ශරීරය පුරා තැවරුණු හීතල හුළඟින් පෙනහළු පුරවා ගන්න ඇති - අවසන් වතාවට.

භෞතික ලෝකය නිහඬ වුණා - ඒ ඔවුන්ගේ ආත්මයන්ට නිදහසේ සැරිසරන්න අවකාශ සලසමින්.


දින කිහිපයකට පස්සේ ඔවුන්ගේ සිරුරු ලෝකාන්තය පහළ වනාන්තරයෙන් සොයන්න දරන්න වුණේ අපමණ වෙහෙසක්. ඒ සඳහාම විශේෂයෙන් සැකසුණු කණ්ඩායමට විවිධ දුෂ්කර ඉසව් තරණය කරන්න සිදුවෙලා තිබුණා.



සියදිවි නසාගත්තවුන්ගේ සිරුරු සොයමින් ඇවිදින විට කණ්ඩායමට මුහුණ දීමට සිදුවුණේ කිසිදාක නොලද අත්දැකීමකට.

මුලින්ම වනාන්තරයේ අඩ අන්ධකාරය තුළින් ගලා ආවේ සිනා හඬක්. ඒ සිනහව නිසැකවම ඇගේ. ඒ හඬ ඔස්සේ ඇදුණු කණ්ඩායමට දකින්න ලැබුණේ රූස්ස ගසක් පාමුල හිඳ සිටින යුවළක්. යුවතිය හිටියේ ඔහුගේ උරහිසට හිස තබාගෙන. ඔවුන් සිටියේ........අතාත්වික ලෝකයක තාත්වික ආදරයක් ලබමින්.ඒ අස්වාභාවික මුහුණුවල ලියැවිලා තිබුණේ ආදරය විතරමයි. ඔවුන් දෙදෙනා මෙලොව නොලද පෙම් සුවයක් නිදහසේ විඳිමින් සිටියා - මළවුන්ගේ ලෝකය තුළදී.




අතීරණයෙන් වුවත් කණ්ඩායම ඔවුන්ට ආසන්න වන විට ඒ රූපකායන් අතුරුදහන් වී තිබුණා. ඒ වෙනුවට දකින්න ලැබුණේ ගස පාමුල තැන්පත් වෙලා තිබුණු ඔහුගේ බිඳුණු සිරුර. ඇගේ ශරීරය තිබුණේ රූස්ස ගසේ ඉහළ අතු අතරේ සිරවෙලා. ඔවුන් යන්න ගිහින් තිබුණා - හැමදාටම.


හෝර්ටන් තැන්න තවමත් මීදුමෙන් වැහෙනවා. අඳුරු අහුමුළුවල වුණත් ලස්සනට මල් පිපෙනවා. බේකස් ඇල්ල නිහඬවම ගලා බැස්සත් ඔවුන් දෙදෙනා යන්න ගිහින්.

ඒත් තවමත් සමහර දවසක හිරිකඩ වැහි හුළඟ එක්ක මුසුවෙලා ඇගේ කිකිණි සිනා හඬ පහළ ගම්මානයට ඇහෙනවලු - ඔවුන් දෙදෙදා තවමත් පෙම් කරන ඒ පාළු ඉසව්වේ සිට.......








Sunday, December 2, 2012

දහතුන් වෙනි සැතපුම් කණුව (මළවුන්ගේ අඳෝනා 2 - voice file එකත් එක්ක)


නිදාගෙන ඉන්න මළවුන් කූද්දන්න නම් යාමයට උවමනාවක් නැහැ. ඒත්.......... මුළු ලෝකයටම හොරෙන් ජීවිතය අඩි හතරක් පොළොව යට වළලා, මළවුන් බවට පත් කළවුන්ගේ වේදනාත්මක අඳෝනාවන් ඔබ ඉදිරියේ දිග හරින්නට නම් යාමයේ කිසිදු පැකිළීමක් නැහැ.
මේතාක් යාමයෙන් ඔබ වෙත ගෙන ආවේ ප්‍රාරම්භයක් වගේම විඥානගත නොවූ අවසානයන් සහිත සිදුවීම් පෙළක්. එක දෙයක් කියන්න ඕන - නිශ්චිත අවසානයක් නැති සිදුවීම් ..........මේ ලෝකයේ ඕන තරම්. මේ......එවැනි සිද්ධියක්.

දහතුන්වෙනි සැතපුම් කණුව ගැන කියද්දී කෝන්වැව, කට්ටඹුවාව, නෙත්තිපොළගම විතරක් නෙමෙයි.....මහව මංසන්ධියට යනකම් මිනිස්සුන්ගේ ශරීරවල හිරිගඩු පිපෙන්නේ බඩ ඉරිඟු හේනක් හරහා හමා එන සීතල සුළඟ වැදිල නම් නෙමෙයි. ඒ.....තවමත් නොවිසඳුණු මරණයක ඇතුළාන්තයේ ගොරහැඩි සත්‍ය පපුවලට තට්ටු කරලා යුක්තිය ඉල්ලන හින්දා.

මේ ..........ප්‍රදීප්ගේ කතාව.


හොඳ හිරිමල් වයස; එතකොට ප්‍රදීප්ට අවුරුදු විසි දෙකයි. රස්සාවට කළේ ත්‍රීවිලර් හයර් කළ එක. කෝන්වැව හන්දියේ බෝ ගහ යට තිබුණු ත්‍රීවිලර් තුනෙන් ප්‍රදීප්ගේ රථය බොහොම පහසුවෙන් වෙන්කරලා හඳුන ගන්න පුළුවන් කම තිබුණා.
' අප හමුවීම වෙන්වීම දෝ ආදරේ.......මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ....'
ඊට හේතුවුණේ ඒ ගී පද දෙපේළිය.

අනෙක් හැම කොල්ලෙක්ටම වගේ ප්‍රදීප්ටත් හීන තිබුණා. හැම හීනෙකම ඉන්නවා වගේ දෙව්ලියක් ප්‍රදීප්ගේ හීනේ හිටියා. ඒත්....එක දෙව්ලියකට ඉන්න පුළුවන් එක හීනයක විතරයි. ඇය - කුමාරි.ප්‍රදීප්ගේ සිහින සුන්දර කරන්න හොරෙන්ම ගොඩ වැදුණත් ඒ වෙද්දිත් ඇය හිටියේ වෙනකෙකුගේ හීනයක දිව්‍යාංගනාවක් වෙලා.

සම්මතයන් වැව් පතුළේ ගිලිලා යද්දි, කුමාරි ප්‍රදීප්ගේ ලෝකයේ හීන මාලිගා තැනුවේ හැමෝටම පෙනෙන වැ කණ්ඩිය මත ඉඳගෙන. හුළඟ ඒ ඕපාදූපය අජිත්ගේ කනට කොඳුරන්නැති. තමන්ගේ හීන කුමාරිය - කුමාරි, වෙනකෙක් එක්ක පවත්වපු හාදකම අජිත්ගේ කෝපය ඇවිස්සුවේ වැවේ වාන පිටාර ගලනවා වාගේ.වතාවක් දෙකක් අජිත් ප්‍රදීප්ට තර්ජනය කරලත් තිබුණා....

එදා මාසේ පෝය දවසක්. රේල් පාරත් මහ වැවත් අතර මැද අක්කර ගණනාවකම ඉරිඟු හේන් යාය වැහිලා තිබුණේ ඝන අන්ධකාරයකින්. වැව ඉස්මත්තේ කැලෑ රොදට වෙලා 'හූ' කියපු හිවලුන්ගේ මූසල ඇඬියාව ගම්මානයට කැන්දගෙන ආවේ මරණීය භීතිකාවක්ම විතරයි.ඒ උඩුබුරලීම් වලට සොහොන් පොළේ නිදිගත් මළවුන් පවා ඇහැරෙන්න ඇති.හන්දියෙන් තමන්ගේ රිය හරව ගත්තු ප්‍රදීප් ගම්මානේ දිහාවට තනියම ඇදුණේ මුළු ඇඟම කිලිපොළන මේ හඬවල් මැදින් - කට්ට කරුවලේම.

අපි දන්නේ නැහැ........ඊළඟට මොනවිදිහේ දෙයක් වුණාද කියලා.ඒත් පහුවදා පාන්දර කැබලි ගණනාවකට බිඳුණු ප්‍රදීප්ගේ මළ මිනිය හම්බුණා.ඒ තිරිකුණාමල දුම්රිය මාර්ගයේ දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ තිබිලා.දුම්රියට හසුවෙලා තිබුණු නිසා මළ සිරුරෙන් වැඩි දෙයක් කියැවුණේ නැහැ.රේල් පාරේ තැන් තැන් වල වැටිලා තිබුණු කළු තෙල් ඒ සිරුර පුරා තැවරිලා තිබුණා.ඊට මදක් ඔබ්බෙන් දුම් රිය හරස් මගේ පැත්තක නතර වෙලා තිබුණේ ප්‍රදීප්ගේ ත්‍රී රෝද රථය. ඉරිඟු යායට, රේල් පාරට, පාන්දර පින්නට කියන්න දේවල් ගොඩක් තියෙන්නැති - 'සිය දිවි නසා ගැනීමක්' ලෙස සටහන්වුණු මරණ පරීක්ෂණ වාර්තාවට හාත්පසින්ම වෙනස් දෙයක්......

ප්‍රදීප්ගේ තුන්සක රියේ පිටිපස්සේ තිබුණු කවිපද කාලයත් එක්ක වැස්සට මැකිලා යද්දි ඒ සිදුවීමේ මතකයන් ගම්මුන්ගේ හිත්වලින් ඈත් වෙන්න වුණා.....

මාස දෙක තුනකට පස්සේ දවසක රෑ ජාමේ රත්නායක මාමා රේල් පාරේ සිල්පර කොට උඩින්  පැන පැන ඇවිත් දහතුන්වෙනි සැතපුම් කණුව ළඟට කිට්ටු වුණේ තමන්ගේ ඉරිඟු හේනට යන්න හිතාගෙන. ඒත් .....රේල් පාරෙන් හේන පැත්තට හැරෙද්දි එක පාරටම පිටිපස්සෙන් ඇහුණේ පුරුදු කට හඬක්.

"මාමේ..."

රත්නායක හැරිලා බැලුවා.

"මාමේ.....අනේ මාමේ!! උං මාව මැරුවා. මම මැරුණා නෙමෙයි....මම කෝච්චියට පැන්නේ නෑ මාමේ..."

එක අතක් අහිමි ප්‍රදීප්ගේ රූපය එහම කියද්දි , හේනෙදී කන්න ගෙදරින් ඔතලා දුන්නු පාර්සලය රේල්පාර මතම අතහැරිය රත්නායක මාමා ඉරිඟු යාය දිගේ භීතියෙන් කෑ ගහගෙන දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ.දවස් ගාණක් උණ විකාරයෙන් දෙඩෙව්ව රත්නායක මාමා සනීප වුණේ තොවිලයකුත් නැටුවට පස්සෙයි.ඊට පස්සේ ප්‍රදීප්ව මුණ ගැහුණේ පාන්දර රේල් පාර දිගේ ඉස්කෝලේ ගිය යුවතියන් දෙන්නෙක්ට.ප්‍රදීප් ඔවුන්ට කියා තිබුණෙත් රත්නායකට කියූ දේවල්මයි.මේ විදිහට දෙතුන් දෙනෙක්ටම පෙනෙන්න වුණාට පස්සේ ගම්මු දහතුන් වෙනි සැතපුම් කණුව ළඟින් ගමන් කරන එක නැවැත්තුවා.

ඒත් සමහර රෑක දුම්රිය හරස් මාර්ගය ළඟින් ඇවිදගෙන යන කෙනෙක්ට ඇහෙන්නේ වේදනාවෙන් ඉකිගහන ප්‍රදීප්ගේ අඳෝනාවලු. කාලය ගෙවිලා ගියත් කට්ට කරුව්ලේ වුණත්..........ඈත රේල් පාරේ පීල්ලක වාඩිවෙලා නිහඬවුණු සාක්ෂි අවදි කරන්න හඬන ප්‍රදීප්, දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ - ඔබ එනකම්......................හැමදාමත් ඉඳීවී.......


සත්‍ය කතාවක් මත පදනම් වී ඇත.

ප.ලි: පහතින් තියන පින්තූර වලින් පෙනෙන්නේ අදාළ දුම්රිය හරස් මාර්ගය සහ ආසන්නයේ ඇති ඉරිඟු හේනක්.(මම පහුගිය ටිකේ ඔය පැත්තේ රවුමක් ගියානේ)


සචින්ද්‍ර වීරසූරිය සහ අනුජ විතානගේ සොහොයුරන් කට හඬ දායකත්වය සැපයූ කතාවක් මීළඟ සතියේ යාමය තුළින්.....



Saturday, November 17, 2012

ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරය ( Voice file එකත් එක්ක යාමය පුංචි පිම්මක් පනියි)

ඇහැලේපොළ කුමාරිහාමී - වොයිස් ෆයිල් එක අහන්න කැමති අයට


විශේෂ ස්තූතිය : මොරටුව විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයේ ඒ.එච්.විතානගේ සහ එල්.ඒ. වීරසිංහ (පිටසක්වලයා ලියන ) සොහොයුරන්ට.




මට කියන්න තියෙන්නෙ............ මෙච්චරයි.

" ඒක ආයෙමත් සිද්ධවෙන්න ළඟයි "

සමහර වින්‍යාස තියනවා - පුනරාවර්තනය වෙන සිද්ධි ඈඳිච්ච.කාලය කියන්නෙත් එහෙම වින්‍යාසයක්ලු.සිද්ධියක් තියනවා - කාලයත් එක්ක තවමත් පුනරාවර්තනයවෙන.අටසිය ගණන්වල මැද හරියෙදි මහ රෑ අශ්වකරත්තවලින් වැවරවුම වටේ ගිය අයටත් ඈව මුණගැහුණා.නවසිය ගණන්වල මුලදී පරණ වැගන් කාර් ඈව දැක්කේ ක්වීන්ස් හෝටලය ඉස්සරහ දුකෙන් බලාගෙන ඉද්දි.අවුරුදු විස්සකට තිහකට උඩදි ඈ හිටියෙ ගුඩ්ෂෙඩ් පැත්තෙ.මං දන්නෑ.ඊළඟට ඈ කොහේ ඉඳීද කියලා.                            සමහර වෙලාවට  ............   ඔබ ඉදිරියෙත් වෙන්න පුළුවන්.


ඒ අතීතයේ අඳෝනාව ආයෙත් මතක් කරන්න ඕන නැහැ.තාමත් ඉතුරුවෙලා තියන ඇහැළෙපොළ වලව්ව සාක්කි දේවි ; බෝගම්බර වැවේ වතුර පවා සාක්කි දේවි.ලොකු බණ්ඩාර වෙව්ලද්දි මද්දුම බණ්ඩාරගේ ආත්මයට වීරත්වය එකතුවුණු හැටි,කිරි දරුවා වංගෙඩියෙ කෙටෙද්දි ,අම්ම වෙච්චි ඇගේ ගෙලේ බර ගලක් ගැටගැහුණු හැටි, ඒ ගල්ගෙඩිය පිටින්ම ඈ බෝගම්බර වැවේ ගිලුණු හැටි ....................ඇති!


-
-
-
-
-
-


එදා හරිම කාලකණ්නි දවසක්.මුළු හවස්වරුවම බලාගෙන උන්නත් වීරෙ අයියගේ වීල් එකට කවුරුවත් ගොඩවුණේ නෑ.පහුවදාට තෙල් ගහගන්නෙ නැතුව දුවන්නෙ කොහොමද කිය කියා හිත හිතා ඉද්දි ,රැවෙලා ආවා වුණත් පේරාදෙණියට යන්න ආපු හයර් එක අතාරින්නෙ කොහොමද! වෙර යොදලා 'ස්ටාටරේ' ඇද්ද වීරෙ අයියා ඊළඟ මිනිත්තුවෙදි පේරාදෙණිය පැත්තට ඉගිළුණා.

යද්දි තනිකමක් නොදැනුනේ වීල් එකේ පිටිපස්සේ තව දෙන්නෙක් හිටපු නිසා.ඒත් ආපහු එද්දි............මොකද්දෝ අමුතු හිතුවිලි ගොඩක් වීරෙ අයියගෙ හිත ඇතුළෙ කැරකෙන්න වුණා.දවල් කාලෙට කොච්චර සද්ද බද්ද තිබුණත් රෑ දහය වෙනකොට 'ගුඩ් ෂෙඩ්' පැත්තෙ එක බලු බල්ලෙක් නැහැ.පාර අයිනේ තිබුණු කඩවල්වල ලෑලි දොරවල් පවා ඔක්කොම වහලා.වීරෙ අයියට ඇහුණේ විටෙන් විටේ රේස් වෙන වීල් එකේ සද්දෙ විතරමයි.බාගෙට පායපු හඳේ මලානික එළිය පාර දෙපැත්තෙ ගස්කොළන් උඩට වැටිල දිලිසුණා.ඉඳල හිටල තිබුණු පහන් කණුවකට පුළුවන් වුණේ පාර මැද්ද යාන්තමට එළිය කරන්න විතරයි.දොළහටත් කිට්ටු වෙලා තිබුණු නිසා මුළු නගරෙම කිසිම හැල හොල්මනක් නැහැ. ඒත් වීරෙ අයියගෙ හදවත වේගෙන් ගැහෙමින් තිබුණේ ඔහුවත් නොදන්නා හේතුවකට.


වෙනදා කොහෙ නොහිටියත් ස්ටේසම ළඟදි කෝච්චියෙන් ආපු කවුරු හරි වීල් එකට අතදාන බව වීරෙ අයියා දැනගෙන හිටියා.ඒත් එදා........ඒ පැත්තේ මිනිස් පුළුටක්වත් නැහැ.ඉස්ටේසම ළඟින් ඉස්සරහට ඇදුණු වීරෙට ඈතින් පේන්න වුණේ පරණ ඔරලෝසුකණුව.සමරපාට ගාපු කණුවේ පහළ හරිය සම්පූර්ණයෙන්ම අඳුරුයි.පාරෙ තියන වළවල් නිසා වීල් එකේ වේගෙත් පයින් යන ගානටම අඩුවෙලා තිබුණේ.හදිස්සියෙම වීරෙ අයියගෙ ඇහැ යොමුවුණේ තමනුත් ඔරලෝසුකණුවත් අතර ඇවිදගෙන යන ලස්සන නෝන කෙනෙක් දිහාවට.සුදුපාට ඔසරියට ඇඳල තිබුණේ පරණ තාලෙ බෝරිච්චි හැට්ටයක්.ඉණවටෙයි, අත්වටෙයි හැට්ටෙට අල්ලලා තිබුණු රේන්ද පටිපවා වීරෙ අයිය දැක්කා.කොණ්ඩෙ බැඳලා හිස කෙලින් තියාන ඉස්සරහට ඇවිදගෙන ගිය ඒ නෝනගෙ තිබුණේ රදළ තේජසක්.
වීල් එක ඒ හරියෙන් යන කොට වීරෙ අයියා හැරිලා ඒ දිහා බැලුවේ හිතේ හටගත්තු කුතුහලය නිසාමයි.බෙල්ලෙ බැඳල තිබුණු අගස්ති මාලෙට එළිය වැටෙද්දි එක මොහොතකට වීරෙ අයියට පෙනුණේ ඇගෙ මුහුණ.ඒ මූණ පුදුම විදිහට සිරි‍යාවන්තයි.ඒත් හැඟීම් වෙන් කරලා අඳුරගන්න අමාරු විදිහට දුකකුත් පිළිබිඹු නොවුණාම නොවෙයි.ඊළඟ මොහොතේ පයේ මිරිවැඩියක්වත් නොතිබ්බ ඈ තමන් දිහා බලලා අහසට අත දික්කරනවා වීරෙ දැක්කා.සිරියාවන්ත මූණ දුකෙන් පිරුණා.මොන මොනවදෝ කියමින් ඈ වැලපෙන හැටි වීරෙ අයියට පෙනුණා.

ආයෙත් අහසට අත්දෙක දික්කරගෙන දෙවියන්ට යදින හැටි ඇසුණා.මේ වෙද්දි ඈ කව්ද කියන එක වීරෙ අයියට දැනිලා ඉවරයි.
"ඇහැළෙපොළ කුමාරිහාමි"
වීරෙගෙ තොල් මිමිණුවා.
තමන්ටත් නොදැනි දකුණු අත්ල කැරකෙද්දි 'රේස් ' වුණු වීල් එක දුමාරය නංවමින් ඔරලෝසුකණුව පහුකරන හැටි වීරෙ බලාගෙන.මොකද්දෝ හේතුවකට වීල් එකේ පැති කණ්නාඩියෙන් පිටුපස බලපු වීරෙ අයියට ඔරලෝසුකණුව ළඟින් බෝගම්බර වැව පැත්තට හැරෙන ඈව පෙනුණා.

ඈව නොපෙනී ගිය එක සතුටක් වුණත් ඒ මූණේ තිබුණු හැඟීම් සමත් වුණේ වීරෙ අයියගෙ හිත දුකෙන් පුරවන්න.හිතේ ගැඹුරුම තැනකින් ඇතිවෙච්ච ඒ දුක්බර හැඟීම කඳුළක් නංවලා ඇස් බොඳ කළා..........


ඈ තවමත් ඇගේ දුක කියනවලු. සමහර දවසක ජෝජ් සිල්වා උයනේ ඉඳගෙන ඉන්නවලු.රිමාන්ඩ් හිරෙ ගේ පැත්තට පයින්ම යනවලු- අසාධාරණයට ලක්වෙච්ච තමන්ගෙ දුක කිය කියා.කාලාන්තරේකට සැරයක් ඈ එනවලු.මෑතකදි දකින්න නොලැබුණත් ඈ ඒවි.නිසැකවම.......... නුදුරේදීම ඈ ඒවි.

සමහර විටක ඔබ ඉදිරියට - ඇගේ දුක අසන කෙනෙකුන් ළඟට!





මට කියන්න තියෙන්නේ......

" ඒක ආයෙමත් සිද්ධවෙන්න ළඟයි "

Friday, October 19, 2012

එක දවසක්.............මම....


"අම්මේ මම තාමත් ඔයාගේ චූටි පුතා ද?" 
ඉස්සර හැන්දෑවට
කළුවරට බයේ මම අඬනකොට
'උඩ ගිය බබා ' කතන්දර පොත අරං
ඇඳ විට්ටමට හේත්තු වෙලා
මට නින්ද එනකං
කියවපු හැටි මතකයි තවම මට..............
දැන් නම් හැමතැනම කළුවරයි තමයි
ඒත් මම අඬන්නේ නෑ.....

"ඇඬුවට අම්මට ඇහෙන්නෙ නෑනේ අම්මේ"

සීතල වැඩි දවසක
කෑ ගහලා මම අඬනකොට
අර මල් තියන රතු පාට චීත්තෙ
වැලෙන් අරගෙන
මට පෙරවලා - දෑතින්ම බදා
ඔයා සීතලෙන් වෙව්ල වෙව්ලා
හිටිය හැටි මතකයි තවම මට........
මේ වැලිතලාවම සීතලයි තමයි
ඒත් මට දැනෙන්නෑ..........

"මගේ අත් දෙකටයි කකුල් දෙකටයි මේස් දාලනේ එයාලා "

අප්පච්චිට කියන්න
මට ආයෙ සීනි බෝල එපා කියලා
කාලයක් ගතවුණත්
තාම මට බඩගිනි වුණේ නෑනේ
අම්මගෙන් අන්තිමට බිව්ව
කුක්කු වල රස
තාමත් දිව අග තියනවා වාගෙයි
හොඳ බබාලා මැරුණාම
දෙයියෝ ඇවිත් එක්ක යනවා කිව්වත්
තාමත් මම සුදු වැලියටනේ අම්මේ - හරිම පාළුයි

"මට තනියම කෝම්පිට්ටුවක් වත් හදන්න බෑ මේ වැලිවල - අම්මත් එනවද?
 
 
 ප.ලි : 'උඩ ගිය බබා' කියන්නේ මම ජීවිතේ කියෙව්ව පළවෙනි කතන්දර පොත:D:D

Friday, October 12, 2012

තුඩැල්ලේ අවතාරය


"නොගියොත් යළිත් ආ නොහැකිය. යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්ට බැරි ය. නොගොස් එන්ට බැරි ය"

- එනිසා අයෙත් ඇවිත් යන්ට වරෙන් -

ප්‍රාරම්භයට කලින් එළඹුණු අවසානයන් නිසා දුක් විඳින මිනිසුන් ඕන තරම්. ඒත් උන්ට තාමත් සන්තෝස වෙන්න පුළුවන්.ඒ තවමත් උන්ගේ පිටිපස්සෙන් ආත්මීය සාධකයක් විදිහට ඇදෙන සෙවණල්ල නිසා.ඒත්.............සෙවණල්ලක්වත් නැති උන්? උන් මේ අවකාශය තුළ අතරමං වෙලාද? අඩුම තරමේ ...........අඩුම තරමේ තමන්ට අයිතිව තිබුණු මනුෂ්‍යත්වයව පවා අහිමිව!!!



ඒ අසූ ගණන්වල මුල් හරියේ දවසක්. ජා ඇළ කණුවන හන්දියටත් වෙනද වගේම කරුවල වැටුණා. කාලෙකට කලින් හන්දියේ හිටවපු සුදුපාට පිළිමේ හැන්දෑවේ අඳුරින් නැහැවුණේ අහළ පහළ බල්ලන්ගේ උඩු බිරුම් හඬ වැඩිවෙනවාත් එක්කමයි. කඩපිල්වල ලෑලි දොරපළුවලට අගුල් වැටෙද්දි හන්දියෙන් ඒ පැත්තට මේ පැත්තට හරවපු වාහන ගණනත් අඩු වුණා.ඉඳ හිට හරි හන්දිය පහු කරලා යන වාහනයක් වුණත් පිළිමේ ළඟදි ඉගිළුණේ පුළුවන් තරම් වේගය වැඩි කරලා.

විතාරණ කටුනායක ගුවන් තොටුපොළේ නතර කළ ගුවන් යානයෙන් බහිද්දිම වෙලාව රෑ දොළහට විතර ඇති. අවුරුදු ගාණක් පිටරටක රැකියාව කරලා  ලංකාවට ආ විතාරණට ඕන වුණේ කාටවත්ම නොකියා ගෙදරට ගිහින් හැමෝම ම පුදුම කරන්න. රෝල දිගේ ආපු ගමන් මළු දෙකත් අරගෙන ගුවන් තොටුපොළෙන් එළියට ඇවිත් ඊළඟට බැලුවේ කුලීරියක් හොයාගන්න. විතාරණ කතා කරන්නත් කලින් ළඟට ආ රියදුරෙක් අතේ තිබුණු බර ගමන් මළු තමන්ගේ දෑතට ගත්තේ සුහදශීලි විදිහට ඔහු  දිහා බලලා හිනාවෙන ගමන්. ටිකක් ඔබ්බෙන් නවතලා තිබුණු රථය දිහාට ගිය රියදුරා ගමන් මළු බිම තියලා තමන් ළඟ තිබුණු යතුරකින් කාරෙක පිටි පස්සේ ඩිකිය විවෘත කළා.

"පොඩ්ඩක් ඉන්න. ඕකේ බිඳෙන දෙයක් තියනවා.මම ඒක අතේ තියා ගන්නං"

රියදුරා දෙවැනි ගමන් මල්ල ඩිකියට පටව්න්න යද්දි විතාරණ කියන්න වුණා. ඊළඟට ගමන් මල්ල විවෘත කරලා  එළියට ගත්තේ උඩින්ම තිබුණු පාර්සලයක්. රියදුරා දොර හැර දුන් පසු ඉදිරි පස ආසනයේ වාඩිවුණු විතාරණ උකුලේ තබා ගත්තේ තමන්ගේ පෙම්වතියට මිලදී ගත් සුකුරුත්තම් භාණ්ඩ වගයක් සහිත ඒ  පාර්සලය .

රියදුරා රථය පණ ගන්වද්දිම ඉදිරි පස ලාම්පු එළිය වැදිලා හාත්පසම එළිය වුණා.ඊළඟට රථය පිවිසුණේ ගුවන් තොටුපොළ පර්යන්තයෙන් මහපාරට.බොහෝ මගීන් කරනවා වගේම විතාරණත් තමන්ගේ වයසෙම වගේ හිටිය රියදුරත් එක්ක කතාවට වැටුණා. රියදුරා - අනිල් කතාවට දක්ෂයෙක් බව තේරුම් ගන්න විතාරණට වැඩි වෙලා ගියේ නෑ. අනිල් වැඩි පුරම කතා කළේ ලංකාවේ දේශපාලනය ගැන. විතාරණ දේශපාලනයට ඒ තරම් කැමැත්තක් නොතිබුණත් මුඛරි රියදුරාගේ කතාවට ඇහුම් කන් දීගෙන හිටියේ ආසාවකින්. වැඩිමනක්ම කතා බහෙන් ඔහුගේ නිදිමත නැතිවෙන නිසා. රාත්‍රී කාලේ වුණු නිසා පාරේ වාහන ඒ තරම් දකින්න ලැබුණේ නැහැ.ඒ නිසාම රියදුරා රථය ධාවනය කළෙත් බොහොම වේගයෙන්.

ඇතින් ගුවන් තොටුපොළේ විදුලි පහන් වල එළිය පෙනෙන්නේ නැතිව යද්දි විතාරණ්ගේ හිත කාංසියකින් පිරෙන්න වුණා.ඒත් නිවස මතක් වෙද්දි ඇස් පවා එළිය වුණේ ආදරණීය හැඟීම් ගොන්නකින්.

"......ඔව්.......දැන් හැමදේම වෙනස් මහත්තයා.කලබල නං අඩුයි. ඒත් ඒක කොච්චර කාලයක් තියෙයිද දන්නේ නෑ.රජයත් ඉස්සරට වඩා හදිස්සියෙන් තැන් තැන්වලින් මතුවෙන එක එක කල්ලි හැමදේම හොයලා බලනවා.අපට නං සෙතක් නෑ..."

රියදුරු අනිල් ඔහේ කියවගෙන යද්දි විතාරණගේ නෙත් යොමුවුණේ ඩෑෂ් බෝඩ් එක උඩ තිබුණු කැසට් පටි කීපයක් දිහාවට.ඉංග්‍රීසි සින්දු සහිත කැසට් පටි අතරේ තිබුණු එකම එක සිංහල කැසට් පටයක් විතාරණ අතට ගත්තා.

 "රුක්මණී දේවි මැරෙනකොට මහත්තයා ලංකාවේ හිටියද?"

දේශපාලන කතාව ටිකකට නතර කළ අනිල් ඇහුවේ අනෙක් පස ආසනේ ඉඳගෙන කැසට්පටිය දිහා ඇස් දල්වගෙන බලා හිටි විතාරණගෙන්.

"නෑ........එතකොට මම මෙහේ නෑ.ඒත් මට ඒ ගැන  ආරංචි වුණා.....ඉස්සර මම අහන්නෙම රුක්මණී දේවිගෙ සින්දු. ඒත් කාලෙත් එක්කම ඒක අත් ඇරුණා"

".... ඔය පටියත්  රට ඉඳන් ආපු මහත්තයෙක් දාලා ගිය එකක්.මට වැඩිපුරම ඇහෙන්නේ ඉංග්‍රීසි සින්දු තමයි.ගොඩක් වෙලාවට මේකට නගින්නෙත් ලංකාවට එන සුද්දොනේ.අනිත් එක මහත්තයා දන්නවද?  රුක්මණී දේවි ඇක්සිඩන්ට් වුණෙත් තව ටිකක් ඉස්සරහ.මම යනකොට මහත්තයට පෙන්නන්නම්කො"

රියදුරා තවත් ගියරයක් මාරු කරන ගමන් කියන්න වුණා.

"මම දැනන් හිටියේ ඇක්සිඩන්ට් වෙලා මැරුණා කියලා විතරයි.මේ හරියේ කියලා දැනගෙන හිටියෙ නෑ"

විතාරණ එහෙම කිව්වේ අතේ තිබුණු කැසට් පටිය ඩාෂ්බෝඩ් එක උඩට විසි කරන ගමන්.ඒත් ඉලක්කෙ වැරදුණු නිසාදෝ කැසට් පටිය ප්ලාස්ටික් ආවරණයේ වැදී වැටුණේ විතාරණගේ දෙපතුළ ළඟට. අතේ තිබුණු පාර්සලය නිසා බිම වැටුණු කැසට් පටිය ගන්න විතාරණට අමාරු වුණා.

"කමක් නෑ මහත්තයා. ඕක බැස්සට පස්සේ අහුලලා තියන්න පුළුවන්නේ.මහත්තයා පාර්සලය පොඩි කරගන්නෙ නැතුව ඉන්න"

කළුවරේ බිම අතපත ගාන විතාරණට රියදුරා කිව්වා. අනිල්ගේ හඬින් විතාරණ ආයෙමත් බාගෙට ඇරලා තිබුණු ජනෙල් වීදුරුව තුළින් ඈත් කරුවල දිහා බලාගෙන ඉන්න වුණා. අත් ඔරලෝසුව දෙස බැලූ රියදුරාට පෙනුණේ පාන්දර දෙකට මිනිත්තු කිහිපයකට වඩා නැති බව.

පාර දිගට පිහිටලා තිබුණු උස් පහන් කණුවලින් නිකුත්වුණේ මලානික එළියක්.ඒ ආලෝකය පවා උත්සාහ කළේ හිතේ කාලකන්ණිකමක් ඇති කරන්න.සමහර වෙලාවට අයිනේ තිබුණු රූස්ස ගහක අඳුරු සෙවණැල්ල තාර පාරේ පදාසයක්ම වසාගෙන තිබුණා. රථයේ විදුලි පහන්වලින් වත් අඳුර මකාදමන්න ඒ තරම් සෙතක් ලැබුණේ නෑ.පසු බිමෙන් ඇහුණු මෝටර් රථයේ ශබ්දයත් විතාරණගේ හිතට ගෙන ආවේ කරදරකාරී හැඟීමක්. ඒ නිසාමදෝ හිස ඇල කරලා ජනෙල් වීදුරුවට හිස තියා ගත් විතාරණ නිදා ගන්න උත්සාහ කළා. තමන්ගේ දේශ්පාලන කතා නතර කළ රියදුරා තවත් වේගයෙන් රිය පදවමින් හිටියා.

ජනේලයට හිස තියාගත්තත් බාගෙට ඇරපු වීදුරුව තුළින් පෙරිලා ආ හීතල හුළඟ විතාරණට නිදා ගන්න ඉඩ දුන්නේ නැහැ. පපුව පුරාම හිරිගඩු නැංවුවත් මොකද්දෝ හේතුවකට වීදුරුව වහන්න විතාරණ අකමැති වුණා.ඒ වෙනුවට තමන්ව පහුකරලා වේගයෙන් පසු පසට ඇදිලා යන අඳුරු සෙවණලි දිගා බලාගෙන විතාරණ සුසුම්ලන්න වුණා.තවත් මිනිත්තු කිහිපයක් ගතවෙන්න ඇති.රථය ළංවෙලා තිබුණේ තුඩැල්ල හන්දියට.

"මෙතන තමයි මහත්තයා තැන. අර හරියෙදි තමයි රුක්මණී දේවි ගිය වාහනේ හැප්පිලා තියෙන්නේ"

අනිල් එහෙම කියද්දි විතාරණ බාගෙට පියවෙලා තිබුණු ඇස් ඇරලා බැලුවා.මුලින්ම පෙනුණේ සුදු පාට ගාපු පිළිමයක්.සාරියකින් සැරසිලා තිබුණු පිළිමේ අඩ අඳුරේ දී වුණත් රුක්මණී දේවිගේ බව අඳුර ගන්න විතාරණට අමාරු වුණේ නැහැ.කැරලි කැරලි කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් වැටෙන විදිහට ස්කස් කරලා තිබුණේ.සෘජු විදිහට ඈත බලා ඉන්න පිළිමේ විතාරණගේ හිතේ ඇති කළේ ගුප්ත හැඟීමක්.තමන්ගේ පාමුල වැටිලා තියන කැසට් පටය ආයෙමත් සැරයක් විතාරණගේ සිහියට නැගුණා. ඒ කැසට් පටයේ කටහඬ හිමි කාරියගේ පිළිමය තමන් ඉස්සරහින්!!! එක මොහොතකට විතාරණගේ ඇස් ගිණිකන වැටුණේ පිළිමේ සිටවපු දිලිසෙන කළුපාට ආධාරකයේ වැදිලා පරාවර්තනය වුණු වාහනේ ම පහන් එළිය ඇස් දෙකට වැටීමෙන්.

ඒත් එක්කම ජා ඇළ ගම්පහ පාරට හරවපු මෝටර් රථය ඉගිලෙන්න වුණා.අනිල් මුකුත්ම කතා නොකට තදින් සුක්කානම අල්ලගන්න හැටි විතාරණ දැක්කා. ඒ හිතේ තමන්ට නොකියවුණු දෙයක් ඇති බව විතාරණට නොදැනුණා නෙමෙයි.

තව වතාවක්  හැරී වාහනයේ පිටුපස කවුළුව තුළින් බැලූ විතාරණට පෙනුණේ පසුවී යන නිසොල්මන් පිළිමය .

ලොකු හුස්මක් හෙලා පපුව සැහැල්ලු කරගත් විතාරණ හෙමින් සැරේ ආපසු හැරුණා. ඒත් ...............ඒත් ....එක මොහොතකට දකින්න ලැබුණු දෙයකින් විතාරණ ගල් ගැහුණා.දකුණු පැත්තේ රියදුරු ආසනය මත හිඳ සිටි අනිල්ගේ මුව බාගෙට විවර වී තියෙබ බව  දැක්කෙ ඇස් කොණෙන්.දුබල වුණත් වාහනයේ ඉදිරි පස පහන් එළිය වැදී ඇගේ සුදු සාරිය දිලිසුණා.තමන් තත්පර කිහිපයකට කලින් දුටු ප්‍රතිමාවේ රූපයම වාහනයට ඉදිරියෙන් පාර හරහා මාරු වෙන හැටි ඔහුට දකින්න ලැබුණේ එක නිමේෂයකට විතරයි.

ඒත් කැරලි වැටුණු කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් බේරෙන හැටි, හිස ඔසවා බැලූ සෘජු බැල්ම එකට තදවූ දෙතොල් යුග විතාරණගේ ඇස් වලින් වහන් වුණේ නැහැ.තවත් මොහොතකින් වාහනයට යටවන්නට යන කාන්තා රූපය බේර ගන්න  රියදුරු - අනිල් තද කළ තිරිංගවල ප්‍රබලත්වය විතාරණට දැනෙන්න වුණේ මෝටර් රථය පාර පුරා කැරකෙමින් යන්නට වූ නිසා.පාර පුරා ඇතිල්ලුණු ටයර් වල ශබ්දය හිතට ඉඟි කළේ  අවිනිශ්චිත මරණය.වාහනයේ හිඳ සිටි ආසනය තදින් අල්ලාගෙන සිටි ඔහුට පෙනුණේ ඒ මේ අත වැටෙන රථයේ ලාම්පුවල එළිය. තවත් තත්පරකිහිපයක් ඇතුළත  විතාරණට ඇහුණේ රථය මහ හඬක් නගමින් ගහක වැදුණු ශබ්දය.ඒ එක්කම ඉදිරි වීදුරුවත් බිඳගෙන විසිවුණු ඔහු නතර වුණේ මහ පාර මැද. නළලෙන් ගලා ගිය ලෙයින් තාර තෙත්වෙන බව විතාරණට දැනුණා.ගසේ වැදී නතරවුණු මෝටර් රථයේ පහන් එළිය විතාරණ හිටි තැනට වැටිලා තිබුණු අතර ඒ එළියෙන් දිලිසුණේ පාර පුරා විහිදුණු වීදුරු කැබලි.
විතාරණ උත්සාහ කළේ හෙමින් සැරේ ඔළුව උස්සලා බලන්න.ඒත් ඒක සෑහෙන්න අමාරු බව ඔහුට වැටහුණා. නොනවත්වා ගලා යන රුධිරය නතර කරගන්න අතින් නළල තදකරගත් ඔහුට පිටුපසින් ඇහුණේ කෙනෙක් හෙමින් සැරේ පියවර තියමින් එන හඬ. ඔව්........ඒ පාවහන් වලට බිඳුණු වීදුරු කටු තදවෙලා.......තව තවත් බිඳෙන හැටි ඇහුණා.හිත  භීතියට පත් කරමින් පාවහන් හඬ විතාරණගේ පිටුපසින් නැවතුණා.ඒත්..........ඒ කෙනාගේ සෙවණල්ලක් තමන්ගේ ඉස්සරහට වැටිලා තියෙන හැටි නම් විතාරණ දැක්කේ නැහැ.


තාරපාරට තද වෙලා තියන පපුව ඇතුළේ ගැහෙන හදවතේ රිද්මය එන්න එන්නම වැඩිවෙන අතරේ ආයෙත් පියවර හඬ විතාරණ පහු කරමින් ඉදිරියට ඇදෙන්න වුණා _ බොහොම හෙමින්. සිහි විසඥ වෙන්න මොහොතකට කලින් ඒ ඇස්වලට බොඳ වෙවී පෙනුණේ හෙමින් සැරේ ඇදිලා යන කාන්තාවකගේ ඔප දැමූ කළු පැහැ උස් අඩි පාවහන්. හෙමින් හෙමින් ඇදුණු පියවර, පාරේ ඉස්සරහට වෙන්න වැටිලා බිඳිලා ගිහින් තිබුණු තමන්ගේ පෙම්වතියට ගෙනාව පාර්සලය උඩින් යන හැටිත් විතාරණ බලාගෙන හිටියා. ඒ පාවහන් පසුපස බිම දිගේ ඇතිල්ලෙමින් යන සුදු සාරි පොට බොඳවෙමින් පෙනෙන විට විතාරණගේ දෑස් පියවුණේ මුළු ලෝකයම අඳුරු කරමින්.

දවස් කිහිපයකට පස්සේ විතාරණට සිහිය එනවිට රියදුරු අනිල් ජීවතුන් අතර හිටියේ නැහැ.ඔහු අනතුරු සිදුවුණු වෙලාවෙම මිය ගිහින් තිබුණා.අනතුරට හේතුව දැන සිටියේ විතාරණ විතරයි. ඒත් .......... ඊට සමාන මරණීය අනතුරු කිහිපයක් ඒ ඉසව්ව පුරා සිදුවෙනතුරු විතාරණගේ ප්‍රකාශය විශ්වාසකරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. අනතුරුවලින් ජීවිත බේරාගත් බොහෝ දෙනක්ට දකින්න ලැබිලා තිබුණේ සුදු සාරියකින් සැරසුණු කාන්තාවක්. කාලයක් යනතුරුම සාරියකින් සැරසුණු ඈ රෑ යාමයේ සක්මන් කළා - ප්‍රතිමාව ඉවත් කරන තුරුම.






ප . ලි :
1)කණුවන හන්දියේ පැවති ප්‍රතිමාව තුඩැල්ල වෙත ගෙන යන තෙක්ම රාත්‍රී කාලයේදී නොයෙකුත් අනතුරු ඒ ප්‍රදේශයේ සිදුවූ බව නොරහසක්. අදාල තොරතුරු සපයා දුන් මා මිත්‍ර ජා-ඇළ ගිම්හාන් ගුණසේකරට  ස්තූතිය!

2).මෙය කිසිවෙකුගේත් චරිතයට හානියක් කිරීමේ අරමුණකින් නොලියවුණු බව සලකනු මැනවි.රසවින්දනය උදෙසා මූලික තොරතුරුවලට ලුණු ගම්මිරිස් එකතු කොට ඇති බව සලකනු මැනවි.

3).මම ලිව්වා වුණත් මේ පෝස්ට් එකට තමයි මම වැඩියෙන්ම අකමැති.ඊයා.